පවුල් 15ක 32ක් අහිමි කළ බණ්ඩාරදූවේ මහා මිනිස් ඝාතනය


 

නිකිණි මාසයේ පූර්ණ චන්ද්‍රයා අහස් කුස අරා සිටියේ පෙර දිනයේය. ඒ පසළොස්වක පෝය එදිනට යෙදී තිබූ බැවිනි. ඊට පසු දින රාත්‍රී හත පමණ වෙන විට ද සඳ එළියෙන් ලොව නැහැ වී තිබුණේය. ඒ වර්ෂ 1990 අගෝස්තු මස 07 වැනි දිනය. සඳ කිරණින් එලෙස ලොව නැහැවෙද්දී ඈත දිගාමඩුල්ලේ උතුරු වැව්ගම්පත්තුවේ බණ්ඩාරදූව ගමේ වැසියෝද සිය දෛනික රාජකාරී අවසන් කරමින් සිටියහ.


බණඩාරදූව ගම්මානයේ ඉතිහාසය වර්ෂ 1818 දක්වා දිවේ. සිංහලයින් විසින් වර්ෂ 1817 - 1818 කාලයේ ඌව වෙල්ලස්සේ ඇරඔූ විමුක්ති අරගලය ඉංග්‍රීසීන් විසින් කෲර ලෙස මර්දනය කළේ යුද නීතිය පනවමිනි. ඉන් පීඩාවට පත් ජනයාගෙන් කොටසක් ඌවේ ගිරි දුර්ග පසුකර ගං ඉවුරු ඔස්සේ පහළ ඌවටත් ඉන් පසුව දිගාමඩුල්ලටත් පසු බැස්සාහ. එසේ පැමිණි ඔවූහු වැව්ගම්පත්තුවෙත්, බින්තැන්නපත්තුවෙත් ගම් දොර සාදා පදිංචි වූහ. ඔවුන්ගෙන් පැවත එන්නෝ අදටත් බණඩාරදූවේ වෙසෙති.


ඔවුන්ගේ ප්‍රධානතම ජීවනෝපාය වූයේ හේන් ගොවිතැනයි. ඔවුන් ගත කළේ දුෂ්කර දිවි පෙවෙතකි. නගරයෙන් ඈත හරි හමන් පාරක් තොටක් විදුලිය හෝ පානීය ජල පහසුව නැති ලෝකයක් එහි විය. කෙතරම් දුෂ්කරතා තිබුණත් වසරේ එක් කාලයක සදාහරිතව බැබළෙන මේ ගම්මානයේ සුන්දර පරිසරයේ සුවය ඔවුහූ අත්වින්දහ. සරල දිවි පෙවෙතකට හුරුව සිටි ඔවුන්ගේ ලෝකය සුන්දර එකක් විය. 


වර්ෂ 1990 වෙන විටත් මෙගම හුදකලා ගමකි. නාගරික ඇසුරෙන් බොහෝ දුරට වෙන්ව බණ්ඩාරදූව යන නමටම ගැළපෙන පරිදි ඔවුන් වෙනම දූපතක ජීවත් වූවා හා සමානය. හේන් ගොවිතැනට අමතරව ගමට පහළින් වූ නවගිරියාව ජලාශයේ මසුන් මැරීමද ඔවුන්ගේ ජීවන රටාවේ එක් අංගයක් විය. එකල ගමේ නිවාසවලින් වැඩි හරියක්ම කටු මැටි ගසා ඉළුක් සෙවිලි කළ නිවාස විය. ඇතැම් නිවාස, නිවාස ලෙස හැඳින්විය නොහැකිය. සැබවින්ම ඒවා පැල්පත්ය. මෑතක් වෙන තුරුම විදුලිය ඔවුනට සිහිනයක් විය. එතෙක් ඔවුන් රාත්‍රි අඳුර දුරු කළේ කුප්පි ලාම්පු එළියෙනි. 


මෙසේ කාලය ගෙවෙද්දී දෙවැනි ඊළාම් යුද්ධයට පෙර එල්.ටී.ටී.ඊ. සංවිධානය ජනාධිපති ප්‍රේමදාස සමග සාම සාකච්ඡා අරඹා තිබුණි. එය මාස ගණන් ඇදී යමින් තිබුණි. ලංකාවට පැමිණි ඉන්දියන් හමුදාව එල්.ටී.ටී.ඊ.යට ප්‍රබල ප්‍රතිරෝධයක් ගෙන දෙන්නට විය. මේ නිසා ලංකාණ්ඩුවේ සහයෝගය ද ඇතිව එල්.ටී.ටී.ඊ.ය සිංහල ගම්මාන හරහා ගොස් ඒ ආසන්නයේ වනගත වී කඳවුරු බැඳ ගත්තහ. ඒ අනුව නැගෙනහිර මඩකළපුව දෙසින් පැමිණි කොටි සාමාජිකයින් පිරිසක් බණ්ඩාරදූව ගම මැදින් ගොස් බලගල කඳුවැටිය ආසන්නයේ කඳවුරු බැඳ ගත්තහ. බණ්ඩාරදූව ගම්වැසියන් සමග සුහද සිනා පෑ ඔවුහූ සිමෙන්ති, කටුකම්බි, ගල්, වැලි ආදිය ට්‍රැක්ටර්වල පටවාගෙන ගොස් කඳවුර ශක්තිමත් කළහ. කඳවුර පවත්වාගෙන යන සමයේ ඉඳහිට ගම්වැසියන්ගේ ගෙවල්වලට ගොස් කුකුලන් මිලදී ගැනීම, කෙසෙල් කැන් මිල දී ගැනීම ආදී නොයෙක් ගනු දෙනු කළෝය. කිසිදු ගැටලුවකින් තොරව තම නිල ඇඳුම ඇඳගත් කොටියෝ ආයුධ අත දරාගෙන ගාම්භීරව ගමන් කළහ. ගම්වැසියන්ට එය සාමාන්‍ය දසුනක් විය.


මතුපිටින් බැලූ විට එය සරල දෙයක් වුවද ඒ ක්‍රියකාරකම් යටින් තවත් බොහෝ දේ සිදු වෙමින් පැවතින. ඉන්දියන් හමුදාවෙන් ආරක්ෂා වීම සඳහා මෙහි පැමිණියත් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු මරා ගැනීමේ ක්‍රමය ක්‍රියාවේ යොදවමින් සිටියහ. ගමට යනෙන මාර්ග, ගම්වැසියන්ගේ වැඩ කටයුතු, ඔවුන් ස්ථානගතව සිටින තැන් ආදී නොයෙක් දේ සටහන් කර ගත්තහ. මතු දවසක ගමට ප්‍රහාරයක් එල්ලකර පලා යන විදිහ කෙසේද යන්න ඔවුන් අධ්‍යයනය කළහ. ඔවුන්ගේ ඔත්තු සේවා ඉතා හොඳින් ක්‍රියාත්මක විය. බණ්ඩාරදූව ගමේ අසරණ වැසියෝ මේ කිසිවක් නොදත්තෝය. කොටින්ගේ පෙර කටයුතු ගැන දන්නා බොහෝ දෙනෙකු කොටියන්ගේ ගැවසීම ගැන සිටියේ නොසතුටිනි. අම්පාර ප්‍රදේශයේ ආරක්ෂක අංශ නිලධාරීහු ඉහළින් එන නියෝගවලට අවනතව නිහඬව සිටියහ. ඔවුනටද කළ හැකි දෙයක් නොවීය.


මේ අතර 1990 ජුනි 11 වැනිදා කොටින් විසින් නැගෙනහිර පළාතේ පොලිස් ස්ථානවල සිටි පොලිස් නිලධාරීන් හයසියයක් පමණ පිරිසක් රැගෙන ගොස් මරා දැමීමට ක්‍රියා කරන ලදහ. සාම සාකච්ඡා එතැනින්ම බිඳ වැටුණි. කොටි භීතිය යළිත් රට පුරා පැතිරෙන්නට විය. මේ අතර ගම අසල කඳවුරු බැඳ සිටි කොටි කාටත් හොරෙන් කැලෑ මාර්ගවලින්ම මඩකළපු ඝන කැලෑවට වැදුනහ. 


කෙසේ නමුත් ගම්මුන්ට සිය ආරක්ෂාව තහවුරු කර ගැනීම පිණිස උහන පොලිස් ස්ථානය මගින් තුවක්කු 12 ක් ගමට ලබා දී තිබුණි. ඒ තුවක්කු උපයෝගී කරගත් ගම් වැසියෝ ස්වේච්ඡාවෙන්ම ගම ආරක්ෂා කර ගැනීමේ වැඩ පිළිවෙළ දියත් කළහ. එහෙත් වැඩිකාලයක් යන්නට මත්තෙන් උහන පොලිසිය මගින් නැවත තුවක්කු එකතු කරගැනීමට පියවර ගත්තේ ගමට කොටින්ගෙන් කිසිදු තර්ජනයක් නොමැති බව පවසමිනි. අගෝස්තු මාසයේ එක්තරා දිනෙක ගමට පැමිණි උහන පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ගම්වාසීන්ව බණ්ඩාරදූව විද්‍යාලයට කැඳවූයේ ආරක්ෂාව පිළිබඳ රැස්වීමකටය. එහිදී ස්ථානාධිපතිවරයා ප්‍රවීණ ආරක්ෂක විශේෂඥයෙකු ලෙස ගම්මුන්ට පැවසූවේ කිසිසේත් ගමට කොටි ප්‍රහාරයක් එල්ල නොවන බවයි. එනිසා ඒ පිළිබඳව බිය විය යුතු නැති බවත් සඳහන් කළේය. එසේ කියූ හෙතෙම අගෝස්තු මස 06 වැනිදා ගමේ තිබූ සියලුම තුවක්කු එකතු කරගෙන පොලීසියට රැගෙන ගියේය. 


ගමට පොලිස් මුරපොළක් හෝ හමුදා කඳවුරක් හෝ නැත. ආරක්ෂාව සඳහා ලබාදුන් තුවක්කු ටික ද පොලීසිය විසින් එකතු කරගෙන ගොසිනි. තුන් පැත්තකින් කඳු වැටි සහ ඝන වනාන්තරයකින් වටව තිබූ බණ්ඩාරදූව වැසියන්ට හදිසියකට හෝ ආරක්ෂාව පතා දිව යන්නට තිබුණේ ගමට එන සහ යන එකම මාර්ගයයි. 


අම්පාර නගරයේ සිට මහනුවර මාර්ගයේ කිලෝමීටර් 19 ක් ගිය විට හමුවෙන ගොනාගොල්ල උප නගරයෙන් වමට හැරී කිලෝමීටර් 9 ක් පමණ ගිය විට බණ්ඩාරදූව ගම හමුවේ. වර්ෂ 1990 වන විටත් මෙගමට යන මාර්ගය දෙපස තිබුණේ ඝන කැලෑවය.

ගොනාගොල්ලේ සිට කිලෝමීටරයක් පමණ ගිය තැනදී හමුවෙන පොල් වගා මණ්ඩලයේ ගොඩනැගිල්ල හැරෙන්නට ගමට යන ඉතිරි කිලෝමීටර් 7-8 ක දුර තුළදී කිසිදු නිවසක් හෝ මිනිස් පුළුටක් දක්නට නැත. මෙවන් පසුබිමක් තුළ ගම්වැසියෝ තනි වූහ. රාත්‍රී අඳුර වැටෙද්දී ඔවුනගේ සිත් තුළට භීතිය, සන්ත්‍රාසය එක් විය. රාත්‍රී කාලයේ සවස 6 න් පසු මුළු ගමම නිහඬය. ඉඳහිට හෝ බල්ලෙකු බිරුවොත් එසේ නැත්නම් වියළී ගිය කොළයක් පෑගෙන හඬක් ඇසුණු විට මුළු ගමම තැති ගනිති. පසු දිනට හිරු උදා වන තුරු ඔවුන් ගත කළේ ජීවිතය පිළිබඳව අවිනිශ්චිතව මෙන්ම නිදිවර්ජිතවය. බොහෝ දෙනෙකු රාත්‍රිය ගත කළේ හේනේ වාඩියේ හෝ කැලෑවේ ගස් ගල් යටය. ආරක්ෂාව ඇතැයි සිතූ ගම මැද සිටි පිරිස නිවෙස්වල වූහ. එහෙත් ඔවුන් ද සිටියේ බියෙනි. රාත්‍රී 6- - 7 වෙද්දී කැලෑවට වදින මිනිස්සු මැසි මදුරු උවදුරෙන් බැට කමින් රැය පහන් කළහ. ඔවුන්ගේ කුඩා දූ දරුවෝ ද මේ කරුමය උරුම කරගෙන සිටියහ.


පෙර කී පරිදි දවසේ කටයුතු අවසන් කළ ගම්වැසියෝ පිරිසක් කල් වේලා ඇතිව ආහාර පිස අනුභව කර සුපුරුදු පරිදි ආරක්ෂාව පතා කැලෑ වදින්නට සූදානම් වූහ. ගමේ පාසල් යන පොඩි දරුවෝ ඒ දිනවල ප්‍රීති ප්‍රමෝදයෙන් ගත කළේ තවත් දින දෙකකින් අගෝස්තු නිවාඩුව ලැබෙන නිසාය. කොටි කරදරය නිසා ඔවුනට පාඩම් කිරීම ද අපහසු කරුණක්ව තිබුණි. නිවාඩුව ගැන සිහින මැවූ පාසල් යන මේ පොඩි දරුවන් අතරින් 5 දෙනෙකු ආපසු නොඑන ගමන් යනු ඇතැයි කිසිවෙක් සිතුවේ නැත. නිවාඩුව ගැන සිහින මැවූ ඔවුන් 5 දෙනාගේ නිසල සිරුරු ද පාසල් ගොඩනැගිල්ලේ තැන්පත් වනු ඇතැයි කිසිවෙකුත් සිතුවේ ද නැත. 


තත්පරයෙන් තත්පරය කාලය ගෙවෙද්දී බණ්ඩාරදූවේ වැසියන් නොසිතූ බොහෝ දේ ගමට උතුරින් වූ බලගල කඳුවැටිය ආසන්නයේ සිදුවෙමින් පැවතිණ. එදා ඉන්දීය හමුදාවට බියේ සුහඳ සිනා පා සිටි කොටින් කඩු, කැති, පිහියා සහ ගිනි අවිද සහිතව ගම දෙසට පා නගමින් සිටියේ සීරු මාරුවෙනි. ඔවුනගේ මුල්ම ඉලක්කය වූයේ ඥානවතීගේ නිවසයි. ඥානවතීගේ නිවස අවට අඹ, පොල්, කොස්, දෙහි, දොඩම්, කජු ආදී ගස් වර්ගයන්ගෙන් පිරී තිබුණි. ඒ අතරින් පහළට ගලා ආ සඳ කිරණ අවට ප්‍රදේශය තරමක් එළිය කළේය. 
ඩී. ජී. ඥානවතී සහ ඇගේ සැමියා වූ පී. ඩී. තිලකරත්න වාසය කළේ බලගල ඔය ඉස්මත්තේ වූ කටුමැටි ගසා ඉළුක් සෙවිලි කළ පැල්පතකය. ඥානවතීගේ පියා සහ මව ද ඥානවතීගේ 8 හැවිරිදි නැගණිය වූ නිශාන්ති අනුරුද්ධිකා ද ඔවුන් සමඟ වූහ. ඒ හැරුණු විට මේ දෙපළගේ කැදැල්ලට අලුතින් එක් වූ මාස 2 ක් වයසැති සෙව්වන්දි චන්දිමා බිලිඳිය ද වූවාය. ඔවුනගේ ලොකු දියණිය වූ වයස අවුරුදු එක හමාරක් වූ මධූෂා තිළිණි, තිලකරත්නගේ මහගෙදර අත්තම්මාගේ සහ සීයාගේ සෙවණේ වූවාය. එය පිහිටා තිබුණේ ගල්ඔය ගොවි ජනපදයක් වූ කොත්මලේ කොලණියේය. ඥානවතීගේ මුල් ගම් ප්‍රදේශය වූයේ බෙලිඅත්තයි. පසු කලෙක ගල්ඔය පැමිණ විවාහ වී බණ්ඩාරදූව ගමට පැමිණියාය. වර්ෂ 1990 මුල් භාගයේදී ඇයට අභ්‍යාසලාභී ගුරු පත්වීමක් ලැබුණි. ඇයට එම පත්වීම ලැබුණේ ගමේ පාසලටමය. බණ්ඩාරදූව මහා මිනිස් ඝාතනයේදී මිය ගිය එකම රජයේ සේවිකාව ඇයයි. 

 


රුදුරු කොටීන්ගෙන් පණ බේරා ගන්නට නිවසේ අන් අය දිව යද්දී නිමේශයකින් ඇයට සිය බිලිඳිය සිහි වූවාය. නිවස තුළ සිටි ඇය පැදුරේ සිටි දියණිය දෝතට ගත්තේ අප්‍රමාණ වූ දරු සෙනෙහසිනි. එසේ දෝතට ගත් දියණිය සමඟ අඩ අඳුරේම එළියට පැන යද්දී ඇයගේ ගෙල පෙදෙසටත් දෑතේ හරහට සිටි දරුවාගේ උදරයටත් කඩු පහර වැදිනි. ඥානවතී දරුවාද තුරුලු කරගෙන නිවස අසල වූ කෙසෙල් පඳුර අසල ඇද වැටුනාය. එම ප්‍රහාරයෙන් දෙනොම අවසන් ගමන් ගොස් තිබුණි. 


එදා දිවි ගලවාගත් ඥානවතීගේ සැමියා වූ පී. ඩී. තිලකරත්න (51) සිය අතීතාවර්ජනය කළේ මෙසේය. 


“එදා රෑ 7 ට විතර මමත් මාමණ්ඩිත් මස්සිනාගේ ගෙදර සිටි ටිකිරිත් කතා බහ කරමින් සිටියා. ටිකිරියි මායි එක ඇඳේ වාඩි වෙලා හිටියේ. මාමණ්ඩි වංගෙඩිය අනිත් පැත්ත හරවලා වාඩි වෙලා හිටියා. නෝනගේ නංගී ඒ අසල බංකුවක වාඩි වෙලා හිටියේ. අපි ඔක්කොම නිවසෙන් එළියේ තමයි හිටියේ. ඇඳ තිබුණෙත් ස්තෝප්පුව ළඟමයි. මස්සිනාගේ ගෙදර හිටපු ටිකිරි මාව හම්බවෙන්න ඇවිල්ලා හිටියේ බීඩියක් ඉල්ලගෙන යන්න. අපි කතා කර කර ඉන්න අතරේ නෝනයි නෝනගේ අම්මයි ගේ ඇතුළේ උයමින් තමා හිටියේ. එදා හොඳට හඳ පායලා තිබුණ දවසක්. එක සැරේම ගේ ඉස්සරහින් පිරිසක් මතු වුණා. උන් කළු පාට ඇඳුම් ඇඳගෙන හිටියේ. එතකොටම මාමණ්ඩි කිව්වා පුතේ කවුදෝ එනවා කියලා. මම කිව්වා මාමේ හරක් වෙන්න ඇති කියලා. ඒ සමඟම මාමණ්ඩි ඒ පැත්තට ටෝර්ච් එක ගැහුවා. ඒ එළියෙන් කඩු, කැති අරගත් පිරිසක් තමයි අපි දැක්කේ. පහුගිය කාලයේ සිද්ධ වෙච්ච දේවල් අනුවත් අහලා තිබුණ දේ අනුවත් මේ එන්නේ කොටි තමයි කියලා අපි තුන් හතර දෙනාම තේරුම් ගත්තා. උන් මොනවාදෝ කියමින් කෑ ගහගෙන අපි දිහාට දුවගෙන ආවා. මම දුවලා ගිහින් කජු ගහක් ළඟ හැංගුණා. මා ළඟින්ම හිටපු ටිකිරාත් දිව්වා. නෝනගේ නංගීත් කළුවරේම දුවනවා මම දැක්කා. මාමණ්ඩිත්, නැන්දම්මත් පැන ගත්තා. මේ කලබලය අස්සේ නෝනත් දරුවා හරහට වඩාගෙන තුරුලු කරගෙන ගෙයින් එළියට පැන්නා මම දැක්කා. ගේ ඇතුළේ හිටපු නැන්දම්මයි නෝනයි ඉස්සරහා පැත්තෙන් තමයි එළියට පැන්නේ. අඩ අඳුර උනත් යන්තම් සිදුවන දේ පෙනුණා. මේ වෙනකොට කොටි ගේ ඇතුළට පැනලා, කුප්පි ලාම්පුත් නිවිලා.

එක සැරේම මට ඇහුණා කඩුවකින් කොටන සද්දයක්. මම ඒ පැත්ත හැරිලා බැලුවා. එතකොට කොටි ටෝර්ච් එළිය පොළව පැත්තට ගැහුවා. උන් බැලුවේ මගේ නෝනා හරියටම මැරිලද කියලා. ඇය සිටියේ දරුවත් තුරුලු කරගෙනයි. දරුවගේ බඩ මැදින් කැපිලා තිබුණා. මම දැක්කා මගේ නෝනා වැටිලා ඉන්නවා. ඇගේ බෙල්ලේ පිටි පස්සට කඩු පාර වැදිලා තිබුණා. 
තිලකරත්නගේ බිරිඳ සහ දියණිය මතක් වන විට තිලකරත්නගේ දෙනෙතින් කඳුළු රූරා වැටෙන්නට විය. 


මහත්තයෝ මමත් එදාම මැරුණා නම් හොඳයි කියලා හිතෙනවා...... 


තිලකරත්න යළිත් කටහඬ අවදි කළේය. 


ටික වෙලාවක් යද්දී කොටි ටෝර්ච් ගසමින් අපිව හෙව්වා. ඔය අතරේ ටිකිරි පස්සේ පන්නගෙන ගිය කොටීන් ටිකිරිව කපලා කොටලා තිබුණා. මම හෙමින් සීරුවේ ගේ අසල තිබුණු බෙරුවා ගාලකට රිංග ගත්තා. කොටීන් තවදුරටත් අපිව හොය හොයා ගස් මුදුන්වලට පවා ටෝර්ච් එළිය ගැහුවා. ඉන් පස්සේ උන් පේළි තුනකට පෝලම් ගැහිලා ගමේ උඩහ පැත්තට ගියා. මම හෙමින් සීරුවේ අපේ අයව හොයමින් අවට ඇවිද්දා. එක් තැනකදී මම දැක්කා පඳුරක් හෙළවෙනවා. මම හෙමීට නිශාන්ති කියලා කතා කළා. එවිට ඇය ප්‍රතිචාර දක්වා මා වෙතට ආවා. නැන්දම්මා සහ මාමණ්ඩි යන දෙදෙනාත් සැඟවී සිටියදී හොයා ගත්තා. ඒ අයව එක් තැනක නවත්තලා මම ආපහු ගෙවල් පැත්තට ගියා. නෝනා පේන්න හිටියේ නෑ. ඔය අතරේ මස්සිනාලගේ ගේ පැත්තෙන් බල්ලෝ බුරණ හඬ ඇහුණා. ඒ පැත්තෙන් ටෝර්ච් එළියකුත් වැදුණා. පස්සේ බැලින්නම් මාමණ්ඩි එතෙන්ට ගිහිල්ලා. එයා තමයි වටේට ටෝර්ච් ගැහුවේ. මාමණ්ඩි ඇවිල්ලා කිව්වා ලේලියි දරුවොයි කපලා කොටලා මරල දාලා කියලා. දැන් අපි ලොකු කම්පනයකට පත් වෙලා හිටියේ. අපි හැමෝම තුෂ්නිම්භූත වෙලා හිටියේ. ඊළඟට මොකක්ද කරන්නේ කියලා අපි කල්පනා කළා. 


එදා සිදු වූ සිද්ධිය තවදුරටත් ආවර්ජනය කර ඥානවතීගේ සැමියා වූ පී. ඩී. තිලකරත්න (51) මෙසේ ද සඳහන් කළේය.


‘මේ විදියට අපි පැය ගණනක් කළුවරේ හැංගිලා හිටියා. මගේ මතකයේ හැටියට ඒ වෙනකොට රෑ 12 ත් පහුවෙලා. පාන්දර පොලීසියෙන් ඇවිත් කතා කළාට පස්සේ තමයි අපි ප්‍රධාන පාරට ඇවිත් ඉස්කෝලෙට ගියේ. පස්සේ තමයි අපි දැන ගත්තේ ඥානවතීගේ අයියත් නිවස එළියේ කපලා කොටලා මරා දමලා තියෙන බව.


එහිදී ඥානවතීගේ අයියා වූ සෝමවංශත් බිරිඳ නන්දනීත් පුතෙකු වූ ඩී. ජී. ඒ. පී. සිසිර කුමාරත් ඩී. ජී. එස්. මධුවන්තිත් කපා කොටා ඝාතනය කර තිබුණි. සෝමවංශගේ තවත් පුතෙකු කොටින්ගෙන් බේරී තිබුණි. කැපුම් තුවාල සහිතව වැටී සිටි ඔහුට පණ තිබෙන බව දුටු ගම්වාසීහූ සහ පොලීසිය වහාම ඔහුව රෝහල කරා යැවූහ.  


සිය පවුලේ මව පියා සොහොයුරා සහ සොහොයුරිය මිය යාම නිසා ඔහු බලවත් කම්පනයකට පත් විය. පසු කලෙක හෙතෙම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට බැඳී සේවය කළේය. එහෙත් දෛවය තවදුරටත් ඔහුට ජීවත් වීමට ඉඩ දුන්නේ නැත. කිසියම් හේතුවක් නිසා දැනට වසර 02කට පමණ පෙර ඔහු ගිනි අවියකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගත්තේය. සෝමවංශගේ පවුලේ සැමගේ ජීවිත ඉරණම විසඳුණේ එසේය.


මේ අතර එදින සවස් භාගයේ කිසියම් අවශ්‍යතාවක් සඳහා සෝමවංශගේ නිවසට පැමිණ සිටි ටී. ජී. නීල වන්නියා ද කොටි ප්‍රහාරයෙන් එතැනදීම මරු දුටුවේය. ටී. ජී. නීල වන්නියා යනු ආදීවාසී නායකයෙකු වූ වන්නකු තිසාහාමිගේ මුනුබුරෙකි. නීල වන්නියාගේ පියා ටී. ජී. ටිකිරි වන්නියාය. 


එම සිද්ධියේදී මිය ගිය 32 දෙනා අතරින් 16 දෙනෙකුම එනම් හරි අඩක්ම තලාබණ්ඩාර පරම්පරාවේ අයයි. එම පිරිස පවුල් 07කට අයත් වූවෝ වෙති.


එනම් ටී. බී. සුදුමැණිකා, ඇගේ දියණිය වූ එම නමම ඇති ටී. බී. සුදුමැණිකා, ටී. බී. හීන්බණ්ඩා, ටී. බී. ප්‍රේමවතී, ටී. බී. දිසානායක, ටී. බී. උක්කුබණ්ඩා, ටී.බී. කරුණාරත්න, ටී. බී. බණ්ඩාර මැණිකා, ටී. බී. ඇන්. රූපසිංහ, ටී. බී. අයි. පුෂ්පකුමාර, ටී. බී. ඒ. ඇස්. බණ්ඩාර, ටී. බී. ගුණපාල, ටී.බී. කරුණාවතී, ටී. බී. ඉන්ද්‍රා මානෙල්, ටී. බී. වසන්ත කුමාර ටී. බී. ඇස්. පුෂ්ප කුමාර එම පිරිස වෙති.
මේ මහා ඛේදවාචකය සිදුවෙන විට ගමේ පාසල ආසන්නයේ පදිංචිව සිටි ඩී. ඇම්. සෝමරත්නගේ වයස අවුරුදු 24 කි. ඔහු එදත් අදත් ගමේ සමාජ සේවා ක්‍රියාකාරිකයෙකි. ඒ බිහිසුණු සිද්ධිය ඔහු මෙසේ සිහිපත් කළේය.


එදා රෑ 6.45 ට විතර ගමේ උඩහ කොටසේ කවුරුහරි යටි ගිරියෙන් කෑ ගහනවා ඇහුණා. බල්ලොත් බුරන්න පටන් ගත්තා. මොකක් නමුත් ගමේ අමුත්තක් තිබෙන බව මට දැනුණා. ඔය අතරේ කොටි කපනවෝ කියලා කෑ ගහන සද්දෙත් ඇහුණා. පොලීසියට භාර නොදීපු තුවක්කුවකුත් මගේ ගෙදර තිබුණා. මම ඉක්මනින්ම ඒ තුවක්කුවත් අතට අරගෙන මගේ නෝනටයි දරුවෝ තුන් දෙනාටයි වත්ත පහළ ඇළ ළඟ කැටකෑල ගහ අසල හැංගෙන්න කියලා ඉස්කෝලේ ක්වාටස් එක ළඟට ගියා. මගේ මල්ලී ඒ ක්වාටස් එකේ පාඩම් කර කර හිටියේ. මම එයාවත් එකතු කරගෙන අපේ මහගෙදර පැත්තට ගියා. ගේ පැත්තට යනකොට කවුදෝ පුද්ගලයෙක් මහගේ පැත්තේ ඉඳලා ඉක්මන් ගමනින් එනවා අඩ අඳුරේම මම දැක්කා. නාඳුනන පුද්ගලයෙකු නිසා මම වෙඩි තියන්න තුවක්කුව උස්සන කොටම ‘හා හා සෝමේ වෙඩි තියන්න එපා. ඔය තාත්තා එක්ක නුවර ඉඳලා ආපු මනුස්සයෙක්’  ගුණේ කිව්වා. ගුණෙත් ඒ වෙලාවේ අපේ ගෙදරට ඇවිල්ලා තිබුණේ. පස්සේ බැලින්නම් අර මනුස්සයාගේ පිට මැදට කඩු පහරක් වැදිලා. එයා ලේ පෙරාගෙන පාර දිගේම ගියා. මම දුවලා ගිහින් ගෙට ගොඩවෙන කොටම තාත්තා කන්න ගත්ත බත් පිඟානත් එක්කම මුනින් අතට වැටිලා හිටියා. තාත්තාගේ ඔළුවටම කොටලා තිබුණා. ඒ වෙනකොටත් තාත්තා මිය ගිහිල්ලා. අම්මයි ගෙදර හිටපු නංගිලා දෙන්නයි එළියට පැනලා කැලේ හැංඟිලා තිබුණා. තාත්තා දවස් කීපයකට කළින් මහනුවර රෝහලේදී ඇහැක් ඔපරේෂන් කරලා එදා තමයි ගෙදර ඇවිල්ලා තියෙන්නේ. හවස 5 ට විතර ගොනාගොල්ලෙන් බැහැලා කි.මී. 9 ම අර මනුස්සයත් එක්ක පයින් ඇවිල්ලා. ඒ මනුස්සයාව තාත්තා කවදාවත් දැකලා නෑ. එදා උදේ මහනුවර රෝහලේදී අහම්බෙන් හම්බවෙලා තියෙනවා. එයාගේ ගෙදර ප්‍රශ්නයක් නිසා ගෙදරින් තරහා වෙලා තමයි තාත්තා එක්ක ඇවිත් තියෙන්නේ. ඒ මනුස්සයාටත් මාරාන්තික පහරක් වැදිලා තිබුණේ. එයාව අම්පාර රෝහලටත් එතැනින් මහනුවර රෝහලටත් අරන් ගියාට වැඩක් වුණේ නෑ. එයා මිය ගියා. 


මුළු ගමම කෑ කෝ ගහමින් එහෙ මෙහෙ යද්දී මම මහ රෑම පයින් ඝන කැලෑව මැද්දෙන් සමන්ගලට ගියා. ඒ අවට පවුල් කීපයක් හිටියා. මම එයාලට විස්තරේ කියලා මාත් එක්ක පොලීසියට යන්න බයිසිකලයක් අරන් කවුරුහරි එන්න කියලා කිව්වා. ඒත් ඒ හැමෝම හෙමින් සීරුවේ මාව මඟහැරලා ගිහින් කැලේ හැංගුණා. මම ආයෙත් කැලෑව මැදින් ගිහිල්ලා 28 හංදියේ හිටපු බණ්ඩාරදූව ඉස්කෝලේ ප්‍රින්සිපල් තෙන්නකෝන් මහත්තයාලාගේ ගෙදර ගිහින් එයත් එක්ක උහන පොලීසියට ගිහින් සිද්ධිය කියලා පැමිණිල්ලක් කළා. පොලීසිය විශ්වාස කළේම නෑ. ඕ.අයි.සී. මහත්තයා මගේ බඩෙන් අල්ලලා ඇහුවා උඹ බොරු නේද කියන්නේ කියලා. ජේ.වී.පී. එකට අදාළ ප්‍රශ්න වැලක්ම ඇහුවා. මේක උන්ගේ වැඩක් නේද කියලත් ඇහුවා. මට උනේ ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නා වගේ වැඩක්. කොහොම නමුත් අන්තිමේදී ජීප් එකක නැගලා පොලීසිය බණ්ඩාරදූවට ගියා. ඊට පස්සේ ඔවුන්ට කාරණේ වැටහුණා. 


හේන් ගොවිතැනෙන් ජීවත් වන තලාබණ්ඩාරලාගේ කිරිබණ්ඩාට අද වයස අවුරුදු 65කි. මීට 27 වසකට පෙර සිදුවූ ඒ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් ඔහුට ඔහුගේ බිරිඳ ටී. බී. කරුණාවතීත්, දියණියක වූ ටී. බී. ඉන්ද්‍රා මානෙල් (11), පුතුන් දෙදෙනෙකු වූ ටී. බී. වසන්ත කුමාර (5), ටී. බී. ඇස්. පුෂ්ප කුමාර (3) යන අය අහිමි විය. මේ තිදෙනාම පාසල් ගිය අය වූහ. බාලම පුතු වූ පුෂ්ප කුමාර වයස සම්පූර්ණ නොවුණත් සිය සහෝදර සහෝදරියන් සමඟ පාසල් ගොස් අකුරු කළේ එකල එගමේ පෙර පාසලක් ද නොවූ නිසාය. ඔහුගේ වැඩිමහල් පුතුන් දෙදෙනා වූ ටී. බී. සමන්ත කුමාරත්, ටී. බී. සූරතිස්සත් කොටි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්හ. ඔවුන් දෙදෙනා අද ශ්‍රී ලංකා යුද හමුදාවේ සේවය කරති.

සටහන සහ සේයාරූ -:
දිගාමඩුල්ලේ සමන් දිසානායක