පවුම් එකහමාරේ රන්මාලය ගන්න කාන්තාවක මරාදැමූ අමනයෝ


පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන කළමනාකරණ සහකාර නිමල් විජේසිංහ මහතා පදිංචිව සිටිනුයේ මහකුඹුක්කඩවල පූනවිටිය ගම්මානයේය. පසුගිය 12 දා අලුයම කාලයේ සැප නින්දක වෙළී සිටිය දී හේ නින්දෙන් අවදි වූයේ කාගේදෝ කෑගැසීමකිනි. නින්ද කැඩුණු විජේසිංහ මහතා කඩි මුඩියේ අවදි වූයේ හඬ පුරුදු බව දැනුණු නිසාය.   


ඔහු නිවසේ දොර විවෘත කරගෙන පිටතට පැමිණි අතර අසල්වැසි නන්දසේන අංකල් මිදුලේ සිටිනු දුටුවේය. විජේසිංහ මහතා දුටු සැණින් නන්දසේන අංකල් ‘අනේ බලහංකෝ මගේ ගෑනි නිවසින් අතුරුදන් වෙලානේ. මම හැම තැනම බැලුවා. ඔහේ නැහැ’ කියන්නට විය. 

 
නිවස තුළට ගිය විජේසිංහ මහතා විදුලි පන්දම ද ගෙන වහාම නන්දසේන අංකල් සමග ඔහුගේ ගෙවල් පැත්තට දිව්වේය. නිවස වටා උඩින් පල්ලෙන් සොයා බැලූ විජේසිංහ මහතාට කිසියම් කුකුසක් ඇති විය. නන්දසේන අංකල් එයාගේ හාමිනේ ඥානවතී සමග ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන බව ඔහු දනී. මේ නිසා ඇති වූ සැකයෙන් විජේසිංහ මහතා වහාම පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට අලුයම් කාලයේ දීම ඇමතුමක් දී ඥානවතී හාමිනේගේ අතුරුදන්වීම ගැන සැලකළේය.   


අනතුරුව ඔහු නන්දසේන අංකල් සමග එකතුව කෑගසා අසල්වාසීන් රැස් කරවා අතුරුදන් ඥානවතී හාමිනේ කොහිදැයි සොයන්නට පටන් ගත්තේය. නිවසේ පිළිකන්නට ගිය විට කවුදෝ බිම වැටී සිටිනු පිරිස දැක ඇත. විදුලි පන්දම් දල්වා ඒ කවුදැයි බැලූ විට එහි සිටිනුයේ ඥානවතී හාමිනේ බව කාටත් තේරුණි.   


තවත් විමසිලිමත්ව බැලූ විට බිම වැටී සිටි ඥානවතී හාමිනේගේ අත්පා වයරයකින් තදට බැඳ මුවට රෙදි කඩක් ඔබා වයරයෙන්ම ගෙළ වටා තද කර ඇති බව ද ඔවුහු දුටුවෝය. තවත් විමසිලිමත්ව බැලූ විට ඥානවතී හාමිනේ අවසන් හුස්ම හෙළා ඇති බව කවුරු කවුරුත් තහවුරු කර ගත්හ.   


ඒ සමගම ආනමඩුව පොලිසියේ නිලධාරීන් පිරිසක් රැගත් පොලිස් ජීප් රථයක් පූනවිටිය ගම්මානයේ නන්දසේන අංකල්ගේ නිවස වෙත පැමිණියේය. ගම්වාසීහු පිරිස ජීප් රථය වට කර ගෙන සිදුව ඇති අපරාධය පවසන්නට වූහ. පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමලල හා අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක උපාලි අබේරත්න මහත්වරු ගැමියන්ගේ මග පෙන්වීම මත ඥානවතී හාමිනේ වැටී සිටි ස්ථානයට ගියහ. 

 
සිදුව ඇත්තේ කෲර මනුෂ්‍ය ඝාතනයක් බව පොලිස් නිලධාරීන්ට තේරුම් ගැනීමට වැඩි වේලාවක් ගත නොවිණ. තවදුරටත් පරීක්ෂා කළ විට ඥානවතී හාමිනේ ගේ ගෙළ බැඳි පවුම් එකහමාරේ රන් මාලය අතුරුදන්ව ඇති බවත් සියලු දෙනා අවබෝධ කර ගත්හ. 


පසුව දහවල් වන විට පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් පසාල් අබුකාහිර් මහතා එහි පැමිණ මූලික විමර්ශනය පවත්වා මෘත ශරීරය පුත්තලම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ඉදිරියට ගෙන ගොස් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය පැවැත්වීමට නියෝග කරණු ලැබීය. ඒ අනුව අධිකරණ වෛද්‍ය නිලධාරී ඩබ්ලිව්.ඒ.එස්. වික්‍රමනායක මහතා විසින් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණය සිදු කර මෙම මරණය ගෙල සිර කර සිදු කරන ලද ඝාතනයක් බවට වාර්තා කර තිබුණි.   


මේ සමග ආනමඩුව පොලිසියේ නිලධාරීන් පුත්තලම කොට්ඨාස අපරාධ පරීක්ෂණ ස්ථාන විමර්ශන නිලධාරීන් හා ඇඟිලි සලකුණු පරීක්ෂණ නිලධාරීන් ගෙන්වා තවදුරටත් පරීක්ෂණ ආරම්භ කරන ලදී.   


මියගිය ඥානවතී පවුම් එකහමාරක මාලයක් පැලඳ සිටි අතර එම මාලය අතුරුදන්ව තිබිණි. තවද එම නිවස අසල තිබී කලිසමක් සපත්තුවක් පොලිසියට සොයා ගැනීමට හැකි විය. තවදුරටත් පරීක්ෂා කිරීමේ දී තවත් ඈත තිබී අත් ආවරණ දෙකක් හා තවත් සපත්තුවක් සොයා ගත හැකි විය.   


මෙහිදී විවිධ පුද්ගලයන්ගෙන් කටඋත්තර සටහන් කර ගත් අතර එහිදී කිහිප දෙනෙකුම සාක්කි දුන් අතර මියගිය කාන්තාව ඇගේ සැමියා දුව සහ පුතා සමග මෙයට වසර 15ට පමණ කලින් මහකුඹුක්කඩවල පූනවිටිය ප්‍රදේශයට පැමිණ පදිංචි වී ඇති බවත් ඔවුන් මාතර ප්‍රදේශයේ අය බවත් හෙළි විය. දරු දෙදෙනාම මේ වන විට විවාහ වී අසලම වාසය කරන බවත් වැඩිදුරටත් හෙළි විය.   


මෙහිදී පොලිසියට තවත් අපූරු කරුණක් ද අනාවරණය කර ගත හැකි විය. ඒ ආඬිගම මුදලක්කුලිය ප්‍රදේශයේ සත්ව ගොවි පළක සේවය කරන කම්කරුවෙකු මෙම නිවසට නිතර පැමිණෙන බවත් ඔහු තණ කොළ කපා ගෙන යාමට පුරුදුව සිටි බවත් මෙම පුද්ගලයා මෙම නිවැසියන්ගේ හිත දිනාගෙන සිටි බවටත් තොරතුරු අනාවරණය විය. පොලිසිය විසින් සොයා ගන්නා ලද කලිසම හා සපත්තු ඔහුගේ විය හැකි බවටත් කරුණු හෙළි විය.   

 


මේ කියන පුද්ගලයා ද මාතර ප්‍රදේශයේ අයෙකු බව ඔහු විසින් නිවැසියන්ට කියා තිබිණ. ඔහුගේ කලිසම හා සපත්තු මෙහි තිබීම පොලිසියේ සැකය අැති කිරීමට හේතු විය. ඒ ගැන ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූයේ ඔහු මේ වන විට ඩෙංගු වැලඳී කුරුණෑගල රෝහලෙහි ප්‍රතිකාර ලබා සුවය ලබා කලින් දින රාත්‍රී ටිකට් කපා මාතර බලා යාමට මියගිය කාන්තාවගේ පුතා කුරුණෑගලට ගෙන්වා ගත් බවත් පුතා මෙම සිදුවීම වන විට කුරුණෑගල ගොස් ඇති බවත් හෙළි විය.   


මෙම සිදුවීම වන අතර නිවසින් කුරුණෑගල බලා ගිය පුතා සිද්ධිය දැනගෙන නිවසට පැමිණ අපූරු කතාවක් කීවේය. තමා අසනීප ලෙඩා මාතරට ගෙන ගොස් ඇරලීමට ගියත් ඔහුව හමු නොවූ බවත් එදින අලුයම වන තුරුම කුරුණෑගල බස් ගාලේ ගත කරමින් සිටිය දී මෙම ඛේදජනක සිදුවීම දැනගෙන ගෙදර ආ බවත්ය.   


මියගිය ඥානවතීගේ පුතාගේ ප්‍රකාශය අනුව පොලිසියට කිසියම් කුකුසක් ඇති විය. ඩෙංගු වැලඳුණ බව කී අයගේ දුරකථනයට ඇමතුමක් දුන්නත් ඔහුව සම්බන්ධ කර ගත නොහැකි විය. මේ නිසා පොලිසිය ඔහු පිළිබඳව සැකයෙන් මෙම ඩෙංගු රෝගියා පිළිබඳව තොරතුරු අනාවරණය කර ගෙන ඇත.   


එහිදී හෙළි වී ඇත්තේ මෙම පුද්ගලයා බිබිල මැදගම පදිංචි 31 වන වියේ පසුවන, තරුණයෙකු බවය. මෙහිදී පොලිසියට විශාල සැකයක් ඇති වී තිබිණි. ඔහු මෙම නිවසට පැමිණ බොරුවෙන් චාටුවෙන් ගෙහිමියන් මුළා කර ඔවුන්ගේ හිත් දිනා ගෙන ඇති බැවිනි. 

 
මේ අනුව පොලිසිය වහාම බිබිල මැදගම ප්‍රදේශයට ගොස් ඉතාමත්ම සූක්ෂම ලෙසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇත. පසුව සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසු ඔහු වෙත තිබී පවුම් එකහමාරක රන් මාලයක් රත්මලාන රාජ්‍ය බැංකුවකට උකස් කර රුපියල් පනස් හතර දහසක මුදලක් ලබාගත් කුවිතාන්සියක් ද හමුවිය. එම කුවිතාන්සියේ දැක්වුණේ රත්මලාන ප්‍රදේශයේ පදිංචි ගුරුසිංහ දිනුෂ ප්‍රියලාල් නමැති 20 වන වියේ පසුවන තරුණයෙකුගේ නමකි. 

 
පොලිසියේ සැකය තහවුරු කර ගැනීම පිණිස සිදු කළ ප්‍රශ්න කිරීම්වල දී ඔහුට ගැලවිය නොහැකි වී ඇත. අන්තිමේ දී ඔහු දිවුරා පවසා සිටියේ තමන් ප්‍රියලාල් සමග එකතුව මාලය සොරා ගත් නමුත් කිසිවකු ඝාතනය නොකළ බවයි. ඒ බව ඔහු දිවුර දිවුරා පවසා සිටියේය. කෙසේ වෙතත් පොලිසිය පසුව ගල්කිස්ස ප්‍රදේශයේ සිටි දිනුෂ ප්‍රියලාල් ද අත්අඩංගුවට ගනු ලැබීය.   


පසුව ඔවුන් අානමඩුව පොලිසිය වෙත ගෙනැවිත් ප්‍රශ්න කිරීමේ දී මෙම ඝාතනය සම්බන්ධ සියලු කරුණු හෙළි කර ගැනීමට පොලිසියට හැකි විය.   


මුදලක්කුලියේ සත්ව ගොවි පළේ සේවය කරන අතර තණකොළ කපා ගැනීමට ඥානවතී හාමිනේ ගේ ගෙදර ගිය ප්‍රදීප් කුමාර ඉතා කෙටි කලකින් නිවැසියන් සමග දැඩි සමීප සම්බන්ධයක් ඇති කරගෙන තිබුණි. ඔහුට හාමිනේගේ කරේ තිබූ රන් මාලය ඇස ගැසුණ අතර එය ගතහොත් විකුණා ලොකු මුදලක් ගත හැකි බව ඔහුට සිතිණ. ඒ අනුව ඔහු අපූරු ප්ලෑනක් ගැසීය.   


ඔහු තම මිතුරෙකු වන මේ වන විට රත්මලාන ප්‍රදේශයේ පදිංචි ප්‍රියලාල් ද සම්බන්ධ කර ගෙන ඇති බවත් හෙළි විය. රෝහණ ප්‍රදීප් කුමාර විසින් පොලිසියට කර ඇති ප්‍රකාශය අනුව මෙම ඝාතන සිද්ධිය සම්බන්ධ තොරතුරු මෙසේ අනාවරණය වී ඇත.   


ප්‍රදීප් ප්‍රියලාල්ට කියා ඇත්තේ දෙදෙනාම එකතුව කටයුතු කළා නම් පවුම් එකහමාරේ රන් මාලය කොල්ල කා ගත හැකි වන අතර එය උකස් කර හෝ විකුණා මුදල් කර ගත හැකි බවය. ඒ අනුව ප්‍රදීප් මියගිය ඥානවතී හාමිනේට සිය ජංගම දුරකථනයෙන් 11දා දහවල් ඇමතුමක් දී කියා ඇත්තේ තමා ඩෙංගු රෝගය වැලඳී කුරුණෑගල රෝහලේ නතරව ප්‍රතිකාර ලබන බවත් ටිකට් කැපූ පසු ගෙදර යා යුතු අතර එසේ යන්න මුදල් අතේ නැති බවත් තනිවම යා නොහැකි බවත් හැකි නම් පුතා වන කුමාර මල්ලිව කුරුණෑගල එවන ලෙසත්ය.   


ඒ අනුව මියගිය කතගේ පුතා කුමාර කුරුණෑගල ගිය අතර සවස් වන තුරු රෝගීන් බැලිය නොහැකි නිසා කුරුණෑගල බස් ගාලේ රැඳී සිටින බවත් ප්‍රදීප්ට දුරකථනයෙන් දැනුම් දී ඇත. ඒ සමගම ප්‍රදීප් ද කුමාරට දන්වා ඇත්තේ තමාහට සුවයක් ලැබී ඇති නිසා එදින රාත්‍රි වන විට රෝහලෙන් මුදා හරින බැවින් තමා මුදාහැරිය වහාම කුරුණෑගල බස් ගාලට එන බවත් එතෙක් කුමාරට බස් ගාලේ රැඳී සිටින ලෙසත් දන්වා ඇති බවත් හෙළි විය.   


පසු දින අලුයම් කාලය වන තෙක් බලා සිටියත් ප්‍රදීප් නොපැමිණි අතර ඔහුගේ දුරකථනයට ඇමතුම් කිහිපයක් ගනු ලැබුවත් දුරකථනය නිහඬ කර තිබූ බවත් බැරිම තැන ආපසු සිය නිවෙස වෙත ඒමට පාන්දර පළමු බසයෙන්ම පිටත් වී ඇති බවත් හෙළි විය.   


ප්‍රදීප් තමාට ඩෙංගු වැලඳී ඇති බවට නොමඟ යවන ඇමතුමක් දී ඥානවතීගේ පුතු කුරුණෑගලට ගෙන්වා ගෙන ඔහු එම මැදියම් රාත්‍රි වන විට සියලු දේවල් සූදානම් කර ගෙන තම මිතුරා ප්‍රියලාල් සමග මහකුඹුක්කඩවල පූනවිටිය ගම්මානයට පැමිණ තිබුණි. කිසිවකුගේ ඇස නොගැසී එහි පැමිණි දෙදෙනා නිවස අසල කෙසෙල් පඳුරක් යටට වී මැදියම් රාත්‍රිය පසුවන තුරු එහි රැඳී සිට පසුව වැඩේට බැස ඇත.   


ඔවුන් මුලින්ම නිවසේ සිටින සුනඛයන්ට කෑ ගැසීමට සලස්වා ඇත. ඥානවතීගේ සැමියා බල්ලන්ගේ බිරුමින් අවදිවී සිය බිරියව ද අවදි කරවා ගෙන ඇත. ඔහු බිරිඳට නිවස තුළ සිටින ලෙසට දන්වා විදුලි පන්දම දල්වා ගෙන ඉදිරි දොරෙන් මිදුලට බැස බල්ලන්ගේ බිරුම ගැන සොයා ඇත.   


සැමියා මිදුලට ගිය අතර බිරිඳ ද පිටුපස දොරෙන් පිටතට පැමිණ විපරම් කර ඇත. ඒ අතර ක්‍රියාත්මක වූ ප්‍රදීප් හා ප්‍රියලාල් ඥානවතීගේ කට වසා ඔසවා ගෙන නිවස පිටුපසටම ගෙන ගොස් ඇත. එහිදී ඔවුන් විසින් ගලවා ගත් රෙදි වැලේ වයරයෙන් ඥානවතීගේ අත්පා බැඳ ඇයට කිසිවක් පැවැසීමට නොහැකි වන ලෙසින් ඇගේ කටට රෙදි කඩක් ඔබා ඇගේ කර පැලඳ සිටි රන් මාලය ගලවා ගෙන පලා ගොස් නිවස අාසන්නයේ රැඳී සිට ඇත.   


ඥානවතීට හුස්ම ගත හැකි ලෙසින් නාසය මුදාහැර යාමට ද ඔවුන් කාරුණිකව ඇත.   


මේ අතර කිසිවකු නැති නිසා නිවස තුළට පැමිණි සැමියාට ඥානවතී නිවසේ නැති බව දැන ගෙන යළිත් ඇය ගැන සොයන්නට වී ඇත. ඇය සෙවීමට නොහැකි වූ තැන ඔහු වහාම අසල්වැසි නිමල් විජේසිංහ මහතාගේ නිවසට ගොස් ඔහු අවදි කරවා ඥානවතී ගෙදර නොමැති බව කියා ඇය සෙවීමට උදව් කරන ලෙස ඉල්ලා ඇත.   


මෙහිදී හටගත් සැකයෙන් නිමල් විජේසිංහ මහතා වහාම පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් දී මෙම අතුරුදන්වීම ගැන දන්වා තිබුණි. ඒ අතර ඔවුන් පසුව සිදු කරන ලද සෝදිසියක දී ඥානවතීගේ මෘත ශරීරය සොයා ගත හැකි වී තිබුණි.   


එදා මාලය කොල්ල කෑමෙන් පසු ප්‍රදීප් හා ප්‍රියලාල් පයින්ම පූනවිටියේ සිට ආඬිගමට සැතපුම් තුනක දුරක් මග ගෙවා පැමිණ ආනමඩුවෙන් පාන්දර එන පළමු බසයේ නැග පලා ගොස් ඇත. පසුව ප්‍රියලාල්ගේ ජාතික හැඳුනුම්පත තියා මාලය රුපියල් 54000ට උකස් කර ගෙන ප්‍රියලාල් රත්මලානේ නවතා ප්‍රදීප් බිබිල මැදගම බලා ගොස් ඇති බවත් හෙළි විය.   


​මෙම සිද්ධියේ සැලසුම්කරු වන ප්‍රදීප් දිගින් දිගටම පොලිසියට දන්වා ඇත්තේ තමා තුළ ඥානවතී මරා දැමීමේ චේතනාවක් නොතිබූ බවත් අවශ්‍යව තිබුණේ මාලය කොල්ල කෑමට පමණක් බවත්ය.   


ඥානවතී වයරයෙන් බැඳ දැමීමේ දී ඇගේ බෙල්ල හිර වී මෙම මරණය සිදුව ඇති බව පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයේ දී හෙළි විය. කෙසේ වෙතත් මේ වන විට මෙම ඝාතන සිද්ධියේ චූදිතයින් දෙදෙනා ආනමඩුව අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. 


පුත්තලම පොලිස් අධිකාරී චන්ද්‍රසේන ජයකොඩි, ආනමඩුව සහකාර පොලිස් අධිකාරි අශෝක කරුණාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත ආනමඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උපාලි රත්නමලල, අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක උපාලි අබේරත්න, උපපොලිස් පරික්ෂක හේරත්, සැරයන්වරුන් වන අබේසිංහ 31777, සෙනෙවිරත්න 57310, ජයසේන 56809 කොස්තාපල්වරුන් වන වර්ණසූරිය සඳරුවන් 67475, අතපත්තු 24055, තෝලංගමුව 89742, බෝදරගම 65222 යන මහත්වරු මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ කටයුතුවලට එක්ව සිටියහ.

 

 

සටහන හා ඡායාරූප 
හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු