පව්කාර වැඩිහිටියන් නිසා අසරණ වූ තවත් මල් කැකුළක්


මාමා ලේලි හබයෙන් ලේලිය පරලොව යයි

අපරාධය සිදුවු ස්ථානය

 

පස්සර, මීරියබැද්ද ඓතිහාසික ගම්මානයකි. ඊට ඔබ්බෙන් පිහිටි වැලිබිස්ස ගම්මානයද පාරම්පරික ගම්මානයකි. මේ ගම්මානය මධ්‍යයේ පිහිටි නිවසකට ගම්වැසියෝ වැළ නොකැඩී පැමිණෙමින් සිටියහ. 


ඔවුන්ගේ ශෝකී මුහුණුවල බියපත් ගතියක්ද දිස්විය. කොස්, දෙල්, පොල්, අන්නාසි, ගම්මිරිස්, බුලත්, පුවක් යන වගාවන්ට මැදිව පිහිටි ඒ නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙකි. 


වයස අවුරුදු 3 කි. ඔහුගේ නම පවුලේ බොහෝදෙනෙක් පවා නොදැන සිටියහ. කවුරුත් ඔහුට ඇමතුවේ ‘සුදු පුතා’ යන නමිනි. 


පුතු වැලි සෙල්ලම් කරමින් සිටි ස්ථානයට අඩි 10 ක් පමණ දුරින් රෙද්දකින් වසා තිබූ දේහයකි. පස්සර පොලිසියේ නිලධාරීහු එහි රැඳී සිටියහ. 


බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණෙන තෙක් දේහය වැසූ රෙදි කඩ විවෘත නොකෙරිණි. වැඩබලන මහේස්ත්‍රාත්වරයා පැමිණෙන්නට සුළු මො​ෙහාතකට කලින් මිදුලේ සෙල්ලම් කරමින් සිටි සිඟිති දරුවා ඔසවා ගෙන ගෙතුළට ගෙනගියේ අසල්වැසි කාන්තාවක විසිනි. 


වැඩබලන මහේස්ත්‍රාත් සරත් වීරසිංහ මහතා ඉදිරියේ පොලිසිය රෙදිකඩ ඉවත් කළ විට එතුළ දිස් වූයේ ලෙයින් නැහැවුණ මළ සිරුරකි. 


ඒ මිදුලේ වැලි සෙල්ලම් කරමින් සිටි සිඟිති පුතු පැටියාගේ අම්මාය. පුතු පැටියාගේ තාත්තා මියගොස් තිබුණේ ඔහු අම්මාගේ කුස තුළ සිටියදීය. 


ගාල්ල රත්ගම ප්‍ර​ෙද්ශයේ පදිංචිව සිටි අම්මාට තාත්තා හමුවී ඇත්තේ කොළඹ ප්‍රදේශයේ සුළු රැකියාවක් කරමින් සිටියදීය. පෙම් සබඳතාවයකින් පසු දෙදෙනා විවාහ වූහ. 


වසර 3කට පමණ පෙර තාත්තා මියගියේ වස පානය කිරීමෙනි. ඊට හේතු වූයේ පවුල් ආරවුලකි. 


සිඟිති පුතුගේ අම්මාට සිදුවූයේ කුමක්ද? ගමම ශීතල වූ ඒ හැන්දෑවේ මේ ගෙදර ඇතිවූයේ උණුසුම් වතාවරණයකි. තම සැමියා වෙනුවෙන් දේපළ තම පුතුට ලබාදිය යුතුයැයි මරණකාරිය කාලයක් තිස්සේ නැන්දා සහ මාමා සමග කරන අරගලය එදා බිහිසුණු අතට හැරිණ. 


මේ නිවස මාමණ්ඩිය සතුය. ඔහු මෑතක් ​ෙවන තුරුම තේ වත්තේ කම්කරු​ෙවකු සේ රැකියාව කළේය. දක්ෂ කිතුල්මල් කපන්නෙකු ​ෙවන ඔහු කිතුල් මල් කැපීමෙන් හා පැණි හකුරු නිපදවීමෙන් අමතර ආදායමක්ද උපයා ගත්තේය. මේ නි​ෙවස හදාගත්තේද නි​ෙවසට බඩු මුට්ටු ගත්තේද දහඩිය මහන්සියෙන් හරි හම්බකරගත් ඒ මුදලිනි. 


සැමියා මියයාමෙන් පසු රත්ගම මහගෙදරට ගිය ලේලිය වරින් වර වැලිබිස්ස මහගෙදරට යාම් ඒම් සිදුකළ අතර මීට මාස 2කට පමණ පෙර යළි වැලිබිස්සට පැමිණ ඇය දරුවා සමග නතර වී සිටියාය. 


මීට පෙරද නැන්දම්මා සමග ඇතිවූ බව කියන ආරවුල් පොලිසියේ දී සාමදාන වී ඇති නමුත් මෙදින සිදු වූයේ සැමටම අදහාගත නොහැකි දෙයකි. 


බහින් බස් වීමකින් පසු ලේලිය තමාගේ බෙල්ල මිරිකා හිස නිවසේ උළුවස්සේ ඇන්න බව නැන්දම්මා පොලිසියට කීවේ පස්සර දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුය. 


බිරිඳට තුවාල සිදුකර ඇය එතැනින් නොනැවතී තමන්ටද පහරදීමට පැමිණි බවත් තමාගේ අත සපා කෑ බවත් අනතුරක් කරාවියැයි සිතා ඒ ​ෙවනවිටත් කිතුල් මල් කැපීමට යාම සඳහා මුවහත් තබමින් සිටි පිහියෙන් ඇගේ ගෙල කපා දැමූ බවත් 65 හැවිරිදි මාමණ්ඩිය පොලිසියට කීවේ අත්අඩංගුවට ගැනීමෙන් පසුය. 


සැකකරු අත්අඩංගුවට ගත්තේ නිවස තුළම සිටියදී බව පොලිසිය සඳහන් කරයි. 


පොලිසිය එහි යන විට ලෙයින් නැහැවුණ මිනිය මිදුලේ තිබුණි. මරණකාරියගේ සිඟිති දරුවා සමග සැකකරු සාලයේ සෙටි පුටුවක වාඩි වී කල්පනා කරමින් සිටියේය. 


පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රත්නවීර එල්. අඩස්සූරිය මහතාගේ මෙහෙයවීමෙන් පස්සර පොලිසිය විමර්ශන සිදුකළේය. 


බදුල්ල වැඩබලන මහේස්ත්‍රාත් සරත් වීරසිංහ මහතා විසින් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර මෘතදේහය බදුල්ල මහරෝහලට රැගෙන ගොස් අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා මගින් පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක්කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසට පස්සර පොලිසියට නියෝග කළේය. 


පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ බදුල්ල මහරෝහලේ අධිකරණ විශේෂ වෛද්‍ය සඳකැන් වඩුගේ මහතා සිය වාර්තාවෙන් පෙන්වා දුන්නේ ගෙලට හා හිසට සිදුවූ කැපුම් තුවාල හේතුවෙන් සිදුවූ අධික රුධිර වහනය නිසා මෙම මරණය සිදුව ඇති බවයි. 


තාත්තා අහිමිව සිටි සිඟිති සුදු පුතුට දැන් අම්මාත් නැත. අම්මා ඝාතනය කළැයි සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති හෙයින් දැන් සීයාද නැත. ආත්තම්මාද ඔළුව පැලී රෝහලේය. 


40 හැවිරිදි මේ කාන්තාවගේ මෘත දේහය රත්ගමින් පැමිණ පවුලේ ඥාතීන් විසින් භාරගෙන රත්ගමට රැගෙන ගොස් එහිදී මිහිදන් කටයුතු සිදු කෙරින. 


මිනිය සමග රත්ගම ගිය සිඟිත්තා අම්මාගේ මළ ගමට එහිදී සහභාගි වූවත් මේ සිදුවූ විපත තේරුම් ගන්නට නොහැකිය. මහඋන්ගේ නොසණ්ඩාලකම් නිසා මෙසේ අසරණ වූ එකම දරුවා මොහු නොවේ. 


වැඩිහිටින්ගේ වැරැදි නිසා දුකට පත්ව අසරණ ​ෙවන ළමා ළපටින් සිය දහස් ගණනක් අතර මේ දරුවාද එක් අයෙක් පමණි. 


මල් කැකුළුවන් අහිංසක මෙවැනි දරුවන්ගේ අනාගතය ගැන වැඩිහිටියන් සිතා බලා කටයුතු නොකිරීම ජාතියේ අවාසනාවකි. 

 

 

 

 

සටහන - ඡායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ