පන්සලට චෛත්‍යයක් හදන්න ගඩොල් කපන හිමිනමක්


බාගෙට ඉදිකර ඇති චෛත්‍යය

 

 

තම ශ්‍රමය, ඩහදිය, මේ මහා පොළවට වපුරා ධනය ද වැයකොට අතීත රජවරු- හිමිවරු දාගැබ් වෙහෙර විහාර වැව් අමුණු ඉදිකර සම්බුද්ධ ශාසනය බබළවා රට කෘෂිකර්මාන්තයෙන් ස්වයංපෝෂිත කිරීමට පෙරමුණ ගත්හ.


“දාගැබ් මහා වැව් හැදුවේ නුඹුයි පුතේ” යන ගීත නිර්මාණ වුයේ ද එ් අතීත හිමිවරු රජවරු මෙරටට සිදුකළ නිර්මල අතිවිශිෂ්ට සේවාවන් නිසාවෙනි.


අහස උසට නැගි රුවන්වැලි සෑය, අභය ගිරිය ජේතවනාරාමය යන චෛත්‍ය රාජයාණන් වහන්සේලාත් සාගරයක් වන් පැරකුම් සමුද්‍රර, කලාවැව, මෙන්ම තිසා වැව ද මහා සඟරුවනේ ආශිර්වාදයෙන් එදා රජවරුන් කරන ලද වීර වික්‍රමවල ප්‍රතිඵලයන්ය.


එදා ඒ හිමිවරුන් රජවරුන් කළ ජාතික, ආගමික, ශාසනික සේවාවෙන් වර්තමානයේ අපත් අනාගතයේදී උපනුපන් දරුවන් පවා කායික මානසික සුවයන් ලබනවා නොවනු මානය.


අප මේ කියන්නට යන්නේ මෑත කාලයේ රජවරයෙකු මෙන් මහපොළව සමඟ ගැටි ඩහදිය, කඳුළු, ශ්‍රමය වපුරා ගඩොල් කපා චෛත්‍යරාජයාණන් වහන්නේ නමක් ඉදිකිරීමට වෙර දරන බුද්ධ පුත්‍රයෙකු පිළිබඳවය.


ඓ්තිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට අයත් නැගෙනහිර මනම්පිටිය ශ්‍රී සුවිශූද්ධාරාම විහාරස්ථානය අලංකාර මනරම් විහාරස්ථානයක් වුවද එහි චෛත්‍යයක් නොමැති අඩුව දායකයන්ටත් වඩා දැනුනේ මේ බුද්ධ පුත්‍රයන්ටය.


තම විහාරස්ථාන පිං බිමේ රියන් දහහතක් උසැති චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් ඉදිකිරීමට ගඩොල් කපන මේ බුද්ධ පුත්‍රයාණෝ නමින් අලුත්වැව සේනාලංකාර ස්වාමින්වහන්සේය.


විහාරස්ථ දායකයන්ගේ ආර්ථික අපහසුකම් හොඳ හැටි හඳුනාගත් අලුත් වැව සේනාලංකාර හිමියන් ඊට යම් විසඳුමක් ලෙස චෛත්‍යය ඉදිකිරීමට අවශ්‍ය ගඩොල් තිස්දහක පමණ ප්‍රමාණය මේ පිංබිමෙන්ම නිපදවා ගැනීමට ඉටාගත්හ.


පළාතේ විහාරස්ථාන අතරින් තම විහාරස්ථානයට පමණක් ප්‍රබල අඩුවක් පවතින චෛත්‍යරාජයාණන් වහන්සේ නම ඉදිකර ගැනීමට සේනාලංකාර තරුණ භික්‍ෂුන් වහන්සේ දිවා මෙන්ම රාත්‍රි කාලයේද ඊට අවශ්‍ය ගඩොල් කපන්නේ ධෛර්ය සම්පන්නවය.


නැගෙනහිර මනම්පිටිය ශ්‍රී සුවිශූද්ධාරාම විහාරස්ථානයේ ආගමික ශාසනික, ජාතික, මෙන්ම පොදු සේවාවන් කිසිවක් අතපසු නොකර වෙහෙසෙන සේනාලංකාර හිමියන් තමන් සසුන්ගත කළ ගුරුදේව උත්තම අපවත්වී වදාළ මාතර කිතලගම ශ්‍රී සිලාලංකාර නාහිමියන්වත්, මල්දෙනියේ ජිනාලංකාර නාහිමියන්වත් සිහිපත් කර උන්නාසේලා සම්බුද්ධ ශාසනයට ඉටුකළ මෙහෙවරම අනුගමනය කිරීම බෞද්ධයන් ලෙස අප ලත් වාසනාවකි.


දැඩි අව්රස්නයක් පවතින මේ දිනවලද කහ සිවුර දහදියෙන් තෙත් කරවා මහපොළෙව සමඟ ගැටී පස්කපා ගනිමින් සේනාලංකාර බුද්ධ පුත්‍රයාණන්වහන්සේ ඉටුකිරීමට යන ශාසනික ආගමික මෙහෙවර මෙවන් යුගයක සහ පරපුරට මෙන්ම බෞද්ධයන් වන අපටත් මහත් පූර්වාදර්ශයකි.


විටෙක දහදිය, වරෙක කඳුළු ද, තවත් මොහොතක රුධිරය ද ජලය වෙනුවට ගඩොල් කපා ගැනීමට අවශ්‍ය පස් පදම්කර ගැනීමට සේනාලංකාර හිමියන්ගේ ශරිරයෙන් මහපොළොවට මුසුවන බව සංවේදීත්වයෙන් සටහන් කරමු.


අසූමහා ශ්‍රවක චෛත්‍ය වන්දනාව විදහා දැක්වෙන 17 රියන් මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරිමට රුපියල් ලක්‍ෂ පනස් පහක මුදලක් වැය වන බවට ඇස්තමේන්තු කර ඇත.


මෙම චෛත්‍ය 2020 වසරේ වෙසක් පුර පසලෝස්වක පොහෝ දිනයේදී කොත් වහන්සේ නිරාවරණය කිරීමේ සිහිනය සැබෑ කර ගැනීමට සේනාලංකාර හිමියන් අප්‍රතිහත ධෛර්යකින් කටයුතු කරති.


අපේ විහාරස්ථානයට සම්බන්ධ දායකයන් ගොඩක් ඉන්නේ කුඹුරු කරන අය. ඉතිං ගොවි මහත්වරුන්ගේ වී වගාවන් සෑම කන්නයකම වාගේ වන අලි විනාශ කිරීමෙන් පාඩු වෙනවා. ගමේ ව්‍යාපාරිකයන් ඉන්නේ ටික දෙනයි. ඉන්න තරුණයන්ටත් රැකිරක්‍ෂා නැහැ. ඒ අයත් එක එක රැකියාවලට ගමෙන් පිට යනවා. සමහරක් මනම්පිටිය මහවැලි ගඟේ කුලියට වැලි ගොඩ දාන්න යනවා. කොටසක් කැළේ වේවැල් කපනවා. තවත් පිරිසක් එක එක කුලීවැඩවල නිරත වෙනවා.


ඉතිං මේ අයදුක් විඳලා ගන්න සල්ලි මේ චෛත්‍යයක් හදන්න මට ඉල්ලන්න හිතෙන්නෙ නැහැ. ගොවියන්ටත් මේ සත්කාර්යට ලොකු මුදලක් වැය කරන්න බැහැ. මමයි දායක සභාව සදහම් තරුණ බෞද්ධ සංගමයයි එකතු වෙලා අවස්ථා කිහිපයකදී මල්වට්ටි සල්පිල් භාණ්ඩ වෙන්දේසී කරලා රුපියල් ලක්‍ෂ හතරක පමණ මුදලක් හොයා ගත්තා එකෙන් චෛත්‍යයේ වැඩ ආරම්භ කළා.


මනම්පිටිය මහවැලි ගඟෙන් අපිට මේ චෛත්‍යයට කියලා වැලි ටිකක්වත් ගන්න බැරිවුණා. ඉතිං මම කල්පනා කළා තනියම මේකට අවශ්‍ය ගඩොල් 30,000 කපා ගන්න. දැනට ගඩොල් 4000 ක් විතර දවල් රෑ දේකෙම මහන්සිවෙලා කපා ගෙන තියෙනවා යැයි. අලුත්වැව සේනාලංකාර හිමියයෝ පැවසූහ.


සේනාලංකාර හිමියන් දාන මානවලට වැඩම කරවා එකතු කරගත්ත සෙසු පිරිකර වලින් කොටසක් ගම්මානයේ දුගි දුප්පත් පවුල් තෝරා සෑම වර්ෂයකම සිංහල හිංදු අලුත් අවුරුද්දට දින කිහිපයක් තිබිය දී ඔවුන් විහාරස්ථානයට ගෙන්වා පරිත්‍යාග කිරීම ද විශේෂ සත්ක්‍රියාවකි.


දායකයන්ගේ ආගමික කටයුතු කිසිදු අඩුවක් නැතිව ඉෂ්ඨ සිද්ධ කරන සේනාලංකාර හිමියන් සෑම වසරකම සීලපුර ඇසළ මහා පෙරහරක් ද සංවිධානය කරන්නේ එෛතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය වැඳපුදා ගැනීමට සතර දිශාවෙන් පැමිණෙන සැදැහැවත් පිංවතුන් නැගෙනහිර මනම්පිටිය ශ්‍රී සුවිශූද්ධාරාමයට ද සම්බන්ධ වීම නිසා ඔවුන්ට වන්දනා කිරීමට චෛත්‍යක් ඉදිකිරීම ද සේනාලංකාර හිමියන්ගේ තවත් සිහිනයකි.


සේනාලංකාර හිමියන්ගේ ශක්තියෙන් පවත්වාගෙන යන ශ්‍රී ප්‍රියදර්ශන බෝධිමූල දහම් පාසල් දරුවන්ට නියමිත නිළ ඇඳුමක් නොමැති වීම ද විශාල අඩුවක් ලෙස දකින සේනාලංකාර සඟරුවන අප සමග වැඩි දුරටත් චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීම පිළිබඳව වැඩි වශයෙන් කතා කළහ.


මේ චෛත්‍යය ඉදිකර ගන්න පන්සලට ඉඩම පූජා කළේ සරත් මහතා කියන දායකයා. ගඩොල් කපා ගන්න ඉඩම දුන්නේ තවත් දායිකාවක්. ඉතිං මගේ හීනය තමා මේ චෛත්‍යයට ඕනෑ ගඩොල් 30,000 කපාගෙන ලබන වසරේ වෙසක් පෝය දිනයේ දී කොත්වහන්සේ නිරාවරණය කිරීම. මගේ මේ උත්සහයට කවුරුන් හෝ පිංවතෙක් පවතින ආයතනයක්, සංවිධානයක් ඉදිරිපත් වෙලා ශක්කියක් වු​ණෝත් ලොකු පිනක්.


චෛත්‍යයක් හදලා පූජා කරනවා කියන්නේ සාධු කාර දෙන තරමට උතුම් වැඩෙන පිනක් වගේම නිවන් දකින පිනක් හැටියටයි සැලකෙන්නේ. මම නිවාඩුවක් ගත්තේම නැහැ. දවල් රෑ දේකේම ගඩොල් කපනවා. සමහරවිට තරුණ අය උදව් කරලා ඒ අයගේ රැකියාවලට යනවා.


චෛත්‍යය ඉදිකරගන්න ලක්‍ෂ 55 ක මුදලක් හොයා ගන්නත් මට ලොකු හිනයක්. එත් ඒ හීනය සැබෑ කර ගන්න මේ දහම් දිවයිනේ පිංවතුන් මට පුළුවන් විදිහට උදව් උපකාර කරයි කියලා විශ්වාස කරනවා. රටක් ජාතියක් ආගමක් වශයෙන් අපි එකතු වෙලා මේ වගේ ශාසනික වැඩ කළ යුතු කාලයක් හැටියටයි මම දකින්නේ.


චිරාත් කාලයක් නිර්මල බුදු දහම පවතින මේ උතුම් දහම් දිවයිනේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදු වීම, පිරිනිවන් පෑම සිහිපත් කරන වෙසක් මාසයේ අමිස හා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන මොහොතක ඔබටත් මේ බුද්ධ පුත්‍රයාගේ උදාර ශාසනික සාධු අරමුණට දායක වීමට හැකිනම් එය වැඩෙන ශ්‍රේ‍ෂ්ඨ පිංකමකි.


දිවා රාත්‍රි මහපොළව සමග ගැටී ගඩොල් කපන අලුත්වැව සේනාලංකාර බුදු පුතාගේ ශරීරයෙන් පොළවට රූරා වැටෙන දහදිය, කඳුළු, රුධිර බිදු අවම කිරීමට ගඩොල් ලබාදීමෙන් හෝ ඔබට දායකවීමට හැකිනම් එය නිවන් මග විවර කර ගන්නා මහා පිංකමක් වනවා නොවනුමානය.


ඓතිහාසික දිඹුලාගල පිංබිමේ දුෂ්කර විහාරස්ථානයක ඉදිවෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකිරීමට ඔබටත් දායකවීමට අවශ්‍යනම් අලුත්වැව සේනාලකාර හිමියන්ට කතා කරන්න. 0719 649211/ 077 4427354

 

 

සටහන හා ජයාරූප 
මනම්පිටිය නිමල් ජයරත්න