පනස් වසරකට පසු පෙරභවය සොයා යයි


පෙරභවයේ ප්‍රබල සාක්කි

 

මහාචාර්ය ස්ටීවන්සන් අජිත් හමුවූ අවස්ථාව

 

 

පෙරභවය හෙළි කළ දරුවන් මගින් අපූරු තොරතුරු වරින්වර අසන්නට ලැබේ. ඒ අතරින් අතිශය අසිරිමත් සිදුවීමක් පසුගිය දිනෙක සිදුවිය. එම පුනර්භව සාධකයට හේතු වූයේ මීට වසර පනහකට පෙර උපත ලද දරුවෙකු හෙළි කළ සිදුවීමකි. එද‌ා මහත් ආන්දෝලනයක් ඇති කළ පෙරභවය හෙළි කළ එම දරුවාගේ පුනර්භව පර්යේෂණය සඳහා ලෝපතල පුනරුත්පත්තිය පර්​ෙ‌ය්ෂකයෙකු වූ ඇමෙරිකාවේ වර්ජිනියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉයන් ස්ටීවන්සන්ද ශ්‍රී ලංකාවට පැමිණියේය.  


එම දරුවා අනාවරණය කළ සියලු තොරතුරු සනාථ වූ අයුරු පුවත්පත් මගින්ද ප්‍රසිද්ධියට පත් කළේය. පෙරභවය හෙළිකළ එම දරුවා අද දෙදරු පියෙකි. ඔහු එද‌ා අනාවරණය කළ පුනර්භව තොරතුරු විමර්ශනය කිරීමට ඔහු​ගේ දූ දරුවන් සහ බිරියට ද අවශ්‍ය වීය. ඒ සඳහා ඔවුහු පසුගිය දිනෙක ඔහුගේ පෙරභවයේ ගමටත් ඔහු ජීවත්ව සිටි නිවස සහ ඔහුගේ ඥ‌ාතීන්වත් හමු වූහ. පෙරභවය හෙළිකළ එම දරුවා උපත ලබා තිබුණේ දොඩන්ගොඩ ප්‍රදේශයේදීය. ඔහු ප්‍රකාශ කළේ පෙර භවයේ දී වෙළෙඳ ව්‍යාපාරිකයෙකු ලෙස ජීවත්ව සිටි බවය. මිය යන විට ඔහු පදිංචිව සිටි ගම් ප්‍රදේශය ඉංගිරිය ලෙස හැඳින් වූ බවද එද‌ා එම දරුවාට මතක තිබිණි.  

 

අනතුර පිළිබඳව පළවූ පුවත්පත් වාර්තාව

 


පෙර ගම් ප්‍රදේශයට යන ගමන් මාර්ගය ද නිවැරදිව හෙළි කළ එම දරුවා අජිත් නම් විය. පෙර භවයේ දී ඔහුගේ නම ජයතිස්ස බවත් මරණය සිදු වූයේ තමා විසින් පදවාගෙන ගිය මෝටර් රථය අනතුරකට පත්වීම නිසා බවත් ඔහුට මතක තිබිණි. දරුවන් සය දෙනෙකුගේ පියෙකු ලෙස සිටි බව ද පැවසූ එම දරුවා පෙරභව නිවස ඉදිරිපිට ගේට්ටුවක් සහ බෙලි ගසක් තිබූ බව ද කීය. තම මෝටර් රථය අනතුරට පත්වූ අවස්ථාවේ තවත් එක් අයෙක් රථයේ සිටි බැව් ද ඔහුට මතක තිබිණි.  


තවදුරටත් එම දරුවාගෙන් විමසීමේ දී ඔහුට සොහොයුරෙකු සිටි බවත් ඔහු සරොන් ඇඳි පුද්ගලයෙකු බවත් පැවසීය. හොරණ සිට ඉංගිරියට ගොස් පාදුක්ක පාරේ යන විට නිවස හමුවෙන බවත් ඔහු මතකයෙන් හෙළි කළේය.  


දිනක් තම මෝටර් රථය පදවාගෙන යන විට අනතුරට පත් වූ අයුරු එම දරුවා එද‌ා ප්‍රකාශ කළේ ‘‘කාරෙක ඇන්දෙ හැපුණා’’ යනුවෙන් පමණි. ඒ වෙන විට රථයේ කිසිවෙක් සිටියේද යයි ඔහුගෙන් විමසූ විට එක් අයෙක් සිටි බව පැවසුව ද ඒ කවුරුන්ද යන්න ඔහු හෙළි නොකළේය. වෙළෙඳ ව්‍යාපාර හිමිව සිටි අයෙක් බැව් එම දරුවා පැහැදිලිව කීවේය. අජිත් එදා හෙළි කළ තොරතුරු පටිගත කිරීමකට ද ලක් කිරීමෙන් පසු ඔහුගේ පෙරභවය සෙවීමේ පර්යේෂණ ආරම්භ කැරිණි. ඒ අනුව ඉංගිරිය ප්‍රදේශයේ දී රිය අනතුරකට ලක්වී මරණයට පත් වූ ජයතිස්ස නම් අයෙකු පිළිබඳව විමර්ශනය කැරිණි.  


ඒ සඳහා ඉංගිරියට ගොස් කරුණු පරීක්ෂා කිරීමේ දී ජයතිස්ස මහතා ජීවත්ව සිටි නිවස සොයා ගැනීමට අපට හැකි විය. අප එදා එම නිවසට යන විට ජයතිස්ස මහතාගේ මල්ලී එහි සිටියේය. ඒ වෙන විට ජයතිස්ස මහතාගේ බිරිය සහ දූ දරුවෝ පදිංචිව සිටියේ වෙනත් නි​ෙවසකය. 

 
අජිත් කළ ප්‍රකාශ පටිගත වී තිබූ අයුරින්ම ඔහුගේ සොහොයුරාට ශ්‍රවණයවීමට සැලැස්වීමු. එයට සවන්දී සිටි ඔහු අජිත් ප්‍රකාශ කරනුයේ තම මියගිය සොහොයුරාගේ ජීවිත තොරතුර බැව් සනාථ කළේය. අජිත් පැවසූ පරිදි ජයතිස්ස මහතා මරණයට පත්වී තිබුණේ ඔහු පදවාගෙන ගිය මෝටර් රථය ඉංගිරිය පාලමේ ඇන්දේ ගැටී සිදු වූ රිය අනතුරිණි. එද‌ා එම අවස්ථාවේ ජයතිස්ස මහතාගේ ව්‍යාපාරවල සේවිකාවක් වූ රූමත් තරුණියක්ද මෝටර් රථයේ ගමන් කර තිබූ අතර ඇය ද මරණයට පත්වී තිබිණ.  


මෙම කරුණු විමර්ශනය කිරීම සඳහා මහාචාර්ය ඉයන් ස්ටීවන්සන් 1976 මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණි අජිත්ගේ පුණර්භව සාධකය පිළිබඳව පූර්ණ පර්යේෂණයක් පැවැත්වීය. එම පර්යේෂණ සිදු කරනු ලැබුවේ හොරණ තානායම් පොළේදීය. එහිදී අජිත් නාඳුනන කිසිද‌ා නොදුටු පුද්ගලයන් කීප දෙනෙක් මෙන්ම ජයතිස්ස මහතා ඇසුරු කළ පුද්ගලයන් පිරිසක්ද හඳුනා ගැනීමේ පෙරට්ටුවක් සඳහා ඉදිරිපත් කළේය. ඒ සඳහා ජයතිස්ස මහතාගේ වැඩිමහල් පුත්‍රයා ද විය. එද‌ා පාසල් ශිෂ්‍යයෙකුට සිටි ඔහු දුටු සැනින් අජිත් පැවසුවේ ‘‘ඉංගිරියේ දී දැකල තියෙනවා’’ යනුවෙනි.

  
මෙම හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී අජිත් කිසි දිනෙක දැක නැති පුද්ගලයන් වරින්වර ඔහු හමුවට ගෙන් වූ අතර ජයතිස්ස මහතා ඇසුරු කළ පුද්ගලයන්ව ද ඒ අතර අජිත්ට ඉදිරිපත් කැරිණ. එමගින් අදහස් කළේ ජයතිස්ස මහතා ඇසුරු කළ අය නිවැරඳිව හඳුනා ගැනීමට හැකි ද යන්න නිරීක්ෂණය කිරීමය.   
එහිදී ජයතිස්ස මහතා නිතර ඇසුරු කළ භික්ෂූන් වහන්සේ නමක ඔහු ඉදිරියට පැමිණි විට එම භික්ෂූන් වහන්සේගේ නමින්ම උන්වහන්සේ හඳුනාගන්නේ පුදුමාකාර අයුරිනි. පසුව ජයතිස්ස මහතා ඇසුරු කළ අසල්වැසි කීප දෙනෙක් ද අජිත් විසින් හඳුනා ගන්නා ලදී. ඒ අය අතර ජයතිස්ස මහතාගේ සොහොයුරා ද විය.  


එක් අසල්වාසි අයෙකු දුටු විගස අජිත් ප්‍රකාශ කළේ ඒ ගෙදර හරියට මල් තියෙනවා’’ යනුවෙනි. එම පුද්ගලයාගේ නිවසේ මල්වැවීම ඉතා සරුවට සිදුකරනු ලැබූ බැව් ඔහු අප සමග පැවසීය. එම හඳුනා ගැනීමේ පෙරට්ටුවේ දී අජිත් කළ ප්‍රකාශවල සත්‍යතාව තවදුරටත් සනාථ වෙන ප්‍රබල සාක්කි බවට එම පුද්ගලයන් හඳුනා ගැනීම විශේෂත්වයක් විය.  


අජිත් සිය පෙරභවයේ මරණය සිදු වූ අයුරු හෙළිකිරීම ද අතිශය වැදගත් වීය.   


අජිත් හෙළි කළ තොරතුරු ජයතිස්ස මහතාගේ ජීවිත තොරතුරුවලට සියයට සියයක්ම සත්‍ය බවට තහවුරු වීය. ජයතිස්ස මහතා ගමන්ගත් මෝටර් රථය පාලමෙන් පහළට වැටී සිදු වූ දරුණු අනතුරින් ඔහුගේ මරණය සිදුවී තිබිණි. මෙම පුනර්භව පර්යේෂණයේ දී එම කරුණු සනාථ කිරීම සඳහා මහාචාර්ය ස්ටීවන්සන් විසින් ජයතිස්ස මහතාගේ මරණය සිදු වූ ආකාරය සටහන් වී ඇති මරණ සහතිකය පවා විමර්ශනයට ලක් කළේය. එම මරණ සහතිකයේ සඳහන් වූයේ මරණයට හේතුව ‘‘මෝටර් රථය ඇළකට වැටීමෙන් රියැදුරු අන්ත්‍රාවෙලා’’ යනුවෙනි. ඒ වෙන විට ජයතිස්ස මහතා 49 වැනි වියේ පසු වූ බැව් ද එහි සටහන් වී ඇත.  


අජිත් තම පෙරභවය පිළිබඳව තොරතුරු හෙළි කිරීම හා ඒ සඳහා සිදුකළ පූර්ණ පරීක්ෂණයේ දී එදා ඔහු අනතුරට පත් වූ අවස්ථාවේ ප්‍රසිද්ධියට පත් වූ පුවත්පත් වාර්තා ද නිරීක්ෂණ කරනු ලැබීය. එක් වාර්තාවක් එද‌ා ඔහුගේ අනතුර වාර්තා කර තිබුණේ ‘‘වෙළෙඳ ව්‍යාපාරිකයා හා රූප රාජිනිත් අනතුරින් නසී’’ යනුවෙනි. මෙම පුනර්භව පර්යේෂණ වාර්තාව ප්‍රථමවරට එද‌ා ප්‍රචාරය කළේ ශ්‍රී ලංකාදීප පුවත්පත මගිනි.  
‘‘ඉංගිරියේ ජයතිස්ස දොඩන්ගොඩ ඉපදිලා’’ යනුවෙන් ප්‍රධාන සිරස්තලය යටතේ එය පළවීය. මෙම සිදුවීමට සම්බන්ධ අජිත් දැන් විවාහකයෙකි. දරුවන් දෙදෙනෙකුගේ පියෙකු වන ඔහු පසුගිය දිනෙක යළිත් පෙරභව ප්‍රදේශයට යාමටත් ඔහුට අනතුර සිදුවූ ස්ථානය නිරීක්ෂණය කිරීමටත් අවශ්‍ය බැව් ප්‍රකාශ කළේය. තම පෙරභව මතකය තව කොතෙක් දුරට මතකයේ රැඳී තිබේ ද යන්න නිරීක්ෂණ කිරීම ඔහුගේ අදහස විය.  
පසුගිය ද‌ා අජිත් ඔහුගේ පෙර භවයේ දූ දරුවන් සහ බිරිය සිටින නිවසට ද ගියේය. එම දූ දරුවෝ සියලු දෙනාම දැන් විවාහකයෝය. ජයතිස්ස මහත්මියට ද හමුවීමට අජිත්ට අවස්ථාව ලැබිණි. එහි දී ඔවුන් විසින් අජිත්ව ඉමහත් ආදරයෙන් පිළිගැනීම අජිත්ට මහත් ප්‍රීතියක් විය.  


තම පෙරභව මතක සටහන් යළි සිහිපත්වෙන බැව් අජිත් එහි දී ප්‍රකාශ කළේය. ජයතිස්ස මහතාගේ දූ දරුවන් කීපදෙනෙක්ම එහි දී හමු වූ අතර ඔවුන් මගින් ද අජිත් සෙනෙහසක් ලැබීම පුනර්භව පර්‌‌යේෂණවල දී දක්නට ලැබෙන දුෂ්කර අවස්ථාවක් වීය. ඔවුන්ගෙන් සමුගත් අජිත් ඊළඟට ගියේ ඔහු අනතුරට පත්වූ පාලම නිරීක්ෂණ කිරීමටය. එම පාලමේ ඇන්ද වෙත පය තැබූ අජිත් එහිදී දැඩි කල්පනාකාරී බවකින් ටික වේලාවක් රැඳී සිටියේය.  


‘‘පෙරභව සිදුවීම් මට නැවත සිහිවෙනවා’’ යි ඔහු එහිදී ප්‍රකාශ කළේය.   


අනතුරුව අජිත් පෙරභවයේ ඔහුගේ සිරුර භූමද‌ානය සිදුකළ සොහොන වෙත ගියේය. ජයතිස්ස මහතාගේ දූ දරුවන් විසින් එහි ඉඳිකර ඇති සොහොන් කොත වෙත ගිය අජිත් දැඩි කල්පනාකාරී බවකින් එදෙස බලා සිටියේය. එම සොහොන් කොත මත ජයතිස්ස මහතාගේ ඡායාරූපයක් ද පැහැදිලිව දක්නට ඇත.  
පෙරභවයේ සිරුර භූමද‌ාන කළ ස්ථාන සොයා ගිය පුනර්භව සාධක අතර වසර පනහක පමණ අතීතයක් ඇති පෙරභවයට සම්බන්ධ සොහොන වෙත පෙරභවය හෙළි කළ පුද්ගලයා ගිය පළමු අවස්ථාව මෙය විය. එයට ප්‍රධාන කරුණක් වූයේ අජිත්ගේ බිරිය සහ දරුවන් දෙදෙනාම එය දැක ගැනීමට අවශ්‍ය බව දන්වා සිටීමය. තම පියා පෙර භවය හෙළිකළ පුද්ගලයෙක් බැව් ඔවුහු පවසන්නේ මහත් ගෞරවයෙනි.   
අනතුරුව පෙරභවයේ නිවෙස වෙත ගිය අජිත් ප්‍රකාශ කළේ ‘‘දැන් පරිසරය හරියට වෙනස් වෙලා. ඒත් ගේ අඳුනගන්න මට පුළුවන්’’ යයි නිවස ඉදිරිපිට ගිය ඔහු නිවසේ අවට පරිසරය නරඹමින් සිට ‘‘මේ ගෙදර හදපු අවුරුද්ද 1930 යනුවෙන් සටහන් කරල තිබුණ. ඒක බලන්න ඕනෑ යයි එහි පදිංචි අයගෙන් ඒ පිළිබඳව විමසීය. අනතුරුව අජිත් එම සටහන පෙන්වා එහි 1930 ලෙස සටහන් වී ඇති බැව් ප්‍රකාශ කිරීම අතිශය වැදගත් කරුණක් වීය.  


මට හොඳට තාම මතකයි 1930 වර්ෂය නිවසේ තිබුණා. එය මට සිහිවූයේ දැන් මෙතනට පැමිණිවිටදීයි. යනුවෙන් ඉමහත් සතුටින් පැවසීය. පෙරභවය හෙළි කළ දරුවන් සහ ඔවුන්ගේ පෙරභව ඥ‌ාතීන් හමුවීමේ පුනර්භව සාධක හඳුන්වනු ලබන්නේ Solved Cases යනුවෙනි. ඒ යටතේ ඇති පුනර්භව සාධක අතරින් පෙරභව පවුල් සමග ඥ‌ාතීන් ලෙස ඇසුරු කරන සාධක ඇත්තේ ස්වල්පයක් පමණි. එවැනි පවුල් ශ්‍රී ලංකාවේ හයක් පමණ පර්යේෂණ අතරට එක්වී ඇත. ඉන් ප්‍රධාන සාධකයක් ලෙස අජිත්ගේ පුනර්භව සිදුවීම හැඳින්වීමට හැකිය.  


අජිත්ගේ පුනර්භව සධකයේ තවත් සුවිශේෂි කරුණක් දක්නට ලැබේ. එනම් මියගිය ජයතිස්ස මහතා මියයන විට සුප්‍රකට වෙළෙඳ ව්‍යාපාරිකයෙකු ලෙස සිටීමය. පෙරභවය හෙලිකළ අජිත් ද අද ඒ අයුරින්ම වෙළෙඳ ව්‍යාපාරිකයෙකු බවට පත්වී සිටීමය. අජිත්ගේ පුනර්භව තොරතුරු විමර්ශනය කිරීම සඳහා ඔහුගේ බිරිය සහ දරුවන් දෙදෙනා ද ඉදිරිපත් වීම තවත් විශේෂත්වයක් ලෙස හැඳින් විය හැකිය. රජයේ දෙපාර්තමේන්තුවක නිලධාරිණියක් වන අජිත්ගේ බිරියද තම සැමියාගේ පෙරභව මතක සටහන් පිළිබඳව දැඩි විශ්වාසයකින් ඔහුගේ පෙරභව ඥ‌ාතීන් ඇසුරු කිරීමටත් දක්වන්නේ ඉමහත් ආශාවකි.  

 

 

සටහන : 
තිස්ස ජයවර්ධන