පගා මරුවන්ට බිලිවූ අයිවරිකෝස්ට් රාජ්‍යය


 

 

තමන්ට අනුන්ගෙන් ඉටු විය යුතු යුතුකම්වලට වඩා තමන්ගෙන් අනුන්ට ඉටු විය යුතු යුතකම් ගැන සැලකිලිමත් නොවන අවස්ථාවාදී දූෂිත පාලකයින් හා දේශපාලකයින් සිටින රටවල් විනාශ මුඛයට පත් වන අයුරු කාලයක් තිස්සේ මෙම ලිපි පෙළ මගින් මම සවිස්තරාත්මකව උදාහරණ සහිතව කරුණු ඉදිරිපත් කළෙමි. එසේ විස්තර ඉදිරිපත් කරන ලද්දේ විකිපීඩියා දත්ත ජාලයටත් වඩා ඔබ්බට යමිනි. වළ පල්ලට ගිය රටවලට අරුණෝදය උදා වන්නේ යුක්තිය සක්‍රීය වූ දවසකය.   


අද හඳුන්වා දෙනු ලබන්නේ පන් ලක්ෂයකට අධික පිරිසක් ඒඩ්ස් නමැති ලිංගාශ්‍රිත රෝගයට ගොදුරු වී ජීවිතයත් මරණයත් අතර ජීවන සටනක නිරත වී සිටින බටහිර අප්‍රිකාවේ තවත් අවාසනාවන්ත රටක් වූ අයිවරි කෝස්ට් (IVORY COAST) නමැති රාජ්‍යයි. මෙයත් දේශපාලන ඔක්කාරය තුළින් එක තැන පල්වෙන ප්‍රශ්න පිට ප්‍රශ්නවලින් යුත් තවත් රටකි.   
සත පහක වැඩක් නැති පාලකයෝ.   


ගිනියාව, ලයිබේරියාව, මාලි, බර්කිනෝපාසෝ සහ ඝානා යන රටවලට මැදිව අයිවරි කෝස්ට් රට පිහිටා ඇත. විශාලත්වය ව.කි.මී. 3,22,463 ක් හෙවත් ව.සැ. 1,24,504 කි. ජනගහනය කෝටි දෙක හමාරකට ආසන්නය. (2,37,40,424) ලෝකයේ 68 වැනි විශාල රටයි. දිස්ත්‍රික්ක 12 කින් සමන්විතය.   
මෙහි වත්මන් ජනාධිපති ඇලසන් ඔටාරාය. අගමැති අමදෝ කුලිබලිය. පාර්ලිමේන්තුවේ ආසන සංඛ්‍යාව 255කි. මන්ත්‍රී ධුර සංඛ්‍යාව තවත් වැඩි කර ගැනීමට මෙහි ලියාපදිංචි කර ඇති දේශපාලන පක්ෂ 100 කට වැඩි සංඛ්‍යාවක් සටනක නිරත වී සිටී. බොහෝ පක්ෂවලින් රටට සත පහක වැඩක් සිදු නොවේ. ඒවා නමට පමණකි.   
වසරකට කොකෝවා මෙට්‍රික් ටොන් 6,30,000 කට වැඩි ප්‍රමාණයක් නිපදවන රටකි. රබර් ද සරුවට වැවෙන රටකි. කෝපි ද සරුවට වැවේ. කෝපිවලින් ලබා ගන්නා ආදායම ද අති මහත්ය. කුඩා ළමයින් කෝකෝවා සහ කෝපි වගා බිම්වල වහල් සේවයේ නිරත වන තවත් අරාජික රාජ්‍යයකි. මෙහි වහල් සේවයේ නිරත වී සිටින නිරාහාරව දුක් විඳින කිරි කැටි දරු දැරියන්ගේ දුක් අඳෝනාව බලයට පත් වන දේශපාලකයින්ට ඇසෙන්නේ නැත. වසරකට ඒඩ්ස් රෝගීහු 40,000 කට වැඩි පිරිසක් දිවියෙන් සමු ගනිති. ඔවුන් අතර වැඩි පිරිස කාන්තාවන් සහ කුඩා ළමයින්ය. මෙතෙක් බලයට පත් වූ බොහෝ පාලකයින්ගෙන් මේ රටට සත පහක වැඩක් සිදු නොවීය.   


​මේ රටේ බහුතර ජනතාවගේ දෛනික ආදායම ඩොලර් 1.25 ක් පමණ වේ. සෑම දරු උපත් 1000 කට 118කට වැඩි බිළිඳුන් උත්පත්තියේදීම මියයයි. 2016 ජුනි 23 දා නිකුත් කළ බෝර්ගන් ව්‍යාපෘති වාර්තාවෙහි සඳහන් වන්නේ මෙහි දරිද්‍රතාව මුළු ජනගහණයෙන් සියයට 46.3 ක් පමණ වන බවයි. මෙයත් රට අගාදයට ඇද වැටෙද්දි සුර සැප විඳින දේශපාලකයින්ගෙන් පිරුණ රටකි. අප්‍රිකාවේ අඩුම ආයුෂ කාලයක් බුක්ති විඳින පුරවැසියන්ගෙන් සමන්විත රටයි.   

 

අයිවරි ​කෝස්ට්හි දරිද්‍රතාවයෙන් බිඳක්  

 


පන් ලක්ෂයක් අවතැන් වුණ හැටි   


මැලේරියා රෝගය නිසා මෙහි ජනතාව තවමත් දුක් විඳී. අයිවරි කෝස්ට් රටට මායිම් වී ඇති සියලුම රටවල අවාසනාවන්ත තත්ත්වය පිළිබඳ මීට පෙර ලිපි මගින් අනාවරණය කළෙමි. 2002 සහ 2007 වර්ෂවල දී සිවිල් යුද්ධ දෙකක් සිදු වූ දේශයකි. මෙම සිවිල් යුද්ධවලින් අති විශාල පිරිසක් මියගියහ. අවතැන් වූවන්ගේ සංඛ්‍යාව පන් ලක්ෂයකට වැඩිය. මේ යුද්ධ අනුසාරයෙන් බඩ කට පුරවාගත් දේශපාලකයින් මේ රටේ ද සිටී.   


1843 දී ප්‍රංශ අධිරාජ්‍යයට නතු වූ අයිවරි ​කෝස්ට් දේශය නිදහස ලබා ගත්තේ 1960 අගෝස්තු 07 වෙනිදාය. නිදහස ලබාගෙන වසර 60ක් ගත වී ඇතත් රට පෙරට ගිය බවක් පෙනෙන්නට නැත. ප්‍රංශයෙන් නිදහස ලබා ගත්තත් මෙහි රාජ්‍ය භාෂාව ප්‍රංශය. විවිධ භාෂා 78ක් කතා කරන අය සිටින විටින් විට ජන වාර්ගික අර්බුද පවතින නිසා නිතරම නොසන්සුන් වාතාවරණයක් පවතින රටකි. ගිනි අව්වේ කොකෝවා ගස් අතර ජීවන සටනක නිරත වී සිටින මෙහි ලක්ෂ සංඛ්‍යාත ජනතාව චොකලට් වල රසය පවා බුක්ති විඳ නැති අවාසනාවන්තයින්ය. රට ආපස්සට ගොස් ඇත්තේ කොකෝවා අපනයනය කිරීමෙන් ලබන ආදායම පවා සාක්කුවේ දමා ගන්නා දේශපාලකයින්ගෙන් අඩුවක් නැති රාජ්‍යයක් නිසාය.   


අයිවරි කෝස්ට් ගිලගත් පගා මරුවෝ   


පාසල් නොයන ළමයින්ගේ සංඛ්‍යාව අති විශාලය. දෙකෝටි පනස් ලක්ෂයකට වැඩි ජනතාව සඳහා ඇත්තේ රෝහල් 158ක් පමණකි. ඉන් රෝහල් 120ක්ම ගැබිනි මව්වරුන් උදෙසා පමණකි. රෝගීන් ලක්ෂයක් සඳහා වෛද්‍යවරුන් 12 දෙනෙකු වශයෙන් සේවයට යොදවා ඇත. ප්‍රදේශ 26 කට වැඩි සංඛ්‍යාවකට සෞඛ්‍ය, අධ්‍යාපන, විදුලිය, මාර්ග ජලය වැසිකිළි ආදී පහසුකම් නැත. නීතියේ ආධිපත්‍යය බිඳ වැටී ඇති දේශයක් වශයෙන් හැඳින්විය හැක. දේශපාලකයින් සහ රාජ්‍ය නිලධාරීන්ගෙන් බහුතරය පගා මරුවන්ය. මා ඉහතින් සඳහන් කළේ අයිවරි කෝස්ට් හි අවාසනාවන්ත තත්ත්වයෙන් බිඳක් පමණි.   


අයිවරි කෝස්ට් හි මෙතෙක් බලයට පත් වූවන් හා දේශපාලකයින් සිදු කළ වංචා දූෂණ පිළිබඳ විස්තරාත්මක ලිපි පෙළක් වෝල් ස්ට්‍රීට් ජර්නල් (The Wall Street Journal) පත්‍රයේ පළ කර තිබුණි.   


මෙහි හිටපු ජනාධිපති ගග්බෝ (Ghagbo) රාජ්‍ය භාණ්ඩාගාරයෙන් සොරකම් කරන ලද අති විශාල මුදල්වලින් යුරෝ මිලියන 80 ක් ස්විස්ටර්ලන්තයේ ස්විස් බැංකුවල තැන්පත් කළ අයුරු එම මාධ්‍ය වාර්තාවල සඳහන් විය. 2020 ජනවාරි මාසයේ දී ස්විස් බලධාරීන් විසින් ඔහුගේ මෙම මුදල් විශුද්ධිකරණය පිළිබඳ සියලු විස්තර අනාවරණය කරනු ලැබීය. 2010 පැවැත්වූ ජනපතිවරණයෙන් වත්මන් ජනපති ඔටාරා සියයට 84ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන ජයග්‍රහණය කළේය. එහෙත් දූෂිත හිටපු ජනපති ලොරේන්ට් ගග්බෝ ජනපති පදවියෙන් ඉවත් වූයේ නැත. ජයග්‍රහණය කළ ඔටාරා ජනපති පදවියෙහි දිවුරුම් දෙනු ලැබුවේ හිටපු ජනපති ගග්බෝ පදවියෙන් එළවා දමමිනි. ගග්බෝ නමැති මේ හිටපු පාලකයාට එරෙහිව දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා රාශියක් එල්ල විය. ඔහු තම පවුලේ පිරිස් සමග බෙල්ජියමට පැන ගියේය.   


එළවා දැමූ හිටපු දූෂිත ජනපති   


2015 මැතිවරණයේ දී ද ඔටාරා දෙවැනි වරටත් අයිවරි කෝස්ට් හි ජනපති පදවිය දිනා ගත්තේය. ඔහු දූෂණයෙන් තොර පාලකයෙකු බව වාර්තා වී ඇතත් ඔහුගේ පවුලේ කීප දෙනෙකු සහ ඇමැතිවරුන් කීප දෙනෙකු දූෂණ ක්‍රියාවන්හි නිරත වී ඇති බව මාධ්‍ය හෙළි කරන ලදී.   


​මෙහි මැති ඇමැතිවරුන් හා ඉහළම රාජ්‍ය නිලධාරීන් 4684 දෙනෙකුට තම වත්කම් බැරකම් පිළිබඳ වාර්තා ඉදිරිපත් කරන ලෙස ජනපති ඔටාරා විසින් නියෝග කරනු ලැබීය. මේ දක්වා ඉන් අඩක් පමණ තම බැංකු ගිණුම් හා දේපොළ පිළිබඳ වාර්තා ඉදිරිපත් කර ඇත. එහෙත් එම වාර්තා බොහොමයක් නිවැරදි දත්තයන් නොවන බව හෙළි වී තිබේ. බොහෝ මැති ඇමැතිවරුන් ඉදිරිපත් කර ඇත්තේ බොරු වාර්තාය. ඉතිරි පිරිස තවමත් තම දේපොළ පිළිබඳ දත්තයන් සකස් කරමින් සිටී. මේ බොහෝ දෙනා දූෂිතයින් බව මාධ්‍ය අනාවරණය කරයි. ලංකාවේ වගේම අයිවරි කෝස්ට් හි පාලන තන්ත්‍රයෙහි තත්ත්වය මෙබඳුය. 2019 පෙබරවාරි 6 දා සහ 2019 මාර්තු 4 දා මැද පෙරදිග “අල් ජසීරා” රූපවාහිනිය මගින් අයිවරි කෝස්ට් හි හිටපු ජනාධිපති ගග්බෝගේ පැටිකිරිය පිළිබඳ විශේෂ වාර්තාමය වැඩසටහන් දෙකක් විකාශනය කරනු ලැබීය.   
74 හැවිරිදි ඔහු 2000 සිට 2011 දක්වා ජනපති පදවිය දරමින් පවුලේ සාමාජිකයින් සමග එක් වී ජනතා දේපොළ හා රාජ්‍ය මුදල් සොරකම් කළ අයුරු මෙම රූපවාහිනී වැඩසටහන මගින් අපූරුවට විදහා දක්වා තිබුණි. ඔහු මෙහි 4 වෙනි ජනාධිපතිවරයාය.   


හිටපු ජනපතිගේ නැගීම හා බැසීම


ඉතිහාසය පිළිබඳ මහාචාර්යවරයෙකු වූ ඔහු අයිවරි කෝස්ට් රටේ ඉතිහාසය උඩු යටිකරු කළ අයුරු මෙහි රූප රාමු තුළින් ලෝකයා මනා අවබෝධයක් ලබා ගත්හ.   
1982 දී අයිවරි පොපියුලර් ප්‍රන්ට් (IVORY Popular Front) නමින් දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන ඉන් වසර 18 කට පසු ඔහු රාජ්‍ය බලය අල්ලා ගත් අයුරු සහ පවුලේ ඥාතීන් රාශියක් රාජ්‍ය පාලනයට හවුල් කරගත් අයුරු එම රූප රාමු තුළින් පිළිබිඹු විය. 2012 වර්ෂයේ දී ඔහු සහ රටේ මහා භාණ්ඩාගාරය සහ මහ බැංකුව සුද්ද කළ හිටපු මුදල් ඇමැති ජස්ටින් ​කෝන් කටිනන් (Justine Kone Katinan) ඝානාවේ අක්‍රා නුවර දී අත්අඩංගුවට ගනු ලැබීය. රාජ්‍ය බැංකුවලින් අති විශාල ධනස්කන්දයක් සොරකම් කිරීම හිටපු ජනපතිට හා ඔහුගේ මුදල් ඇමතිට එල්ල වූ චෝදනා විය. ඔවුන්ට එරෙහිව ඉහළම රාජ්‍ය නිලධාරීහු 82 දෙනෙක් සාක්ෂි දෙනු ලැබූහ.   


ජනතා ධනය හා දේපොළ සොරකම් කළ හිටපු ජනපති හා මුදල් ඇමැති ටික කලක් රිමාන්ඩ් සිර භාරයේ ගත කළහ. ඔවුන්ට ඇප ලබා දීමෙන් පසු බෙල්ජියමට පළා ගියහ. ඔවුන්ට එරෙහි නඩු පිළිබඳ කිසිදු සඳහනක් නැත. වළ පල්ලට ගිය රටවල දූෂිත දේශපාලකයින්ට එරෙහි නඩුවලට සිදු වන්නේ මෙයයි. මේ රටේ ද සොරකම් කළ පාලකයින් එරට නඩුකාරයින් අල්ලේ නටවන අයුරු පෙන්වා දීමට තවත් උදාහරණ රාශියක් ඉදිරිපත් කළ හැක. අප්‍රිකාවේ පමණක් නොව ආසියාවේ ද බොහෝ රටවල මෙයම සිදු වේ. එවැනි රටවල ජනතාවට අබසරණය.   


ස්විස් බැංකු මගින් පකිස්ථානයේ හිටපු පාලිකා බෙනාසීර් භූතෝ සම්බන්ධයෙන් හෙළි කළ අයුරින්ම අයිවරි කෝස්ට් හි ගග්බෝ ගැන ද බැංකු ගිණුම් පිළිබඳ විස්තර ඉදිරිපත් කළත් ඉන්පසු එම ගිණුම් සහ ගිණුම්වල ඇති මුදල් පිළිබඳ විස්තර ඉදිරිපත් කරන්නේ නැත. බොහෝ රාජ්‍යයන්හි හිටපු පාලකයින් තමන් රජ කළ රටවල් නැත්තමට නැති කොට වෙනත් රටකට පැන ගොස් ස්විස්ටර්ලන්තයෙන් හෝ පැනමා රටෙන් හෝ ෂී සෙල්ස් රාජ්‍යයෙන් මුදල් ගෙන්වා ගෙන එම රටවල සුඛෝපභෝගී දිවි ගෙවන්නේ මහා මන්දිර හා යාන වාහන පමණක් නොව ගුවන් යානා සහ හෙලිකොප්ටර් පවා මිලට ගෙනය. හරියටම පිලිපීනයේ හිටපු ජනපති මාකෝස් වගේය.   


පිලිපීනයේ හිටපු ජනපති මාකෝස් පිලිපීනය වනසා ඇමෙරිකාවේ හවායි දූපතට පැන ගොස් එහි සුර සැප විඳිමින් සිට එම දූපතේදීම අවසන් හුස්ම හෙළු අයුරු ලොවට රහසක් නොවේ. මාකෝස් ගේ බිරිඳ වූ එමිල්ඩා ද දූෂණ ක්‍රියාවලට සම්බන්ධ වූ බව ප්‍රකටය. එමෙන්ම මා මෙවර හඳුන්වා දෙන අයිවරි ​කෝස්ට් රාජ්‍යයේ හිටපු ජනපති ගග්බෝගේ බිරිඳ වූ සිමෝනා ද (Simone) අත්අඩංගුවට ගත් අයුරු 2011 අප්‍රේල් 11 දා රොයිටර් (Reuters) පුවත් වාර්තාවක සඳහන් විය. ඇය රාජ්‍ය දූෂණ ක්‍රියා යන අපරාධ රැසකට සම්බන්ධ බව හෙළි වී තිබේ.   


2011 අප්‍රේල් 18 දා ද නිව්යොර්ක් ටයිම්ස් (The New York Times) පත්‍රයේ පළ වූ වාර්තාවක සිරස්තලයේ සිංහල පරිවර්තනය මුගාබේ සිනහ ගැන්වීම යන්නයි. මේ වාර්තාවෙන් වසර 32 ක් තිස්සේ සිම්බාබ්වේ රට පාලනය කළ 87 හැවිරිදි රොබර්ට් මුගාබේ සහ අයිවරි කෝස්ට් හි හිටපු ජනපති ගග්බෝ අතර පවතින සමානකම් දක්වා තිබුණි.   


ජනපති බිරිඳට වසර 20 ක සිර දඬුවම්   


අයිවරි කෝස්ට් හි වත්මන් ජනපතිවරයා විසින් විවිධ දූෂණ චෝදනා යටතේ වසර 20ක සිර දඬුවමක් විඳිමින් සිටි එහි හිටපු ජනපති ගග්බෝගේ බිරිඳ වූ සිමෝනා ගග්බෝට ජනාධිපති සමාව දී සිරභාරයෙන් නිදහස් කළ අයුරු 2018 අ​ගෝස්තු 7 වෙනි අඟහරුවාදා “ද ගාඩියන්” (The Guardian) පුවත් පත තම ප්‍රධාන සිරස්තල ප්‍රවෘත්තිය තුළින් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කර තිබුණි.   


සිර දඬුවම් විඳිමින් සිටි දේශපාලකයින් හා රාජ්‍ය නිලධාරීන් 800 කට ජනපති සමාව ලබා දුන් අයුරු ද එම වාර්තාවෙහි සඳහන් විය. විනාශ මුඛයට පත් වී ඇති බොහෝ රටවල සිදු වන්නේ මෙවැනි දේශපාලන ගිවිසුම්ය. නැතහොත් ඩීල් (Deal) ය.    


2011 අප්‍රේල් 16 දා “ද නිව්යෝර්ක් ටයිම්ස්” පත්‍රයේ පළ වූ විශේෂ ලිපියක සිරස්තලයේ සිංහල පරිවර්තනය ලෝරන්ට් ගග්බෝගේ මාලිගාව තුළ සංචාරයක් යන්නයි. අයිවරි කෝස්ට්හි හිටපු ජනපති ගග්බෝ මහජන මුදලින් සියලු අංගෝපාංගයන්ගෙන් සමන්විත මාලිගාවක් ඉදි කර ගත් අයුරු සහ එය ඇතුළේ ඇති සුරපුර පිළිබඳ විස්තරයක් එම ලිපියට ඇතුළත්ය.   


බොහෝ ආරාජික රටවල කාලකන්නි පාලකයින් මෙවැනි මන්දිර ඉදිකරගෙන විශ්‍රාම ගිය පසු ද මහජන මුදලින් අති සුඛෝපභෝගී දිවි ගෙවන බව නොරහසකි. ලංකාවේ තත්ත්වය ද මෙය නොවන්නේ ද?   


කොකෝවා, කෝපි රබර් ආදිය සරුවට වැවෙන රත්රන්, දියමන්ති, මැග්නීසියම්, තඹ, රිදී, යකඩ හා ඉන්ධනවලින් සමන්විත පොළොවකින් යුත් අයිවරි කෝස්ට් හෙවත් කෝට් ඩි වෝර් ජනරජය විනාශ මුඛයට පත් වෙමින් පවතින්නේ මෙතෙක් එහි බලයට පත් වූ ඇතැම් දේශපාලකයින්ගේ වරදිනි. ඔවුන්ගේ හොරකම් නිසාය.   


මෙහි වසන පන් ලක්ෂයකට අධික පිරිසක් ඒඩ්ස් මාරයාට ගොදුරු වී ඔවුන්ගේ අවසන් හුස්ම වා තලයට මුසු වෙද්දී හිතක් පපුවක් නැති දේශපාලකයින් තරගයට මුදල් මඩිස්සල ගසන්නේ මහ පොළොව පවා කම්පා කරවමිනි.   


අයිවරි කෝස්ට් රාජ්‍යයේ ලක්ෂ සංඛ්‍යාත දුක් විඳින අසරණ බහුතර ජනතාවගේ දුක් කඳුළුවලින් ගොඩ නැගී ඇති කඳුළු සාගරය ලොව දෙවැනි විශාලතම සාගරය වූ වර්ග සැතපුම් කෝටි හතරකට වඩා විශාල අත්ලාන්තික් සාගරයටත් වඩා විශාලය. අයිවරි කෝස්ට්හි බහුතර ජනතාවගේ දුක් කඳුළු ගලා යන්නේ ඒ අසල පිහිටි අත්ලාන්තික් සාගරයටය. 

 

 

සිරී හීන්පැල්ල   
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි