නොපෙනෙන අමුත්තන් ආගිය නිවසක කතාව


මීගමුව - හලාවත දුම්රිය මාර්ගයත්, මීගමුව කළපුවත් අතර පිහිටි මීගමුව කඩොල්කැලේ ප්‍රදේශයට රෝලන්ඩ් පෙරේරා පදිංචියට ආවේ එක්දහස් නවසිය අසූනවය කාලයේය. ඒ, ආර්. ප්‍රේමද‌ාස මහතා පළාත් පාලන ඇමැතිව සිටි කාලයේ. අක්කර හැත්තෑහතක් පමණ මඩ වගුරක් වූ කඩොල්කැලේ වත්ත ස්වර්ණභූමි ඔප්පු යටතේ බෙද‌ා දුන් අවස්ථාවේය. එහිදී රෝලන්ඩ්ට ද ස්වර්ණභුමි ඔප්පු යටතේ පර්චස් පහක පමණ බිම් කොටසක් ලැබුණ අතර ඔහු එය ගොඩකර නිවසක් ඉදිකර පදිංචි විය.

  
රෝලන්ඩ්ලාගේ නිවසේ පවුල් දෙකක් පදිංචිව සිටියහ. එහි එක් කොටසක රෝලන්ඩ්ගේ බිරිඳ, දරුවන් තිදෙනා සමග රෝලන්ඩ්ගේ මව ද පදිංචිව සිටි අතර අනික් කොටසෙහි රෝලන්ඩ්ගේ නැගණිය, ඇයගේ සැමියා සහ දරුවන් හතර දෙනා පදිංචිව සිටියහ.  


රෝලන්ඩ්ගේ නිවසෙහි පදිංචිව සිටි අයට අද්භූතජනක සිද්ධීන්ට මුහුණපාන්නට වූයේ මේ වසරේ මුල් කාලයේ සිටය.  
මුද්‍රණ කටයුතුවලට සම්බන්ධ ස්වයං රැකියාවක රෝලන්ඩ් නිරතව සිටියේය. රැකියාවේ සමහර ඇණවුම් ලැබුණු විට රාත්‍රිය ඉක්මවා පාන්දර වෙනතුරුම එම කටයුතුවල නිරත වීමට ඔහුට සිදුවිය. නිවස ඉදිරිපිට තාප්පයට සම්බන්ධ වෙන සේ ඇස්බස්ටස් සෙවිලි තහඩුවලින් වහලක් නිර්මාණය කරගත් ඔහු තම ස්වයංරැකියා කටයුතුවල නිරත වූයේ එහි සහ ඉදිරිපස ආලින්දය කොටසේය.  
වසරේ මුල් දිනයක ඔහු හදිසි ඇණවුමකට අදාළ නිර්මාණ කටයුත්තක නිරතව සිටියේය. රාත්‍රියේ දොළහ පසුවිය. රෝලන්ඩ්ට මහන්සියක් සේම නිදිමත ගතියක් ද දැනුණි. බිරිඳ නිදා සිටියේ ඉදිරිපස කාමරයේය.  


‘ශ්‍රීමා මට කෝපි එකක් හදලා දෙනව ද?’ ඔහු ඉදිරිපස කාමරයේ ජනේලයට තට්ටු කරමින් තම බිරිඳට පැවැසීය.  
බිරිඳ අවදිව මුළුතැන්ගෙයි සිට කෝපි කෝප්පය හදන ශබ්දය රෝලන්ඩ්ට ඇසුණි. රෝලන්ඩ් නිවසේ ඉදිරිපස තම වැඩකටයුතුවල නිරත වෙන සෑම විටකම පාහේ ඉදිරිපස දොර ද විවෘතව තැබීම සාමාන්‍යය සිරිතය. කෝපි කෝප්පය රැගෙන බිරිඳ සාලය හරහා නිවසේ ඉදිරිපිටට පැමිණියාය.  
‘කවුද රෝලන්ඩ් ඔයා ළඟ ඉඳල ගියේ?’ කෝපි කෝප්පය ඔහු වෙත ගෙන ආ බිරිඳ ඔහුගෙන් විමසුවාය.  
‘කවුරු එන්නද? කවුරුවත් ආවේ නැහැ.’ එතරම් සැලකිල්ලක් නොමැතිව හෙතෙම පිළිතුරු දුන්නේය.  
‘විකාරද? දැන් මම සාලෙන් එද්දීම ඉස්තෝප්පුවේ පුටුවෙන් නැගිටලා ගිය පිරිමියා කවුද?’ බිරිඳ නැවතත් විමසුවාය.  
රෝලන්ඩ් වැඩ කරමින් සිටියේ නිවසට පිටුපා තාප්පයට හා පාරට මූණලාය.  
කෙනෙකු රෝලන්ඩ්ට නොදැනෙන්නට ආලින්දයේ පුටුවක ඉඳගෙන සිටිනු ඔහුට නොපෙනුණත් එම තැනැත්තා නිවසින් පිටව යා යුත්තේ රෝලන්ඩ් සමීපයෙන්ම මෙන්ම ඔහු ඉදිරියේ ඇති ගේට්ටුවෙන්ය. නමුත් එවැනි කිසිවකු නිවසින් බැහැරව යනු රෝලන්ඩ් දුටුවේ නැත. එසේම ගේට්ටුව ද වැසූ අන්දමින් නොසෙල්වී පවතී.  
මුළු නිවසම උඩු යටිකුරුවෙන්නට පටන් ගත්තේ එදායින් පසුවය.  
තවත් දිනයක රාත්‍රියේ රෝලන්ඩ් එලෙසම හදිසි ඇණවුමක වැඩ නිම කරමින් සිටියේය. එදින ඔහු වැඩකරමින් සිටියේ නිවසට මුහුණලාය.  
එය සිදුවූයේ රාත්‍රී දොළහ පසු වූ විටය. එදින හවස් යාමයේ ඇදහැළුණු අනෝරා වැස්ස නිසා පරිසරයෙහි වූයේ ද දැඩි ශීතලකි.  
 තම කටයුත්තෙහි නිරතව සිටින අතරතුර රෝලන්ඩ් නිකමට මෙන් හිස ඔසවා ඉදිරිපස දොරටුවෙන් නිවසේ අභ්‍යන්තරයට නෙත් හෙළුවේය. දුටු දර්ශනයෙන් රෝලන්ඩ්ගේ සිත ගැස්සී ගියේය.  


උස මහත හැඩි දැඩි පිරිමියෙක් මුළුතැන්ගෙයි දොර උළුවස්සෙන් මුළුතැන්ගෙයට ඇතුළු වනු රෝලන්ඩ් දුටුවේය. රෝලන්ඩ් සාලය හරහා මුළුතැන්ගෙයට ගොස් එහි විදුලි බුබුල දැල්වීය. එහි කිසිම හැලහොල්මනක් නැත. අඩු වශයෙන් මීයෙකු, පූසෙකුගේවත් සද්දයක් නොවීය. මුළුතැන්ගෙයින් බැහැර වීමට ඇති දොරටුවද නිසසලව වැසූසේම පැවතුණි.  
තවත් දිනයකද මෙවැන්නක්ම සිදුවිය.  
රෝලන්ඩ්ලාගේ නිවස ඉදිරිපිටින් යන පටු මාවත තවත් ගෙවල් පහක් පමණ ගිය පසු විශාල තාප්පයකින් අවසන් වෙයි. තාප්පයෙන් එහා පැත්ත විශාල වත්තකි. බොහෝ විට එම මාර්ගය භාවිත කරන්නේ එම පාර දෙපස පදිංචි අය පමණකි.  
එදින රාත්‍රියේ රෝලන්ඩ් වැඩකරමින් සිටින විට තාප්පයෙහි වූ බීරලු අතරින් දුටුවේ උස මහත පිරිමියෙකු පාරේ ගමන් කරන අන්දමය. රෝලන්ඩ්ලාගේ නිවසේ ඉදිරිපිටම වූ පාරේ ලයිට් කණුවේ එළියෙන් ඔහු පුද්ගලයා හොඳින් දුටුවේය. නිල් පාට ඉරි සරමක් ඇඳ සිටි ඔහු එය කොටට ‘වලාපට’ ගසා සිටියේය. උඩුකය වැසී තිබුණේ සුදු පාට අත් දිග මේස් බැනියමකිනි. පුද්ගලයාගේ මුහුණුවර රෝලන්ඩ්ට නුහුරුය. දැක පුරුදු බවක් නැත. ඔහු වහාම නැගිට පටු පාරට පැමිණියේය. ඒ සඳහා ඔහුට තත්පර දහයක්වත් ගත වූයේ නැත. නමුත් මිනිස් පුලුටක්වත් පාරේ දැකගන්නට නොවීය.  
 එයින් පසුව රෝලන්ඩ්ලාගේ නිවසේ රාත්‍රියේ විවිධ ශබ්ද ඇසෙන්නට විය. සමහර දිනක මුළුතැන්ගෙයි කිසිවෙකු ඇවිදින ශබ්දය ඇසේ. වළං පිඟන් එහා මෙහා කරන ශබ්දය ඇසේ. නමුත් මුළුතැන්ගෙය තුළට ගොස් බැලූ විට කිසිවකු දක්නට නොලැබේ.  
 සමහර දිනක රෝලන්ඩ් කාමරයේ නිද‌ා සිටින විට සාලයේ සිට කිසිවෙකු මුළුතැන්ගෙයට යන ශබ්දය ඇසෙයි. නිදන කාමරයෙන් බැලූ විට කිසිවෙකු දක්නට නැත. ඊට පසු දින රාත්‍රියේ ඔහු සියලු දෙනාම නිද‌ාගත් පසු සාලයේ සිට කුස්සියට යන කොටස හරස් වන සේ පුටු කීපයක් හරවා තැබීය. සාලයේ සිට කුස්සියට කිසිවෙකු යනවා නම් ඒවා එහා මෙහා වෙයි. එදින ඔහුට හොඳටම නින්ද ගියේය. ඒ නිසා ශබ්දයක් ඇසුණේ නැත.  
 ගෙදර සියලු දෙනාටම ප්‍රථමයෙන් පාන්දර අවදි වී සාලය​ දෙස බැලූ රෝලන්ඩ් විශ්මයට පත් විය. ඔහු සාලයේ හරස්වෙන සේ තැබු පුටු එහා මෙහා විසිවී තිබුණි. මෙතෙක් මේ සියල්ලම සිදුවූයේ රෝලන්ඩ්ලා පදිංචි කොටසේ පමණි. නංගිලා පදිංචි කොටසේ එවැනි කිසිවක් සිදුවූයේ නැත.  
නමුත් රෝලන්ඩ්ලාගේ නිවසේ හොල්මන් කළ භූතයා නංගිලාගේ ගෙදරට පැමිණීමට වැඩි කාලයක් ගතවූයේ නැත.  
එය සිදුවූයේ පසුගිය ජූනි මාසයේ මුල් කාලයේය.  
එදින රෝලන්ඩ් තම නිවසේ ඉදිරිපස, නිදන කාමරයේ ජනේලය අසල තිබූ පරිගණකය අසල වාඩි වී මුද්‍රණ කටයුත්තකට අද‌ාළ කටයුත්තක් සිදුකරමින් සිටියේය. එම ජනේලය තුළින් තම නිවස පිහිටි වත්තට ඇතුළුවන ගේට්ටුව පෙනෙයි. ඇනෙක්සියක් වැනි ගෙවල් දෙකේ නංගිලා භාවිත කළේ ද එම ගේට්ටුවමය.  
ඒ වෙලාව සවස හයයි තිහට පමණ ඇත.  


ඉදිරිපස ජනේලයෙන් රෝලන්ඩ් දුටුවේ ගේට්ටුව විවෘත කර කිසිවෙකු නංගිලා පදිංචි කොටසට යන අන්දමය. නංගීට තරුණ දූවරුන් ද සිටින නිසා ඔහු වහාම කාමරයෙන් ඉවත්ව නිවස දෙසට ගියේය.  
නංගී, ඇගේ දූවරු සහ ඔහුගේ මව සාලයේ කතා කරමින් සිටියහ.  
‘කවුද දැන් ආවේ?’ රෝලන්ඩ් ඔවුන්ගෙන් විමසීය.  
‘කවුරුවත් නැහැ’ සියලු දෙනාම එකවර පිළිතුරු දුන්හ.

  
රෝලන්ඩ් නිවස පිටුපසට ද ගොස් හොඳින් පරික්ෂා කර බැලීය. නමුත් කිසිවෙකු දක්නට නැත.  
එයට සති කීපයකට පසු නංගිගේ වයස අවුරුදු දහඅටක් පමණ වූ දියණිය නාන කාමරයේ ස්නානය කරමින් සිටින අතර තුර එහි වූ කැඩපත තුළින් බියකරු මුහුණක් දැක ඇත. එයින් දෑස ඉවතට ගෙන බිම බැලූ විට නානකාමරයේ ටයිල් කැබැල්ලක ද එම රුව දිස්වනු දුටු ඇය නාන කටයුතු ද නවතා ඇඟ පිසදාගෙන ද ඇත්තේ ඔවුන්​ගේ නිදන කාමරයට පැමිණීමෙන් පසුවය. දියණියගේ කෑගැසීම ඇසී පැමිණි රෝලන්ඩ්ගේ නිවසේ අයට ද නාන කාමරයේ ටයිල් කැබැල්ලේ තිබූ එම බියකරු මුහුණ දක්නට ලැබී ඇත.  
දිනක් එම දියණිය ඇදේ නිද‌ාගෙන සියදී මෙට්ටය ද සමඟ ඇයව ඇඳෙන් පහළට ඇද දමා තිබුණි.  
නැගණියගේ නිවසේ සිදුවෙන මෙම අද්භූත වැඩ නිසා රෝලන්ඩ්ගේ මව ද වැඩිපුර රැඳී සිටියේ නංගී පදිංචි කොටසේය. දිනක් සවස් යාමයක ඇය සාලයේ පුටුවක ඉඳගෙන සිටින විට කිසිවෙකු ඇයගේ සායෙන් අදිනු ඇයට දැනුණි. ඇය කෑගැසුවාය. රෝලන්ඩ් බිරිඳ මෙන්ම රෝලන්ඩ්ගේ නැගණියට ද මවගේ සාය කිසිවෙකු අදිනු පෙනී ඇත. නමුත් එම ක්‍රියාව කරන කිසිවෙකු ඔවුන් දැක නැත. නමුත් සියලු දෙනාටම එවිට නංගිලාගේ නිදන කාමරයේ දොර ළඟ කිසිවෙකු සිටගෙන සාලය දෙස බලා සිටින අන්දම දැක ඇත.  
මීගමුව අවට පැරැන්නන් පවසන්නේ කාලයකට පෙර මහා වනාන්තරයක් මෙන්ම වගුරක්ව පැවැති මෙම ඉඩම් ‘කිරි මහත්තයා’ නමැති පුද්ගලයකුට අයිතිව තිබූ බවය. ඔහු මහා මසුරු පුද්ගලයකු විය. වගුරට එහායින් ගොඩබිමෙහි වලව්වක් වැනි ඔහුගේ නිවස පිහිටියේය. එම නිවස පිහිටි ඉඩම තුවක්කුවක් ද රැගෙන මුර කළ ඔහු කිසිවෙකුට වත්තට පැමිණීමට ඉඩ නුදුන්නේය. ඔහු තමන්ට වඩා අවුරුදු විස්සකින් බාල ද්‍රවිඩ තරුණියක විවාහ කරගෙන සිටියේය. නමුත් ජීවිතයේ එතරම් කාලයක් ගතකිරීමටම වාසනාව නොලැබූ ඔහු හදිසියේම මියගියේය.  


 එසේම අතීතයේදී ජේමිස් නමැති මිනීමරු පුද්ගලයකු වසර දහතුනක්ම මෙම කඩොල්කැලේ සැඟවී සිට ඇත. එම කාලයේ කඩොල්කැලේ අබිරහස් මරණ කීපයක්ම සිදුවී ඇත.  
රෝලන්ඩ් පෙරේරා ඔහුගේ නිවසේ සිදුවෙන අද්භූත සිදුවීම් පවසන විට ඔහුගේ නිවසේ ඒ සඳහා කිසියම් ආගමික කටයුත්තක් ආරම්භ කර තිබුණි. එම ආගමික කටයුත්ත ආරම්භ කර ටික දිනකින්, කෙසේවත් මැකිය නොහැකි වූ ටයිල් කැටයේ මුහුණ මැකී ගොස් ඇත. නමුත් නිවසේ අනිකුත් අද්භූත දේවල් නතර වූයේ ද යන්න රෝලන්ඩ්ගෙන් ඇසිය යුත්තේ ඉදිරි දිනකය.

 

පීටර් කැනියුට් පෙරේරා