නූඞ්ල්ස් සමග චපාති කන ශ්‍රී ලංකාවේ විදේශ පිළිවෙත


“සුවදේ මට සීතල සුළඟ පවා

හිමි බුදුවුණ බුද්ධ ගයාවේ”


කියමින් සේද මාවතේ “එකම තීරයක් - එකම මාවතක්” හරහා ‘මෝදි’ අගමැති තුමා “මෝදු” කරවීමට අපට හැකිවේ ද?
පසුගියදා ඉන්දීය “වීක්එන්ඞ් එක්ස්ප්‍රස්” පත්‍රයට ලිපියක් සපයන ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයේ දකුණු ආසියා දේශපාලන විශ්ලේෂිකාවක වන පන්තායින් කියා සිටියේ ‘ද ග්‍රේට් බැලන්සින් ගේම්’ හෙවත් ඉන්දීය කලාපයේ දේශපාලන අතුරේ යන මහා ගමනක් ශ්‍රී ලංකාව ආරම්භ කර ඇති බවයි.


කොළඹ සිටින ප්‍රතිසංස්කරණවාදීන්ගේ ප්‍රගති වාර්තාව හොඳ අතට හැරී ඇති නිසා ඉන්දියාව සිය මිත්‍රත්වයේ හස්තය තව තවත් දිගුකොට ඇති බවත් ඇය කියා සිටියාය.


චීන ජනාධිපති ජින් පින් ඩොලර් ටි්‍රලියන 1ක් වියදම් කරමින් ‘එකම මාවතක් - එකම තීරයක්’ යන තේමාව යටතේ රටවල් 60ක් එකට ගැට ගැසීමේ පිරිත් නූලෙන් ලෝක ජනගහණයෙන් බිලියන 4.4ක් එකට යා කරමින් සිටියි. (ලෝකයේම ජනගහනය බිලියන 7 කි.) 


ලෝක ජනගහනයෙන් හරිඅඩකටත් වඩා කොටසකට චීනය කෝච්චියෙන් සහ නැවෙන් කිට්ටුවෙමින් පවතියි.


චීන සේද මාවත ඔස්සේ චීනයේ නගර රුසියාවේ මොස්කව්වලටත් ඉරානයේ ටෙහෙරාන්වලටත් පාකිස්ථානයේ ශ්වේධාර් වරාය හරහා ඉන්දියන් සාගරයටත් යා කිරීමේ අධිවේගී මාර්ග දැනටමත් ඉදිවෙමින් පවතියි.


දැනටමත් චීනයේ සිට ඉරානයට කෝච්චි දුවයි.


අතිතයේ චීන වෙළෙඳ ගනුදෙනු සිදු වූ සේද මාවත නැවත හඳුන්වාදීමට චීනය සැරසෙන්නේ මෙවර රටවල් 29ක රාජ්‍ය නායකයන් හට ආරාධනා කරමින් චීනයේ පැවැත් වූ මෙම ආර්ථික ‘සේද මාවත’ සාදයයි.


ඇමෙරිකානු ඩොලර් 57ක් වියදමින් ඉදිවන චීන - පාකිස්තාන ආර්ථික කොරිඩෝව (China Pakistan Economic Corridor) (CPEC) ඉන්දු - පාකිස්ථාන මතභේදයට තුඩුදී ඇති කාශ්මීර ප්‍රාන්තය හරහා යන බැවින් ඉන්දියාව ඊට අසතුට පළ කර ඇත.


චීන සිමෙන්තියෙන් ආසියාවේ අධිවේගී මාර්ග ඉන්දියාවේ මිතුරු රටවල් හරහා නාගරාජයන් මෙන් ඇදී යන විට චීනය ආසියානු ආක්‍රමණයකට සැරසෙන බවට ඉන්දියාව මැසිවිලි නගයි.


මෝදි අගමැතිතුමා ශ්‍රී ලංකාවට පැමිණ ඉන්දු  - ලංකා සබඳතා බුදු දහමින් කපරාරු කරමින් ‘ශාඛ්‍ය උත්පත්තියේ සිට ධර්මාශෝක’ දක්වා ද එතැනින් නොනැවතී අනගාරික ධර්මපාලතුමා දක්වා ද ‘ධම්මපදය’ උපුටා දක්වමින් බෞද්ධ දර්ශනයත් අවිහිංසාවත් මනසේ සමබරතාවත් ගැන විශිෂ්ට දේශනයක් කිරීමට මෙහිදී මෝදි අගමැතිතුමාට හැකියාව ලැබිණි. 


“බුදුන්ගේ අමා ධර්මේ
නොතේරී දනා මේ
වෙළීලා බැඳී ප්‍රේමේ


විනාශේ උණාවේ....” යනාදී වශයෙන් පික්චර් එකක ජවනිකාවක් සේ එකින් එක විදහා දක්වන ලදී.


බුදුන් උපන් බරණැස හෙවත් අද ‘වාරානාසි’ වශයෙන් හැඳින්වෙන උත්තර් ප්‍රදේශ් පාර්ලිමේන්තු ආසනය නියෝජනය කරන ජනතාවගේ මන්ත්‍රීවරයා වශයෙන් ඉන්දීය ලෝක් සභාවට පැමිණ අගමැති පුටුවේ වාඩි වී නරේන්ද්‍ර මෝදි ලෝක වෙසක් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් මෙහි පැමිණීමේ ගෞරවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිවැරදි මධ්‍යස්ථ විදෙස් පිළිවෙතේ ජයග්‍රහණයකි.


එමෙන්ම ලෝකයේ ශ්‍රේෂ්ඨ බෞදධ උත්සවයට ලෝකයේ ප්‍රබල බෞද්ධ රටවල් වන තායිලන්තය, මියන්මාරය, ලාඕසය, භූතානය, වියට්නාමය, කාම්බෝජයෙන් රාජ්‍ය නායක නියෝජිතයන් නොමැති වීම ද අඩුවක් බව පෙනුණි.


මෝදි සිය කථාව කරගෙන යද්දී ඔහු දෙවන අශෝක අධිරාජ්‍යයා ලෙසින් ද ඇතැම්විට කාටවත් සිතුණට වරදක් නැත.


සිය කථාව හැම පැත්තකින්ම සමබර කරමින් මිහිඳු හිමිට ‘මහින්ද’ ඉදිරියේ මහින්ද නොකියා ‘මහින්ද්‍රා’ යන හින්දි උච්චාරණය ද ‘සංගමිත්ත්‍රා’ යනුවෙන් ද කියුවත් එය කාටවත් දැනුණේ නැත.


බුදුරදුන් චූලෝදර මහෝදර දමනයට කැලණියට වැඩියා සේ මෝදිතුමා බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී මෛත්‍රී, මහින්ද, චන්ද්‍රිකා තිදෙනාම ඉදිරියේ තබා ගෙන දෙසූ බණ තුළ සමගිය, ශාන්තිය, සමාදානය ගැබ් වී තිබෙණු දැකිය හැකිවිය. කෙසේ වුව ද හින්දු දෙපළක් වුවත් බෞද්ධ භූමියේ හිමිකරුවන් වන ඉන්දියාවේත් නේපාලයේත් රාජ්‍ය නායක නායිකාවන් පැමිණීම බෞද්ධයන්ට කරන ලද ගෞරවයකි.


මෝදි පවසන ආකාරයට ‘ග්‍රේට් මාස්ටර්’ හෙවත් ගෞතම බුදුන්ගේ ධර්මයට කාටවත් පිටුපෑ නොහැකිය.


එහෙත් මෝදි වහෙන්ඔරෝ පවසන ‘ද ග්‍රේට් එකොනොමික් ජයන්ට්’ හෙවත් චීනය ආසියාවේ නොම්මර එකේ ආර්ථික බලවතා වශයෙන් ද ලෝකයේ දෙවන ආර්ථික බලවතා වශයෙන් ඇමෙරිකාවට ටිකක් පිටුපසින් සිටියි.


චීනය සහ ඉන්දියාව ලෝකයේ සුපිරි බලය සොයා හඹා යන දැවැන්ත නාගරාජයන් දෙදෙනකු මෙන් එකිනෙකා වෙළාගනිමින්, පිඹිමින් හා උඩ පනිමින් දඟළමින් සිටියි.


කෙසේ වුව ද චීනයේ ආර්ථිකය ඉන්දියාවේ ආර්ථිකය මෙන් පස් ගුණයක් විශාල බව අමතක නොකළ යුතුය.


මෙවන් තත්ත්ව යටතේ ආසියාවේ රටවල් හරහා දැමූ දැවැන්ත ‘වැකියුම් ක්ලීනරයක්’ මෙන් කලාපයේ හැම අස්සක් මුල්ලකම තම අඬු විහිදුවමින් ස්වභාවික සම්පත් සහ බලශක්තිය උකහා ගන්නා චීනය කරන මෙම ‘එකම තීරයක් එකම මාවතක්’ වැඩපිළිවෙළට ඉන්දියාවේ කැමැත්තක් නැත. ඒ නිසා පසුගියදා පැවැති චීන සමුළුව ‘මුළුමනින්ම’ වර්ජනය කිරීමට ඉන්දියාව තීරණය කළහ. ..''One Belt, One Road'' (OBOR) අපට එපා. ඒ මගින් ‘එකක් කඩතොලු වසා ගන්නට ගිහින් මට උණු කාරිය, දෙකක් කඩතොලු හදා දුන්නයි’


චොප් සුයි
චීන - ෂී ආචාරිය, යන්න ඉන්දියාවට කවදා හෝ කීමට සිදු වනු ඇත.


එහෙත් චීනය පවසන්නේ බෝඩරය මුවා වී චපාති, තෝසා සාම්බාර් තනිවම කනවාට වඩා ඉඳහිට ‘නූඞ්ලස්’ සමග ‘චොප් සුයි’ කා ආර්ථිකය ‘ඩෙවිල්’ දැමීමට කාලය එළැඹ  ඇති බවයි.


ශ්‍රී ලංකාවේ විදෙස් පිළිවෙත බණ්ඩාරනායක මැතිනියගේ නොබැඳුණු විදෙස් පිළිවෙත හෙවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පංචශීල ප්‍රතිපත්තිය මත පදනම් වුවත් එය කවදත් බටහිරට ගැති නොවූ ප්‍රතිපත්තියකි. කෙසේ වෙතත් රෙද්ද බැනියම අඳින මහින්දලාට මෛත්‍රීලාට බටහිර කවදත් එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.


අපගේ විදෙස් පිළිවෙත කාටත් ‘හොඳ හිත’ පාන ‘නූඞ්ල්ස් සමග චපාති’ සමයේ බෙදා ගෙන කන චීන - ඉන්දියානු සමබර තරාදියකි.


ඉන්දියාව සහ චීනය දෙදෙනාම අධි ජවසම්පන්න න්‍යෂ්ටික බලයෙන් අඩපණ වූ රටවල් දෙකක් බව අමතක නොකළ යුතුය.


ගාලු මුවදොර පිටියේ බණ්ඩාරනායක පිළිරුව අසලින් චීන ‘ෂැංග්‍රිල්ලා හෝටලය’ සහ ඉන්දීය ‘ටාජ් ටවර්’ ඉන්දීය සාගරය දෙස මුහුණ දා මහා පහන් ටැඹක් සේ චීන වරාය ඉදිවෙන සැටි දොඹකර අතරින් බලා සිටියි.


ආසියාවට විසිවන චීන සල්ලිවලින් චීන ආයෝජනවලින් ඉරානයේ සිට, මියන්මාරයේ සිට පාකිස්තානය දක්වා නව ආර්ථික කලාපයක් හෙවත් ‘එකොනොමික් කොරිඩෝවක්’ ඉදිවෙමින් පවතියි.


හම්බන්තොට සිට කොළඹ හරහා පාකිස්තානයේ ‘ග්වේදාර්’ සහ මියන්මාරය දක්වා වැටෙන ‘නව චීන ආර්ථික මුතු මාලය’ ඉන්දීය සාගරය හරහා එළීම ගැන ඇමෙරිකාවේ කනස්සල්ල ඉන්දියාව හරහා මතුවීම වරදක් නොවන්නේ දැනටමත් ඉන්දියාව සහ ඇමෙරිකාව නව ආරක්ෂක ගිවිසුමකින් බැඳී සිටින බැවිනි.


ඒ අනුව ඕනෑම හදිසි අවශ්‍යතාවකදී ඉන්දියාවේ උතුරු කාශ්මීරයේ සිට දකුණු කන්‍යාකුමාරිය දක්වා ඉන්දීය - ඇමෙරිකානු  යුද අභ්‍යාශ මෙන්ම ඉන්දීය වෙරළ කරා ඇමෙරිකන් යුද නෞකාවලට වරායවල් විවෘතව පවතියි.


බටහිර බලවතුන්ගේ ‘බළලුන් ලවා කොස් ඇට බෑවීමේ’ තරගයට ශ්‍රී ලංකාවේ අප සහභාගි නොවුණත් අද සල්ලි නැති ‘එම්ටි පොකට්’ ක්‍රමයට ආසියාවේ ඉදිරියට යා නොහැකි බව කොයි කවුරුත් තේරුම් ගෙන ඇත. ඒ නිසා චීනයේ ‘යුවාන්’ පිරි ‘ග්‍රේට් වොලට්’ දෙස බලමින් ඉන්දියාවේ සාක්කුවට අත දැමීමටත් ඒ මගින් ඉන්දීය සහ චීන ආයෝජන ලබා ගනිමින් ‘සේද මාවතේ’ හෝ ‘චෙට්ටියාර් සරමි’ මාවතේ හෝ ඉදිරියට රට ගෙන යාම අපගේ දේශපාලන අරමුණ විය යුතුය. එනිසා කලාපයේ බලවතුනට ‘පාට් දමා’ කරන දේශපාලන මෝඩකම නොකිරීමට ජනාධිපතිතුමා වග බලාගෙන ඇත.


ඉන්දියාව කවදත් වැඩ කළේ නේරු - ගාන්ධි - බණ්ඩාරනායක සබඳතා උඩ ගොඩනැඟූ ‘පංචශීල’ ප්‍රතිපත්ති සහ ‘පංචමහා බලවේග’ පෙරටු කරගෙන බව අමතක නොකළ යුතුය. අනෙක කලාපයේ බ්‍රාහ්මණ කුලයේ දේශපාලනය අවසන් වෙමින් පවතියි. එදා බ්‍රාහ්මණ කුලයෙන් පැමිණි නේරු ගාන්ධි, වජ්ජායිලා වෙනුවට ‘චායි වල්ලා’ හෙවත් ගුජරාටියේ තේ විකුණූ කොලුවා රජ වී ඇත. ඔහුගෙන් ඉන්දීය දේශපාලනයට අලුත් වචන කිහිපයක් එකතු විය. ඒවා ‘මොඩිෆයිඞ් බී.ජේ.පී’ (Modified BJP) 'Modifesto'. ‘මොදිෆෙස්ටෝ’ සහ ‘මොඩොනොමික්ස්’ (Modonomics) යන වචනයි. 


මෛත්‍රීලා, මහින්දලා ඉපදුණු ගමේ පංතිය ඉන්දියාවේ ද රජ වී ඇත. ඔවුන් ‘ප්‍රින්ස්ලින්ලා’ ‘කුමාර පැටව්’ නොවන නිසා අලුත් ගමනක අරුණලු කලාපය හරහා වැටී ඇත.