නිදහස දිනා ගන්න උරදුන් විරුවෝ


 

 

ජාතියක් හෝ ස්වෛරී නොවන රටක් හෝ විසින් තම නිදහස හිමිකරගැනීම නිමිති කොටගෙන සමරණු ලබන විශේෂිත දිනය ජාතික දිනය වෙයි.   


1948 දී බ්‍රිතාන්‍ය පාලනයෙන් ලැබූ රටේ අභ්‍යන්තර දේශපාලන ස්වාධීනත්වය ශ්‍රී ලංකාව සමරන විශේෂිත දිනය පෙබරවාරි 4 වැනිද‌ාය.   


අද අප සමරන නිදහසේ සැබෑ අයිතිකරුවන් කළ කැපවීම සහ සැබෑ නිදහසේ අරුත පිළිබඳ කතාකිරීමට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නන්ද ධර්මරත්න මහතා සම්බන්ධ කර ගත්තෙමු.   


“අද අපි 71 වැනි නිදහස් සැමරුමව සූද‌ානම් වෙනවා. ඒත් මේ නිදහස පිටුපස දිගු කතාන්දරයක් තිබෙනවා. විශේෂයෙන්ම නිදහස ලබාගැනීම සඳහා අභියෝගවලට මුහුණ දෙමින් ඇප කැප වී කටයුතු කළ පිරිසක් සිටිනවා.   


මේ නිදහසේ සටන මෙහෙය වූ ඒ පිරිස ජාතික පුනරුද ව්‍යාපාරය හා දේශපාලන ස්වයං පාලනයක් ගෙනයාම සඳහා ගෙනගිය නිදහස් සටන් ව්‍යාපාරය ලෙස බෙදා දක්වන්න පුළුවන්.   


ජාතික බෞද්ධ පුනරුද ව්‍යාපාරය ලෙස හදුන්වා දුන්නේ බ්‍රිතාන්‍ය පාලනය නිසා යටපත් වී ගිය මෙරට සංස්කෘතිය හා සාරධර්ම යළි ඇති කරලීම සඳහා ඇතිකරගෙන තිබූ ජාතික ආගමික ව්‍යාපාරයයි.   


ජාතික නිදහසේ සටන් ව්‍යාපාරයට ජනතා සහය ලබාගැනීමට බෞද්ධ පුනරුද ව්‍යාපාරය ප්‍රමුඛව කටයුතු කර තිබෙනවා. ඒ වගේම බෞද්ධ පුනරුද ව්‍යාපාරය හරහා අධිරාජ්‍යවාදී බටහිර සංස්කෘතිය හෙළා දකිමින් හෙළ සංස්කෘතියේ අගය පහදා දෙමින් දේශීයත්වයට ළැදි පිරිසක් නිර්මාණය කිරීමටත් කටයුතු කර තිබෙනවා. මේ හදවතට ආමන්ත්‍රණය කළ කතාබහ නිසාම හෙළ ජාතිය ගැන කැක්කුමක් ඇති නායකයන් බිහිකිරීමත් ඔවුන් ජාතික සටනට දායක වීමත් සිදුවී තිබෙනවා. මේ ව්‍යාපාර දෙකම එකකට එකක් බද්ධ වී පැවතියා.   


අපි පළමුවෙන්ම ජාතික පුනරුද ව්‍යාපාරය හරහා මෙරටට නිදහස ලබාගැනීම සඳහා සිදු වූ සේවාව කුමක්ද කියා විමසා බලමු.   


මහනුවරින් ආරම්භ වී මාතලේ කේන්ද්‍රකරගෙන විහිදී ගිය ධර්ම ශාස්ත්‍ර ප්‍රබෝධය බෞද්ධ පුනරුද ව්‍යාපාරය සඳහා පසුබිම සකස් කළා. දිවයිනේ ජාතික ශාසනික පුනරුදයක් සඳහා පුරෝගාමී වූයේ මෙම ධර්මශාස්ත්‍ර ප්‍රබෝධය සමඟ බිහි වූ පඬිවරුන්. ඒ අය අතර මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමි, අනගාරික ධර්මපාලතුමා ඇතුළු හේවාවිතාරණ සහෝදරවරු, හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, රත්මලානේ ශ්‍රී ධර්මාලෝක හිමි, බුලත්ගම ධම්මලංකාර හිමි, පියදාස සිරිසේන, බ්‍රහ්මචාරි වලිසිංහ හරිස්චන්ද්‍ර වැනි අය ප්‍රධානයි.   


මෙරට ව්‍යාප්ත වී ගිය බටහිර අනුකාරක සිරිත් විරිත් හා ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරය මෙබදු ජාතික ආගමික ව්‍යාපාරයක් බිහිවීමට හේතුකාරක වුණා. විශේෂයෙන්ම මේ කාලයේ දිවයිනේ මුහුදුබඩ තීරු මෙන්ම දකුණ, බස්නාහිර යන ප්‍රදේශවල ක්‍රිස්තියානි මිෂනාරි ව්‍යාපාරය ශීඝ්‍රයෙන් පැතිරගියා. ඒත් සමඟම බටහිර සිරිත් විරිත් සමාජයේ තව තවත් මුල්බැස ගත්තා.   


මෙම ක්‍රමවේදයන් මැඩලීමයි බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ මූලික අරමුණ වුණේ. ඒ අනුව අධිරාජ්‍යවාදයත් සමඟ පරිහාණියට ගොස් තිබූ ඓතිහාසික බෞද්ධ උරුමයන් පිළිබඳ යළිත් කතාබහ ඇති වන්නේ.   


ඒ අනුව බෞද්ධයන්ට අහිමි වී ගිය අයිතීන් හා වරප්‍රසාද රැසක් නැවත ලබා ගැනීමට හැකියාව ද ලැබුණා. බෞද්ධ කොඩිය නිර්මාණය වෙන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. ඒ වගේම බෞද්ධ ජනතාවට වැදගත් උත්සවයක් වූ වෙසක් උත්සවය සැමරීමත් සිදුවුණා. ඒ වගේම ආර්ථිකමය වශයෙන් මෙරට පැවති ශිල්ප කලා කර්මාන්තවලට හා දේශිීයත්වයට උචිත කර්මාන්තවලටත් ප්‍රමුඛස්ථානය ලැබුණා. එහෙම කීමට හේතු වන්නේ බටහිරකරණයත් සමඟ මෙරට දේශීය කෘෂිකර්මාන්තය බිඳවැටී වතු ආර්ථිකය යයි කරළියට ආවේ.   
ඒත් බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ බලපෑම මත නැවතත් දේශීය කර්මාන්ත නව පුනර්ජීවනයක් ලැබුවා. වාණිජ ආර්ථිකයට අභියෝග කරමින් දේශීය කෘෂි කර්මාන්තය නගා සිටුවීමේ කර්තව්‍යයේ පුරෝගාමියා වූයේ අනගාරික ධර්මපාලතුමා. ඒ අනුව ‘‘සිය රට දේ - සිරි සැපදේ’’ යන ආදර්ශ පාඨය පෙරටු කරගනිමින් 20 වැනි සියවසේ අගභාගය වෙන විට දේශීය කර්මාන්ත රැසක් බිහිවුණා. ඒවා අතර රෙදිපිළි, උළු, ගිනිකූරු හා පිඟන් කර්මාන්ත වැදගත් තැනක් ගත්තා.   


බෞද්ධ පුනරුද ව්‍යාපාරය ආරම්භ වූයේ 19 වැනි සියවසේ දෙවැනි භාගයේදීයි. නිදහස් සටන වඩාත් තීව්‍ර අන්දමින් පටන් ගත්තේ 1915 කැරලි කෝලාහලවලින් පසුව.   


බෞද්ධ පුනරුද ව්‍යාපාරය ඔස්සේ අනගාරික ධර්මපාලතුමා ගෙන ගිය දේශීය ආර්ථික සංකල්පය අද පවත්වාගෙන නොයෑම මෙරටට සිදු වී ඇති බලවත් පාඩුවක්.  
කෙසේ වූවත් බෞද්ධ පුනරුද ව්‍යාපාරයේන් තවත් විශේෂ කර්තව්‍යයක් වූයේ මෙරට බෞද්ධ අධ්‍යාපනය නගා සිටුවීමයි. 19 වැනි ශත වර්ෂයේ දෙවැනි භාගයේ අවසානය දක්වා මෙරට පැවතියේ ක්‍රිස්තියානි මිෂනාරි අධ්‍යාපන රටාවයි. මින් මිදුණු බෞද්ධ අධ්‍යාපනයක් උරුම කර දුන්නේ බෞද්ධ පුනරුද ව්‍යාපාරය. ඒ සඳහා කොළඹ ආනන්ද, ගාල්ලේ මහින්ද, මහනුවර ධර්මරාජ යන විද්‍යාල ඇති කළා.   


මෙම පාසල් පූර්වාදර්ශ කොටගෙන නගරවල ගම්වල තවත් බෞද්ධ පාසල් රාශියක් නිර්මාණය වුණා. මේ බෞද්ධ පාසල් ව්‍යාපාරයටත් අනගාරික ධර්මපාල, මොහොට්ටිවත්තේ ගුණානන්ද, හික්කඩුවේ ශ්‍රී සුමංගල යන ගිහි පැවිදි නායකයන් සමඟ ඇමෙරිකන් ජාතික කර්නල් ස්ටීල් ඕල්කට් තුමා ද අත්වැල් බැඳ ගත්තා.   


ඒ වගේම විද්‍යෝදය සහ විද්‍යාලංකාර වගේ පිරිවෙන් පිහිටුවා පිරිවෙන් අධ්‍යාපනයත් නගා සිටවූවා. මේ මගින් නිදහස් සටනට උරදිය හැකි කීර්තිධර උගතුන් රාශියක් බිහිවුණා.   
ඒ වගේම වර්තමානයේ විශ්වවිද්‍යාල බවට පත්ව ඇති විද්‍යෝදය (ශ්‍රී ජයවර්ධනපුර), විද්‍යාලංකාර (කැලණිය) උසස් අධ්‍යාපනය සඳහා ජාතික සේවයක් සලසන ස්ථාන බවට පත්වුණා.   


මීට අමතරව දේශීය පුවත්පත් කලාව ආරම්භ කිරීමටත් බෞද්ධ පුනරුද ව්‍යාපාරය මූලික වුණා. දේශිීය උගතුන්ට ඕල්කට් තුමා, බ්ලැටැට්ස්කි මැතිනිය විදේශීය උගතුන් එකතු කිරීම තුළින් පුනරුද ව්‍යාපාරය තව තවත් සාර්ථක වුණා. කාලයක් පුරාවට මේ ව්‍යාපාරය සමාජගත කළ අපේකම, අපේ රට, අපේ ආගම, අපේ සංස්කෘතිය අපේ ආර්ථික රටාව යන ආකල්ප නිදහස් සටන් ව්‍යාපාරයටද මූලික අඩිතාලම වුණා.   


20 වැනි සියවස ආරම්භයත් සමඟ බෞද්ධ පුනරුද ව්‍යාපාරය විවිධ කොටස් ලෙස බෙදී ගියා. මේ සංවිධානවල සාමාජිකත්වය දැරූ දේශීයත්වය අගය කළ පිරිස අධිරාජ්‍ය විරෝධී ආකල්පයකින් කටයුතු කිරීම පුනරුද ව්‍යාපාරයේ තවත් ලක්‍ෂණයක්. 

 
ඒ අනුව අමද්‍යප ව්‍යාපාරය හා ලංකා සමාජ ප්‍රතිසංස්කරණ සංගමය එහි ප්‍රධාන කොට සලකන්න පුළුවන්. මෙහිදී බෞද්ධ පුනරුද ව්‍යාපාරයේ ප්‍රතිඵලයක් වශයෙන් බිහිවූ අමද්‍යප ව්‍යාපාරය මෙරට අධිරාජ්‍යවාදය විසින් ඇති කළ සුරාබදු ප්‍රතිපත්තියට එරෙහිව කටයුතු කළා. අමද්‍යප ව්‍යාපාරය පිහිටුවා 10 වසරක් ගතවෙන විට එය ලංකාවේ පුළුල් ව්‍යාපාරයක් බවට පත්ව තිබුණා.   


මේ හැම කෙනාගෙම අරමුණ වුණේ ස්වයං පාලනයක් දිනාගැනීම. 1915 මුල් භාගයේදී අමද්‍යප සංගමයේ රැස්වීම් 25ක් ද අමද්‍යප කටයුතු පිළිබඳ දේශනා 260ට අධික ප්‍රමාණයක් ද පවත්වා තිබෙනවා. ඒ වගේම අමද්‍යප සංගමයේ ශාඛා, සංගම් 24,000ට වඩා වැඩි සංඛ්‍යාවක් නිර්මාණය වී තිබෙනවා.   


20 වැනි සියවස මුල්භාගය වෙනවිට මෙරට දේශීය ජනතාව නිදහස් සටන් ව්‍යාපාරයට දායක කර ගැනීමට මූලික වූ තෝතැන්නක් වුණේ මේ අමද්‍යප ව්‍යාපාරයයි.  
ලංකා ජාතික සංගමය පිහිටුවා ගැනීමට පුරෝගාමියා වූයේ ප්‍රකට දානපතියෙකු වූ (කොළඹ මහ රෝහලේ නිර්මාතෘ) සී.එච්. ද සොයිසා මැතිතුමා. ලංකා ජාතික සංගමය හරහා ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සාමාජික සංඛ්‍යාව වැඩි කිරීම, සිවිල් සේවාව සඳහා ලාංකිකයන් වැඩි වශයෙන් පත්කිරීම, දුම්රිය මාර්ග මුහුදුබඩ හා උතුරු ප්‍රදේශ දක්වා ව්‍යාප්ත කිරීම ආදී අරමුණුවලට ළඟාවීමට බලපෑම් කර තිබෙනවා.   


මීට අමතරව ඩී.එම්. සෙනවිරත්නගේ සභාපතීත්වයෙන් හා අර්නස්ට් කොරයාගේ ලේඛකත්වයෙන් ආරම්භ කළ හලාවත සංගමය මගින් මුඩු ඉඩම් පනතට විරුද්ධව ක්‍රියා කරනු ලැබුවා. ඒ වගේම මෙරට පැවති පැරණි ගම්සභා ක්‍රමය පූර්වාදර්ශයට ගනිමින් මෙරට ව්‍යවස්ථාද‌ායකයේ වෙනසක් කිරීමටත් බලපෑම් කර තිබෙනවා. ඒ වගේම ව්‍යවස්ථාදායක සභාවට ඡන්දයෙන් නියෝජිතයන් පත්කළ යුතු බවට මුල්වරට යෝජනා කර තිබෙන්නෙත් හලාවත සංගමයයි.   


මීළඟ වැදගත් ආයතනය වනුයේ පහතරට නිෂ්පාදන සංගමය. පහතරට වැවිලි ව්‍යාපාරිකයින් විසින් පිහිටුවාගත් මෙහි ප්‍රථම ලේකම්වරයා වූයේ හෙන්රි ද මෙල් මහතායි. මුල් කාලයේ ව්‍යාපාරික අරමුණු සඳහා ක්‍රියාකළ මෙම සංවිධානය, පසුකාලයේ නිදහස් සටනට මූලිකත්වය ලබාදුන්නා.   


මෙම සංවිධාන පූර්වාදර්ශයට ගනිමින් දෙමළ නායකයින් විසින් යාපනය සංගමය පිහිටුවා ගත්තා.   


එහි ඇම්.ඒ. අරුලානන්දන් ආරම්භක ලේකම් වුණා. මෙම සංවිධානයත් ආරම්භයේදී ආර්ථික අරමුණු පෙරදැරිව කටයුතු කළත් පසුකාලයේදී නිදහස් සටන් ව්‍යාපාරයට එකතුවුණා.   


මේ සියලු සංවිධානවල නායකයන් එකතු වෙලා එවකට බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර ධුරය හෙබවූ හෙන්රි මැකලම් ආණ්ඩුකාරතුමාට සංදේශයක් ඉදිරිපත් කළා. එහි අන්තර්ගත වුණේ ලාංකික ජනතාවගේ දේශපාලන අයිතිවාසිකම් ඉල්ලා සිටීම. ඒ වගේම නගර ගම් දනව් කරා ගොස් ජනතාව දැනුම්වත් කිරීමත් රැස්වීම්වලදී සිය මව් භාෂාව වූ සිංහල භාෂාවෙන් ඇමතීමත් සිදු කළා.   


එහි ප්‍රතිඵලයක් වශයෙන් ලංකා ප්‍රතිසංස්කරණ සංගමය සහ ලංකා ජාතික සංගමය පුරෝගාමී වී මහජනතාවගේ සහභාගිත්වයෙන් යුක්ත වූ මහජන සභා නම් නව සංවිධානයක් පිහිටුවා ගත්තා. 1919 කොළඹ ප්‍රථම මහජන සභාව පැවැත්වූවා. එෆ්.ආර්. සේනානායක මහතා එහි ප්‍රථම සභාපති වූවා. පියදාස සිරිසේන, වික්‍රම ආරච්චි වෙදරාළහාමි, බුද්ධදාස, ඒබ්‍රහම් සිල්වා, මීරිගම ඒ.පී. ගුණරත්න, තෙල්වත්තේ ඒ.එ්. ද සිල්වා, බී. අලගියවන්න, සියනෑ කෝරලයේ මුහන්දිරම් යන පිරිස එහි වැදගත් තැනක් ගත්තා.   
ආරම්භයේ සිංහල සම්මේලනය ලෙස හඳුන්වා දුන් ආයතනයට මහජන සභා යන නම ලබාදුන්නේ ද පියදාස සිරි​සේනයන් විසිනි.   


මෙහි ශාඛාවන් රැසක් ද දිවයිනේ නන්දෙස පිහිටවූවා. හාපිටිගම, රයිගම තුන්කෝරල, මහනුවර, රත්නපුර, ගාල්ල, මාතර, පානදුර, කළුතර, මොරටුව යන ස්ථානවල පිහිටුවූ ශාඛා වඩාත් කැපී පෙනුණා.   


ඒ වගේම මෙකල බිහිවූ සිංහල බෞද්ධයා, සිංහල ජාතිය, සරසවි සඳරැස, දිනරැස යන බෞද්ධ පුවත්පත් ද විශාල සේවයක් කර තිබෙනවා.   


ක්‍රි.ව. 1918 දී තරුණ ලංකා සංගමය පිහිටවීම සිදුවුණා. ඉන් පෙර නායකයන් පෙන්වාදුන් අධිරාජ්‍යවාදයට එරෙහි ක්‍රියාවල ප්‍රගතිශීලි වර්ධනය වීමක් සිදුවුණා. ඒ.ඊ. ගුණසිංහගේ ප්‍රධානත්වයෙන් තරුණ ලංකා සංගමය ආරම්භ වූයේ ඒ අනුවයි.   


තනි තනිව සටන් කර මෙරටට නිදහස ලබාගත නොහැකි බව තේරුම්ගත් නායකයෝ ක්‍රියාකාරී දේශපාලන සංවිධානයක් පිහිටුවීම සඳහා පොදු එකඟතාවකට ආවා. එ් අනුව 1919 සැප්තැම්බර් 11 වැනි දින ලංකා ජාතික සංගමය පිහිටුවා ගත්තා.   


එහි ප්‍රථම සභාපති වූයේ ලංකා ප්‍රතිසංස්කරණ සංගමයේ පුරෝගාමී නායකයා වූ දෙමළ ජාතික ශ්‍රීමත් පොන්නම්බලම් අරුණාචලම්තුමා. ලාංකීය නායකයන් එතුමාගේ සභාපතීත්වය පිළිගැනීම එකල පැවති ජාතික සමගියට උදාහරණයක්. එෆ්.ආර්. සේනානායක, සර් පොන්නම්බලම් රාමනාදන්, ඩී.එස්. සේනානායක, සර්. ජේම්ස් පීරිස්, ඒ.ටී. රත්නම්, ඊ.ඩබ්ලිව් පෙරේරා, එෆ්.ආර්. සේනානායක, ටී.බී. ජායා යන සිංහල, මුස්ලිම්, දෙමළ නායකයින් ජාතික හා ආගමික සංහිඳියාවෙන් යුතුව අපි ශ්‍රී ලාංකිකයෝ කියන හැඟීමෙන් කටයුතු කරලයි ලේ සෙලවීමකින් තොරව 1948 නිදහස ලබාගත්තේ. 1948 පෙබරවාරි 04 අපට අධිරාජ්‍යවාදයෙන් නිදහස ලැබුණා වගේම එය මෙරට ජාතික සමගියේ සංකේතයක් ලෙසත් හඳුන්වන්න පුළුවන්.

 

 

 

සටහන - කුමාරි හේරත්