නායයාමට බිලිවූ අසරණ දරු පවුල


අනතුරෙන් මියගිය තිදෙනාගේ මෘතදේහයන් අවසන් කටයුතු සඳහා සූදානම් කර තිබූ අයුරු.

 

2019 නොවැම්බර් 30 වැනි දින පෙ.ව. 10 ට පමණ ඇරඹුණු ඊසාන දිග මෝසම් වර්ෂාව දිවයිනේ සතර දෙස ජනතාවටම මහත් පීඩාවන් ගෙනදෙමින් ක්‍රමානුකූලව මොහොතින් මොහොත වර්ධනය වෙමින් රාත්‍රිය දක්වා එක දිගට ඇදහැලිණි. ඉතා දරුණු ලෙස වර්ෂාව කඩා වැටීම නිසා කඳුකරයේ ජනතාව මහත් භීතියට පත් වූයේ ඉදිරි පැය කුමකින් කුමක් වේදැයි මහත් වූ සැකයෙනි. වැහි අඳුර සමග වෙනදාට වඩා එදින රාත්‍රිය කඳුකරය පුරා පැතිර ගියේ මහ වැසි සමගය. 


ප.ව. 6.30 ත් 7.00 අතර කාලයේ දී කඳුකරයම කම්පනයට පත් කරමින් වලපනේ සිට පදියපැලැල්ල දක්වා දිවෙන මාර්ගය වලපනේ මල්පත්තාව ගම්මානයට ඉහළින් පිහිටි මල්පත්තාව ගල් කන්දේ කොටසක් කිසිදු අනුකම්පාවකින් තොරව සිව් දෙනෙකුගේ ජීවිත බිලිගනිමින් අඩි 200 ක් පමණ ඈතට ඇදී ගොස් නිහඬ විය. 


වලපනේ, ආඳාවල 513 ඒ ග්‍රාම නිලධාරි කොට්ඨාසයේ නිවසක පදිංචිව සිටි ජී.ජී. රන්බණ්ඩා, (50 වියැති) ද ඔහුගේ බිරිඳ වූ 48 වියැති කේ.ජී. බිසෝමැණිකා ද ඔවුන්ගේ පුතු වූ 15 වියැති කලණ පැතුම් යන පාසල් සිසුවා ද, රංබණ්ඩා මහතාගේ සොයුරෙකුගේ දියණියක වූ අවු 18 ක් වියැති දිනේෂා කරුණාරත්න යන අය ද එම මහා පස් කන්දට යටව මියගියහ. 


සිද්ධිය සැලවූ වහාම නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා ප්‍රධාන වගකිව යුතු අය මැදිහත්වීම මත ශ්‍රී ලංකා යුද හමුදාවේ තුන්වැනි සිංහ රෙජිමේන්තුවේ නුවරඑළිය අණදෙන නිලධාරි අසිත රණතිලක මහතා ප්‍රධාන 50 දෙනකුගෙන් යුතු භට කණ්ඩායමක් හා පොලීසිය ද අවට ගම්වාසීන් ද පස්යට සැඟව ගිය සිරුරු සොයන්නට වූහ. ඉතා අවදානම් වූ ක්‍රියාවලියක යෙදුණු සහන කණ්ඩායම අනතුරෙන් මියගිය කේ.ජී. බිසෝමැණිකා යන අයගේ හා දිනේෂා කරුණාරත්න මෙනවියගේ නිසල වූ සිරුරු දෙක ඉතා අපහසුවෙන් යුතුව සොයා ගනු ලැබීය. පෙ.ව. 9.30 වෙන විට ගෘහ මූලිකයා වූ ජී.ජී. රන්බණ්ඩා මහතාගේ සිරුර ද සොයා ගැනුමට සහන කණ්ඩායමට හැකි විය. ඒත් පහළොස් වියැති කලණ පැතුම් යන සිසුවාගේ සිරුර සොයා ගැනීමට දෙසැම්බර් පළවෙනි දිනද පස්වරුව දක්වා නොහැකි වූ බව කිව යුතුය. 


සොයා ගනු ලැබූ මළසිරුරු තුන පිළිබඳව වලපනේ වැඩ බලන මහේස්ත්‍රාත් භද්‍රා සෙනෙවිරත්න මහත්මිය සිද්ධිය වූ ස්ථානයට ගොස් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කොට වලපනේ රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයාගෙන් අදාළ මළසිරුරු පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාගන්නා ලෙස පොලීසියට උපදෙස් දී ඇත. ඒ අනුව වලපනේ පොලීසියේ නිලධාරින් විසින් වලපනේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරි මහින්ද ජයසිංහ මහතා වෙත මළසිරුරු යොමු කර ඒ මහතාගෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාගන්නා ලදී. පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අනුව ‘හදිසියේ ඇති වූ හෘද ස්පන්දනය අක්‍රීයවීම හා ජීවිත හානි සිදු කරන ශරීරවලට සිදු වූ බරපතළ තුවාල නිසා සිදු වූ මරණ’ බවට වාර්තා කොට ඇත. ඒ අනුව අදාළ මෘතදේහයන් පවුලේ ඥාතීන් වෙත 2019-12-01 දින පස්වරුවේ භාරදීමට කටයුතු කළ වලපනේ වැඩ බලන මහේස්ත්‍රාත්තුමිය සිරුරු 2019-12-02 වැනි දින මල්පත්තාව පොදු සුසාන භුමියේ දී භූමිදාන කරන ලෙස නියෝග කර ඇත. 

 

අනතුරට හේතු විය හැකි යැයි විශ්වාස කරන ගල් කොරිය.

මියගිය අය විසූ නිවස තිබූ ස්ථානය කොටු කර දක්වා ඇත.

 


එම ශෝකජනක කටයුත්ත එසේ සිදුවුව ද 2019-12-02 වැනි දින සිට අනතුරෙන් අතුරුදහන් වූ කළණ පැතුම් සිසුවාගේ සිරුර සොයා ගැනීමට සහන කණ්ඩායම 2019-12-04 පෙරවරු දක්වා කටයුතු කළ බව 3 වැනි සිංහ රෙජිමේන්තුවේ නුවරඑළිය අණදෙන නිලධාරි අසිත රණතිලක මහතා සහන කටයුතුවල යෙදී සිටිය දී සඳහන් කර සිටියේ එදින පෙරවරුවේ ද අධික වර්ෂාව පතිතවීම නිසා මෙහෙයවීම් කටයුතු කොතෙක් දුරට සාර්ථක වේදැයි සැක සහිත බවත්, වගකිව යුතු අයගෙන් උපදෙස් ලැබෙනතුරු මෙහෙයුම් සිදුකරන බවත්ය. 


මෙම කනගාටුදායි සිද්ධියට ප්‍රධාන හේතුව මල්පත්තාව ගම්මානයේ නායගිය ස්ථානයට ආසන්නයේ පෞද්ගලික ආයතනයක් විසින් පවත්වාගෙන ගිය ගල් කොරියක් නිසා සිදු වූ බව කියමින් මල්පත්තාව ආසන්න ගම්මානවලට අයත් ආඳාවල, මුංවත්ත, විරුගම්මානය, නාරංතලාව හා ගල්ගොඩ යන ගම්මානවල පිරිස් එකතුව වලපනේ උතුර ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ගලගොඩ විහාරාධිපති මයිලගස්තැන්නේ ධම්මානන්ද හිමියන් ප්‍රධාන කොට ගෙන 2019-12-03 වැනි දින දවස පුරා කීර්ති බණඩාර පුර මාර්ගය අසල උද්ඝෝෂණයක නියුක්ත වූයේ ගල්කොරියේ ක්‍රියාවන් නවතා දමා ගල්වළ වසා දමන ලෙසය. මෙම ගල්වළ තමන්ගේ ජීවිතවලට හානි ගෙන දෙන අයුරින් ගල් කැඩීම හා බෝර දැමීම නිසා අවට නිවාසවල බිත්ති පුපුරා ගොස් ඇති බව විරුගම්මානයේ පදිංචිකරුවෙකු වූ ඩී.එම්. කරුණාරත්න සඳහන් කර සිටියේය. ඒ කෙසේ වුවත් මෙම ගල්කොරිය සම්බන්ධව මීට පෙරාතුව වගකිව යුතු අයට ලිඛිතව දැන්වූ නමුත් එයින් කිසිදු ප්‍රතිඵලයක් අැති නොවුණු බවත් අවසානයේ දී අවුරුදු 15ක් වයසැති අහිංසකයෙකුගේ සිරුර ද දැක බලා ගැනීමට නොහැකි වූ තැනකට තමන් හා ප්‍රදේශවාසීන් පත් වූ බවත් තමන් වහන්සේ මෙම ගැමියන් සමග මේ විරෝධතාවට එක්ව සිටින්නේ එම ගැමියන් විසින් තමන්ට බත් පත සපයා දෙන දායකයින් නිසා බවත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම තමාගේ වගකීමක් වන බවත්, මයිලගස්තැන්නේ ධම්මානන්ද හිමියෝ සඳහන් කර සිටියහ. 
එම ප්‍රදේශවාසින්ගේ විරෝධතාව පිළිබඳව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාගෙන් විමසා සිටියදී කරුණු දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා 2019-12-02 වැනිදාතමින් බදුල්ල භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කැණීම් ඉංජිනේරු මහතා වෙත ලිපියක් මගින් ප්‍රදේශවාසීන්ගේ විරෝධතාව ඉදිරිපත් කළ බවය. 

 

අනතුරෙන් මියගිය තිදෙනාගේ මෘතදේහයන් අවසන් කටයුතු සඳහා සූදානම් කර තිබූ අයුරු.

ගල්වළට විරෝධය පළ කරමින් කීර්තිබණ්ඩාරපුර මාර්ගය අසල විරෝධතාවට එක් වූ ජනතාව සමග විහාරාධිපති.

 


අත්‍යවශ්‍ය කරුණක් ලෙස සැලකිල්ලට ගනිමින් ඉහළ තාක්ෂණික ක්‍රමවේදයන් භාවිත කරමින් නැවත වරක් මෙම ගල්කොරිය පරීක්ෂණයක් සිදු කරන ලෙස ඉල්ලීමක් කළ බවද කීය. කෙසේ වුවත් 2019-12-04 පෙරවරුවේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් වලපනේ දී පැවැති සාකච්ඡාවකින් අනතුරුව අදාළ පෞද්ගලික ගල්වළ මුළුමනින්ම වසා දැමීමටත් අතුරුදහන් වූ සිසුවාගේ සිරුර සෙවීමද අතහැර දැමීමටත් තීරණය කළ බව ද දිස්ත්‍රික් ලේකම්වරයා කරුණු දක්වමින් කියා සිටියේය. ඒ සමගම මල්පත්තාව නායයෑමට ලක්වූ ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් 23 ක් පදිංචි ස්ථාන ජාතික ගොඩනැගිලි පර් යේෂණ ආයතනයට යොමු කර ඒ ආයතනයෙන් ලබාදෙන නිර්දේශ අනුව කටයුතු කිරීමට තීරණය ගනු ලැබීම ද දිස්ත්‍රික් ලේකම්වරයා තව දුරටත් පවසා සිටියේය. 


මෙම සිදු වූ අවාසනාවන්ත සිද්ධිය සම්බන්ධව නුවරඑළිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අයි. බී. ටී. සුගතපාල මහතා ප්‍රධාන වලපනේ සහකාර පොලිස් අධිකාරි සිරිවර්ධන, වලපනේ මූලස්ථාන පොලිස් පරික්ෂක එම්.බී. හෙට්ටිආරච්චි යන මහතුන් ප්‍රධාන පොලිස් නිලධාරින් ද, වලපනේ ප්‍රාදේශීය ලේකම් සාලිය බණ්ඩාර මහතා ඇතුළු නිලධාරින් මෙන්ම ගම්වාසීන් ද දැක්වූ අනූපමේය මෙහෙවර පිළිබඳව ද ඇගයීමක් කළ යුතුව ඇත.

 

 

සටහන හා ඡායාරූප : නුවරඑළිය 
ෂෙල්ටන් හෙට්ටිආරච්චි