ධර්මරාජ විදුහල අරඹන්න ගිහින් නිලතල අහිමිකරගත් පුංචිරාල කෝරළේ


සෙංකඩගලපුර කිරිමුහුදේ දියරැලි සිපගෙන හමන මද සුළඟින් නාථ දේවාලයට නොදුරු බිමේ බෝතුරුවල බෝපත් සැලෙන්නේ යම් ලතාවකටය. රැයේ පායා ඇති සඳේ සඳරැස් බෝතුරුවල බෝපත් අතරින් බිමට වැටී ඇත්තේ සුන්දර දසුනක් මවමිනි. රැයේ මැදියමද පසුවී ගොස් හමාරය. කාටත් හොරෙන් චමත්කාර දසුන් මැවෙනා පරිසරයේ ඇත්තේ දැඩි නිහඬතාවකි. හිටි හැටියේ ඇත්ගොව්වන් කීප දෙනෙකු අලි ඇතුන් කීප දෙනෙකු දේවාලය අසලට කැටුව පැමිණෙන්නේ නිහඬතාව රැඳෙන්නට තව දුරටත් ඉඩක් නොතබමිනි. උපකරණ රැගත් පිරිසක්ද කැටුව ප්‍රධානියෙක් පැමිණෙන්නේද ඒ අතරේදීමය.


ඒ 1887 ජූනි මාසයේ එක් දිනෙක දළදා මාලිගය ඉදිරිපසින් වූ නාථ දේවාලයට යාබද බිමේ සිදුවූ සිදු විය නොහැකිව තිබූ දෙයකි. ප්‍රධානියා ඇත්ගොව්වන්ට අණ කරන්නේ අලි ඇතුන් යොදවා පසෙක තිබෙන සුවිසල් බෝරුක උගුල්ලා බිම හෙළන්නටය. ඇත් ගොව්වන් සිය ප්‍රධානියාගේ අණට අවනත වෙමින් බෝරුක උගුල්ලා බිම පතිත කරවන්නේ හෝරා දෙක තුනක් යන්නටත් මත්තෙන්ය. ප්‍රධානියාගේ ඊළඟ අණ නිකුත් වන්නේ පොරෝ පිහි අතැතිව සිටි පිරිසටය. අණින් කියැවෙන්නේ බිම පතිත වී ඇති බෝරුකේ කඳ කෑලි කෑලිවලට කපා වෙන්කරන ලෙසටය. තවත් මොහොතකදී අලි ඇතුන් කඳේ කුට්ටි එක් පසෙක ගොඩකර දමන්නේ බෝගස තිබූ තැන සලකුණක්වත් ඉතිරි නොකරවමිනි.


එදිනද උඩවත්ත කැලේ සිය වාසභවනය කරගෙන සිටින කුරුලු කිරිල්ලියෝ කිචි බිචි නද දෙමින් ගීත ගයන්නට පටන්ගෙන තිබුණේ හිරු උදාවෙන්නට පෙර සිටමය. වෙනදා උඩවත්ත කැලේ දෙසින් හිරු මුදුන් වෙද්දී නාථ දේවාලයට යාබද බිමේ සුවිසල් බෝරුකේ බෝපත්ද හිරු රැසින් නැහැවී යයි. එහෙත් හිරු රැසින් නැහැ වෙන්නට බෝ ගසක් එහි නැත. බෝගස තිබූ තැන දක්නට ඇත්තේ ගොඩනැගිල්ලක් තනන්නට සැකසූ බිමෙකි.


නාථ දේවාලයට යාබද බිමේ එක් පසෙක ඇත්තේ සුදු ජාතිකයන් සිංහල බෞද්ධයන්ගේ විරෝධතා නොතකා සෑදූ ක්‍රිස්තියානි පල්ලියයි. පල්ලියට උදෑසනම රැස් වූ පිරිස් කසු කුසු ගාමින් මුමුණමින් සිටින්නේ රැයේ හොර රහසේ කපා දමා ඇති බෝරුක පිළිබඳ විස්තර විය යුතුය. නාථ දේවාලයට තවත් පසෙකින් තිබෙන ශ්‍රී වික්‍රම රාජසිංහ රජු වාසස්ථානය කරගෙන සිටි මාලිගයේ ලැගුම්ගෙන සිටි සුද්දන්ද කපා දමා ඇති බෝරුකේ විස්තර කතා කරනවා විය හැකිය. බෝගසක් කපා දමනවා තබා බිමට වැටී තිබෙන බෝපතක්වත් සිංහල බෞද්ධයන් නොපාගන බව සුදුජාතිකයන් දැනගෙන සිටි දෙයක් විය.


බෝරුක කප්පවා තිබුණේ පොලිසියේ මුලාදෑනිවරයෙකු හා යටිනුවර ගඟවට පළාතේ කෝරළේ වන වඩුගොඩපිටියේ මුහන්දිරමලාගේ පුංචිරාල මහතා විසිනි. ඔහු මහනුවර පළාතේ සිටි ඉංග්‍රීසි ජාතිකයන්ගේත් සිංහල බෞද්ධයන්ගේත් අන්අයගේත් සැලකිල්ලට හා ගෞරවයට ලක් වී සිටි අයෙකි. එසේම මහනුවර නාථ දේවාලයේ භාරකාරත්වයක් උසුලන නිසා දේවාශිර්වාදය පතා නාථ දේවාලයට එන්නන්ගේද අවධානයට ලක් වී සිටි අයෙකි.


ක්‍රිස්තියානි පල්ලිය අසල තිබෙන බෝරුක කැපුවේ තමනට යම් එරෙහිතාවකට බව ඉංග්‍රීසීහු තේරුම් ගෙන සිටියහ. නාථ දේවාලයේ භාරකරත්වයක් දරන්නෙක්ම බෝරුක කපා දමා ඇති නිසා එම ක්‍රියාවට එරෙහිව ක්‍රියාමාර්ගයක් ගන්නටද ඉංග්‍රීසින්ට නොහැකිව තිබිණ. බෝරුක කැප්පවූ පුංචිරාල මහතාණන්ට කුමන හෝ දඬුවමක් ලබා දිය යුතු බව ඉංග්‍රීසින්ගේ මතය වී තිබිණ.


ඉංග්‍රීසි නිලධාරීහු පුංචිරාල මහතාට තම කාර්යාලයට එන්නට පණිවුඩ ඇරියෝය. එම පණිවුඩයට අනුව පුංචිරාල මහතා කාර්යාලයට පැමිණියේය. 1815 මාර්තු දෙවැනිදා සකස් කළ උඩරට ගිවිසුමේ පස් වැනි වගන්තිය අනුව පන්සල් හා දේවාලවල දේපොළ සුරක්ෂිත කිරීමට තමන් බැඳී සිටින විත්තියත්, ඒවාට කවුරුන් හෝ හානි කළහොත් හානි කළවුනට දඬුවම් පැමිණවීමට තමාට බලයක් තිබෙන බවත් ඉංග්‍රීසින්ගේ ප්‍රධාන නිලධාරියා පුංචිරාල මහතාට පැවසීය. වැරැද්දට දඬුවමක් ලෙසින් පොලිස් මුලාදෑනි තනතුරෙන් මෙන්ම කෝරාළ පදවියෙන්ද ඉවත්කරන බව නිලධාරියා පැවසුයේ නොරිස්සුම් සහගත බැල්මක් හෙළමිනි.


සිංහල බෞද්ධයන්ගේ විරෝධය නොතකා නාථ දේවාලයට යාබද බිමේ කොටසක ඉංග්‍රීසින් බලහත්කාරකමින් පල්ලියක් හදද්දී පස්වෙනි වගන්තියේ කරුණු අමතක කර දමා තිබූ විත්තිය පුංචිරාල මහතා දැනගෙන සිටියේය. ඒත් ඒ බව ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියේය. නිලතල බලතල නැති කර දැමීම පිළිබඳව හේ කම්පා නොවීය. බෝගස කැපීම නිසා තමනට ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදුවන බවද තේරුම් ගෙන සිටියේය.


1887 ජූනි 30 වැනි දින බෝගස තිබූ බිමේ දක්නට ලැබුණේ පොල් අතු සෙවිලි කළ කුඩා මඩුවකි. එදින ඕල්කට්තුමා, දුල්ලෑවේ අදිකාරම්තුමා පුංචිරාල හිටපු කෝරළේ මහතා, ටී.බී. පානබොක්ක මැතිතුමා, ඒ.ඩී.ජේ. ගුණවර්ධන පඬිතුමා, ගිරාගම මහතා, රත්වත්තේ මහතා ප්‍රමුඛ ජාතිකාභිමානි අතළොස්සකගේ පුරෝගාමිත්වයෙන් සිසුන් දොළොස් දෙනෙකුගේ සහභාගිත්වෙයන් පොල් අතු මඩුව තුළදී කන්ද උඩරට ප්‍රථම බෞද්ධ පාඨශාලාව මහනුවර බෞද්ධ උසස් පාඨශාලාව නමින් ආරම්භ විය. පසුව එය මහනුවර ධර්මරාජ විද්‍යාලය නමින් නම් කෙරිණ.


මහනුවර, සුදුහුම්පොළ විහාර මාවතේ පදිංචි රවීන්ද්‍ර තිස්ස බණ්ඩාර වඩුගොඩපිටිය මහතා පුංචිරාල කෝරළ මහතාණන් සම්බන්ධ තොරතුරු රැසක් එක් රැස්කර ඇති අයෙකි. පුංචිරාල කෝරළ අතීත ඥාතිවරයා වෙනුවෙන් කළ යුතු දේවල් පිළිබඳ ඔහු පවසන්නේ මෙවන් දෙයකි.


“ඉංග්‍රීසි ජාතිකයන්ගෙන් ලැබෙන ඕනෑම දඬුවමකට මුහුණ දීමේ බලාපොරොත්තුවෙන් තමයි පුංචිරාල කෝරළේ මහතා දළදා මාලිගය අබියසින් බොදු විදුහලක් හදන්නට බෝ ගසක් කපා බිම හදා දුන්නේ. එවන් උතුම් ක්‍රියාවක් කළ කෝරළ මහතා වෙනුවෙන් ධර්මරාජය මේ දක්වා කිසිම දෙයක් කර නෑ. ධර්මරාජ විදුහල ආරම්භ කර වසර 125ක් සපිරීමට ආසන්න මේ මොහොතේ පුංචිරාල කෝරළේ මහතා වෙනුවෙන් විද්‍යාලයේ ශාලාවක්වත් නම් කිරීමට සුදුසු වැඩ පිළිවෙළක් සකස් කිරීම ධර්මරාජයේ වත්මනෙහි ඉගෙන ගන්නා අයගේ වගකීමක් මෙන්ම යුතුකමක්.


පහළ ඉඹුල්ගොඩ කන්ද කැපූ හන්දියේ පළමුවැනි පටුමගේ පදිංචි මහේන්ද්‍ර මෙෂාන් බණ්ඩාර වඩුගොඩපිටිය මහතා සිය අතීත ඥාතිවරයා පිළිබඳ තොරතුරු රැසක් සොයාගෙන සිටින තවදුරටත් තොරතුරු සොයමින් සිටින අයෙකි. ඔහු තම ඥාතිවරයාගේ තොරතුරුවලින් බිඳක් පවසා සිටියේ මෙසේය.


“පුංචිරාල කෝරළ මහතාගේ පියා මෙන්ම ඔහුගේ මුතුන් මිත්තෝ මහනුවර රාජධානියේ රජවරුන් යටතේ විවිධ සේවා රැසක් කර තිබෙනවා. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා සමගත් ඉංග්‍රීසි පාලකයන් සමගත් වඩුගොඩපිටියේ කෝරළාගේ ඥාතීන් විවිධ නිලතල දරා තිබෙනවා. බෞද්ධ පාඨශාලාවක් හදන්නට බෝගසක් කැපීමෙන් තේරෙන දෙයක් තමයි පුංචිරාල කෝරළේ බෞද්ධාගමේ සැබෑ දියුණුව වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්නට සූදානමින් සිටිය විත්තිය.”


1974 සිට 1981 දක්වා ධර්මරාජ විද්‍යාලයේ නේවාසිකාගාරයේ ඉඳිමින් ධර්මරාජ විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මේ ලිපිය ලියන ලියුම්කරු වන මගේ අදහස වන්නේද ධර්මරාජය ඇරඹීමට පුරෝගාමී වූ පිරිස සදානුස්මරණීය කිරීම සඳහා ධර්මරාජයේ දැන් සිටින්නන් කුමන හෝ වැඩපිළිවෙළක් සැකසීම කාලෝචිත දෙයක් වන බවය.


මේ ලිපිය සැකසීමේදී උදව් උපකාර කළ මුල්ලේරියාව නව නගරයේ කුඩාබුත්ගමුව අවිස්සාවේල්ල පාරේ පදිංචි අශෝක පාලිත බණ්ඩාර වඩුගොඩපිටිය මහතාටත් පහළ ඉඹුල්ගොඩ පදිංචි නිලන්ති අලහකෝන් රම්‍යා පද්මිණි කුමාරි වඩුගොඩපිටිය මහත්මියටත් ස්තූතිය පළ කරමි.

සටහන හා ඡායාරූප - 
හුන්නස්ගිරියේ පාලිත මඩුගල්ලේ.