දේශීය බීඩි කර්මාන්තය රැක ගන්න උදව් ඉල්ලයි


හොර පාරෙන් එන බීඩි කොළ නිසා කර්මාන්තය අඩාළයි

 

බීඩි කර්මාන්තයේ යෙදෙන කම්කරුවන් පිරිසක්

 

මත්පැන් හා මත්ද්‍රව්‍ය ජනතාව රෝගී තත්ත්වයට ඇද දමන රටකට අත්‍යවශ්‍ය නොවන ප්‍රධාන සාධකයක් වන නිසා වර්තමානයේ මෙරට ඇති සියලුම මත්ද්‍රව්‍යවලට පනවා ඇති බදු ප්‍රමාණය ඉහළ දමා ඇති අතර මේ හරහා සිදු වෙන ප්‍රධාන ජාවාරමක් සම්බන්ධයෙන් රටට තොරතුරු රැසක් හෙළි කිරීම මෙම ලිපියේ අරමුණක්. මෙරටට ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන අල, ලූනු, මිරිස්, නිමි ඇඳුම් ගබඩා කර ඇති කන්ටෙනර් පෙට්ටිවල සඟවා බීඩි කොළ මෙරටට ගෙන්වීමේ මහා පරිමාණ හොර ජාවාරමක් කාලයක සිට ක්‍රියාත්මක වේ. මෙ හේතුවෙන් පසුගිය වසරේ පමණක් රජය කෝටි 200 කට වඩා වැඩි පාඩුවක් ලබන්නට ඇති බව බීඩි කොළ අපනයනය සිදු කරන ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ පිරිසක් පවසති. 


ඔවුන් විසින් නිත්‍යනුකූලව බදු මුදල්, වරාය බදු සහ අනිකුත් සියලු වියදම් දරමින් මෙම කර්මාන්තය ඉතා සාධාරණ ලෙසින් පවත්වාගෙන ගියද හොර පාරෙන් එන ප්‍රමිතිය නැති බීඩි කොළ මෙරටට ගෙන්වීම හේතුවෙන් කර්මාන්තය සිදු කරගෙන යන්නට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවද ඔවුහු පෙන්වා දෙති. 


ප්‍රධාන වශයෙන් ඉන්දියාවෙන් අපනයන සිදු කරන අල, ලූනු අඩංගු අඩි 40 යේ කන්ටේනර් පෙට්ටි ඇතුළේ හොර රහසේ බීඩි කොළ මිටි 100 ක් ගෙන්වීම මගින් ඔවුන් වරකට දෙකෝටි තිස්ලක්ෂයක ලාභයක් ලබන අතර ඉතිරි ඉඩ කොටස අල, ලූනුවලින් පුරවා රහසිගතව පිට කරන බව සඳහන්ය. 


අඩි 20 කන්ටේනර් පෙට්ටිවල කොළ මිටි 50 ක් හෝ ඊට අඩු ප්‍රමාණයක් හොර රහසේ ප්‍රවාහනය කරන බවට ද තොරතුරු දැන ගැනීමට ලැබිණි. 


බීඩි කර්මාන්තය සිය ජීවන උපාය කර ගත් පවුල් ලක්ෂ 5 කට වැඩි පිරිසක් ලංකාවේ ජීවත් වන අතර ඔවුන්ගෙන් වැඩි දෙනා දුප්පත් ජනතාවයි. පවුලේ දෛනික කටයුතු මෙන්ම දරුවන් පාසල් යෑම දක්වා සියලු වියදම් මේ කර්මාන්තය හරහා උපයා ගනිති. බීඩි ඔතන මෙ පිරිස වෙනුවෙන් බීඩි කොළ ආනයනය කරන පුද්ගලයන් අපේ රටේ ඉන්නේ 6 කටත් වඩා අඩු පිරිසකි. ඔවුන් 6 දෙනා නිත්‍යනුකූලව ඉන්දියාවෙන් බීඩි එතීමට භාවිත කරන ප්‍රමිතියෙන් ඉහළ බීඩි කොළ ගෙන්වීම දෛනිකව සිදු කරති. 


සමස්ත ලංකා බීඩි කොළ නිෂ්පාදකයන්ගේ හා දුම් කොළ හා කොළ අපනයනය කරන්නන්ගේ සංගමයේ සභාපති උපුල් ධර්මසේන, ලේකම් එච්. ඉන්දික විමලරත්න , භාණ්ඩාගාරික ලසන්ත ධර්මසේන යන මහත්වරු මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී මේ අදහස් හෙළි කළහ. 


රජය විසින් පසුගිය වසරවලට සාපේක්ෂව බිඩී කොළ සඳහා වන බද්ද මේ පාර අය වැයෙන් වෙනස් කරලා මාසයෙන් මාසයටත් එය වෙනස් කළා. මම කියන්නේ මෙ බදු වැඩි කරන්නේ මොන පදනම යටතේද ? රජය බලාපොරොත්තු වෙනවා මේ බදු මුදල් වැඩි කරලා රජයට ආදායම් ගන්න එක තමයි රජයේ පරමාර්ථය. නමුත් එ්ක හරියට වෙනවාද කියන එක තමයි අපිට තිබෙන ගැටලුව. හේතුවත් කියන්නම්. 

 

 

ලංකාවට වසරකට කිලෝ ලක්ෂ 14 ක් කොළ ආනයනය කළා. ඒ කොළවලින් ලක්ෂ 4 ටත් අඩු ලක්ෂ තුනක ප්‍රමාණයක් ආනයනය අඩු වෙලා අපිට පේනවා මෑත කාලයේදී මේ කොළ මිල වැඩි වීම තුළින් නිත්‍යනුකූලව කොළ ගෙන්වන වෙළෙඳුන් කොළ ගෙන්වන එක නතර කළා. එකට හේතුව තමයි ඒ අයට බිඩි කොළ ගෙනල්ලා අලෙවිය සිදු කරන්න බැහැ. අලුත් මිල අනුව රුපියල් 5200 ක් පමණ වනවා කොළ කිලෝ එකක්. අය වැයේදි කොළවලට බදු වැඩි කළාට පස්සේ රුපියල් 4700 ට තමයි තිබුණේ. නමුත් දැන් දැන් හොර බීඩි කොළ ආනයනය කරන අය මහා පරිමාණයෙන් කොළ ගෙනල්ලා බෙදා හැරීම නිසා ඒවා අඩු මිලට වෙළෙඳ පොළ තුළ සංක්‍රමණය වනවා. ඒ අය කොළ කිලෝවක් 4200 ට සහ 4300 ට විකුණනවා. 


එතකොට මේ හොර කොළ ගෙන්වීම නිසා රජයට නියමිත බදු මුදල් හිමි වනවාද ? දැන් මේ වෙන කොට සියට 50 කටත් වඩා වැඩි ප්‍රමාණයක් බීඩි කොළ මේ රටට ගෙන්වීම සිදු වෙනවා. හොරට කොළ ගන්න කෙනාගේ බීඩියක් රුපියල් 4 ක් වෙනකොට සාධාරණ ක්‍රම වේදයෙන් රජයට නියම බදු මුදල් ගෙවලා ගන්න කෙනාට බීඩියක් දෙන්න වෙලා තියෙන්නේ රුපියල් 5 ට සහ 6 ටයි. ඒ නිසා සාධාරණව මේ ව්‍යාපාරය කරන කෙනාට මේ රැකියාව කරගෙන යන්න බැරි වේලා. ඔහුගේ ව්‍යාපාර සමුහයම බිඳ වැටෙනවා. 


මේ නිසා මිලියන පන්සිය ගණනක මුදල් රටේ ජාතික ආර්ථිකයට ලැබෙන්නේ නැහැ. හොර බීඩි කොළ ගෙන්වීම නිසා මේ හොර වැඩ සියල්ල රේගුව හරහා මෙන්ම අල ළුෑණු, මිරිස් කන්ටේනර් පෙට්ටිවලින් එනවා. අනිත් පැත්තෙන් රට තුළට එන්නේ බොට්ටු හරහා. මේවා මැඩ පැවැත්වීමට ක්‍රමවේද ඉක්මනින් සකස් විය යුතුයි කියලා තමයි අපි කියන්නේ. 


2003 වර්ෂයේ දි ඉන්දියාවෙන් ගෙන්වන බීඩි කොළ කිලෝ එකක් අපි වික්කේ රුපියල් 900 ට එම මුදලට සියලු බීඩි සමාගම් වලට අපි ලබා දුන්නා. 2015 දී මේ රජය විසින් බදු සහ අනිකුත් ගෙවීම් වැඩි කරාට පස්සේ 2016 බීඩි කොළ කිලෝ එකක් රුපියල් 2000 පමණ වූ අතර එය ක්‍රමයෙන් වැඩි වුණා. අන්තිමේට අපිට 3900 ට තමයි අපේ රටේ බීඩි සමාගම්වලට කොළ කිලෝ එක දෙන්න වුණේ. 


තව තව ඉස්සරහාට යද්දී ඩොලරය බාල්දු වීමත් සමග 4200 දක්වාම බීඩි කිලෝ එකක මිල ඉහළ ගියා. 2017 නොවැම්බර් මාසයේ රුපියල් 500 ක් රජය මගින් නැවත වතාවක් වැඩි කරාට පස්සේ අපිට සමාගම්වලට බීඩි කොළ කිලෝව දෙන්න වෙලා තියෙන්නේ රුපියල් 4700 කටයි. 2018 මැයි මාසයේ නැවත රුපියල් 500 කින් වැඩි වුණා. දැන් නව මිල බීඩි කොළ කිලෝව රුපියල් 5400 ක් වනවා. අපිට බිඩී ගෙන්වීමේදී සියලු වැඩි වූ බදු ගෙවලා අනික් වියදම් අත හැරපුවාම බීඩි කොළ කිලෝවකින් ලැබෙන්නේ රුපියල් 150 ක ලාභයක්. ඒ මුදලින් මේ කර්මාන්තය සිදු කරගෙන යන්න අද තිබෙන ආර්ථික රටාවත් එක්ක අමාරුයි. 

 

රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස

 

නමුත් අපි 5400 විකුණන බීඩි කොළ කිලෝවක් ඉන්දියාවෙන් රුපියල් 1000 ක් වෙනවා. එහෙම නම් මෙරටට බීඩි කොළ ගෙන්වීම හරහා රජය විශාල මුදලක් ජාතික ආර්ථිකයට එක් කරනවා. එක කිසි වැරැද්දක් නැහැ. නමුත් නිත්‍යනුකූලව බීඩි කොළ ගෙන්වීම සිදු වෙන අතරේ හොර පාරෙන් රේගුව හරහා ඇතුළේ නිලධාරීන් සම්බන්ධ කරගෙන බීඩි කොළ අපේ ලංකාවට එනවා. දෛනිකව එහෙම එන බීඩි කොළවලින් සතියකට වතාවක් එකක් දෙකක් අල්ලනවා. නමුත් ඒ අල්ලන බීඩි කොළවලට රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ 25 දක්වා දඩයක් ගහලා නැවත ඔවුන්ටම භාර කරනවා. 


එහෙම දඩ ගැසුවාට ඒ අයට කිසි පාඩුවක් නැහැ. ඊට වඩා මුදලක් ඒ හොර බීඩි කොළ අලෙවි කරලා හොයන්න පුළුවන්. සමහර වේලාවට අපිට හරි පාරෙන් එන බීඩි කොළ ආපුවාම ඒවා ගෙන්න ගියාම නිලධාරීන් ඇවිත් කියනවා අහවල් තැන කොළ තියෙනවා ඕන්නම් බලලා ගාණක් කියන්න කියලා. මේක තමයි අද තත්ත්වය. ඔවුන් මේ කියන්නේ ඔවුන් දැන දැන ගෙන්වන හොර බීඩි කොළ ගැනයි.” ඔවුහු කියති. 


මෙම ව්‍යාපාරිකයන්ගේ පොදු ගැටලුව අපි යොමු කර සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ හා කොළ දුම්කොළ ආනයනකරුවන්ගේ සංගමයේ අනුශාසක වර්තමාන රජයේ වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස මහතා. ඒ මහතා ද මෙම කර්මාන්තයේ ඉහළ පෙළේ ව්‍යාපාරිකයෙකි. 


බීඩි කර්මාන්තය කියලා කියන්නේ එක පුද්ගලයෙකුගේ කර්මාන්තයක් නොවෙයි. මේකේ ව්‍යාපාරිකයන් ඉන්නවා තුන් හාරසීය ඉක්මවලා ඔවුන් කෙළින්ම නිෂ්පාදනයට සම්බන්ධයි. බීඩි ඔතන කම්කරුවන් පමණක් ලංකාව පුරා ඉන්නවා අඩුම ගානේ ලක්ෂ 5 කට වැඩිය. ඔවුන් ජීවන උපාය ගෙන යන්නේ බීඩි ඔතලා ලබා ගන්නා මුදලින්. 2015 වර්ෂයේ බීඩි කොළ මිටි 100 ක් වෙනුවෙන් වරායට ගෙවිය යුතු මුදලේ බදු වාරිකය වූයේ රුපියල් තිස්තුන් ලක්ෂ තිස් අට දාහක මුදලක් වුවද නමුත් 2018 වන විට කොළ මිටි 100 ක් සඳහා වරායට දෙකෝටි තිස් හත් ලක්ෂ විසිහයදාස් හාරසියක මුදලක් ගෙවීමට සිදු වෙනවා. මේ මුදල් නිවැරදිව ගෙවලා ගන්න ව්‍යාපාරිකයෝ ඉන්නේ 6 දෙනකු පමණයි. 


නමුත් හොර බීඩි කොළ ගෙන දූෂණයට ඇතුළත් වුණ අය ඉන්නවා විශාල පිරිසක්. ඒ අය බීඩි කොළ ගෙනත් නිලධාරීන් සමග සම්බන්ධ වෙලා අඩු දඩයක් ගෙවලා ඒ අය එළියට එනවා. වෙන විදිහට අසුවුණොත් පමණයි දඩය ලැබෙන්නේ. අසු වුණේ නැත්නම් බඩු එනවා එළියට. ඒ කොළ වෙළෙඳ පොළට ලැබුණාට පස්සේ ඒවායේ මිල අඩුයි. නිත්‍යනුකූලව වෙළෙඳාම් කරන කෙනාට වඩා මිල අඩුවෙන් තමයි මේ අය මේ බීඩි කොළ ලබා දෙන්නේ. 

 

බීඩි මුට්ටයක්


ඒ නිසා නිවැරදිව ව්‍යාපාරය කරන අයට ව්‍යාපාරය කරන්න බැරි විදිහට සුළු ව්‍යාපාරිකයක් අඩු මිලට කොළ අරන් අඩු මිලට බීඩි වෙළෙඳ පොළට දානවා. ආණ්ඩුව සහ සුරා බදු එක කියනවා බිඩියක් රුපියල් 5 ට විකුණන්න කියලා. රුපියල් 5 ට විකුණන්න බැරි වේලා තියෙනවා. අඩුවට මෙවා වෙළෙඳ පොළට දාන නිසා. 


රජය විසින් භූමිතෙල් හා අනිකුත් ඉන්ධන ගාස්තු වැඩි කළා. නමුත් මුදල් අමාත්‍යංශයට වසරකට කෝටි 200 ක් 300 ක් ලෙස සිදු වෙන පාඩුව වරාය මගින් සිදු වෙනවා. එලෙස අපතේ යන මුදල් රජයට ගෙවීමකින් ලබා ගත්තොත් කොයි තරම් මුදල් ප්‍රමාණයක් ජාතික ආර්ථිකයට එකතු කරන්න පුළුවන්ද ? 


මෙවා වරායෙන් එළියට පන්නන්නේ අල සහ ලූනු, මිරිස් ඇතුළු රෙදි පාවහන් සමගයි. එළියට එනකොට මෙවාට බදු ගහන්නේ අල, ලූනු අතුළු භාණ්ඩවලටයි. මමත් බීඩි කර්මාන්තය කරනවා. මාගේ ගාවටත් හොර බිඩි කොළ ගෙනත් තියෙනවා. ගලේවෙල පැත්තෙන්. මම ගත්තේ නැහැ. අඩු මුදලට ගලේවෙලට මේ බීඩි කොළ එන්නේ කොහෙන්ද ? ගලේවෙල ඉන්නේ දුම්කොළ ගොවියෝ. ඒ අයට කොහෙන්ද බීඩි කොළ. ඒවා දඹුල්ල හරහා හොර පාරෙන් තමයි එන්නේ. 


මේ සම්බන්ධයෙන් මම මුදල් ඇමැතිතුමාට වාචිකව කීවා. නියෝජ්‍ය අමාත්‍යතුමාටත් මම කීවා, ලේකම්තුමාටත් කීවා. මෙ අය මේකට තීන්දුවක් නොගත්තොත් රටට විශාල අගතියක් වෙනවා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා නොකළහොත් ඉදිරියේදී නිත්‍යනුකූලව මේ ගැන පාර්ලිමේන්තුවේ අපිට කතා කරන්න වෙනවා යැයි ද ඒ මහතා පැවසීය.

 

 

 

 

ඡායාරූප හා සටහන - මාවනැල්ල හෙම්මාතගම 
සමන් විජය බංඩාර