දේශපාලනයෙන් විනාශ වූ මෝල්ටා දූපත් රාජ්‍යය


 

 

හිතක් පපුවක් නැති දේශපාලන හොරුන්ගේ ග්‍රහණයට හසුවී දශමයෙන් දශමය විනාශ මුඛයට පත්වෙමින් පවතින ලෝකයේ කුඩාම දූපත් රාජ්‍යයක් පිළිබඳ විස්තරයක් අද දිග හැරේ.   


මේ දූපත් රාජ්‍යය වසර 56 කට පෙර බ්‍රිතාන්‍යයෙන් නිදහස ලබාගත් මෝල්ටා (MALTA) ජනරජයයි.   


එය පිහිටා ඇත්තේ දකුණු යුරෝපයේය. ජනගහණය ලක්ෂ 5 ක් පමණ වේ. මධ්‍යධරණී මුහුදේ සිසිලි රටට සැතපුම් 50 ක් පමණ දුරින් පිහිටි මේ දූපත ඉතා මනස්කාන්ත සංචාරක පාරාදීසයකි. මෙහි වැඩිපුරම සිටිනුයේ විදේශිකයින්ට මනහර දූපත පෙන්වා උපයා ගන්නා මුදල් සාක්කුවේ දමාගෙන සුරසැප විඳින දේශපාලකයින්ය.   


මෙහි සිට ඉතාලියට දුර කි.මී. 80 කි. ටියුනීසියාවට දුර කි.මී. 284 කි. දූපතේ විශාලත්වය ව.කි.මී. 316 ක් හෙවත් ව.සැ. 122 කි. මෙහි සෑම පුද්ගලයින් දාහකට එක් පල්ලියක් බැගින් ඇත. ජනපති ජෝර්ජ් වෙලාය. අගමැති රොබර්ට් අබිලාය.   


දූෂිත අගමැති ඉල්ලා අස්වෙයි   


2019 දෙසැම්බර් 4 දා පොලි​ටිකෝ (Politico) පුවත්පත පළ කළ විශේෂ ලිපියක සිරස්තලය වූයේ ‘කුඩා මෝල්ටාවේ ලොකු ප්‍රශ්න’ යනුවෙනි. (Big Trouble in The Little Malta) රටේ වර්තමාන තත්ත්වය මේ ලිපියෙන් වඩාත් පිළිබිඹු වේ.   


මාධ්‍යවේදීන් මර්දනය කොට ඝාතනය කිරීම හා තම බිරිඳ හා පවුලේ ඥාතීන් යොදවාගෙන රාජ්‍ය දේපොළ හා ධනය සොරකම් කිරීම ආදී චෝදනා එල්ලවීම නිසා මහජන උද්ඝෝෂණ උග්‍රවීම හේතුවෙන් හිටපු අගමැති ජෝශප් මස්කට් ඉල්ලා අස්වීමෙන් පසු 2020 ජනවාරි 13 දා රොබර්ට් අබෙලා මෝල්ටාවේ 14 වැනි අගමැතිවරයා වශයෙන් වැඩ භාරගත්තේය. දූෂිත පුද්ගලයකු වශයෙන් ජනතාව හා මාධ්‍ය මගින් අනාවරණය කරන ලද මස්කට් ට අගමැති තනතුර පමණක් නොව ලේබර් පක්ෂයේ (LP) නායක තනතුර ද අහිමි විය.   


42 හැවිරිදි නව අගමැති රොබර් අබෙලා එම තනතුරට පත්වී තවම ගතවී ඇත්තේ සුමාන කීපයක් නිසා ඔහු මෝල්ටාව ගොඩගනීවිදැයි තවම අනාවැකි ඉදිරිපත් කළ නොහැක. දේශපාලකයින්ගේ ගසාකෑම් නිසා අනාගතයේ දී මේ මෝල්ටා දූපත වළපල්ලට යාම කෙසේ වෙතත් මධ්‍යධරණී මුහුදේ ගිලී යාවිද? ලොව බොහෝ රටවල ජනාධිපතිවරු අගමැතිවරු එහි යති. එහෙත් ඒ රටවල් එතැනමය. ප්‍රධානතම හේතුව බල තණ්හාවයි. ඇතැමුන් බලයට පත්වූ වහාම ආකර්ෂණීය ක්‍රියාමාර්ග ගෙන ජනතාව රවටති.   
සාගතේ ගිලුන දූපතේ හැටි   


දරිද්‍රතාවයෙන් ​පෙළෙන අතිවිශාල ජනතාවක් වෙසෙන රටවල් 14 ක් යුරෝපය පුරා ඇත. එම රටවල් 14 ට මේ කියන මෝල්ටාවද ඇතුළත්ය. ස්පාඤ්ඤය, ග්‍රීසිය, සයිප්‍රසය යන රටවල් මෙන්ම මෝල්ටාවේද එදා වේල පිරිමසා ගැනීමට නොහැකිව දිවිය ගැටගසා ගන්නා දිළින්දෝ ලක්ෂ ගණනින් සිටිති. දිළින්දන්ගේ ප්‍රතිශතය මුළු ජනගහනයෙන් සියයට 20 ක් පමණ වේ. රැකියා විරහිත තරුණ තරුණියන්ගේ සංඛ්‍යාවද දෙගුණ තෙගුණ වෙමින් පවතී. බොහෝ තරුණ තරුණියන් යුරෝපයේ ඉතාලිය ප්‍රමුඛ වෙනත් රටවලට පැනගොස් දිවිය සරු කර ගැනීමට පෙරුම් පුරති. තරුණ තරුණියන් රට අතහැර යාමට පොරකන රටක් ඇද්ද එම රට අගාධයට ඇදවැටුණ රටකි.   


මෙහි මුළු ජනගහණයෙන් සියයට 22 ක් පමණ වයස අවුරුදු 65 ට වැඩිමහලු අයයි. රජයෙන් සහන ලබා නොදීම තුළින් ඔවුන් ඉමහත් අසරණ අඩියකට පත්ව සිටිති. මේ අතර අප්‍රිකානු රටවලින් අනාථ වූවන් දහස් ගණනින් බෝට්ටුවලින් මෝල්ටා රට වෙත පැමිණ එහි සිට යුරෝපයේ වෙනත් රටවලට යාමට උත්සාහ කිරීම තුළින් මෝල්ටා රාජ්‍යය තවත් අභියෝග රැසකට මුහුණදී සිටී. මේ හේතුවෙන් මෝල්ටාව හඳුන්වනු ලබන්නේ ‘අනාථ දූපත’ (The Refugee Island) යනුවෙනි. 

 
මෝල්ටාව වැනසූ දේශපාලකයෝ   


දූෂිත ම දේශපාලකයින් මෙන්ම දූෂිත ම රාජ්‍යයක් වශයෙන් මේ රට හැඳින්විය හැක. මේ රට ද පෙරට නොයන්නේ මෙහිද දේශපාලන පක්ෂ හොර මගඩි වැඩවලට සම්බන්ධ නිසාය. 1813 වර්ෂයේදී බ්‍රිතාන්‍යයේ කොලනියක් බවට පත්වූ මේ දූපත, 1974 දී ජන රජයක් බවට පත්වූ නමුත් මෙහි ජනතාවට සිදුවූ සෙතක් නැත. දශක පහකට වැඩි කාලයක් තිස්සේ ලේබර් පක්ෂයත් (LP) නැෂනලිස්ට් (ජාතික) පක්ෂයත් (NP) විටින් විට මේ රටේ බලය ලබාගත්තත් එම දේශපාලන පක්ෂ දෙකම අඩු වැඩි වශයෙන් රට කාබාසිනියා කළ අයුරු මෙවන් කෙටි ලිපියකින් විග්‍රහ කිරීම අපහසු කාර්යයකි.   


ඉන්ධන, ආහාර හා ඖෂධ මිල ඉහළ යාම මේ රටේ ජනතාව පීඩාවට පත්කිරීමට ප්‍රධාන හේතුවකි. 2016 වර්ෂයේදී මෙහි ළමයින් 21,000 ක් පමණ විවිධ රෝග පීඩාවලින් පෙළී ඉන් බොහෝ පිරිසක් අංගවිකල තත්ත්වයට පත්වූ බව බෝර්ගන් ව්‍යාපෘති වාර්තාවක සඳහන්ය. පන්ලක්ෂයක පමණ ජනගහණයෙන් 94250 දෙනෙකු ඉතා දිළිඳු ජීවිත ගෙවන බව යට කී වාර්තාවෙහි දැක්වේ. මුළු ජනගහනයෙන් සියයට 21.8% ක් විශ්‍රාමිකයින්ය. ඔවුන්ද ගෙවනුයේ මහා දුෂ්කර දිවියකි.   


එස්ටෝනියාව, ලැට්වියාව, බල්ගේරියාව, ක්‍රොඒෂියාව යන යුරෝපයේ තවත් රටවලද ප්‍රශ්න උග්‍ර වී ඇත්තේ විශ්‍රාමිකයින් සංඛ්‍යාව අධිකවීම නිසාය. මේ රටේද සිටින්නේ අසරණ ජනතාවට ලබාදෙන සහනාධාරවලින්ද ගසාකන දේශපාලකයින්ය. 2019 දෙසැම්බර් 3 වැනි අඟහරුවාදා ‘ද ගාඩියන්’ පත්‍රයේ (The Guardian) වාර්තාවක මෝල්ටාව ප්‍රපාතයට ඇද වැටෙන අයුරු සඳහන් විය.   


පාලකයින් මාධ්‍යවේදිනිය මරා දැමූ හැටි   


දීර්ඝ කාලයක් තිස්සේ මෝල්ටාවේ දේශපාලකයින් සිදුකළ මහජන දේපොළ කොල්ලකෑමේ දූෂිත ක්‍රියාවන් ලොවට හෙළිකළ අභීත මාධ්‍යවේදිනියක වූයේ ඩැෆ්නි සී. ගැලිසියාය. මෝල්ටාවේ බලයට පත්වූ දේශපාලකයින්ට මෙන්ම බලය ලබා ගැනීමට පොරකන දේශපාලකයින්ට ද මහත් හිසරදයක් මෙන්ම අභියෝගයක් වූයේ මේ ගැලිසියා මාධ්‍යවේදිනියයි. 2017 ඔක්තෝබර් 16 දා ඇය ගමන් කරමින් සිටි මෝටර් රථය බෝම්බයකින් විනාශයට පත්කර ඇය ඝාතනය කිරීමේ සිද්ධිය තුළින් මෝල්ටාවේ දේශපාලනය උඩු යටිකුරු කරන ලදී. ඇය විසින් අනාවරණය කරන ලද එහි දේශපාලකයින්ගේ වංචා, දූෂණ නිසා රටට අහිමි වූ ධනය අතිවිශාල ය. හිටපු අගමැති මස්කට් ප්‍රමුඛ ඇමැතිවරුන් කීප දෙනෙකුට ද අගමැති කාර්ය මණ්‍ඩල ප්‍රධානියාටද ඉල්ලා අස්වීමට සිදුවූයේ මේ සිද්ධිය හේතුකොටගෙනය.   


මේ ගැලිසියා මාධ්‍යවේදිනිය පමණක් නොව මෝල්ටාවේ දේශපාලන හොරු පිළිබඳව ලොවට හෙලිකළ තුර්කියේ හර්න්ට් ඩිනික් (HRANT DINK) සහ රුසියාවේ ඇනා පොලිට්කෝවස්කයා (Anna Politkovskyo) යන මාධ්‍යවේදීන්ද මෝල්ටාවේදී මරාදමනු ලැබූහ. මෙම ඝාතන පිළිබඳ ලෝක ජනමාධ්‍යයන් ඉහළම ප්‍රචාරයක් ලබාදෙන ලදී. මෙහි පාලන තන්ත්‍රය හෙල්ලුම්කෑවේ ඉන් පසුවය. 2017 ඔක්තෝබර් 20 දා ෆයිනෑන්සියල් ටයිම්ස් පත්‍රය සඳහන් කළේ ගැලිසියා මාධ්‍යවේදිනිය අමුඅමුවේ මරා දැමීම තුළින් මෝල්ටාවේ පාලන තන්ත්‍රය තුළ මැකිය නොහැකි කළු පැල්ලමක් සටහන් වූ බවයි.  


හොරකම් කළ අගමැති බිරිඳ   


හිටපු අගමැති මස්කට් තම කාර්ය මණ්‍ඩල ප්‍රධානියා ප්‍රමුඛ නිලධාරීන් සහ බිරිඳ යොදවා ගෙන රාජ්‍ය ​දේපොළ විදේශ සමාගම්වලට විකුණමින් ලබා ගත් කොමිස් මුදල් පැනමා රටේ බැංකුවල තැන්පත් කළ අයුරු මොසක් පොන්සේකා නීතිඥ සමාගම මගින් හෙළි කළ අයුරු විස්තරාත්මකව ලිවීමට අමානුෂික අයුරින් මරා දමන ලද ගැලිසියා මාධ්‍යවේදිනිය සමත්වූවාය. අධිකරණයේ විනිසුරුවරුන් කීප දෙනෙකුද විවිධ දේශපාලන පක්ෂවල අතකොළු බවට පත්වී නඩු තීන්දු ලබාදුන් අයුරු ඇය හෙළි කළාය. යුරා්පයේ ප්‍රබල රාජ්‍ය තාන්ත්‍රික භූමිකාවක නිරතවී සිටින ජර්මනියේ පාලිකා ඇන්ජලා මර්කල්, මෝල්ටාවේ දේශපාලන මගඩි තරයේ හෙළා දුටුවාය.   


2016 ඔක්තෝබර් 2 දා ටයිම්ස් මෝල්ටා (Times Malta) පත්‍රයේ මෝල්ටාවේ දේශපාලකයින්ගේ මහා පරිමාණයේ වංචාවන් රැසක් පිළිබඳ විස්තර පළවිය. එහි සිරස්තලය වූයේ ‘මෝල්ටාවේ ඉහවහා ගිය දේශපාලන වංචා යන්නයි. ඩෙලිමාරා විදුලි උත්පාදන සංකීර්ණය ඉදිකිරීමේදී දේශපාලකයින් සිදුකළ ඩොලර් මිලියන 5 ක පමණ වංචාවන් පිළිබඳ විස්තර එහි සඳහන් විය. මෝල්ටාවේ පුරවැසිභාවය ලබාදීම සඳහා විදේශිකයින්ගෙන් අල්ලස් ලබාගත් දේශපාලකයින් ගැන විස්තර 2017 ඔක්. 18 දා ද එකොනොමිස්ට් පත්‍රය හෙළී කළේය.   
ඇමතිවරයෙකුවූ කොන්රඩ් මිසි (KONRAD MIZZI) ඩුබායි හි ඇරඹූ සමාගමක් මාර්ගයෙන් ඉලෙක්ට්‍රොනික් ගෑස් ව්‍යාපෘතිය හරහා මුදල් වංචා කළ අයුරු යටකී මාධ්‍යවේදිනිය හෙළි කළාය. වසර 15 ක් විරුද්ධ පක්ෂයේ සිටි ලේබර් පක්ෂය 2013 දී මන්ත්‍රීවරුන් 67 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගෙන රාජ්‍ය බලය ලබාගත් පසු සිදු කළ වංචාවනට ඇය තම මාධ්‍ය වාර්තාවලින් මුල් තැනක් ලබාදුන්නය. පවුම් මිලියන 450 ක් වැයකර ඉදිකළ විදුලි බලාගාරය 2017 දී විවෘත කරන ලදී. මෙම ව්‍යාපෘතියෙන් ඇමැතිවරුන් කිහිප  දෙනෙකු මුදල් ගසා කෑ අයුරු, එම මුදල් ඔවුන් ඩුබායි හා නූර් (Noor) එම බැංකුවේ තැන්පත් කළ අයුරු ඇය හෙළිකළාය.   


විවිධ වංචාවනට සම්බන්ධ ඇමැතිවරියක වූ ජස්ටිනා කරුවානා ඇමැති තනතුරෙන් ඉල්ලා අස්වූ අයුරු පිළිබඳ ලිපියක් 2020 ජනවාරි 20 දා පොලිටිකෝ (Politico) පුවත්පත පළකර තිබුණි. අගමැති කාර්ය මණ්‍ඩලය ප්‍රධානී කීත් චෙම්බ්රි සංචාරක ඇමැති කොන්රඩ් මිසි ආදීන් ඉල්ලා අස්වීමට හේතුද එහි විස්තරාත්මකව සඳහන් විය. 43 හැවිරිදි අගමැති මස්කට් අගමැති තනතුරෙන් පමණක් නොව ලේබර් පක්ෂ නායකත්වයෙන්ද ඉල්ලා අස්වීමෙන් පසු එම තනතුරු දෙකටම පත්වූ 42 හැවිරිදි රොබර්ට් අබෙලා තවමත් දූෂිත පුද්ගලයින් කීප දෙනෙකු ඇමැති මණ්‍ඩලයේ රඳවාගෙන සිටින බව මාධ්‍ය වාර්තා දක්වයි.   


අසර්බයිජානයේ ජනපතිවරයාගේ දුවගෙන් ඩොලර් මිලියනයක මුදලක් ලබා ගත් බවට හෙළි වී ඇති හිටපු අගමැති මස්කට්ගේ බිරිඳට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නැතැයි ජාත්‍යන්තර මාධ්‍යයන් සඳහන් කරයි. එඩ්වඩ් සිසිලියානා, කොන්රඩ් මිසි, ක්‍රිස් කාර්ඩෝනා යන ඇමැතිවරුන් රෝහල් ඉදිකිරීමේ කොන්ත්‍රාන්වලින් සහ අසරණ රෝගීන්ට ඖෂධ ඇණවුම් කිරීම් තුළින් මුදල් ගසා කෑ අයුරු ටයිම්ස් මෝල්ටා (Times Malta) පත්‍රය හෙළිකර තිබුණි.   


මෝල්ටාවේ මෙතෙක් බලයට පත්වූ දේශපාලකයින් සමග ගනුදෙනු කරමින් රාජ්‍ය දේපොළ සොරකම් කළ ධන කුවේරයෙකු වූ යෝර්ජ් ​ෆෙනෙචි තමාට අයත් අතිවිශාල යාත්‍රාවකින් රටින් පැන යාමට උත්සාහ කරද්දී මීට සති කීපයකට පෙර අත්අඩංගුවට පත්විය. ජනපති, අගමැති, ඇමැති මණ්‍ඩලය, පාර්ලිමේන්තුව, අධිකරණය මෙන්ම ඔම්බුඩ්ස්මන් (Ombudsman) වරයා දූෂණ වංචාවලට සම්බන්ධ වූ හැටි ඔහු විසින් හෙළි කරන්නට පටන්ගෙන තිබේ.   


රජය මගින් පවත්වාගෙන ගිය මෝල්ටාවේ විදුලි උත්පාදන සහ විදුලිය සැපයීමේ ක්‍රියාවලිය චීනයේ ෂන්හායි ඉලෙක්ට්‍රික් පවර් කොම්පැනියට පැවරීම තුළින් මෙහි දේශපාලකයින් සිදු කළ මහා පරිමාණයේ වංචාව පිළිබඳ අලුත්ම තොරතුරු දැන් අනාවරණය වෙමින් පවතී. මේ විස්තර මුල්වරට හෙළිකළේද සන්ඩේ ටයිම්ස් ඔෆ් මෝල්ටා පත්‍රයයි. මෝල්ටාව මධ්‍යධරණී මුහුදේ ගිලෙන නැවක් බවට පත්වී ඇත්තේ මේ දේශපාලකයින්ගේ හොර මැර කම්, වංචා, දූෂණ ඉහ වහා ගොස් ඇති නිසාය. 

 

 

සිරී හීන්පැල්ල 
නිව්​ෙ‌යා්ර්ක් නුවර සිට ලියයි