දේශපාලකයා ළඟ දණ ගැසූ කතාවෙන් විදුහල්පතිනිය අසීරුවේ


 

පළාත් සභා මැතිවරණය දිනෙන් දින ළංවෙයි. දේශපාලනඥයන් කියන කතාවලින්, දර්ශනවලින් ජනමාධ්‍යය පිරී ඉතිරී යයි.   


ඇතැම් ඒවා මඩය, ඇතැම් ඒවා කොමඩිය, ඇතැම් ඒවා කටගැස්මය. ඒ අතරේ ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායකට නැගූ දෝස්මුරය මුල්වරට රූපවාහිනී නාළිකාවකින් ඉකුත් 9 වැනිදා ප්‍රචාරය වූයේ විදුහල්පතිනියක් දණගැස්වූ බවට ඌව මහඇමැතිට ජවිපෙන් චෝදනා.............   


මහඇමැති චෝදනා ප්‍රතික්ෂේප කරයි. යන සිරස් තලයෙනි.   


එහි ඉදිරිපත් කළ අයුරු ඒ දෝස්මුරය මෙසේය.   


‘ඌව පළාතේ මහඇමැතියා අන්න බදුල්ලේ ප්‍රසිද්ධ පාසලක දෙමළ මහා විද්‍යාලයේ විදුහල්පතිනිය එයාගේ නිල නිවසට ගෙනැල්ලා දණ ගස්වා වන්දවාගෙන.   


මොකද හේතුව මහඇමැතියා ලියුමක් යවනවා විදුහල්පතිට ළමයෙක් දාගන්න රටේ තියෙන නීතිය අනුව දාන්න බැහැ. විදුහල්පතිනිය ප්‍රතික්ෂේප කරනවා. අධ්‍යාපන බලධාරින් ලවා විදුහල්පතිනිය පළාත් සභාවට ගෙනැල්ලා මහඇමැති ඉන්න නිල නිවසට ගෙනැල්ලා නිලධාරින් අබිමුව දණ ගස්වලා වන්දවා ගත්තා........   


ඊටම ප්‍රධාන අමාත්‍යවරයාගේ පිළිතුරු දැක්වීම ද ඇතුළත්ව තිබිණ.   


එය මෙසේය.   


‘මේ දවස්වල විදුහල්පතිවරුන්ට රාජකාරි කටයුතු සඳහා මා කෙළින්ම හමුවෙන්න බැහැ. විදුහල්පතිවරු හමුවන්නේ අධ්‍යාපන ලේකම්වරිය හරහා. මම සමන්ත විද්‍යාරත්න තරම් 2.50 ට වැටෙන්නේ නැහැ. සමන්ත විද්‍යාරත්න කියනවා වගේම ඔප්පු කරන්න ඕනෑ.   


මොන පාසලේ ද, කොයි විදුහල්පතිනිය ද, කොතැනට ද ලියුම යැව්වේ කියලා. අනෙක් එක සමන්ත විද්‍යාරත්නගේ ළමයි ඉස්කෝලේ යන්නේ බදුල්ලට. මගේ ළමයා යවන්නේ දෙමෝදර නාවුල්ල ගමේ පාසලට. ගමේ දරුවන් නගරෙ ඉස්කෝලවලට යවලා ගමේ පාසල් වැහීම මගේ ප්‍රතිපත්තිය නොවෙයි. මහ ඇමැතිවරයා කීවේය.   


ඊට පසු මේ පුවත ඔස්සේ මාධ්‍යවේදීහු හඹා යන්නට වූහ. සමන්ත විද්‍යාරත්න මහතා විදුහලේ නම සඳහන් නොකළ ද බදුල්ලේ විදුහල්පතිනියක් සිටින ප්‍රසිද්ධ දෙමළ මාධ්‍ය පාසල වෙනකක් නොව බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලය නිසා මාධ්‍යවේදීහු මේ පිළිබඳව විදුහල්පතිනියගෙන් කරුණු විමසූහ.   

 

 

එහිදී ඇය කළ ප්‍රකාශය ද ජනමාධ්‍ය වාර්තා කළේය.   


එය මෙසේය.   


‘මං බදුල්ලේ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති. අපි හුඟාක් දුරට අපේ විද්‍යාලයේ කටයුතු ගෙනියන්නේ පළාත එක්ක ශක්තිමත් වෙලා. අපේ ඉස්කෝලේ කට්ටිය එකතුවෙලා කරන කොට පළාත් මහ ඇමැතිතුමා අධ්‍යාපන ලේකම් එක්ක තමයි වැඩසටහන කරගෙන යන්නේ. ගැටලු ආවොත් අපි සාකච්ඡා කරනවා. දණ ගැස්සුවා කියලා බොරු කතාව හදලා චෝදනා කරලා ඒ ගොල්ල වාසි අරගන්න යනවා යැයි ද ඇය කීවාය.   


මුල් පුවත විකාශනය වී දින 2ක පසු ඌව පළාත් සභා රැස්වීම පැවැත්විණ. සභාපති ඒ.එම්. බුද්ධදාස මහතා​ෙග් ප්‍රධානත්වයෙන් පැවැති මේ රැස්වීමේ දී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එම්. සච්චිත්තානන්දන් මහතා ද්‍රවිඩ මාධ්‍ය පුවත්පතක් පෙන්වමින් බදුල්ලේ ද්‍රවිඩ මාධ්‍ය පාසලක විදුහල්පතිනියක් නිල නිවසට ගෙන්වා දණ ගස්වා ඇතැයි පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් විමසීමක් කළේය.   


 එය අසත්‍ය ප්‍රවෘත්තියක් යැයි ප්‍රධාන අමාත්‍යවරයා පැවසීමත් සමඟ නැගි සිටි සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයා තව දුරටත් තම මතය ප්‍රකාශ කරද්දී.   


ප්‍රධාන ඇමැතිවරයා අභියෝගය කළේ කුමන පාසලද? කුමන විදුහල්පතිනියදැයි හෙළිකරන ලෙසය. ඒ වන විටත් දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය මාධ්‍යවලට කළ ප්‍රකාශය සිය ජංගම දුරකථනයට ඇතුළත් කරගෙන සිටි මහඇමැතිවරයා මෙන්න ඇත්ත. විදුහල්පතිනිය කියනවා මේක බොරුවක් කියලා යි සමන්ත විද්‍යාරත්න මහතාගේ කතාවට බාධා කළේය.   

 

ඒ සමඟ තවත් මන්ත්‍රී කීප දෙනෙක්ම මහඇමැතිවරයාට පක්ෂව අදහස් දක්වමින් කෑ ගැසීම නිසා සභාව එකම ගාල ගෝට්ටියක් බවට පත්විය.   


මන්ත්‍රීවරුන් එකිනෙකා සභාවෙන් ඉවත්ව ගියෙන් ඝනපූර්ණය නැති විය. ඒ අවස්ථාවේ ප්‍රධාන අමාත්‍යවරයා සචිච්ත්තානන්දන් හා රුද්ද්‍රීපන් වේලායුම් යන ද්‍රවිඩ මන්ත්‍රීවරුන්ටත් ඇමැති අනුර විදානගමගේ මහතා ඇතුළු තවත් පිරිසකටත් ජංගම දුරකථනයේ තිබූ විදුහල්පතිනිගේ ප්‍රකාශය සහිත රූප සභාව තුළදීම පෙන්වා බොරු ප්‍රකාශවලට නොරැවටෙන ලෙස ඉල්ලා සිටියේය.   
කෙසේ නමුත් ඉන්පසු මහඇමැතිවරයාත් සමන්ත විද්‍යාරත්න මන්ත්‍රීවරයාත් අතර උණුසුම් කතාබහක් ඇතිවිය.   


ඉන්පසු එදිනම ප්‍රධාන අමාත්‍යවරයා සිය කාර්යාලයේ දී මාධ්‍ය සාකච්ඡාවක් කැඳවා තිබූ අතර එහි දී මෙසේ පැවැසීය.   


ද්‍රවිඩ මාධ්‍ය මෙම විදුහලට දරුවන් ගැනීමේ දී මුස්ලිම් දරුවන්ට හා අන්‍යලබ්ධික ආගමික දරුවන්ට අඩු සැලකිල්ලක් ලැබෙන බවටත් ඔවුන්ට අසාධාරණයක් ​ෙවන බවත් පැමිණිලි ලැබී තිබුණා. විශේෂයෙන්ම වීථි දරුවන්ට මේ නිසා අවස්ථාව අහිමි වෙලා තිබුණා. විශේෂයෙන් මුස්ලිම් මාපියන් මේ පිළිබඳව පැමිණිලි කළා. මේ ගැන සාකච්ඡා කරන්න පළාත් අධ්‍යාපන ලේකම්වරියත් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාත් ඇය කැටුව මගේ නිල නිවසට ආවා.   


අපි සුහදව සාකච්ඡා කළා. කාටවත් අසාධාරණයක් නොවන අයුරු කටයුතු කරන්න කියලා අපි ඇයට උපදෙස් දුන්නා. ඇය ඉතා සුහදව එය පිළිගත්තා. අලුත් අවුරුද්දට සුබ පතලා ඇය සතුටින් යන්න ගියා. යැයි ද මහඇමැතිවරයා මෙහි දී පැවැසීය.   


පසුදා ගුරු සංගමයක් මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එය පැවැත්වූයේ එම සංගමයේ නිලධාරින් වන ජනතා විමුක්ති පෙරමුණෙන් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත්ව සිටින ගුරුවරු තිදෙනෙකුගේ සහභාගිත්වයෙනි. සංගමයේ උපලේකම් සහ ප්‍රාදේශීය සභා ජවිපෙ අපේක්ෂක ප්‍රියන්ත වර්ෂමාන මහතා එහිදී දණ ගැස්වූ කතාව ටිකක් වෙනස් කළේය.   


ඔහු කී දේ මෙසේය.   


ඌව පළාත් මහඇමැතිවරයා ගුරුවරු දණ ගස්වලා යටත් කරනවා වෙනුවට ගුරුවරු දණින් වට්ටලා වැඳ වැටෙන තත්ත්වයකට විදුහල්පතිනියක් පත්කරලා. ​ෙම් නොපනත්කමට විරුද්ධව ඌව පළාතේ සියලු ගුරුවරු ලබන සඳුදා (15) පළාත් සභාවට ඉදිරියට එන්න. මේ සම්බන්ධයෙන් ජනතාවත් එක්ක එකතු වෙලා දැවැන්ත විරෝධතාවක් දක්වනවා යැයි ද ඔහු කීවේය. ඒ අනුව ඉකුත් 15 වැනිදා මෙම විරෝධතාව ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබිණ. බදුල්ල පොලිස් අධිකාරි ධම්මික වීරසේකර මහතාගේ උපදෙස් මත දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙළක් බදුල්ල නගරයේ ක්‍රියාත්මක කර තිබූ අතර කැරලි මර්දන හමුදා කඳුළු ගෑස් ද සූදානම් කර තිබිණ.   


පොලිස් ඇස දසත විසිර යද්දී නියමිත කාලය ළඟාවූ නමුත් උද්ඝෝෂණයක සේයාවක්වත් දැකගත නොහැකි විය. එහෙත් රතිඤ්ඤා දල්වමින් පිරිසක් පළාත් සභාව ඉදිරියට පැමිණියහ. මහඇමැතිවරයාට බොරු චෝදනා නඟමින් දේශපාලන ගමනට අකුල් නොහළන ලෙසට ඔවුහු හඩ නැඟූහ. එම අදහස ලියූ පුවරුද ඔවුන් අත විය.  


 මහඇමැතිට විරුද්ධ මේ දෝස්මුරය ජනතා විමුක්ති පෙරමුණ මැතිවරණ වේදිකාවේ පමණක් නොව එක්සත් ජාතික පක්ෂ වේදිකාවට අපූරු කටගැස්මක් වී තිබෙන අයුරු හරින් ප්‍රනාන්දු මහතාගේ දේශපාලන ව්‍යාපාරය තුළද අසන්නට ලැබේ.   


බදුල්ල කලාපයේ විදුහල්පති සංගමය මේ කරුණ පිළිබඳව මාධ්‍යය සාකච්ඡාවක් කැඳවා තිබුණි.   


එහිදී එම සංගමයේ සභාපති විදුහල්පති ඩී. කේ. එම්. ජයතිස්ස මහතා මෙසේ පැවසීය. 

 
මේ කතාව ජනමාධ්‍යවලින් ප්‍රචාරය වූ පසු අප සංගමය සාකච්ඡා කළා. අපේ සහෝදරියකු වන එම විදුහල්පතිනිය මුණ ගැසී කරුණු විමසන්න. එහිදී ඇය කීවා මේ බොරු කතාව නිසා ඇය දැඩි මානසික පීඩාවට පත්ව ඇති බව.   


මෙවැනි සිදුවීමක් සිදුනොවූ බවත් දේශපාලන වාසි තකා මේ බොරුව ගොතා ඇති බවත් ඇය අවධාරණය කළා.   


මේ ගැන සොයා බැලීම අ​ෙප් වගකීමක් නිසා ඊළඟට අපි ගිහින් මහ ඇමැතිවරයාගෙනුත් විමසා සිටියා. ඔහු කීවේ විදුහල්පතිනියක් දණ ගැස්වීමට හෝ ඇය ලවා වන්දවා ගැනීමට තරම් පහත් මානසිකත්වයක් තමාට නැති බවයි. දෙපාර්ශ්වයම මේ චෝදනාව ප්‍රතික්ෂේප කිරීම නිසා ගුරු වෘත්තියට නිකරුණේ නිගා නොකරන ලෙසට සියලු දේශපාලනඥයන්ගෙන් ඉල්ලා සිටීම සඳහා මෙම මාධ්‍ය හමුව කැඳවූ බවද හෙතෙම පැවසීය. 


මේ අතර තමාට කළ අපහාසය වෙනු​ෙවන් රුපියල් මිලියන 500ක් ඉල්ලා ජනතා විමුක්ති පෙරමුණේ සමන්තට, හපුගොඩට හා වරුෂමානට විරුද්ධව නඩු පැවරීම සඳහා මහඇමැතිවරයා අදාළ පැමිණිල්ල බදුල්ල පොලිස් අධිකාරිවරයා වෙත ඉදිරිපත් කර ඇතැයි දැනගන්නට ඇත. මේ පිළිබඳ දැනටමත් විදුහල්පතිනිය, පළාත් අධ්‍යාපන ලේකම්වරිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ ඇතුළු පාර්ශ්වයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි පොලිස් ප්‍රකාශකයෙක් පැවසීය.

 

 

 

 

 

 

 


සටහන - ඡායාරූප
බදුල්ලේ පාලිත ආරියවංශ