දෙපා අහිමි මවට උවැටැන් කර අකුරට යන දැරිය


මවට බත් කවමින්

 

 

පාසලේ, දොරටුව ළඟින්ම දරුවන් බස්සවා, ඔවුන්ගේ අතින් අල්ලාගෙන ගොස් ඇරලවීමට සිදුව ඇති යුගයක දාහතර (14) හැවිරිදි දැරියකට පාදෙකම අහිමි තම මව පිරිසුදු කිරීමේ සිට, කැවීම පෙවීම ආදී සියලුම කටයුතු අවසන් කර පාසල් යාමට සිදුව ඇත්තේ වෙනත් කිසිවෙකුත් ගෙදර නොමැති නිසා ය.   


අලුයම අවදි වී කෑම, බීම සකසා තම මවට කවා පොවා, සුද්ධ පවිත්‍ර කොට, රෙදිපිළි සෝදා තබා, පයින්ම පාසලට යාමට සිදුව ඇති ඇය පිළිබඳව තොරතුරු ඉරිදා ලංකාදීප අපට හමුවූයේ, මීරිගම, කුරීකොටුව ප්‍රදේශයෙනි.   


ඇගේ මව දෙපා අහිමිව අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ, 2019 අප්‍රේල් මාසයේ දී කරනු ලැබූ සැත්කමකින් පසුවය. ඔවුන්ව හැර ගොස් ඇති පියා පිළිබඳව නොසිතා, පවුලේ බර කරට ගත් මව වසර නවයක් (9) ඇඟලුම් කර්මාන්තශාලාවක සහ වසර දෙකක් (2) මැද පෙරදිග රටක ද, සේවය කර ඇත. ඇය 42 හැවිරිදි දීපිකා ශ්‍රියානි කුලරත්නය. වසර ගණනාවක් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක නිරතව සිටි ඇය විදේශගතව සිටිය දී වම් පාදයෙහි වෙදඟිල්ලහි ඇනුණු ඉදිකට්ටක් හේතුවෙන් ඇගේ දෙපා අහිමි වීම පිළිබඳව ඇත්තේ දුක්ඛදායී කතා පුවතකි.   

 

“රෑට වැසිකිළි යන්න ඕනැ උනාම එයාගෙ තනියට යන්න කෙනෙක් නෑ. අපිට හරි හමං වැසිකිළියකුත් නැති හින්දා වත්තෙ වළක් කපා ගෙන යනවා. ඒ කටයුතු ඉවර වෙනකන් මට ඇහෙන්න හයියෙන් සින්දු කියනවා. තනිකමටයි බයටයි ...”


2015 දී ලංකාවට පැමිණෙන ඇයගේ කකුල හිරි වැටීමකට ලක්ව තිබේ. ඒ පිළිබඳව කරන ලද පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ ඇගේ පාදයේ වෙදැඟිල්ලහි ඉඳිකටුවක් ඇනී ඇති බවය. එය සැත්කමකින් ඉවත් කර දමන්නේ 2015 වසරේ දී වතුපිටිවල රජයේ රෝහලේදීය. ටික දවසකින් ඇගේ ඇඟිල්ල කළු පැහැයට හැරී තිබීම නිසා, ඇඟිල්ල මිය ගොස් ඇතැයි පරීක්ෂණවලින් හෙළිදරව් කර ගත් පසු සැත්කමකින් ඇඟිල්ල ඉවත් කර දමා තිබේ. ඇගේ පළමු කකුල අහිමි වීම පිළිබඳව ඇය මෙලෙස කියා සිටියා ය.   
“ටික දවසක් යද්දී මගේ කකුලේ අනිත් ඇඟිලි හතරත් කළු පාට වෙලා වැඩ කරන්නේ නැතුව ගියා. ඊට පස්සේ ඒ ඇඟිලි හතර ඉවත් කළා. ඊට පස්සේ මගේ කකුලේ වළලු කර සිට සම්පූර්ණයෙන්ම කළු වෙන්න ගත්තා. ඒ නිසා මගේ අවසරයත් අරගෙන කකුල සම්පූර්ණයෙන්ම කපල ඉවත් කළා.   
අහිමි වුණු කකුල ගැන හිතන් නැතුව මම තනි කකුලෙන් වැඩ කළා. කෙනෙක් මට කිහිලිකරුවක් ලබා දුන්නා. ඒකෙ ආධාරයෙන් ගෙදර වැඩ කටයුතු, දරුවන්ගේ වැඩකටයුතු, සොයා බලා කළා. ඔය අතරේදී වයසක කෙනෙක් පාවිච්චි කරලා ඉවත් කරලා තිබුණු, තරමක් දිරාගිය රෝද පුටුවක් ලැබුණා. කෘත්‍රිම පාදයකුත් ලැබුණා. මං ඒ පාද පැලඳගෙන රෝද පුටුවේ ඉඳලා වත්තේ පිටියේ වැඩ කරා. ඒ කකුල ගෙවෙනකම් වැඩ කළා. දැන් එ් කකුල පලඳින්න බෑ. රෝද පුටුවේ ඉඳන් මම වැඩ කරද්දී, එක දවසක් රෝද පුටුව පෙරළිලා වැටුණා. රෝද පුටුව වැටුණේ මගේ දකුණු කකුල උඩට. ඊට පස්සේ දකුණු කකුලේ වෙදැඟිල්ල තැළුණා.   


වම් කකුලේ වගේම, දකුණු කකුලේ වෙදැඟිල්ලත් මියගියා. ඉස්සෙල්ලා කකුල වගේම මුලින්ම ඇඟිල්ල කපල අයින් කළා. දෙවෙනි පාරට ඇඟිලි ඔක්කොම ඉවත් කළා. ඊට පස්සේ කකුල සම්පූර්ණයෙන්ම ඉවත් කළා. පස් වතාවකට කරපු සැත්කම්වලින් 2019 අප්‍රේල් මාසයේදී සම්පූර්ණයෙන්ම කකුල කපා ඉවත් කළා.   
මගේ කකුල් දෙකම නැති උනාම මං එක්තැන් වුණා. ඒ වෙනකන්ම මම දුවගේ වැඩ කටයුතු කළා. එයට කන්න උයලා දුන්නා. ඒත් අප්‍රේල් මාසයේ ඉඳලා මගේ සියලුම වැඩකටයුතු කරන්නේ මගේ දුව.”   

 

 


ඇගේ වම් පාදයේ දිග ප්‍රමාණයට වඩා දකුණු පාදය වඩාත් කොට නිසා ඇයට සමබරව ඉඳ ගැනීමට ද හැකියාවක් නැත. මේ නිසා පිටුපසට කොට්ටයක් තබා හේතු වී සිටීමට සිදුව ඇත.   
ඇයට 42 වැනි වියේදීම ඇඳට වී සිටීමට සිදුවී ඇත්තේ කුමක් නිසා දැයි ඇය හෝ ඇගේ දාහතර හැවිරිදි දැරිය ද නොදනී.   
එහෙත් මේ දැරියට තම මවගේ සියලුම කටයුතු කරන්නට සිදුව ඇත. පවුලේ වැඩිමලා වූ දෙපා අහිමි දීපිකාගේ නංගී සහ මල්ලීගේ උදව් උපකාරවලින්, එදිනෙදා වේල පිරිමසා ගන්නා බව ඇය කියන්නීය. 2016 සිට සමෘද්ධි සහනාධාරය ලැබීම ද ඇයට මහත් අස්වැසිල්ලකි. නමුත්, ඔවුන්ට ඇති ලොකුම ගැටලුව, ආරක්ෂා සහිතව භාවිත කිරීමට වැසිකිළියක් නොමැතිකමයි. දෙදෙනාගේම ජීවිත අනාරක්ෂිතව තිබියදී රාත්‍රී කාලයේදී වැසිකිළි කැසිකිළි කිරීමට දැරියට තනියම එළියට යාමට සිදුව තිබේ. ඒත් වැසිකිළියකට නම් නො වේ. ආරක්ෂිත නිවස්නයක් නොමැතිකමත් නිසා දෙදෙනාගේ ම ආරක්ෂාව අහිමි වී තිබේ.   
ඉතාමත් දුක්ඛදායී ලෙස ජීවත් වෙන මේ මව සහ දියණිය සොයා ගියෙමු. දෙපා අහිමි දීපිකා ශ්‍රියානි මහත්මිය හුළං කවුලු කිසිවක් නැති බිත්තිවලට කොටු වූ කරුවල කාමරයක සිටියාය. දුක සියල්ල යටපත් කරගනිමින් සිනා සී ඇය මෙසේ අප සමඟ කීවාය.   


“මම ඉස්කෝලෙ ගමන අවසන් කරලා ගාමන්ට් එකක අවුරුදු නවයක් වැඩ කළා. ඒ කාලෙදී ඒ ගාමන්ට් එකේම වැඩ කරපු කෙනෙක් එක්ක ඇතිවෙච්චි සම්බන්ධයක් මත විවාහ වුණා. එයා කුලියාපිටිය ප්‍රදේශයේ කෙනෙක්. විවාහ වුණාට පස්සේ තමයි දැනගත්තේ එයා තව කෙනෙක් සමඟ විවාහ වෙලා පවුල් ජීවිතයක් ගත කරන දරුවන් දෙදෙනෙකුගේ පියෙක් බව. ඊට පස්සේ මම ආපහු ගෙදර ආවා. මම දිගටම ගාමන්ට් එකේ වැඩට ගියා. නමුත් අපිට කියලා කිසිම දෙයක් නෑ. ගෙයක් දොරක් හදාගන්න ඕන නිසා මම රට ගියා. රට ගිහින් ආවට පස්සේ තමයි දන්නේ ඇඟිල්ලේ ඉඳිකට්ටක් ඇනිලා තියෙනවා කියලා. ඒක ඇඟලුම් කම්හලෙන් ඇනුනද, රට ඉද්දී ඇනුනද කියන්න මම දන්නේ නෑ.   
මම රට ගියෙත්, මගේ දරුවෝ අම්මා ළඟ තියලා. සල්ලි එව්වෙ ලොකු අම්මට. රුපියල් ලක්ෂ හයහමාරක් මං එව්වා. ඒත් මං එනකොට සතයක්වත් ඉතුරු කරලා තිබුණේ නෑ.   
සල්ලි ඔක්කොම වියදම් කරලා. අන්තිමේදී දරුවන් දෙන්නයි, මමයි, අතරමං වෙලා. අඩු වයසින් වුණත් කමක් නෑ කියලා අවුරුදු 18න් ලොකු දුව මාතලේ ප්‍රදේශයේ තරුණයකුට විවාහ කරලා දුන්නා. මම එහෙම කළේ එයාගෙ අනාගතයේ හරි හැදෙයි කියලා බලාපොරොත්තුවෙන්. දැන් අපි දෙන්නා ඉන්නේ අපිට ඥාති වෙන කෙනෙකුගේ ගෙදරක.   
ඉතිං දරුවාට සහ මට ඉන්න තැනක් නෑ. මගේ එක කකුලක් අහිමි වෙලා තියෙද්දී තමයි ලොකු දුව විවාහ කරල දුන්නෙ. ඒ කාලෙ මම තනි කකුලෙන් හරි ගෙවත්තේ වැඩ කරලා කීයක් හරි හොයා ගත්තා. දැන් මගේ කකුල් දෙකම නැති නිසා මට මොකුත් කරන්න බැහැ. අත්කම් නිර්මාණයක් හරි කරන්න කවුරු හරි උදව් කරනවා නම් යමක් හොයාගන්න පුළුවන්. මොකද ලොකු දුවටත් අපිට උදව් කරන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි ඉන්නෙ.   

 

 


මට මොකුත් දැන් හීන නෑ. ඒත් මේ දරුවට උගන්වන්න ඕනෑ. මගේ සියලුම දේවල් මගේ දුව තමයි කරන්නේ. උදේම නැගිටලා උයලා කරලා ඉස්කෝලේ යනවා. ගිය අවුරුද්දේ මගේ දකුණු කකුල කපන්න ඔපරේෂන් එක තියෙද්දී, එයා මාත් එක්ක වතුපිටිවල රෝහලේ ළඟ හිටියා. මාස ගාණක් ළඟ ඉද්දී දවස් දෙකකට සැරයක් විතර පයින්ම තනියම ගෙදර ඇවිත්, රෙදි ටික හෝදගෙන වේළාගෙන ගියා. ඒ කාලෙදී ඉස්කෝලේ ගියේ නෑ කියලා දරුව ඉස්කෝලෙන් අස් කරනවා කියලා ආරංචි වුණා. එයාගේ ඉගෙනීම කඩාකප්පල් වෙනවට මං කැමති නෑ. එයා ඉගෙන ගන්නත් ආසයි. එයාට දැන් තියෙන ලොකුම බාධාව මම. සියලුම රෙදි හෝදන්නේ දුව. සමෘද්ධිය ගන්ඩ යන්නේ, කඩවලට යන්නෙත්, බඩු ගේන්නේ, සියලු දේම කරන්නේ දුව.   


මට තියෙන එකම කල්පනාව මෙයාගේ අනාරක්ෂිත බව. කුරීකොටුව කනිෂ්ඨ විද්‍යාලයේ නවය වසරේ එයා ඉගෙන ගන්නවා. එයා ගෙදර එන වෙලාව හොයාගන්න ක්‍රමයක් මට නෑ. එයා කොච්චරවත් සින්දු කියනවා. සින්දු ඇහෙනකොට තමයි මම දන්නේ දුව එනවා කියලා. මට හිතෙනවා දුව මට ඇහෙන්න සින්දු කියන්නෙ මාව සනසන්න වෙන්න ඇති.   
එයාට රෑට වැසිකිළි යන්න ඕන උනාම එයාගෙ තනියට යන්න කෙනෙක් නෑ. යන්න ටොයිලට් එකකුත් නැති හින්දා වත්තෙ වළක් කපා ගෙන යනවා. එයාගෙ ඒ කටයුතු ඉවර වෙනකන් මට ඇහෙන්න හයියෙන් සින්දු කියනවා.   


ඒ සින්දු කියන්නෙ සතුටට නෙවෙයි, මට ඇහෙන්නයි. තනිකමටයි.” ඇය කීවා ය.   


නමුත් අපේ වගකීම මේ දිරිය කාන්තාවටත්, දිරිය දියණියටත් උදව් උපකාර කිරීම පමණක් ම නොවේ. ඔවුන් වැනි මේ රටේ අනාරක්ෂිතව ජීවත් වෙන දරුවන් කෙරෙහි, කාන්තාවන් කෙරෙහි සමස්ත සමාජයේම අවධානය යොමු විය යුතු බවය. වංචාකාරීව විවාහ කිහිපයක් කරගෙන ජීවත් වෙන අය නිසා ඇති වන සමාජයීය ප්‍රශ්න, කාන්තාවන් විදෙස් ගත වීමෙන් පවුල් තුළ ඇතිවන ගැටලු ආදී ප්‍රශ්න ගණනාවක් කෙරෙහි වගකිවයුත්තන්ගේ අවධානය යොමු විය යුතුව තිබේ.  

 

 

සටහන හා ඡායාරූප : 
චාන්දනී දිසානායක