දුර්ලභ දියමන්තියක් සොරකම් කර රටේ නම්බුවත් කෙලෙසූ ලාංකිකයා


ඈත අතීතයේ පෙරදිග මුතු ඇටය ලෙසින් වඩාත් ප්‍රසිද්ධ වනවිට වර්තමානයේ ලාංකික අපි කොයි දේටත් ප්‍රසිද්ධ වී ඇත්තේ වඩාත් ඓතිහාසික වටිනාකමින් යුතු සුන්දර සංචාරක ගමනාන්තයක් ලෙසිනි. ඉන් ඔබ්බට ගියහොත් සිලෝන් ටී, ක්‍රිකට් ක්‍රීඩාව ආදී එකී මෙකී නොකී සියලු කාරණා නිසා ශ්‍රී ලංකාද්වීපය වඩාත් ආකර්ෂණයට ලක් වී ඇත. එසේ ජාත්‍යන්තරයේ ආකර්ෂණයක් දිනා තිබෙන රටක් ලෙස මහත් ආඩම්බරයෙන් සිටිද්දී, ඒ අභිමානය අමු අමුවේ විනාස කරන ලාංකිකයෝ මේ රටේද නැතිවාම නොවේ.

 


ලක්ෂ සංඛ්‍යාත පිරිසක් ඉසුරු සොයා කරදිය වළල්ලෙන් එපිට දේශයන් හි දහදිය වගුරුවමින් සේවය කරන අතරවාරයේ ඒ සියලු දෙනාගේම අභිමානයට නිගරු කළ ලාංකිකයෙකු ගැන ඉකුත් සතියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරයෙන් වාර්තා විණි.


ඒ ඩුබායිහි නිදහස් වෙළඳ කලාපයේ පිහිටි සමාගමක සේප්පුවකින් සොරකම් කළ ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් (ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 320කට වැඩි) වටිනාකමකින් යුත් දුර්ලභ ඝණයේ නිල් දියමන්තියක් ශ්‍රී ලංකාවෙන් සොයා ගැනීමටත්, එම සොරකම සිදු කළා යැයි සැකපිට ශ්‍රී ලාංකිකයෙකු අත්අඩංගුවට ගැනීමට ඩුබායි පොලීසිය සමත් වීමත් සමඟය. මේ විශාල සොරකම ගැන ඩුබායි පොලීසිය විසින් ලබා දුන් නිල තොරතුරු උපයෝගී කරගනිමින් කලීජ් ටයිම්ස්, ගල්ෆ් නිව්ස්, නැෂනල් ඇතුළු සියලු පුවත්පත් හා වෙබ් අඩවි විසින් තොරතුරු රැසක් වාර්තා කළේය.


මෙම සොරකම සිදුකළ ලාංකිකයාගේ නම් ගම් තොරතුරු හැමවිටම හෙළිදරව් නොකිරීමට ඩුබායි පොලිස් බලධාරීන් වගබලා ගත්හ. එය ඔවුන්ගේ අපරාධ පරීක්ෂණ ක්‍රියාවලියේ ක්‍රමවේදයක් වන බැවින් එම තොරතුරු හෙළි නොකළහ. නමුත් ඔහු ඩුබායිහි නිදහස් වෙළඳ කලාපයේ පිහිටි එම සමාගමේ සේවයේ නිරතව සිටියදී මෙම සොරකම සිදු කර තිබේ


ඇමරිකානු ඩොලර් මිලියන 20 ක් වටිනා මෙම දුර්ලභ ඝණයේ නිල් දියමන්තියක් සෙවීමට ඩුබායි පොලීසිය ඉතා සූක්ෂම ලෙසින් පරීක්ෂණ දියත් කිරීමෙන් මෙම සොරකම ගැන කරුණු හෙළි කර ගැනීමට එම නිලධාරීහු සමත් වූහ. කොටින්ම කිවහොත් මෙම මහා සොරකම ගැන සෙවීමට අදාළ සමාගම සතුව පැවති පැය 8620 ක් පුරා දිවෙන ආරක්ෂිත කැමරා දර්ශන (සී.සී.ටී.වී.) ඉතාම සුපරික්ෂාකාරී ලෙසින් පරීක්ෂාවට ලක් කිරීමට එම නිලධාරීන්ට සිදුවිය. ඊට අමතරව මෙම සිද්ධිය ගැන පුද්ගලයින් 120 ක අධික පිරිසකගෙන් ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මෙම නිල් දියමන්තිය සොයා ගැනීමටත්, සැකකරු අල්ලා ගැනීමටත් හැකිවූ බවද කලීජ් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

 


ඩුබායි ජබෙල් අලි ප්‍රදේශයේ ඇති නිදහස් වෙළඳ කලාපයේ පිහිටි මූල්‍ය හුවමාරු සමාගමක ආරක්ෂකයෙකු වූ සැකකාර ලාංකිකයා විසින් කැරට් 9.33 ක් වටිනා මෙම දුර්ලභ ඝණයේ නිල් දියමන්තිය පසුගිය මැයි 25 වනදා එහි සේප්පුවෙන් ඉවත් කරගෙන ඇති බව එම සී.සී.ටී.වී. දර්ශන වාර දහස් ගණනක් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව සොයා ගෙන ඇත.


සැකකරු විසින් එම සොරකම සිදුකර දින 14 ක් ඇතුළත එම දියමන්තිය ඩුබායි රාජ්‍යයෙන් පිටකිරීම සඳහා ඔහුගේ ඥාතියෙකුට ලබාදී ඇති බවද ඩුබායි බලධාරීන් විසින් තහවුරු කර ගෙන තිබේ. ඒ අනුව සැකකාර ලාංකිකයා සොරකම් කළ එම දියමන්තිය ක්‍රීඩා සපත්තු ජෝඩුවක් තුළ සඟවා මුහුදු මාර්ග ඔස්සේ භාණ්ඩ ප්‍රවාහන සේවාවක් (කාගෝ) මඟින් ශ්‍රී ලංකාවට රැගෙනවිත් ඇති බව ඩුබායි පොලීසිය විසින් සිදු කළ පරීක්ෂණ වලදී හෙළිවී ඇත.


ඉහත සඳහන් කළ ඩුබායි සමාගම සතු ආරක්ෂිත කැමරා දර්ශන වැඩිදුර පරීක්ෂාවේදී ඩුබායි පොලිස් නිලධාරීන් විසින් තහවුරු කර ගෙන ඇත්තේ මෙම දියමන්තිය රඳවා තිබූ සේප්පුව ආරක්ෂිත ගේට්ටු තුනකින් වසා දමා දැඩි ආරක්ෂාවකින් පැවති අතර සැකකරු ඒ සියලුම ආරක්ෂික ගේට්ටුවල ඉබි යතුරු කඩා දමා ඉතා සූක්ෂම ලෙසින් මෙම සොරකම සිදු කර ඇත. සැකකරු විසින් සොරකම සිදු කරන ආකාරය දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන නිල වශයෙන් අන්තර්ජාලයට මුදහැරීමට ද ඩුබායි පොලීසිය කටයුතු කර තිබේ.


සොරකම අනාවරණය කරගැනීමෙන් පසු එම සැකකරු ඩුබායි හි වෙනත් ප්‍රදේශයක සිටියදී අත්අඩංගුවට ගැනීම ඩුබායි පොලීසිය සිදු කළ ආරක්ෂක මෙහෙයුම්වලින් හැකි වුණි. එසේම සැකකරු සිය ආරක්ෂාව සඳහා සොරකම සිදු කළ දා පටන් ඔහු එතෙක් භාවිතා කළ ජංගම දුරකථනය විසන්ධි කොට තබා ගැනීමට පවා සූක්ෂම ලෙසින් කටයුතු කර ඇති බවද සඳහන්ය.


තමන් ක්ෂණිකව කෝටිපතියෙකු වීමේ අරමුණෙන් වාර්ෂික සේවා නිඩාඩු ගෙන මව් රටට යෑමට පෙර මෙම සොරකම සිදු කළ බව සැකකරු ඩුබායි පොලීසිය හමුවේ ප්‍රකාශ කොට ඇත. ක්ෂිණිකයෙන් පොහොසතෙකු වීමට සිතා එම සොරකම කළ ඔහුට සිදුවූයේ කවුරුත් නොදන්නා නාඳුනන රටක සිර මැදිරියකට ගාල්වීම පමණකි. සැකපිට අත්ඩඅංගුවට පත්ව සිටින මෙම ලාංකිකයාට ඩුබායි පවතින ෂාරියා නීතිය යටතේ ඉතා ඉක්මනට නිදහස ලැබේද යන්න සැකයකි. මේ අතර සිද්ධිය සම්බන්ධයෙන් ඩුබායි පොලීසිය සැකකරුගෙන් තවදුරටත් දීර්ඝ ප්‍රශ්න කිරීම් සිදු කරන බවද කලීජ් ටයිම්ස් පුවත්පත් වාර්තාවේ සඳහන් වේ.

 

 

 

(කලීජ් ටයිම්ස් සහ ගල්ෆ් නිව්ස් ඇසුරෙනි)

 


සටහන
තිළිණි ද සිල්වා