දුම්රියේ ගැටෙන්නේ පණුකැවිල්ලට පාරේ උණුසුම සොයා ආ වන අලි


 

කන්තලේ හබරණ හා ගිරිතලේ මින්නේරිය ආශ්‍රිත වනාන්තරවල දිවි ගෙවන වන අලි සම්පත එන්න එන්නම දුම්රියවල ගැටී මියයෑමේ ප්‍රවණතාව අද උග්‍ර පාරිසරික ගැටලුවක් බවට පත්ව තිබීම කනගාටුවට කරුණකි. වනලෝලී හදවත් කම්පනයට පත් කරවන මේ සිද්ධිය අරභයා බොහෝ දෙනාගේ උපමාණය වී ඇත්තේ සිය සංචාරක ගමන් රටාවේදී දුම්රිය මාර්ගය හරහා ගමන් කරන මේ අසරණ සත්ත්ව සම්පත දුම්රියවල හැපී මිය යන බවය.   


නමුත් ඊට බලපාන කිසියම් විද්‍යාත්මක පසුබිමක් ඇත්දැයි සොයා බැලීමට මෙතෙක් කිසිවෙක් උත්සාහ දරා නැත. ඒ නිසාම මගේ මතකය එක්තරා විෂයබද්ධ වියතකු වෙත ඇදී ගියේය. ඒ වන අලි සංරක්ෂණයෙහි පු​රෝගාමියකු ලෙස වසර හතළිස් පහකට අධික කාලයක් තිස්සේ වනජීවී ක්ෂේත්‍රයට අමිල සේවයක් ඉටු කළ ඒ.බී. ප්‍රනාන්දු මහතාය. වන අලින්ගේ හැසිරීම් රටාව පිළිබඳව මතුපිට පොත්ත හැර අරටුව සොයා ගොස් කරුණු කාරණා ඉදිරිපත් කිරීමට සමත් ඥාන සම්භාරයක් ඔහු සතු බව දන්නා නිසාම මම එතුමා සොයා ගියෙමි.   


මෙයින් මාස ගණනකට පෙර ත්‍රිකුණාමලය මුහුදේ වැටී අලි ගසාගෙන ගිය බවට පැතිර ගිය සිද්ධියේ දී වත්මන් වනජීවී නිලධාරීන් පවා අතාර්කික මත පතුරවමින් සිටි අවස්ථාවක එය පුදුමයට කරුණක් නොවන බවත් ලවණ රස මුසු චූර්ණ පාෂාණ කැටි සොයා මුහුදු බැස කොට්ටියාරම් වරාය තුළ පිහිටි කඳු දූපත් වෙත පිහිනා යෑමට යෑම ත්‍රිකුණාමලය අවට වනවාසී අලින්ගේ සාම්ප්‍රදායික පුරුද්දක් බවත් තමා අත්දුටු සාක්ෂිත් සමග ජනමාධ්‍යයට හෙළිදරව් කරමින් සියලු පුහු හඬ ඔහු නිහඬ කළේය.   


දැනට විශ්‍රාම සුවයෙන් එක්තැන්ව සිටියත් ඔහුගේ දැනුම හා මතකය දත්ත සංරක්ෂිත පරිගණකයක් සේ අදටත් සප්‍රමාණයයි. ඒ සියලු කරුණු කාරණා විචක්ෂණ ලෙස විශ්ලේෂණය කරමින් ලංකාවේ වනාන්තර හා වන සතුන් සිසාරා ක්‍ෂණිකව ඇදී යයි. නිසි අර්ථ දැක්වීමට ඔහු තරම් සමතෙකු ලංකාවේ වනජීවී ක්ෂේත්‍රය තුළ මට තවම මුණගැසී නැත. ඒ නිසාම වත්මන් අලි දුම්රිය ගැටුම පිළිබඳ නව මානයකට අප රැගෙන ගිය ඔහුගේ හඬට දැන් අපි සවන් දෙමු.   


මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ, වඩිගවැව කේන්ද්‍රගතව පැතුරුණු ඔය සුවිශාල පෝෂිත වනාන්තර පද්ධතියේ ජීවත්වන වල් අලි වැඩිපුරම දිවි ගෙවන්නේ වගුරු විල්ලු බිම් අාශ්‍රිතවයි. ඒ නිසාම උන්ගේ පාද පතුල් හා නියමුල්වල නිතර නිතර පණුකැවිලි හෙවත් පණු දද හට ගැනීම සුලබ සිද්ධියකි.   


මේ පණු කැවිලි අධික ලෙස කැසීමට පටන් ගත් විට ඊට පිළියම් පතා උන් රාත්‍රි කාලයට ගල්තලා, මහා මාර්ග, දුම්රිය මාර්ග හා නව දැළි හේන් වෙත ගමන් කරනවා. ඒ මොකද දිවා කාලයේ දී හිරු රශ්මියෙන් ගිනියම් වන මේ නිරාවරණ බිම් කඩවල්වලින් රාත්‍රි කාලයට අධික ලෙස රස්නය පිටවෙනවා. එහි උණුසුම උන්ගේ පාදවල කැසීමේ වේදනාවට පිළිසරණයක්.   


දුම්රිය මාර්ගය මෙහිලා විශේෂයි. ඊට උන් වඩාත් කැමතියි. මන්ද දුම්රිය මාර්ගය හුදෙකලාය. කළුගල් තට්ටු අතුරා දෘඪ සිල්පර එළුෑ දුම්රිය පාර දිවා මැදියමේ සිට පසු දිනට පහන් වන අලුයම දක්වාම උණුසුම්ය. එමනිසා කණ්ඩායම් වශයෙන් දුම්රියේ ගැටී මිය යන්නේ හුදෙක් පාර මාරුවන අලි නොව පණුකැවිලිවල වේදනාවට සුවය සොයා පැමිණ දුම්රිය මාර්ගය මැද රැඳී සිටින අලිය. අසරණ පැටවුන් ද රෝගී මවුන් තුරුල්ලේ දුම්රියට බිලිවීම අරුමයක් නොවේ.   


කන් ඇත්තෝ අසත්වා. ඇස් ඇත්තෝ දකිත්වා යි වරක් ක්‍රිස්තුන් වහන්සේ වදාළ සේක.   


ප්‍රශ්නය ඇත්තේ එතැනය. පිළියම් යෙදිය යුත්තේ ඊටය.   


අලියා කියන්නේ බුද්ධිමත් සතෙක්. ඌට ආවාට ගියාට අනතුරු කැඳවා ගන්නේ නැත. නමුත් ඉවසන්න බැරි වේදනාවක් ඇතිවූ විටෙක අපට ද ඉන්න හිටින තැන ගැන වගක් නැත. තාර පාරක දී නම් අලි දැක බියේ නවත්වාගෙන සිටින වාහන දකින අලියා හෙමින් හෙමින් පාර අයිනට සීරු මාරු වෙයි. වාහනය ගිය පසුව යළිත් උණුසුම පතා පාර මැදට එයි. රේල් පාරක දී එසේ කළ නොහැකිය.  


අලින්ගේ සැරුම් රටා භූමි හා මංකඩවල් බිහිවන්නේ උන්ගේ පාරම්පරික ජාන ඉව ඔස්සේය. දිවා කල වන ගැබ තුළ සැඟව සිටින අලියා රාස්සිගේ හිරු රැස් මිලිනව යන සැඳෑ සමයේ සෙමින් සෙමින් සිය මංනිල අස්සෙන් සුපුරුදු ගමන් මගට පිවිසෙන්නේ රැයක් පුරා ඇවිද බඩ වියැත රැක ගැනීමටය.   


අයාලේ නොයෙන මේ සත්ව සම්පතට අද උන්ගේ නිජබිම පමණක් නොව ජීවිතය ද අහිමි වෙත්නම් පුරසාරම් දොඩමින් අද අප මේ කරන වන අලි සංරක්ෂණය කුමක්ද? සැබැවින්ම අද අපට දුම්රිය යකඩ යකෙකි.   


ඒ.බී. ප්‍රනාන්දු මහතාට සවන් දුන් මට එක්තරා පැරණි සිද්ධියක් මතකයට නැඟුණේය. ඒ රුසියාවේ ට්‍රාන්ස් පැසිෆික් දුම්රිය මාර්ගයට අනුබද්ධ නව දුම්රිය පාරක් ඉදි කරන අවස්ථාවක රුසියාවට ආවේණික රතු වෘකයන් වාසය කරන වනාන්තරයක් මැදින් පාර සැලසුම් කර තිබුණේය. පාර එලෙසින්ම ඉදිකළේ නම් එය වනාන්තරයේ ජීවත්වන වෘක්කයන්ගේ පැවැත්මට තර්ජනයක් බව තේරුම්ගත් රජය සිය සැලසුම වෙනස් කර වෘක වනාන්තරයට හානියක් නොවන ලෙස දුම්රිය මාර්ගය වනාන්තරයට යටින් භූගතව ඉදිකළේය. ඒ රුසියාවයි. මේ සසිරිබර සිරිලකයි. එවන් ​ෙගාන් වැඩ අපට විහිළුවකි.   


අලි හා දුම්රිය පිළිබඳ ප්‍රශ්නය අරභයා වඩාත් ප්‍රායෝගික වූ යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ පරිසරවේදී ජගත් ගුණවර්ධන මහතාය. එනම් විදුලි වැටත් උස්බිම් හරස් මංකඩවලුත් උප​යෝගී කරගෙන ප්‍රශ්නයට විසඳුමක් දීමය. දුම්රිය මාර්ගයට ඉහළින් නිසි තැන්වල කඩින් කඩ ඉදිවන කොන්ක්‍රීට් උස්බිම් තැන්න මත වඩාත් උණුසුම රඳවා ගැනීම සඳහා තාර මිශ්‍රිත කළුගල් කැබිලිති ආවරණයක් දැමිය හැකිය. එවිට නිරන්තරයෙන් පණු කැවිලිවලට ගොදුරු වන අලින්ට රාත්‍රි කාලයට සිත්සේ ඒ මත රැඳී සිටීමටත් තමන්ගේ ජානගත මාර්ග රටාව ඔස්සේ නිදහසේ සැරි සැරීමටත් හැකියාව ලැබේ. එවිට අලි සම්පතත් දුම්රිය සේවාවත් නිරවුල්ව පවත්වා ගැනීමට පුළුවන.

 

 

කැමිලස් වනිගසූරිය

 


ඉන්දුනීසියාවේ අලි ගුරුකම ලංකාවට අකැපද?

 අලින්ට බලපාන නව නීති රීති හා රෙගුලාසි මාලාවක් පසුගියද‌ා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අලි කුලප්පුවෙන් වාගෙ ගෙ​ෙනනු ලැබුවා. හැබැයි ඒ නීති හදන්න කලින් අලි සම්බන්ධව සාර්ථක විසඳුම් ගෙනා රාජ්‍යයන්ගෙන් ගුරුහරුකම් ගත්තද? අධ්‍යයනයන් සිදු කළාද? එහෙම නැත්නම් ගෙන ඇවිත් තියෙන්නේ කිසිදු විද්‍යාත්මක හැදෑරීමකින් තොර බේත් සිට්ටුවක් වාගෙ ලියැවිල්ලක් විතරද? කොළ පොඩි කළාට ගහ හඳුනන මිනිස්සු විමසනවා.   


අලි කළමනාකරණය සම්බන්ධයෙන් ගුරුහරුකම් ගන්න පුළුවන් රාජ්‍යයක් විදියට ඉන්දුනීසියාව කීර්තියක් උසුලනවා. ඒත් ඉන්දුනීසියාවෙ අලි ඉන්නේ ඔවුනට අයත් තරමක් විශාල දූපතක් වන සුමාත්‍රා දූපතේ විතරයි. සුමාත්‍රා දූපතේ කඳුකර ප්‍රදේශයන්හි වාසය කරන මේ අලි ග්‍රීෂ්ම කාලෙට තැනිතලා ප්‍රදේශ හරහා වෙරළාසන්නයට පැමිණෙනවා. අලින්ගේ මේ සංක්‍රමණික චර්යාව අලි මිනිස් ගැටුම් නිර්මාණය කරනවා.   


එ් විතරක් නොවෙයි, මිනිසුන් ජනාකීර්ණ වීමත් සමග උදුරා ගන්නේ අලින්ගේ නිජ භූමි. එච්චරක් ද?   


වගා බිම් වශයෙන් කෘෂිකර්මාන්තයට යොදව ගන්න තියෙන්නෙත් මුලින් අලි ජීවත් වූ ඔවුන්ගේ පැරණි වාස භූමි. දැව කර්මාන්තය නිසා අහිමිවෙන්නෙත් අධිවේගී මාර්ග වැනි යටිතල පහසුකම් දියුණු කරන්න යොද‌ා ගන්න සිදු වෙන්නෙත් අලින්ගේ මුල් ඉඩ කඩම්. මේ හැම දේකින්ම සිදු වන්නේ අලි මිනිස් ගැටුම් ඇතිවෙන්න තියෙන ඉඩ කඩ වඩ වඩාත් වැඩි වීමයි.   


ඒත් ඉන්දුනීසියාව අතීතයේ පටන්ම මේ අලි මිනිස් ගැටුම් අඩු කර ගන්න කටයුතු කළා. එහෙයින්ම අලි සම්බන්ධයෙන් සැලසුම් සහගත සහ පැහැදිළි වැඩපිළිවෙළක් ඔවුන් සතුයි. ඒ වැඩපිළිවෙළ අඛණ්ඩව සහ ප්‍රතිපත්තිමය වශයෙන් ඔවුන් පිළිපදිනවා. අන්න ඒක තමයි ඉන්දුනීසියාව සතු අලි ගුරුකම.   


ඉන්දුනීසියාව අලි සම්බන්ධයෙන් ත්‍රිවිධ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. ඉන් පළමු වැනි ප්‍රතිපත්තිමය ඔවුන්ගේ භාෂාවෙන් හඳුන්වන්නේ ටටා ලිමන් (Tata Liman) කියලා. ඉන් සිදුකරන්නේ අලින්ට අහිතකර ප්‍රදේශයන්ගෙන් ඔවුන් මුදවා ගෙන වඩාත් වැඩි පහසුකම් සහිත විශාල භූමි භාගයක් ඔවුන්ට සපයා දීමයි.   


දෙවැනි ප්‍රතිපත්තිය එයාලා බිනා ලිමන් (Bina Liman) වශයෙනුයි හඳුන්වල දෙන්නේ. ඒ කියන්නේ අලි සවිබලකරණය කිරීමේ වැඩපිළිවෙළයි. අලි වැටවල් වැනි දේ වඩාත් සවිමත් කිරීම මෙන්ම අයහපත් චර්යා රටාවන්ගෙන් යුක්ත අලින් හඳුනා ගැනීමත්, එම අලින් පුනරුත්ථාපනය කිරීමත් මෙම වැඩපිළිවෙළට අයත් වෙනවා. පුනරුත්ථාපනය කිරීමෙන් පස්සේ එම අලින්ම මිනිස්සුනට ප්‍රයෝජනවත් කටයුතු සඳහා යොද‌ා ගත හැකි වෙනවා.   


තුන් වැනි ප්‍රතිපත්තිය ගුනා ලිමන් (Guna Liman) වශයෙනුයි ඔවුන් හඳුන් වන්නේ. එහිදී හීලෑ අලින් සංචාරක ව්‍යාපාරය ආශ්‍රිත විනෝදකාමී කටයුතු සඳහා යොද‌ා ගැනීම, වනාන්තර ආශ්‍රිතව සිදු කරන වන වගාවන් සඳහා අවශ්‍ය උපකාරයන් ලබා ගැනීම වැනි දේ මෙයට අයත්. ඒත් හීලෑ අලි ඇතුන් සංඛ්‍යාත්මකව විශාල ප්‍රමාණයක් නොමැති වීම නිසා ඔවුන් මේ කටයුතු විශාල වශයෙන් ප්‍රචලිතව කරන්නේ නෑ.   


එ්ත් ඉන්දුනීසියා ජාතිකයන්ගේ අලි ගුරුකම නිසා ඒ රටේ අලිත් මිනිස්සුත් දෙ​ෙගාල්ලම සතුටින් ඉන්න වග නම් පේනවා.   


අපේ රට අලි පාලනය කළත්, අලින්ට මොන නීති ගෙනාවත් රෑ වැටුණු වළේ ඒ අලියම දවල්ටත් වැටෙන එක නම් සහ සුද්දෙන්ම කියන්න පුළුවන්. 

 

 

රත්න පතිරණ