දුම්රිය වැඩපොළේ හදන ලී දුම්රිය මැදිරි


 

 

දවසින් දවස දියුණු වන ලෝකය නව සොයාගැනීම් සමග අලු‍ත්වන වෙනස්වන තාක්ෂණය සමග අත්වැල් බැඳ ගත්තද පැරණි මතක අදටත් සිත් තුළ ජනිත කරවන්නේ නැවුම් බවකි. 


පැරණි බව පිළිබඳ සිහිපත් කිරීමේදී රටේ සංස්කෘතියේ උප සංස්කෘතියක් ලෙස අපූරු දෑ අපට තිළිණ කළ දුම්රිය සංස්කෘතිය අමතක කළ නොහේ. 
ඇතැමෙක් දෑස හැර දකින යකඩ සිහිනයක් වැනිය. 


මේ දිනවල නිරන්තරයෙන් පුවත් මවන S 13, S 14, M 11 නවීන තාක්ෂණයෙන් සුසැදී යකඩ හීනය ලෙස සිස්ටම් අප්ඩේට් සමග ඉලෙක්ට්‍රොනික් යුගය ජය ගනිද්දී හොරෙන් හොරෙන් හැඩවෙන මැදිරි හතරක් අපට හමුවුණා රත්මලාන දුම්රිය වැඩබිමේදී. සාප්පු අංක 21 සහ 24දී. හැඩ වැඩ වෙන මේ මැදිරි පැරණි මැණිකෙලාගේම කොටසක් වීම විශේෂත්වයකි. 

 

 


උඩරට මැණිකෙගේ සහ බදුලු‍ රාත්‍රී තැපැල් දුම්රියේ තුන් වන මැදිරි ලෙස එදා විශිෂ්ට දුම්රිය සේවාවකට උරදුන් මේ මැදිරි අද හැඩ වැඩ වනුයේ නැරඹුම් මැදිරි ලෙසය. 
රටේම දුම්රිය ලෝලීන්ගේ අවධානය ශ්‍රී දේවිලා, දෙනුවර මැණිකෙලා වෙතට යොමු වී තිබෙන මොහොතක දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා අත ගසා ඇත්තේ අපූරු කාර්යයකටය. 


මේ වනවිටත් වර්තමානයේ භාවිතයෙන් බැහැරවෙමින් පවතින ලී මැදිරි යළි ප්‍රතිනිර්මාණය කිරීමේ කාර්යය කාටත් නොකියාම සිදුවන්නේ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු මහතාගේ සංකල්පයකට අනුවය. 


ඔහු පවසන ආකාරයට ලංකාවේ සුන්දරත්වය නැරඹීමට පැමිණෙන විදේශිකයින්ට ලීයෙන් නිමවූ නැරඹුම් මැදිරියක නැගී මනස්කාන්ත උඩරට දුම්රිය මගෙහි විවේකීව යන ගමන අමතක නොවන සංචාරයක් වනු නියතය. 


ලොව සුපිරි තාක්ෂණයෙන් යුතු විදුලි දුම්රිය සමග වේගවත් ගමනකින් හෙම්බත්ව සිටින විදේශිකයින්ට මහනුවර සිට ඇල්ල දක්වා සේවයේ යෙදවීමට යෝජිත ලී දුම්රිය මැදිරි තුළ ගිමන් නිවාලමින් සිය සංචාරය නිමවීමට හැකිවනු ඇත. 


ලෝක දුම්රිය ඉතිහාසය ගැන සොයා බැලීමේදී සුද්දගේ රටේ ද භාවිතයෙන් බැහැරව ගිය ලී මැදිරි අප රටේ තව වසර ගණනාවකදී ද දැකගත හැකිවනු ඇත. 


අනාගත පරපුරට ද දැකගත හැකි වනු පිණිස නිමවන ලී දුම්රිය මැදිරි පැරණි ශිල්පීය ක්‍රමෝපායන්ට අනුව සැකසීම විශේෂත්වයකි. 


එදා ඉන්දියාවෙන් ආනයනය කරන ලද මෙම මැදිරිවල අතීතය වසර හතළිහකට එහාට දිව යන්නකි. 1980 වර්ෂයේ කොළඹ වරායෙන් මෙරටට ගොඩබට මෙම මැදිරියේ මුල් නිමවුම සිදුවී ඇත්තේ සාමාන්‍ය යකඩ මැදිරියක් ලෙසය. 


අතීතයේ සිට වසර ගණනාවක් උඩරට දුම්රිය මගේ මැණිකෙලා සමග වැඩි බරකට උර දුන් මෙම මැදිරි අද වනවිට නැරඹුම් මැදිරියක් ලෙස අමුතුවෙන් නැවත හැඩවන්නේ දුම්රිය උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු ජී.ඒ. ක්‍රිශාන්ත මහතාගේ අධීක්ෂණය යටතේය. 


දුම්රිය දෙපාර්තමේන්තු ශිල්පීන් විසින්ම සකස් කරනු ලැබූ සැකැස්මකට අනුව සාප්පු අංක විසි එක, විසි හතර වඩු අංශයේ දක්ෂ වඩු කාර්මිකයින්ගේ කිරුම් මැණුම් අතරින් නිමවන මේ එක් මැදිරියකට වැයවන මුදල රුපියල් මිලියන හතළිහකි. 


තුන්වන පංතියේ මගී මැදිරියක්ව තිබූ මෙම මැදිරිය ස්ටීල් සැකැස්මකට ලීවලින් ආවරණය කරමින් නිමවන්නකි. 


මහෝගනී, කුඹුක් වැනි ලී විශේෂ කුඩා ලී පටි ලෙස සකසා ගනිමින් නිමවන මැදිරියක දිග අඩි හතළිස් පහකි. ලු‍වස් පටි යොදා ගනිමින් ජනේල නමවා ඇති අතර එක් මැදිරියකට ජනේල කවුළු දහයකට වැඩි ප්‍රමාණයක් තබා පරිසරය දැක බලා ගැනීමට හැකිවන ලෙස නිමවා ඇත. 


මැදිරි අංක 15,000 මේ ආකාරයෙන් නැරඹුම් මැදිරියක් ලෙස නිමවෙන අතර මෙහි අලු‍ත්වැඩියා කටයුතු 2019 වර්ෂයේ ආරම්භවූවකි. 

 

 


ලී මැදිරි නිමවුම දුම්රිය කාර්මිකයින්ගේ දක්ෂතාවට ලැබුණු අවස්ථාවක් වූ බව සඳහන් කරන දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා වටිනා දැව නිමවුමක් ලෙස මෙය අනාගත පරපුරටත් සංචාරකයින්ටත් දුම්රිය ලෝලීන්ටත් අපූරු දුම්රිය ගමනකට මග කියනු ඇති බව වැඩිදුරටත් පැවසීය. 


පැරණි ලී මැදිරි අනාරක්ෂිත හෙයින් මගී ප්‍රවාහනයෙන් ඉවත් වෙමින් පවතින බවත් අලු‍තෙන් නිමවන ලී මැදිරි යකඩ සැකිල්ල සමග නිමවන නිසා සවි ශක්තියෙන් වැඩි බවත් ඔහු පැවසීය. 


පැරණි ලී මැදිරි කට්ටල මේ වනවිට බඩු ප්‍රවාහනයට යොමු කර ඇති අතර මගී ප්‍රවාහනයෙන් බැහැරව ඇත. අලු‍තෙන් නිමවන මැදිරි අසූවේ වේගසීමාවකදී වුවද ආරක්ෂිතව නිමවන බව ඔහු වැඩිදුරටත් පැවසීය.


සටහන ඡායාරූප 
රේඛා තරංගනී ෆොන්සේකා