දුම්රිය ගාස්තු වැඩි කළ කතාවේ ඇත්ත නැත්ත


 

ඔක්තෝබර් පළමු වැනිදා පටන් දුම්රිය ගාස්තු සංශෝධනය වී ඇති ආකාරය ගැන මේ වනවිට මගීන්ගෙන් ලැබෙන්නේ යහපත් ප්‍රතිචාරයක් නොවේ. ගාස්තු වැඩිවීම සියයට 15ක් යැයි දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නත් එය ඇතැම් ප්‍රදේශවලදී සියයට 20, 30 ආදී ප්‍රතිශතවලින් වැඩිවී තිබෙන බව මගීන්ගේ චෝදනාවයි.   


මෙවර ගාස්තු සංශෝධනය වී ඇත්තේ කිලෝමීටර් ගණන කාණ්ඩ හතකට වර්ග කොට එම එක් එක් කාණ්ඩයේ දුර ප්‍රමාණය සඳහා වෙන වෙනම ගාස්තු අය කිරීමේ ක්‍රමවේදයක් අනුගමනය කරමිනි. 


ඒ අනුව පළමු කිලෝමීටරයේ සිට කිලෝමීටර් 10 දක්වා කිලෝමීටරයකට රුපියල් 1.30 බැගින්ද, දෙවනුව කිලෝමීටර 11 සිට කිලෝමීටර 50 දක්වා කිලෝමීටරයකට රුපියල් 1.20 බැගින් ද කිලෝමීටර 51 සිට 100 දක්වා කිලෝමීටරයකට රුපියල් 1.00 බැගින්ද කිලෝමීටර 101 සිට 200 දක්වා කි​ෙලා්මීටරයකට ශත 80 බැගින් ද කිලෝමීටර 200 සිට ඉහළට කිලෝමීටරයකට ශත 60 බැගිනි. 


මෙහිදී පළමු ඒකක දහය සඳහා කිලෝමීටරයට රුපියල් 1.30 බැගින් ගාස්තුව රුපියල් 13ක් වුවත් එය ආසන්න රුපියල් පහට ගලපා ඇත. ඒ අනුව මුල් කිලෝමීටර 10 සඳහා ගාස්තුව රුපියල් 15ක් වේ. 


ආසන්න වශයෙන් රුපියල් 10.50ක්ව තිබෙන දුරකට රුපියල් 15ක් අය කිරීම සිදුවෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 


දුර ප්‍රමාණය කිලෝමීටර 51කට ඔබ්බෙන් කිලෝමීටර 100ට වේ නම් එහි ගාස්තු සකසා ඇත්තේ මුල් ගාස්තුවට හා දෙවන ඒකක 40ට ඒකකයට රුපියල් 1.20 බැගින් රු. 48ක් ද වශයෙනි. එය ආසන්න රුපියල් 50 ලෙස සලකා ඉතිරි වන කිලෝමීටර ගණන සඳහා ඒකකයට රුපියල් 1.00 බැගින් ගණනය කර ලැබෙන අගය ආසන්න රුපියල් 5.00 වැඩිකර මුල් කාණ්ඩ දෙකේ මුළු අගයන් දෙකම එකතු කිරීමෙනි. මෙය තරමක් සංකීර්ණ නිසා මගීන්ගෙන් චෝදනා නැගෙනුයේ ප්‍රතිශතය සියට 15ක් නොවන බවටය. කෙසේ වෙතත් මේ ක්‍රමය යටතේ රුපියල් 25 ගාස්තු 40 දක්වා ද 50 ගාස්තු 65 දක්වා ද 70 ගාත්තු 90 දක්වා ද 85 ගාස්තු 115 දක්වා ද වැඩිවී තිබේ. 


මෙසේ ගාස්තු වැඩිවීමට සාපේක්ෂව වාර ප්‍රවේශපත්‍රවල ගාස්තුව රුපියල් දෙතුන් සියයේ සිට රුපියල් හය හත්සියයක් දක්වා වැඩිවී ඇතැයි ද ඇතැම් දෙවන පන්තියේ වාරප්‍රවේශපත්‍රවල ගාස්තු දෙගුණයකට ආසන්න ගණනකින් වැඩිවී ඇතැයි ද මගීන්ගෙන් මැසිවිලි නැගේ. 


ඇතැම් මගීන් පෙන්වා දෙනුයේ රුපියල් 960ක්ව තිබූ වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව සියයට 15 වැඩිවීම සැලකුවහොත් රුපියල් 1104ක් වියයුතු වුවත් රුපියල් 1320 දක්වා සියයට 37.50 වැඩිවී ඇති බවයි. 


එමෙන්ම රුපියල් 2040ක්ව පැවැති දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 2760 දක්වා ද රුපියල් 1680 තිබූ ගාස්තුව රුපියල් 2160 දක්වා ද රුපියල් 1440 තිබූ ගාස්තුව රුපියල් 2040 දක්වා ද වැඩි වී ඇත. ඇතැම් විට මේවායේ ප්‍රතිශතයන් ඉතා ඉහළ අගයන් ගන්නා බව ද මගීන්ගේ චෝදනාවයි. 


එවැනි චෝදනා යෝජනා හමුවේ කියැවෙන තවත් කාරණයක් වන්නේ උතුරු මාර්ගයේ දුම්රිය ගාස්තු වැඩිවී ඇත්තේ ඉතාම සුළු ගණනකින් බවයි. අැතැම් දුම්රිය ස්ථානවලට අැති ගාස්තුව කිසිසේත් වැඩිවී නැති බව ද පෙන්වා දෙන මගීහු එය දෙමළ ජනතාවට විශේෂ සැලකිල්ලක් කරන බවට පෙනෙන්නේ යැයි ද චෝදනා කරති. එය යහපාලන රජයේ ප්‍රතිපත්තිය යැයි ද තවත් පසෙකින් චෝදනා නැගේ. 

 

ගාස්තු වැඩිවීමට සාපේක්ෂව වාර ප්‍රවේශපත්‍රවල ගාස්තුව රුපියල් දෙතුන් සියයේ සිට රුපියල් හය හත්සියයක් දක්වා වැඩිවී ඇතැයි ද දෙවැනි පන්තියේ වාරප්‍රවේශපත්‍රවල ගාස්තු දෙගුණයකට ආසන්න ගණනකින් වැඩිවී ඇතැයි ද මගීන්ගෙන් මැසිවිලි නැගේ. ඇතැම් මගීන් පෙන්වා දෙනුයේ රුපියල් 960ක්ව තිබූ වාර ප්‍රවේශ පත්‍ර ගාස්තුව සියයට 15 වැඩිවීම සැලකුවහොත් රුපියල් 1104ක් වියයුතු වුවත් රුපියල් 1320 දක්වා සියයට 37.50 වැඩිවී ඇති බවයි. එමෙන්ම රුපියල් 2040ක්ව පැවැති දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ගාස්තුව රුපියල් 2760 දක්වා ද රුපියල් 1680 තිබූ ගාස්තුව රුපියල් 2160 දක්වා ද රුපියල් 1440 තිබූ ගාස්තුව රුපියල් 2040 දක්වා ද වැඩි වී ඇත. ඇතැම් විට මේවායේ ප්‍රතිශතයන් ඉතා ඉහළ අගයන් ගන්නා බව ද මගීන්ගේ චෝදනාවයි. 

 


නමුත් මේ චෝදනාව එල්ල කරන පිරිස් නොදන්නා කාරණයක් ඇත. එනම් 2013 වසරේ උතුරු දුම්රිය මාර්ගය වවුනියාවේ සිට දීර්ඝ කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුව 2008 ගාස්තු වැඩිවීමේ ගැසට් නිවේදන අනුව ගාස්තු වැඩි කරන ලදී. 


 නමුත් එවක ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් එම ගාස්තුව හා එවක බස් ගාස්තුව අතර අැති විශාල පරතරයක් දැක එය අවම කරවීමට කටයුතු කරවමින් එම දුම්රිය ගාස්තු වැඩි කළ යුතු බවට පෙන්වාදී ඇත. 
ඒ අනුව යළිත් ගාස්තුව වැඩිකර ඇත්තේ බස් ගාස්තුවට සාපේක්ෂව රුපියල් පනහක හැටක ප්‍රමාණයකට අඩු මුදලකට දුම්රිය ගාස්තු තීරණය කරමිනි. ඒ අනුව මෙවර ගාස්තු වැඩිවීමේ ප්‍රතිශතයන්ට පරිබාහිර ක්‍රමවේදයක් අනුගමනය කරමින් එවර ගාස්තු වැඩිකර තිබේ. එම නිසා මෙවර ගාස්තු වැඩි කිරීමේදී ඒ ප්‍රදේශවල ගාස්තු වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර නොගත්තා විය හැකිය. 


මෙකී නොකී මගීන්ගේ චෝදනා යෝජනා හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුව ඉකුත් තුන් වැනිදා මාධ්‍ය හමුවක්ද පවත්වා කරුණු පහදා දීමට තරම් එය දුරදිග ගියේය. එපමණක් නොව එය කැබිනට් තීරණ දැනුම්දීමේදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කරවීම දක්වාම දුරදිග යන ලදී. 


බස් ගාස්තු වැඩිවීමේදී ප්‍රශ්න නොකරන ජනතාව දුම්රිය ගාස්තු වැඩිවීමේදී ප්‍රශ්න කරන බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන්ගේ අදහසයි. කෙසේ වෙතත් මෙවර ගාස්තු වැඩිවීම සිදුකර ඇත්තේ 2008 ගාස්තු වැඩිවීමේ ගැසට් නිවේදනයට අනුව යැයි දුම්රිය දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. 


දුම්රිය මගී සංගම්ද මේ සම්බන්ධව දරනුයේ විරෝධයකි. මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ කුරුණෑගල දිස්ත්‍රික් දුම්රිය මගී සංගමයේ සභාපති එච්.එම්. ජයසේකර මහතා: 


‘‘මේ ගාස්තු වැඩිවීමේ ක්‍රමවේදයට අපි විරුද්ධයි. මේ අය කියන ක්‍රමවේදයට නොවේ වැඩි කරලා තියෙන්නේ. එයාලා කිව්වේ සියයට 15ක් කියලා. නමුත් දැන් සියයට 15 සිට 42 දක්වා වැඩි කරලා තියෙනවා. ප්‍රදේශයෙන් ප්‍ර​ෙද්ශයට මේක වෙනස්. ලංකාවේම එකම ක්‍රමවේදයකට මේ ගාස්තු වැඩි වෙන්න ඕනෑ. එහෙම නැතිව ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් විදියට වැඩි කරපු එක අසාධාරණයි. අපි සංගම් විදියට රජයට කියන්නේ මේ අසාධාරණ ක්‍රමවේදය ඉවත් කර රටටම එකම ක්‍රමවේදයක් ගේන ලෙසයි’’. 


නියෝජ්‍ය ධාවන අධිකාරී ඒ.ජේ. ඉදිපොළගේ මහතා:  


‘‘2008 කලාප ක්‍රමයට දුම්රිය ගාස්තු වැඩිවීමේදී එක් එක් දුම්රිය ස්ථානයට ඇති දුර පදනම් කරගෙනයි මේ ගාස්තු වැඩිවීම් කරලා තියෙන්නේ. ඒ ඒ ගාස්තු වැඩිවීම්වල ලොකු වෙනසක් ඇති වෙලා තියෙන්නේ. කලින් ගාස්තුවයි මේ ගාස්තුවයි ප්‍රතිශත ගැන බලලයි මේ චෝදනා එල්ල කරන්නේ. ගාස්තු වැඩිවීම රුපියල් පහෙන් පහට වැඩි කරලා තියෙන්නේ. වත්මන් ගාස්තුව ආසන්න රුපියල් 5ට ගලපමින් තමයි හදලා තියෙන්නේ. 
වාර ප්‍රවේශපත්‍රවල ගාස්තු අයකරන්නේ දින 12කටයි. ගමන් ගාස්තුව ගමන් වාර 24කට සලකලයි වාර ප්‍රවේශපත්‍ර දෙන්නේ. ඒ අමතර මුදල් රජය සහනාධාරයක් විදියටයි දෙන්නේ. වාර ප්‍රවේශ ගාස්තුව දින 30කටම ගණන් සෑදූ විට බොහොම සුළු මුදලක් අය කරන්නේ. ඒ වගේම ඒ සහනාධාරය මහජනයා නැවතත් බදු ලෙස ගෙවීමක් කරනවානේ. 


උතුරු මාර්ගයේ ගාස්තු වැඩි කළේ 2013දී. මෙවර සාමාන්‍ය ගාස්තු වැඩිවීම සුළු ප්‍රමාණයකින් වැඩි වුණේ 2013 ක්‍රමවේදයටයි. කිලිනොච්චියට වැඩි නොවුණේ ඒකයි. යාපනයට රුපියල් 20, 30 වගේ වෙනසක් තියෙන්නේ. දෙමළ ජනතාව විතරක් නොවේ උතුරට යන්නේ ත්‍රිවිධ හමුදාව හා දෙස් විදෙස් සංචාරකයන් පවා යනවනේ’’. 

 

 

 

පුෂ්පා වීරසේකර