දිඹුලාගල කන්දට සක්වලින් පහත්වූ එළියක්?


පසුගිය දිනෙක ඓතිහාසික දිඹුලාගල කඳු ශිඛරයට පිටසක්වල ජීවීන්ගේ ආගමනක් පිළිබඳව වාර්තා වෙන්නේ පාන්දර යාමයේ අඳුර මැදින් ආ දීප්තිමත් එළි රැසක් සමගිනි. දිඹුලාගල යනු ඓතිහාසික කතා ප්‍රවෘත්ති හා නිබඳවම බැඳුණු පෘථිවි තලයේ පිහිටි සුවිශේෂී බිමක් ලෙස විශාරදයෝ හඳුන්වති.


“ධූමරක්ඛ පබ්බත” යන අන්වර්ථ නාමයෙන්ද දිඹුලාගල කඳු ශිඛරය හඳුන්වන අතර එම ප්‍රදේශය උල්කාපාත ඇද වැටීම් සඳහා සුවිශේෂීතාවයක් දක්වන බැව් එම ඉතිහාසගත නාමය තුළින්ද තහවුරු කර ගත හැකිය. ලෝකයේ වැඩිම වර්ෂාපතනය ලැබෙන ස්ථානයට එය එසේ වනුයේ කිනම් කරුණක් නිසාදැයි නියත ලෙසම විද්‍යාත්මකව පැවැසිය නොහැක. නමුත් එය එසේ සිදුවේ. එලෙසින්ම දිඹුලාගල කඳු මුදුනට උල්කාපාත පතිතවිම්ද සිදුවීම අපට පැහැදිලි කරගත හැකිය. නමුත් දිඹුලාගල කඳු මුදුනට දියුණු පිටසක්වල ජීවීන්ගේ ආගමනයත් පිළිබඳව ද ප්‍රදේශවාසීන්ගේ කතාවලට හා ඉතිහාසගත ප්‍රවෘත්තිවලට අනුව සිතන විට එය මුළුමනින්ම බැහැර කළ හැකිද?


ලොව පුරා පසුගිය දිනවල වාර්තා වූ සුවිශේෂී සිදුවීම් කීපයක් මේ සමගම මා ඔබවෙත ගෙනහැර දැක්වීම වඩාත් කාලෝචිත බැව් සිතේ. 


මීට දින කීපයකට ප්‍රථම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සජීවී වැඩ සටහනක් විකාශනය වෙමින් පැවතිණ. එවිට එක්වරම අභ්‍යවකාශ දෙසට නිරාවරණය වූ ප්‍රදේශයේ ඉතා දීප්තිමත් වස්තූන් 3ක් අහඹු ලෙස වේගයෙන් දර්ශනය වූ අතර එක්වරම නාසා (NASA) ආයතනය එම සජීවී විකාශය මඳකට අත්හිටවනු ලැබීය.


එලෙසින්ම 2017 ජනවාරි මස 16 වැනි දින ද ඒ අයුරින්ම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සජීවී විකාශය සිදුවනවිට අධික වේගයෙන් චලනය වෙන ඕවලාකාර හැඩැති වස්තුවක් ගමන් ගනිමින් තිබිණි. එසැණින් ක්‍රියාත්මක වූ එහි කාර්යයේ නියුතු අජටාකාශගාමියා කැමරාවේ මුහුණත සිය අත්ල මතින් වසා දමනු ලැබීය.


පසුගිය 2016 වසරේ නොවැම්බර් මස 17 වැනි දින ද ඉහත අයුරින්ම ජා.අභ්‍ය.මධ්‍යස්ථානයේ :ෂී* එවැනි හඳුනා නොගත් වස්තුවක් දිස්වෙන අතර එක්වරම සජීවී විකාශය අතරමග නවතනු ලබයි. එහිදී ඉතා පැහැදිලිව සිලින්ඩාරාකාර වූ විශ්වීය වස්තුවක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය දෙසට නිරීක්ෂණාකාරී මෙහෙයුමක් කරන්නාක් මෙන් වූ හැඟීමක් එම විකාශය නරඹන්නන්හට පෙනී යයි. තවද 2016 ජුලි මස 15 වැනිදා ද විශ්වීය අමුත්තන්ගේ ආගමනය ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සටහන්වෙන අතර අතිශය අවාසනාවන්ත ලෙස එවරද නාසා ආයතනයට එම විකාශය තාවකාලිකව නතර කරන්නේ ලෝකවාසීන්ගෙන් සත්‍යය වසන් කරලීමේ අභිලාෂයෙනි. 


1990 වසරේ බෙල්ජියම් අහසේ දුටු ත්‍රිකෝණාකාර පිටසක්වල යානාව ඡායාරූප ගතකර ඇති අතර එය සියලු තාක්ෂණික ක්‍රමවේද හරහා සත්‍ය ඡායාරූපයක්ද යන්න සෙවුම් කළ අතර සැවොම විශ්මයට පත් කරලමින් එය ඉතා නිවැරැදි සත්‍ය ඡායාරූපයක් බවට ඔප්පු විණි. එලෙසින්ම පසුගිය 2016 වසරේ අගෝස්තු 11 දා දින ප්‍රංශයේ පැරිස් නුවර අහසේද ආගන්තුක දීප්තිමත් රතු පැහැ එළි සහිත ආකාශ වස්තුවේ ඡායාරූප සටහන් විණි.


මීට සති 2 කට ප්‍රථම පෘථිවියෙන් ආලෝක වර්ෂ 39කට එහා අපගේ සෞර ග්‍රහ මණ්ඩලය මෙන්ම වූ නව සෞර ග්‍රහමණ්ඩලයක් සොයා ගන්නා ලදී. ට්‍රැපිස්ට් 1 (TRAPIST 1) ලෙස එය හැඳින්වූ අතර මිහිමත සිට ඒ සඳහා ඇති දුර සැතපුම් ටි්‍රලියන 234කි. පෘථිවිය මෙන්ම වූ ග්‍රහළොවක් එහි පවතින අතර අනෙකුත් අඟහරු, සිකුරු, බුද වැනි ග්‍රහලෝකයන්ට බොහෝ ලෙස සමාන වූ ග්‍රහලෝකයන්ද එහි ඇත. ඇමෙරිකානු ජාතිකයකු වන කර්නල් බොයිඞ් බුෂ්මන් මහතා මීට වසර 3කට ප්‍රථම ඇමෙරිකාවේ ඒරියා 51 (AREA 51) තුළ ඇමෙරිකානු විද්‍යාඥයින් හා ආලෝක වර්ෂ 39කට එහා සිට පැමිණි පිටසක්වල ජීවීන් පිරිසක් එක්ව අධිතාක්ෂණික මෙවලම් නිෂ්පාදන කරන බවත් තමන්ද ඔවුන් සමඟ එක්ව වැඩ කළ බවත් ප්‍රකාශ කරන ලදී. 


එම සක්වල ජීවීන්ගේ ආයු කාලය වසර 230ක් පමණ වන බවත් (අපගේ මිහිමත වසරවලට අනුව) එවන් එක් පිටසක්වල ජීවියෙකු පෘථිවි තලයේදී මියගිය බවත් ඔහු ප්‍රකාශ කළේ අති සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවක් කරමිනි. එම සාකච්ඡාව කරනවිට ඔහු පිළිකා රෝගයෙන් පීඩා විඳිමින් සිටි අතර තමා මෙතෙක් කල් සිරකරගත් රහසක් හෙළි කර සිත නිදහස් කර ගැනීමට උත්සාහ දැරීමක් මෙන් වූ අවස්ථාවක් ලෙස එය ගෙනහැර දැක්විය හැකිය.


එම සිදුවීමෙන් දින කීපයකට පසුව කර්නල් බොයිඞ් බුෂ්මන් සදහටම දෙනෙත් පියා ගත්තේ ලෝකයා වෙතින් සදාකාලිකවම රහසක් වීමට තිබූ යථාර්ථය ලොවට මුදා හැරීමෙන් පසුවීම ඉතා සුවිශේෂී කරුණකි.


අද අප කතා කරන ආලෝක වසර 39කට එහා වූ සෞර ග්‍රහ මණ්ඩලයේ වූ ජීවය පවතින ග්‍රහලොව එදා කර්නල් බොයිඞ් බුෂ්මන් පැවැසූ ග්‍රහළොව තුළ වූ පිටසක්වල ජීවීන්ගේද? වරක් මාහට මහාචාර්ය චන්ද්‍ර වික්‍රමසිංහයන් සමඟ දිඹුලාගල පුරාණ විහාරයට ගොස් එහිදී එහි නායක ස්ථවිරයන් වහන්සේ සමඟ කතා බහ කරන්නට අවස්ථාව සැලසුනි. 


අරලගංවිල උල්කාපාත සිදුවීම අළලා ලෝප්‍රකට ඩිස්කවරි නාළිකාව මගින් වාර්තාමය වැඩසටහනක් නිපදවන්නට පැමිණි අතර එහිදී එය පටන් ගැනීමට ප්‍රථම අප එම පුණ්‍ය භූමියට ගොස් වන්දනාමාන කර නායක හාමුදුරුවන් වෙතින් ආශිර්වාද ලබාගත් අතර උන්වහන්සේ එම දිඹුලාගල පුණ්‍ය භූමියේ වූ කඳු ශිඛරයේ පවතින නොයෙකුත් සිදුවීම්ද එහිදී ප්‍රකාශ කරන ලදී.


තවද එම කඳු ශිඛරයේ වූ අද්භූත එළි සහ පුරාතනයේ සිට අත්දැක ඇති අපූර්ව සිදුවීම්ද එහිදී අප හට අසා දැනගත හැකිවිණි.


පසුගිය දිනක දිඹුලාගලට පතිත වූ ආලෝකය උල්කාපාත නිසා පතිත වූවක්ද නැතහොත් බුද්ධිමත් පිටසක්වල ජීවී යානාවක් පැමිණියේද යන්න අපහට ප්‍රකාශ කිරීමට සාක්ෂ්‍ය නැත. එය එසේ නමුත් මිහිතලයෙන් එපිට අනන්ත වූ විශ්වයේ මානවයාට වඩා අති දියුණු බුද්ධිමත් ජීවීන් සිටිනා බැව් නොරහසකි. එය එසේ වුවද ලෝක බලවතුන් එය සෙසු ලෝවාසීන්ගෙන් සඟවන්නේ කුමන කරුණක් නිසාවෙන්ද?