දෑසින් නැතුවට මනැසින් සරසවිය ජයගත් දිරිය දියණියෝ


මුන්දලම සිංහල මහා විද්‍යාලයේ උසස් පෙළ හැදෑරූ සෙසු දරුවන් සමග එකට එක්ව අධ්‍යාපනය හැදෑරු දෘශ්‍යාබාධිත නිවුන් සොහොයුරියන් දෙදෙනෙක් උසස් පෙළ විභාගයට පෙනී සිටිමින් සරසවි වරම් හිමිකර ගැනීමට සමත්ව සිටිති.   


ඩබ්. සඳුනි කේෂලා තමේල් හා ඩබ්. රුක්ෂානි මේකලා තමේල් යන සිසුවියන් දෙදෙනා කලා අංශයෙන් සිංහල, දේශපාලන විද්‍යාව, ක්‍රිස්තියානි ධර්මය උසස් පෙළ හදාරා ​​ෙබ්‍ර්ල් ක්‍රමයෙන් විභාගයට ඉදිරිපත්වී සරසවි වරම් ලබා ගෙන ඇත්තේ මුන්දලම සිංහල මහා විද්‍යාලයට ද කීර්තියක් එක් කරමිනි.   


මෙම දැරියන් දෙදෙනාගෙන් එක් දැරියකට සම්පූර්ණයෙන් ඇස් පෙනීම දුර්වල අතර අනෙක් දැරියගේ දැස් යම් තරමක් පෙනීමක් ඇති නමුත් පාද අප්‍රාණිකව ඇවිද ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ. කෙසේ වෙතත් තමන්ට එල්ල වූ බාධාවන්ට පිළිතුරු ලබා දී ඇත්තේ දැස් පෙනීම අහිමි වුවද ඇවිද ගැනීමට නොහැකි වුවද අධිෂ්ඨානය තුළින් සියල්ල ජය ගත හැකි බවට මනාව පැහැදිලි කරමිනි.

 

 

සරසවි වරම් ලැබූ සඳුනි කේෂලා තමේල් සිසුවිය සරසවි වරම් ලයිස්තුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ අට වැනි ස්ථානයට හිමිකම් ලබා ඇත. රුක්ෂාණි මේකලා සිසුවියද සරසවි වරම් ලබා ඇත්තේ දෑස් පෙනෙන සිසු දරුවන්ට සිතන්නට පාඩමක් කියා දෙමිනි.   


දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඔවුන්ගේ මව් පියන්ට වඩා වෙහෙසී මහත් කැපවීමක් කළ ඔවුන්ගේ සීයා (මවගේ පියා) මේ ජයග්‍රහණයෙන් මහත් සතුටට පත්ව ඇත්තේ කළ කැපවීමේ ප්‍රතිඵල ලැබී තිබීම නිසාවෙනි. නමුත් එයින් මේ ගමන අවසන් නැත. මේ ඔහු අපට පැවසූ කථාවයි.   


“මේ මගේ දුවගේ දරුවෝ දෙන්නා උපතින්ම දෑස් පෙනීම නැතිව ගියා. ඒ වාගේම අනෙක් දුවටත් ඇවිද ගන්නත් බැහැ. ඒ වුණාට කුඩා කාලයේ ඉඳලාම මේ දරුවන් විවිධ දක්ෂතා දක්වද්දී මම හිතුවා මේ දරුවන්ට මට පුළුවන් විදිහට අධ්‍යාපනය දෙනවා කියලා. එ්කේ මුල තමයි බත්තුළුඔයේ නීලා මිස් මට දැන්නුවා ‘‘අයියේ ඔයාලාට පුළුවන් විදිහට මේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න. කවදා හරි ඉහළට මේ දරුවන් යනවා’’ කියලා. එයින් පස්සේ මම මුලින්ම පාපැදියෙන් දරුවන් දෙන්නා පාසලට අමාරුවෙන් අරන් ගියා පස්සේ පරණ යතුරු පැදියෙන් අරන් ගියත් දරුවන් ලොකු වෙද්දි එයත් අමාරු වුණා. දැන් අමාරුවෙන් ත්‍රීවීලර් එකක් අරගෙන මේ දරුවන් පාසල් අරන් ආවේ. ඒ පුළුවන් කමට නෙවේ, මේ දෑස් නොපෙනෙන දරුවන්ගේ අනාගතය වෙනුවෙන්. දැන් මේ ළමයි විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලබා තිබෙනවා. හැබැයි දැන් මේ දරුවන්ට කවුරු හරි උදව් කරන්න පුළුවන් නම් පිනක්. මොකද එතකොට මට හිත හදාගෙන මැරිලා යන්න පුළුවන්’’ යැයි ඔහු පැවසුවේ සිත තුළ ගුළි කර ගනිමින් තිබූ වචන එළියට දමමිනි.   


තමන් බාධක මැඬලමින් පැමිණි ගමන ගැන අදහස් දැක්වූ සඳුනි කේෂලා දැරිය : “අපි දෙන්නාගේම දෑස් පෙනීම උපතින්ම අහිමි වුණා. නමුත් අපි දුක් වුණේ නැහැ. මොකද අපිට ලැබුණ නැති           දේවල්වලට වැඩිය අපිට ලැබෙන දේවල් පිළිබඳව අපි අධිෂ්ඨානයෙන් කටයුතු කළේ ඒවා ලබා ගන්න. ඒ සඳහා මගේ අම්මා තාත්තා වාගේම සීයා නොහිටින්න මේ ගමන මේ ආකාරයට ජය ගන්න බැරි වෙනවා. සීයා අපි වෙනුවෙන් වෙහෙසෙන හැටි අපිට දුකයි.

නමුත් සීයාගේ ඒ දුක අපි නැති කළේ අපේ දක්ෂතා පෙන්වලා. ඒ වාගේම අපි දෙන්නා වෙනුවෙන් මුන්දලම සිංහල මහා විද්‍යාලයේ විදුහල්පතිතුමා වාගේම උසස් පෙළ අංශයේ සියලුම ගුරුවරුන් අපේ දෑස් නොපෙනීම බාධාවක් කර ගන්නේ නැතිව අපිට ඉතා ඉහළ ලෙස අධ්‍යාපනය ලබා දුන්නා. මෙහිදී මම සමාජයට කියන්නේ අධ්‍යාපනය ලබද්දී අරක නැහැ, මේක නැහැ කියලා බාධාවක් කර ගන්න එපා. මොකද අපිට අඩුම තරමින් පෙළ පොත් ටිකවත් නැතිවයි අපි උසස් පෙළ කළේ. අපිට තිබුණ ප්‍රශ්න අපි දෙන්නා හිතට ගත්තානම් මේ ගමන එන්න බැහැ. අද සතුටුවෙනවා දෑස් නොපෙනුණත් මේ ගමන එන්න පුළුවන් වීම ගැන’’ යැයි ඇය පවසයි.   


පාසලේ විදුහල්පති ඩබ්ලිව්. කුමාර සුරියර් මහතා අදහස් දක්වමින් : “මේ දරුවන් දෙන්නා හරිම දක්ෂයි. මේ ආචාර්ය මණ්ඩලයේ කැපවීම මේ දරුවන්ගේ ජයග්‍රහණයට ශක්තියක් වුණා. ඒ නිසා අපි සියල්ලන්ටම හරිම සතුටුයි.’’ යැයි පැවසීය.

 

 

 

 

 

 

 


සටහන / සේයාරූ
හිරාන් ප්‍රියංකර ජයසිංහ