දැන උගතුන් ලෙස සමාජයට එක්විය යුතු පිරිසක් සියදිවි නසා ගන්න පෙළඹෙන හේතු


ගතවන සෑම තත්ත්පර හතළිහකට වරක්ම ලෝකයේ කොතැනකින් හෝ සියදිවි නසා ගැනීමේ සිද්ධියක් වාර්තාවන බවත් එවැනි සිදුවීම් නිසා වසරකට ලෝක ජනගහනයෙන් ලක්‍ෂ අටත් දහයත් අතර පිරිසකගේ ජීවිත අහිමිවන බවත් වාර්තා වේ. කළු ගඟට පැන සියදිවි නසා ගැනීමට තැත්කළ විසි දෙහැවිරිදි තරුණියක පිළිබඳ පුවතක් ඉකුත් සතියක අපට වාර්තා විය. 

විශේෂත්වය වන්නේ ඇය ප්‍රමුඛ පෙළේ ජාතික විශ්වවිද්‍යාලයක විද්‍යා අංශයෙන් උපාධි පාඨමාලාවක් හදාරන තරුණියක වීමයි. නාවික හමුදාවේ මැදිහත්වීම මත ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිවී ඇති අතර සිදුවීම පිළිබඳව පොලිසිය හා නාවික හමුදාව මෙසේ තොරතුරු දක්වා ඇත. සියදිවි නසා ගැනීමට තැත්කළ තරුණිය ගඟට පැන ඇත්තේ උදෑසන හයයි තිහට පමණ ආසන්න වේලාවකදීය. ඒ වනවිට කළු ගඟේ ජල මට්ටම මුහුදු මට්ටමේ සිට අඩි දෙකහමාරක් පමණ ඉහළට දක්වා පැතිරී ඇති අතර ගඟේ පාවෙමින් තිබූ බට අතු අතර රැඳීම නිසා ඇයගේ දිවි බේරාගැනීමට හැකියාව ලැබී ඇත. මෙවැනි අවස්ථාවක කළු ගඟට පනින ලද අයකු මෙලෙස උපද්‍රවයකින් තොරව දිවි ගලවා ගැනීමට හැකිවීම අහඹු අවස්ථාවක් බවද ඔවුන් වාර්තාකර තිබේ. විභාග අසමත්වීම, අපේක්‍ෂිත විභාග ප්‍රතිඵල නොලැබීම ආදිය මෙන්ම ප්‍රේම සබඳතා බිඳවැටීම හේතු ​කොටගෙනද තරුණ පිරිස් අතර සියදිවි නසාගැනීම් විශාල ගණනක් ඉකුත් සමයේ වාර්තා විය.


පේ​රාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයෙන් උපාධිය ලැබූ සිසුවියක බදුල්ල බලා ධාවනය වූ දුම්රියකට පැන සියදිවි නසා ගැනීමේ සිදුවීම සමාජයේ වැඩි වශයෙන් කතා බහට ලක්වන සිදුවීමක් විය. ඉහත කී ආකාරයේ සිදුවීම් කිහිපයක්ම ඉකුත් සමයේ වාර්තා වූ අතර තවමත් එවැනි සිදුවීම්වල අඩුවක් දක්නට නැත. ගැටලුවලට මුහුණදීමට අසීරු යැයි සිතෙන අවස්ථාවක ඊට අවසාන විසඳුම ලෙස සියදිවි නසා ගැනීමට තීරණය කිරීම අප කාහටවුවත් තරම් නොවේ. නමුත් උගත්කම යනු පොතින් පතින් ලබන දැනුම පමණක් නොවේ. යම් වූ ආකාරයක ජීවිතාවබෝධයක් ලැබී ඇතැයි සිතෙන මට්ටමක අය වුවද මෙසේ සියදිවි නසා ගැනීමට පෙලඹීම පිළිබඳව අපි විමසුමක යෙදුනෙමු. 
‘‘අතීතය කුමක් වුවත් මෙතැන් සිට ජීවිතය පටන්ගන්න’’ තේමාව කරගනිමින් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය ඉකුත් සමයේ සියදිවි නසා ගැනීම් වැළැක්වීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීය. සියදිවි නසා ගැනීම්වලට පෙලඹීමේ මානසිකත්වය වළක්වා ගන්නේ කෙසේද? සියදිවි නසාගැනීම පිළිබඳව සමාජය තුළ පවතින වැරැදි ආකල්ප නිවැරැදි කළ හැක්කේ කෙසේද? දැන උගත් පිරිස් පවා සියදිවි නසා ගැනීමට පෙලඹෙන්නේ ඇයි? යනාදිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානයේ සභාපති කුමුදුනී ද සිල්වා මහත්මිය අප සමඟ මෙසේ අදහස් දැක්වූවාය. 


‘‘සියදිවි නසා ගැනීම කියන්නේ ඉතාම සංකීර්ණ ගැටලුවක්. කිසිවෙක් කැමැත්තෙන් සියදිවි නසා ගන්නේ නැහැ. දරාගත නොහැකි වේදනාවක් දුකක් කරදරයක් ඇතිවූ අවස්ථාවක සියදිවි නසා ගැනීමට පෙලඹීම මිස කැමැත්තෙන් සියදිවි නසා ගන්නා කෙ​ෙනක් නැහැ. එවැනි ගැටලුකාරී තත්ත්වයකදී ඔහුට හෝ ඇයට හෝ පිහිට විය හැකි කෙනෙක් වේ නම් අදාළ සියදිවි නසා ගැනීම වළක්වන්න පුළුවන්. සියදිවි නසා ගැනීමේ ආකල්පය පහළවී පැය හතළිස් අටක් ගතවනතුරු ඒ ආකල්පය අදාළ පුද්ගලයා​ෙගන් බැහැර වෙන්නේ නැහැ. එම කාලසීමාව තුළ අදාළ පුද්ගලයාට කිසියම් වූ ආකාරයක මැදිහත්වීමකින් යුතුව කාරුණික වනවා නම් එම පුද්ගලයාගේත් සියදිවි නසා ගැනීමේ ආකල්පය දුරු කරවීමට හැකියාව තිබෙනවා. එය මගහරවා ගැනීමට ඇති අවස්ථාව කෙසේ හෝ පලවා හැරීමට ඔහු හෝ ඇය හෝ පිළිබඳ ඍජු අවධානයකින් පසුවීම අවශ්‍ය වෙනවා. වි​ෙශ්ෂ​ෙයන්ම මාස තුනක පමණ කාලයක් ගතවනතුරු එම අවධානය මඟ නොහැර රඳවා ගත යුතුයි. 


සියදිවි නසා ගැනීමට පෙල​ෙඹන සමාජීය සාධක මෙන්ම ජීවවිද්‍යාත්මක හේතු සාධකත් තිබෙනවා. සියදිවි නසා ගැනීමට පෙලඹෙන පුද්ගලයා ඊට පෙර යම් කිසි ඉඟියක් ලබාදෙනවා. අප එය නිවැරදිව ග්‍රහණය කරගතහොත් සියදිවි නසා ගැනීම් වළක්වා ගන්න පුළුවන්. පොලිස් වාර්තාවලට අනුව වසරකට අපේ රටේ සියදිවි නසා ගැනීම් තුන්දහස් පනහක් වාර්තා වෙනවා. වර්තමානය වනවිට අවුරුදු හැටට වැඩි පිරිස සියදිවි නසා ගැනීම වැඩිවීමේ තත්ත්වයක් දක්නට ලැබෙනවා. එක්දහස් නවසිය අනූපහ වසරේදී සියදිවි නසා ගැනීම් වැඩිවීමට අදාළ ලෝක සංඛ්‍යා දත්තවල අප පළමු ස්ථානයේ සිටියා. මේ වෙද්දී එය සිව්වැනි ස්ථානය දක්වා මඳකට පහළ ගොස් තිබෙනවා. කාලයකට ඉහතදී කෘෂි ආර්ථිකය සහිත ප්‍රදේශවල වසවිෂ පානය කිරීමෙන් වැනි ආකාරයකින් සියදිවි නසා ගැනීම් සිදුවුණා, නමුත් අදවනවිට කෘමිනාශක ආදියේ විෂ මට්ටම පහළ දැමීම සිදුකිරීම නිසා රජය මගින් මේවාට යම් පාලනයක් සිදුකොට තිබෙනවා. 


තමන් අසරණයි කියලා සිතන අය තමන්ට කිසිදු රැකවරණයක් නොමැති යැයි ආකල්පයක් ඇති කරගන්නා අය මිය යෑමට උත්සාහ කරනවා. එවැනි ගැටලුකාරී තත්ත්වයක පසුවන අය වෙනුවෙන් විනාඩියක වැනි කාලසීමාවක් හෝ වැය කළ හැකි නම් එය ඉතා ඉහළ සමාජ කාර්යභාරයක් වෙනවා. ඒ අයගේ ප්‍රශ්න අවතක්​සේරු නොකොට ඔවුන් වෙනුවෙන් සංවේදී වීම අතිශය වැදගත් වෙනවා. සමහරවිට ඔවුන්ගේ ගැටලුව ඉතාමත් සුළු කරුණක් විය හැකියි. නමුත් ඔබේ මැදිහත්වීම නිසා ඒ අයගේ ජීවිතය ආරක්‍ෂා වෙන්න පුළුවන්. ඇතැම් මව්පියෝ විශ්වාස කරන දේවල් මේ තත්ත්වයන්ට බලපානවා. ඔවුන් දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල මුදලක් වැය කළ බව සඳහන් කරලා තම දරුවා ඒ සාමාර්ථ දහයක් ලැබිය යුතුයි ප්‍රකාශ කරනවා. නමුත් දරුවා එකී ඉහළ සාමාර්ථය නොලැබුවහොත් තම මව්පියන්ට මුහුණදී ගත නොහැකිව සියදිවි නැති කරගන්නවා. මව්පියෝ දරුවාව අසීරුතාවට පත්කරනවා. උපකාරක පන්තිවලට රැ​ෙගන ගිහින් දැඩි වෙහෙසට පත් කරනවා. ‘‘ඒ’’ සමාර්ථය වෙනුවට ‘‘බී’’ සමාර්ථයක් ලැබීම පවා ඇතැම් මාපියන් අවතක්සේරුවට ලක් කරනවා. නමුත් විභාග සාමාර්ථය නොවේ ජීවිතය කියලා දරුවන් මෙන්ම මාපියන්ද තේරුම් ගතයුතු වෙනවා. දරුවා සම්බන්ධ සියලු තීරණ මාපියන් වීසින්ම ගනු ලැබීම තවත් එක්තරා ආකාරයක වරදක්. දරුවාගේ අවශ්‍යතා, සිතුම්-පැතුම් ආකල්පවලට අනුව ඔහුටත් ජීවිතයේ තීරණ ගැනීමට යම් අවස්ථාවක් ලබාදිය යුතු වෙනවා. නමුත් මව්පියන් නිතර දරුවන් පිිළිබඳ අවධානයෙන් පසුවිය යුතුයි. එක්තරා ආකාරයක මිත්‍රශීලීභාවයක් කාරුණිකවීමක් ඔස්සේ දරුවාගේ ගැටලු හඳුනාගෙන ඒවාට සවිඥාණිකව මුහුණදීමට හැකියාව ලබාදිය යුතුයි. 


දරුවන් තුළ ජීවිත ගැටලුවට මුහුණදීමට අවශ්‍ය කුසලතාව වර්ධනය කරගැනීමට අවස්ථාව ලබාදිය යුතු වෙනවා. 
ප්‍රේම සබඳතා බිඳ වැටීම සියදිවි නසා ගැනීමට හේතුවක් වශයෙන් සැලකීම ඉතාම ප්‍රාථමික සිතුවිල්ලක්. ඒ වගේම අද වන විට පවතින රටාව ඇතුළේ යොවුන් ​ෙපම්වතියන් පෙම්වතුන්ට ලබාදෙන පොරොන්දු ඉටු කිරීමට සිදුවීම නිසා යෞවනියන්ගේ ජිවිත බොහෝ විට විනාශයට පත්වෙනවා. මේ තත්ත්වය මත තමන් තවදුරටත් ජීවත්විය යුතු නැතැයි සිතීම වැරැදි ආකල්පයක්. ඒ වගේම එවැනි තත්ත්වයන්ගෙන් වැළකී සිටීම දරුවන් මෙන්ම මාපියන්ද සැලකිලිමත් විය යුතු වෙනවා. හොඳ පවුල් සබඳතාවක් හා දෙපිරිස අතර ඉතා ඉහළ අන්තර් සබඳතා ජාලයක් තිබීම ඉතාම වැදගත් වෙනවා. ශ්‍රී ලංකා සුමිත්‍රයෝ සංවිධානය විදියට අප සියදිවි හානි කර ගැනීමට පෙලඹෙන අය වෙනුවෙන් ස්වෙච්ඡාවෙන්ම මැදිහත්වීමට බැඳී සිටිනවා. අප සංවිධානයේ ශාඛා දහයක් රට පුරා විසිර තිබෙනවා. මහනුවර, බණ්ඩාරවෙල, පානදුර, මාවනැල්ල, මීගමුව, පඬුවස්නුවර, කුරුණෑගල, කොහුවල, හෙට්ටිපොළ හා ලුණුගම්වෙහෙර ප්‍රදේශවල අපගේ ශාඛා පිහිටුවා තිබෙනවා. ප්‍රධාන කාර්යාලයේ දුරකථන අංකයට අමතා ඊට අදාළ විස්තර ලබා ගැනීමටත් ඔබට හැකියාව තිබෙනවා. 0112682535 අංකයට ඇමතී​ෙමන් විස්තර ලබාගත හැකි බව ඒ මහත්මිය පැවසුවාය. 


සියදිවි නසා ගැනීම් සඳහා බලපාන සාධක ලෙස මානසික ව්‍යාකූලතාව සංස්කරණය පවුල සමාජීය තත්ත්වය සමහරවිට ජානමය ලක්‍ෂණද බලපාන බව සමාජ විද්‍යාවේ උගැන්වේ. උදාහරණයක් ලෙස තුවක්කු වැනි ගිනි අවි සහිත නිවෙස්වල සියදිවි නසා ගැනීම් ප්‍රතිශතය වැඩි බව තහවුරු වී ඇත. විරැකියාව, දරිද්‍රතාව, සමාජ විෂමතා, සාධක සියදිවි නසා ගැනීම් සිතුවිලි උත්තේජනය කරන හේතු අතර ප්‍රධාන වශයෙන් දැක්විය හැකියි. සියදිවි නසාගන්නා අයගෙන් සියයට පහළොවත් - හතළිස් පහත් අතර පිරිසක් මරණයට පෙර තම සියදිවි නසා ගැනීම් පිළිබඳව පෙර දැනුම්වත් කිරීමක් ලියවිල්ලක් හෝ වෙනත් යම් ආකාරයක දැනුම්වත් කිරීමක් සිදුකරන අතර සියදිවි නසාගැනීමේ හැසිරීම් වලින් සියයට තිස් අටත් පනස් පහත් අතර ප්‍රතිශතයක් සඳහා ජානමය ලක්‍ෂණ බලපාන බව හඳුනාගෙන ඇත. යුද ගැටුම්වල අත්දැකීම් සහිත අය සියදිවි නසා ගැනීමේ සම්භාවිතාව වැඩි වශයෙන් දක්නට ඇත. එමෙන්ම අධික ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට, මත්පැන් භාවිතයට පෙලඹීම ආදියද හේතුවන බව හඳුනාගෙන ඇත. 


සියදිවි නසා ගැනීමට තැත් කිරීම සම්බන්ධයෙන් අපේ රටේ පවතින නීතියේ බලපෑම කෙබඳුද? ඒ සම්බන්ධයෙන් නීතිඥ දමිත් මල්ලවආරච්චි මහතා මෙසේ අදහස් දැක්වීය. 


‘‘සියදිවි නසා ගැනීමට තැත් කරන පුද්ගලයාගෙන් සමාජයට ඍජුවම සිදුවන හානියක් නැහැ. ඒ නිසා නීතියේ ඍජු දඬුවමකට මෙවැනි පුද්ගලයන් ලක්වෙන්නේ නැහැ. මෙයට පෙර දණ්ඩ නීති සංග්‍රහයේ තුන්සිය දෙක වගන්තිය යටතේ සියදිවි නසා ගැනීමට තැත් කිරීම වරදක් ලෙස සඳහන් කර තිබුණත් දැන් තත්ත්වය වෙනස් වී තිබෙනවා. නමුත් මෙයින් සමාජයට සිදුවන හානිය හා නරක පූර්වාදර්ශය පිළිබඳව සලකා බැලීමක් සිදුවෙනවා. එවැනි තත්ත්වයකදී සියදිවි නසා ගන්නා පුද්ගලයා මානසික ගැටලුවකින් පසුවන අයෙකු නම් ඔහු හෝ ඇය හෝ පුනරුත්ථාපනය කොට සමාජගත කිරීම නීතියට අනුව සිදු කෙරෙනවා. යම් මානසික ගැටලුවකින් පීඩාවිඳින පුද්ගලයෙක් නීතියෙන් දඬුවමක් නියම කිරීම වෙනුවට ඔහුගේ මානසික සුවය පිණිස කටයුතු කිරීම වඩා වැදගත් බව නීතියට අනුව සලකා බැලෙනවා.’’ යනුවෙන් ඒ මහතා අප සමඟ සඳහන් කළේය.

 

 

 

 

සටහන
සමන්තිකා මාධවී