දැඩි රශ්මියෙන් දිස්ත්‍රික්ක රැසක් පීඩාවට


 

 

මේ දිනවල පවතින අධික උණුසුමත් සමඟ ජනතාව දැඩි පානීය ජල ප්‍රශ්නයකට මුහුණපා සිටිති. දැඩි නියඟය නිසා බොහෝ ජලවිදුලි බලාගාරවල ජල ප්‍රමාණය අඩුවීමෙන් විදුලිය උත්පාදන ගැටලු ද උද්ගතව තිබේ.   


ජාතික ආපද‌ා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ පළාත් හතරකට අයත් දිස්ත්‍රික්ක හයකට මෙම තත්ත්වය බලපා ඇති බවයි. 


 එම තොරතුරු අනුව පවුල් පනස්හතර දහස් තුන්සිය තිස් හයක පුද්ගලයෝ දෙලක්ෂ විසිඅට දහස් පන්සියයක් පීඩාවට පත්ව සිටිති. 


මෙම අධික වියළි කාලගුණ තත්ත්වය නිසා සිදුව ඇති හානිය පිළිබඳ ආපද‌ා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් විමසීමක් කළෙමු. එහි මාධ්‍ය හා මහජන සම්බන්ධතා පිළිබඳ සහකාර අධ්‍යක්ෂ ජානක හඳුන්පතිරාජ මහතා අපට පැවසුවේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට කඩිනමින් කටයුතු කරන බවයි. විශේෂයෙන් පානීය ජල ප්‍රශ්නය දැඩිව පවතින ප්‍රදේශ වෙත බවුසර මගින් ජලය බෙද‌ාහැරීමට කටයුතු කරන බව ඔහු අවධාරණය කළේය. 
මේ ඔහු දැක්වූ අදහස්ය. 


කෑගල්ල, රත්නපුර, මහනුවර, කළුතර යන දිස්ත්‍රික්කවලට නියඟය තදින් බලපාලා තියෙනවා. කෑගල්ලෙ රුවන්වැල්ල, බුලත්කොහුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ ජනතාවට අපි දැනට පානීය ජලය ලබාදෙනවා. 


එහි පවුල් 281 වගේ පොඩි සංඛ්‍යාවකට තමයි ජලය අත්‍යවශ්‍යව තියෙන්නේ. ඒ වගේම දැරණියගල, ගලිගමුව, වරකාපොළ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටත් නියං තත්ත්වය බලපාලා තියෙනවා. නමුත් ඒ සඳහා පානීය ජලය ලබාදීමට තරම් අවශ්‍යතාවක් නැහැ. 


රත්නපුර ගත්තම ඇහැලියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නියං තත්ත්වය බලපාලා තියෙනවා. එහි පවුල් 1921 ක පුද්ගලයන් 7959 ක් ගැන සඳහන් වෙනවා. නමුත් ඔවුනට ජලය ලබාදීමේ අවශ්‍යතාවක් නැහැ. 


ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 350 ක 1213 දෙනෙක් පීඩාවට පත්වෙලා තියෙනවා. ඔවුන්ටත් ජලය බෙද‌ාදීමේ අවශ්‍යතාවක් නැහැ. 


මෙහිදී වැඩිම බලපෑමක් සිදුව තිබෙන්නෙ කළුතර දිස්ත්‍රික්කයට. ඊට හේතුව කළු ගඟේ ජලයට මුහුදු ජලය මිශ්‍රවීමයි. 

 

 


කළුතර, බේරුවල, පානදුර, දොඩම්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙය බලපාලා තියෙනවා. කළුතර දිස්ත්‍රික්කයේ මිල්ලනිය, මතුගම සහ හොරණ යන ප්‍රාදේශීය කොට්ඨාස තුනටත් මේ නියං තත්ත්වය බලපා තිබෙනවා. මෙසේ විපතට පත් කළුතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතටම පානීය ජලය ලබාදීම සිදුකරනවා. කළුතර දිස්ත්‍රික්කයේ පමණක් පවුල් පනස්එක් දහස් එකසිය හැත්තෑ පහක පුද්ගලයන් දෙලක්ෂ පනස්දහස් විසිපහක් පීඩාවට පත්වෙලා තියෙනවා. 


නියංසායෙන් විපතට පත් දිස්ත්‍රික්කවලට අවශ්‍ය ජලය ටිපර්, බවුසර් රථ මගින් ලබාදෙන අතර ඒ අද‌ාළ ස්ථානවල ජල ටැංකි ස්ථානගත කරලා තියෙනවා. ඒ ජල ටැංකිවලට දෛනිකව ජලය සපයනවා. 


ජාතික ආපද‌ා කළමනාකරණ මධ්‍යස්ථානය, ජාතික ආපද‌ා සහන මධ්‍යස්ථානය, ත්‍රිවිධ හමුද‌ාව, දිස්ත්‍රික් කාර්යාල, පළාත් පාලන ආයතන, ප්‍රාදේශීය සභා සහ නගර සභා ඇතුළු ආයතන මගින් තමයි පහසුකම් ලබාදෙන්නේ. 


මේ නියඟය එක්ක ආපු අනිසි බලපෑමක් තමයි වනාන්තර ගිනි ගැනීම. එය දෛනිකව වාර්තා වෙනවා. දැඩි අව් රශ්මියත් එක්ක තමයි එවැන්නක් සිදුවෙන්නෙ. මේ වියළි තත්ත්වයත් එක්ක කුමක් හෝ මානව ක්‍රියාකාරකමක් සිදුවෙනවා. 


ඒ තත්ත්වය කොළඹ, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, බදුල්ල, මොනරාගල, නුවරඑළිය, ගාල්ල, මාතර, මාතලේ, හම්බන්තොට, අනුරාධපුර වගේ ප්‍රදේශවලත් සිදුවුණා. 
පසුගියද‌ා කොළඹ රාජගිරිය බුත්ගමුව වගුරුබිම ආශ්‍රිතවත් ගිනි ගැනීමක් වාර්තා වුණා. ගුවන් හමුද‌ාවෙ සහයෝගය ලබාගෙන එම ගින්න නිවා දැමුවා. ඊට අමතරව ගම්පහ ප්‍රදේශයේත් ගින්නක් වාර්තා වුණා. 


බොහෝ වෙලාවට දුර බැහැර ප්‍රදේශවල වගා කටයුතු කරන්නේ ඉදිරි වර්ෂාව බලාගෙන. විශේෂයෙන් හේන් ගොවිතැන් සඳහා බිම් සකස් කිරීමේදී ඒ අද‌ාළ ප්‍රදේශ ගිනි තියලා යනවා. ඉන්පසුව සුළඟ නිසා ගින්න තවත් පැත්තකට පැතිරෙන්න පුළුවන්. එවැනි පැතිරීම් නිසා විශාල පරිසර හානියක් හා සත්වයන් විනාශවීමක් සිදුවුණා. 


ඒ වගේම සංචාරකයන් විසින් කෑම පිසීමට සහ ගිනිතැපීමට ගින්දර යොද‌ා ගැනීමෙන් පවා මේ තත්ත්ව උද‌ාවෙන්න පුළුවන්. දඩයක්කාරයන් සතුන් මැරීම සඳහා කැලෑවට ගිනිතැබීම නිසා ඇවිළීයාමෙන් මෙම තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. 


අප ආපද‌ා කළමනාකරණ මධ්‍යස්ථානය විදියට කාටත් කියන්න තියෙන්නෙ මෙවැනි තත්ත්වයන් ඇති කරන්න එපා. මොකද අපි පරිසරය එක්ක ජීවත් වෙන්න ඕනැ. පරිසරයට ආදරය කරන්න ඕනැ. මේ තත්ත්ව පාලනය කරගැනීමට නොහැකි වුණොත් හානිය වෙන්නෙ මානව වර්ගයාටම. අපි හැමෝටම. ඒ නිසා අප තුළ ස්වයං පාලනයක් තිබිය යුතුයි. 
2009 අංක 65 දරන කැලෑ පනතේ සඳහන් වෙනවා ගින්නක් දල්වනවා නම්, කැලෑවක් මැදින් ගින්දර ගෙනයනව නම් ගින්දර පැතිර යාම බලා සිටිනවා නම් ඒ හැම තත්ත්වයක් තුළම වරදක් ද ඇති බව. 


යම් තැනැත්තෙකු ඒ සම්බන්ධව වරදකරුවෙකු වුවහොත් ඔහුට වසර 7 කට නොඉක්මවුණු කාලයකට බන්ධනාගාරගතවීමට සිදුවෙනවා. ඊට අමතරව දඩ මුදලක් ද ගෙවීමට සිදුවෙනවා. මේ දඬුවම් දෙකටමත් ලක්විය හැකියි. මේ තත්ත්වයන් පාලනය කිරීමට තමයි අපේ මධ්‍යස්ථානය නිතරම කටයුතු කරන්නෙ. 


යම් ප්‍රදේශයක ආපද‌ා තත්ත්වයක් වාර්තාවෙනව නම් එය අවම කර ගැනීමට අපට සම්බන්ධිකරණ කටයුතු සිදුකරලා දෙන්න පුළුවන්. ආපද‌ා කළමනාකරණ මධ්‍යස්ථානයට 117 දුරකථන ඇමතුමක් ලබාදෙන්න පුළුවන්. 


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන අන්දමට බොහෝ දිස්ත්‍රික්ක ප්‍රමාණයක තියෙන්නෙ ඉතා වියළි කාලගුණික තත්ත්වයක්. වයඹ පළාතේත්, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල සුළඟේ වේගය පැයට කිලෝ මීටර් 40 ක් දක්වා වැඩි වී තිබෙනවා. 


මේ තත්ත්වය තුළ හදිසි ගිනි ගැනීම් තත්ත්ව ඇතිවෙන්න පුළුවන්. සුළඟත් එක්ක මේ දේවල් පැතිරීමේ ප්‍රවණතාවක් තියෙනවා. ඒ නිසා මේ තත්ත්ව අවම කරගැනීමට මහජන සහාය අවශ්‍ය වෙනවා. 


ඒ වගේම මේ නියඟය නිසා වී වගාවට වැඩි වශයෙන් බලපෑමක් නොවුණත් කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය ආශ්‍රිත ප්‍රදේශයේ තේ වගාවට යම් හානිද‌ායක තත්ත්වයක් හෙවත් අස්වැන්නෙ අඩුවීමක් වාර්තා වී තිබෙනවා. එය නියං කාලය තුළ අත්විඳින තත්ත්වයක්. 


ඉදිරි මාසය ගත්තම මාර්තු කියන්නෙ සංවහන වර්ෂාව ලැබෙන කාලයක්. සිංහල අලුත් අවුරුදු කාලය වෙද්දි යම්කිසි වර්ෂාපතනයක් ඇතිවෙයි කියල හිතෙනවා. ඉතින් ඒ වනතුරු ජල මූලාශ්‍ර ආරක්ෂා කරගැනීම, ජලය මෙන්ම විදුලිය අරපිරිමැස්මෙන් පාවිච්චි කිරීම ආදිය ජනතාව පැත්තෙන් කළ යුතු දෙයක්. 

 

 


විදුලිබල මණ්ඩලයටත් නියඟය නිසා ප්‍රශ්න ඇතිවෙලා තියෙනවා විදුලිය නිෂ්පාදනය කිරීමට. ඒ නිසා විදුලිය සහ ජලය අරපිරිමැස්මෙන් භාවිත කළහොත් ජාතික ආර්ථිකයට ඉතාමත් වැදගත් සාධකයක් වෙයි. 


මේ අතර මෙරට දිස්ත්‍රික් ද‌ාහතරක මිනිස් ශරීරයට දැනෙන උණුසුම් තත්ත්වය ඉහළ ගොස් තිබෙන නිසා ජනතාව ඒ පිළිබඳව ද අවධානය යොමු කළ යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 


මේ අනුව මන්නාරම, පුත්තලම, කුරුණෑගල, ගම්පහ. කොළඹ, කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ජනතාව දැඩි පීඩනයක සිටින බව වාර්තා වෙනවා. මුලතිව්, වව්නියා, අනුරාධපුර, කෑගල්ල, රත්නපුර, හම්බන්තොට දිස්ත්‍රික්කවල ජනතාව ද ශරීරයට දැනෙන උණුසුම් තත්ත්වය වැඩිවීම පිළිබඳ අවධානය යොමුකළ යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 


මේ නිසා වැඩබිම තුළ සිටින පිරිස් ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන ලෙසත්, සෙවණ ඇති ස්ථානවල හැකි පමණ විවේක ගන්නා ලෙසත් මීට අමතරව නිවෙස් තුළ සිටින වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පෙන්වා දෙයි. 
කුඩා දරුවන් වාහන තුළ තනිව රඳවා නොයන ලෙසත්, එළිමහනේ අධික වෙහෙසකාරී කටයුතු සීමා කරන ලෙසත්, සුදු හෝ ළා පැහැති සැහැල්ලු ඇඳුම් භාවිත කරන ලෙසත් එම මධ්‍යස්ථානය තවදුරටත් ඉල්ලා සිටියි. 


පවතින තත්ත්වය හේතුවෙන් විජලනය, ලවණ ඉවත්වීම නිසා ඇතිවන මස්පිඬු පෙරළීම (Heat Cramps) සහ අධික උෂ්ණත්වය නිසා ඇතිවන අධික මහන්සිය (Heat Exhaustion) ඇතිවීමේ වැඩි හැකියාවක් ඇත. 


ක්‍රියාකාරකම්වල නියතවීම තුළින් ශරීරයේ උෂ්ණත්ව නියාමන ක්‍රියාවලිය අඩපණ වීම නිසා ඇතිවන ආඝාත තත්ත්වය (Heat Stroke) ඇතිවීමේ හැකියාව වඩා ඉහළ ය.

 

 

ධනු විජේරත්න