තාමත් පෙනෙන එලොව පොල්


​මේ දිනවල පාරිභෝගික ජනතාව මුහුණ පා සිටින ප්‍රධාන ගැටලුව පොල් ප්‍රශ්නයයි. වෙළෙඳ පොළේ පවතින පොල් හිඟයත්, අධික ලෙස පොල් ගෙඩියක මිල ඉහළ යාමත් නිසා පාරිභෝගිකයෝ දැඩි අපහසුතාවලට මුහුණපා සිටිති. එදිනෙදා ආහාර වේලට අත්‍යවශ්‍ය පොල් මිල මෙසේ ඉහළ යාම නිසා ඇතැම් අය වෙනදා එක පොල් ගෙඩියකින් පිරිමහගත් ආහාර වේල් පොල් බෑගයකින් සීමා කිරීමට පුරුදු වී තිබේ.   


වෙළෙඳ පොළට පොල් ගෙන යාමට පැමිණෙන ජනතාව පොල් මිල ඇසූ සැණින් එලොව පොල් පෙනෙන තත්ත්වයකට පත්ව සිටිති. මීට වසරකට හෝ වසර එකහමාරකට පමණ පෙර වෙළෙඳ ​ෙපාළේ පොල් මිල පැවතුණේ පොල් ගෙඩියක් රුපියල් 35ත් 45ත් අතර මිලකටයි. සුළු කාලයක් තුළ මෙ​ෙස් අහස උසට පොල් මිල ඉහළ ගියේ ඇයි? මේ නිසා අද වෙළෙඳ පොළේ පොල් බෑය බැගින් විකිණීමට ද ඇතැම් වෙළෙන්දෝ ක්‍රියා කරති.   


වෙළෙඳ ​ෙපාළේ පිටිකළ පොල් කිරි පැකට් අලෙවි කිරීම දක්නට ලැබුණද ගෙදර දොරේ ජනතාවට කටට රහට සම්බෝලයක් සාදා ගැනීමට ඉන් හැකියාවක් නැත. මේ නිසා සම්බෝලයක් සමඟ බත ආහාරයට ගත් අපේ ගැමි ජනතාව දැඩි අර්බුදයකට ද මුහුණපා සිටිති.   


මේ වන විට වෙළෙඳ පොළේ සාමාන්‍ය ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රුපියල් 90ත් 100ත් අතර මට්ටමක පවතියි. කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 85ක් වැනි මුදලට අලෙවි කෙරේ. හදිසියේම ජනතාවට එලොව පොල් පෙනෙන තරමට පොල් ගෙඩියක මිල ඉහළ ගියේ ඇයි?   


මේ පිළිබඳ අපි ලුණුවිල පොල් පර්යේෂණ ආයතනයෙන් විමසීමක් කළෙමු. එහි අධ්‍යක්ෂිකා ආචාර්ය ප්‍රියන්ති ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කළේ ලබන ජූනි මාසය වන විට දැනට පවතින පොල් හිඟය සහ අධික මිල පහත බසිනු අැතැයි විශ්වාස කරන බවයි.   


දැනට ඇත්ත වශයෙන්ම පොල් හිඟයක් තිබෙනවා. පසුගිය වසරේ සිට ක්‍රමයෙන් මේ තත්ත්වය හට ගත්තා. අපි බලාපොරොත්තු වෙනවා මේ තත්ත්වය ජුනි මාසය වන විට යථා තත්ත්වයට පත් වෙයි කියලා. දැනට පොල් සඳහා පාලන මිලක් යොදවලා තිබෙනවා. ඒත් ඇතැම් වෙළෙඳුන් ඒ මිලට ආසන්නව මෙන්ම ඊට වැඩියෙන් අලෙවි කරන අවස්ථාද දක්නට ලැබුණා.   


ප්‍රශ්නය - මේ තත්ත්වය ඇති වීමට ප්‍රධාන හේතුවක් තිබෙනවාද?   


පිළිතුර - පසුගිය කාලයේ ඇති වූ තද පෑවිල්ලත් නියඟයත් නිසයි මේ දෙයට මුහුණ දුන්නේ. ඒකේ බලපෑම කුරුම්බා ඇට්ටි, වගේම පොල් මල් වලට බලපෑවා. ඒ නිසා තමයි පසුගිය කාලයේ සිට මේ දක්වාම සිද්ධ වුණේ. එ්ක තමයි පොල් ඵලදාව අඩු වීමට ප්‍රධාන හේතුව වුණේ.   


අනික් පැත්තෙන් බැලුවොත් අපේ රටේ නිෂ්පාදනවලට ​ෙලා්ක වෙළෙඳ ​ෙපාළේ හොඳ මිලක් සහ ඉල්ලුමක් තිබෙනවා. ඒ නිසා ගොඩක් පොල් නිෂ්පාදන හිමියන් ඒ සඳහා යොමු වෙලා තිබෙනවා. ඉතින් මේ නිෂ්පාදන පාරිභෝගිකයා අතට පත් කරනවා වගේම ඔවුනුත් ඔවුන්ගේ නිෂ්පාදන සඳහා ලබා ගන්නවා. ඒක නිසා තමයි සාමාන්‍ය පාරිභෝගිකයාට පොල් මිලදී ගැනීමේදී ඉහළ මිලක් ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ. මූලික හේතුව හැටියට අපි දකින්නේ නියඟයත් සමඟ බලපෑ නිෂ්පාදනයේ පහත බැසීම.   


ප්‍රශ්නය - මේ තත්ත්වය මඟ හරවා ගැනීමට වැඩපිළිවෙළක් තිබෙනවාද? 

 
පිළිතුර - එකක් තමයි කර්මාන්තකරුවන් මේ පිළිබඳ අපව දැනුම්වත් කළාම, අපි පොල් මදය අපනයන කරන්න කැබිනට් තීරණයක් ගෙන තිබෙනවා. එතකොට කර්මාන්තකරුවන්ට විශේෂයෙන් පිටි කළ පොල් කිරි හදන අයට පුළුවන් පිටරටින් ඒ පොල් ගෙඩිය නොවෙයි පොල් මදය ඒ කියන්නේ පොල් මදයේ කෑලිවලට සකස් කළ ඒවා ගෙන්වලා සිය නිෂ්පාදන කරන්න අමාත්‍ය මණ්ඩලයෙන් අවසරය දීලා තිබෙනවා.   


ඊට අමතරව පොල් පර්යේෂණ ආයතනයෙන් ලොකු වැඩමුළුවක් පොල් සමාගම් වලට විශාල වශයෙන් පොල් වතු හිමියන්ට දැනට තිබෙන පොල් ගස්වලින් ලැබෙන ආදායම වැඩි කරගන්න ආකාරය පිළිබඳ දැනුම්වත් කළා. පස සංරක්ෂණය කරන්නේ කෙසේද? පොහොර යෙදිය යුතු ආකාරය පිළිබඳව ඔවුන් දැනුම්වත් කළා. මොකද බොහෝ පිරිස් ඒ ක්‍රමවේදයන් නිසි ලෙස සිදු කරන්නේ නැහැ. අපි එ් සඳහා විශේෂ වැඩමුළුවක් කරලා ඔවුනට පැහැදිලි කරලා දුන්නා ඔවුන්ගේ වතුවල මේ අපි කියන ක්‍රියාදාමයන් කළහොත් දැනට ඇති නිෂ්පාදනය ඉහළ නංවාලන්න පුළුවන් කියලා. විශේෂයෙන් උනන්දු වෙලා අපි ඔවුන්ට උපරිම දායකත්වය අපි ලබා දෙනවා.   


පොල්වලට පාලන මිලක් නියම කිරීමත් වැදගත්. ඒකෙනුත් යම් බලපෑමක් තිබෙනවා.   


ප්‍රශ්නය - ඉදිරියේදී මේ තත්ත්වය අවම කරන්න වැඩපිළිවෙළක් තිබෙනවාද?   


පිළිතුර - මෙහෙමයි. පොල් වගා කිරීමේ මණ්ඩලය ලබා දෙන සහනාධාර වලට අමතරව අපේ පැත්තෙන් අපි සොයාගත් තාක්ෂණය ඔවුනට දීලා නිෂ්පාදනය වැඩි කරන්න අපි උපදෙස් සහ උදව් ලබා දෙනවා. කෙසේ වෙතත් අපි බලාපොරොත්තු වෙනවා ලබන ජුනි මාසය වන විට මේ තත්ත්වය මඟ හැරී යනු ඇතැයි කියලා.   


සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ජනතාව වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 2000ක් පමණ පරිභෝජනය කරයි. වාර්ෂිකව පොල් ගෙඩි මිලියන 2000ත් 3000ත් අතර සංඛ්‍යාවක් නිෂ්පාදනය කෙරේ. එහෙත් වසරින් වසර නිෂ්පාදන ප්‍රමාණය වෙනස් වන බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.


මේ අතර රජය පොල් සඳහා පාලන මිලක් පාලනය කිරීම කෙතරම් සාධාරණද? එය ප්‍රායෝගික ද යන්න සොයා බැලිය යුතු වෙයි. මේ සම්බන්ධයෙන් අපි පිටකොටුව මැනිං වෙළෙඳ ​ෙපාළේ පොල් අලෙවිකරුවන් කිහිප දෙනෙකුගෙන් විමසීමක් කළෙමු.   


මුලින්ම අපට හමු වූ පොල් අලෙවිකරුවකු වන පී.ඩී මහින්ද මහතා ප්‍රකාශ කළේ මේ දිනවල කොළඹට පැමිණෙන පොල් ඉතා කුඩා ප්‍රමාණයේ එ්වා බවයි. රජය දැන් පොල්වලට පාලන මිලක් දමා තිබෙනවා රුපියල් 75ට අලෙවි කරන්න කියලා. එහෙත් ඒක ප්‍රායෝගික නැහැ. දැන් වෙළෙඳ පොළේ ලොකු පොල් කිලෝ ගණනටයි අලෙවි කරන්නේ. කිලෝ ග්‍රෑම​යක් පමණ බර පොල් ගෙඩියක් රුපියල් 95ක් වගේ මිලකට අලෙවි වෙනවා. පොල් නිෂ්පාදනය පහත වැටීමට ප්‍රධාන වශයෙන් නියඟයත් බලපෑවා. අපි පොල් ගෙඩියක් තොග වෙළඳුන්ගෙන් මිලදී ගන්නෙත් රුපියල් 75 කටයි. ඉතින් අපි කොහොමද රුපියල් 75කට මිලදී ගෙන අලෙවි කරන්නේ. පාලන මිලක් දැම්මට ප්‍රායෝගික නැහැ. මොකද පොල්වල ප්‍රමාණය එක එක ප්‍රමාණයේ එ්වා. ඉතින් පාලන මිලක් නියම කරන්නේ කොහොමද? අපි ඉතින් ඉතා කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක් රුපියල් 45ක් වගේ මිලකට මිලදී ගෙන රුපියල් 75කට අලෙවි කරනවා. දැන් එක එක ප්‍රමාණයේ පොල් වෙළෙඳ පොළට එනවා. අපි ඉතින් කුඩා ප්‍රමාණයේ ​ෙපාල් තෝරාගෙන රුපියල් 75ට අලෙවි කරනවා. ලොකු ප්‍රමාණයේ පොල් තෝරා ගෙන අපි ඒවා ලොකු හෝටල්වලට ලබා දෙනවා. ඒකෙන් අපිට ලාභයක් තිබෙනවා. රුපියල් 75කට පොල් අලෙවි කරන්න අමාරුයි.   


දැන් බලන්න, පොල්වලට පාලන මිලක් නියම කළාම ඒක සමස්ත වෙළෙඳ ප්‍රජාවටම බලපානවා. ඉතින් අපි පොල් මිලදී ගන්නේ විශාල ව්‍යාපාරිකයන්ගෙන් ඒ මුදලටමයි මොකද පාලන මිලක් පවතින නිසා. අනික ඕනෑම කෙනෙකුට තේරෙනවා පොල්වල ප්‍රමාණය එකිනෙකට වෙනස්. ඉතින් පාලන මිලක් නියම කළාම අපි කොහොමද ලොකු පොල් ගෙඩියක් ඒ මිලටම දෙන්නේ. පාරිභෝගිකයොත් අපහසුතාවට පත් වෙනවා.   


පාලන මිලක් දමනවා නම් අපට ආණ්ඩුවෙන් අඩු මිලට පොල් ලබා දෙනවා නම් එ්ක සාධාරණයි. අපි මහා පරිමාණයෙන් පොල් මිලදී ගන්නේ මාදම්පේ ප්‍රදේශයෙන්. ඉතින් අපි ඒ ප්‍රදේශයේ ඉඳලා ප්‍රවාහනය කරන කොට ප්‍රවාහන වියදම් සේවක කුලිය ගත්තාහම කොහොමද පාලන මිලකට පොල් අලෙවි කරන්නේ. අපි තොගේට රුපියල් 75ක් වගේ මිලකට ගත්තාහම තේරිලා එනකොට පොල් ගෙඩියේ තත්ත්වය තවත් බාල වෙනවා. ආණ්ඩුව අපට රුපියල් 70ක් වගේ මිලකට පොල් ලබා දෙනවා නම් අපිට පාලන මිලක් යටතේ 75කට අලෙවි කරන්න පුළුවන්.   


ප්‍රශ්නය - ආණ්ඩුව පසුගිය දවස්වල රුපියල් 64ක් වගේ මිලකට පොල් ලබා දුන්නා නේද?   


පිළිතුර - ඔව්. අපිත් ඉතින් ගියා ඒ මිලට පොල් ලබා ගන්න. ඒත් ඒ පොල් ඉතා කුඩා ඒවා. තේරිලා තේරීලා තමයි අලෙවි කරන්නේ. මම දැන් වසර 30ක් පමණ තිස්සේ පොල් තමයි අලෙවි කරන්නේ. ඔය වගේ පාලන මිලක් නියම කරන එක ප්‍රායෝගික නැහැ කියන එකයි මගෙ නම් අදහස. 


පොල් මිල ඉහළ යාම හා පොල් හිඟයක් පැවතීම පිළිබඳව වසර 30ක කාලයක් පුරා පොල් අලෙවි කරන ඩීන් මහතාගෙන් විමසීමක් කළෙමි. ඔහු සඳහන් කළේ නියඟය විශාල වශයෙන් පොල් නිෂ්පාදනයට බලපෑ බවයි. අනික ආණ්ඩුවට ක්‍රමවත් වැඩපිළිවෙළක් නැහැ. පැරණි පොල් ගස්වල ඵලදාව අඩුවෙන කොට නැවත පොල් පැළ වගා කරන්න ඕනෑ. ඒ සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් නැති එකත් එක ගැටලුවක්. අනික තමයි පොල් පිටරටවලට යැවීම පොල්වල ප්‍රමාණයක් තිබෙනවා. පොල් ගෙඩි 100ක් ගත්තාහම වර්ග 3කට බෙදන්න පුළුවන්. ලොකු ඒවා, මධ්‍යම එ්වා හා කුඩා ඒවා වශයෙන්. ඉතින් ලොකුම ගෙඩියක් එක මිලක්. කුඩාම ගෙඩියක් එකම මිලක්. ඉතින් පාලන මිලකට පොල් අලෙවි කිරීම ප්‍රායෝගික නැහැ. දැන් පාලන මිලක් දමලා තිබෙන්නේ ඔක්කොම එක සමාන පොල්වලට.   


ප්‍රශ්නය - පාලන මිලක් නියම කළ එක හොඳද?   


පිළිතුර - පාලන මිලක් නියම කළ එක හොඳ නැහැ. නමුත් පාලන මිලකට ලොකු පොල් ගෙඩියක් පාරිභෝගිකයන් තෝරලා ගන්නවා. අර කුඩා පොල්වලට මොකද වෙන්නේ. අන්න ඒක නිසා තමයි පාලන මිලක් ප්‍රායෝගික නැහැ කියලා. එකම ප්‍රමාණයේ පොල්වලට පාලන මිලක් නියම කරනවා නම් හොඳයි. නමුත් කොහෙද තිබෙන්නේ එකම ප්‍රමාණයේ පොල්.   


පාලන මිලකට ලොකු පොඩි කියලා වෙනසක් නැහැ. අනික කලටි පොල් ඒවා තේරිලා ඉතුරු වෙනවා. පාරිභෝගිකයන් ඒවා මිලදී ගන්නේ නැහැ. දැන් රුපියල් 65ක් වගේ පාලන මිලක් නියම කළත් මම ගන්නේ තිබෙන ලොකුම පොල් ගෙඩිය. එතකොට ඔය පොඩි ගෙඩි කවුරුන්ද ගන්නේ. පොල් 100ක් අරගෙන අලෙවි කරන කොට එ් 100ම ලොකු ගෙඩි නොවෙයිනේ. අඩු වශයෙන් ගෙඩි 30ක් හෝ 40ක් පමණයි තිබෙන්නේ ලොකු ගෙඩි. අපි පොල් මිලදී ගන්නා මහා පරිමාණ පොල් වෙළෙන්දෝ අපිට දෙන්නේ කළවමේ. තෝරලා ගන්න කොට මිල අධිකයි. 75 නොවෙයි 90-95ත් අතර මිලක් වෙනවා. තොග මිලට අපි ගන්නේ රුපියල් 80ත් 85ත් වගේ මිලකටයි. ඉතින් කොහොමද අපි රුපියල් 65ක් හෝ 75ක් වගේ මිලකට අලෙවි කරන්නේ.  


ඉතින් පාලන මිලක් නියම කළ එක ප්‍රායෝගික නැහැ. පාරිභෝගිකයන් හැමෝම බලන්නේ ලාභයක් ඇතිව භාණ්ඩයක් මිලදී ගන්නනේ. පොල් ව​ෙග් දෙයකට පාලන මිලක් නියම කරන්න අමාරුයි. එක එක වර්ගවලත් එක එක ප්‍රමාණයත් නිසා. ඒක නිසා තමයි පොල් වගේ දෙයකට පාලන මිලක් නියම කළ එක සුදුසු නැහැ.  


කෙසේ වෙතත් ඉදිරියට පැමිණෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දේ සෑම නිවෙසකම ඉදෙන කිරි බතට පොල් අත්‍යවශ්‍යයි. ඒ කාලය තුළදීවත් පොල් මිල අඩු වෙනවා නම් හොඳයි කියලා තමයි පාරිභෝගික ජනතාව පවසන්නේ.

 

 

 

 

 

 

සටහන
නිශාන්ත කුමාර බණ්ඩාර