තාප්ප වනසන පෝස්ටර් නැති ජපානයේ මැතිවරණ


හැම අපේක්ෂකයාටම දැන්වීම ප්‍රදර්ශනය කරන්නේ පොදු දැන්වීම් පුවරුවක

 

අප රටේ මැතිවරණ පිළිබඳ අපගේ මතකය කිසිවිටකත් මැකී නොයන තරම්ය. අවශ්‍ය නොවන තරම් කාල පරාසයක රටේ මොනයම් හෝ මැතිවරණයකි. අවම තරමින් සමූපාකාර ඡන්දයක් හෝ එසේ අඩු කාල පරාසයක් තුළ පවත්වන්නේය.


ඉතා කුඩා රටක්වූ අප රටේ ආර්ථිකයට එය මහත් බාධාවක් බව බහුතර මතයයි. මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණය අවසානයේ ඉතා ඉක්මනින් මහා මැතිවරණයක් පැවැත්වෙන බව අප කවුරුත් දන්නේය. කුමන අපේක්ෂකයා ජනාධිපති වුවද ඔහුට ගැළපෙන ඇමැති මඩුල්ලක් පත්කරගැනීම සඳහා එසේ මහා මැතිවරණයක් පවත්වන්නේය.
රටේ එවැනි මැතිවරණයක් පැවැත්වෙනවා යනු අති විශාල මුදල් ප්‍රමාණයක් වැයවීමකි. ඉතාමත් අඩු කාලපරාසයක් තුළ ප්‍රධාන මැතිවරණ දෙකක් පැවැත්වීම ශ්‍රී ලාංකීය අපගේ ආර්ථිකයට කියා නිමකළ නොහැකි පාඩුවකි.


මැතිවරණයක් සඳහා අපේක්ෂකයින්ද කරනු ලබන වියදම අති විශාලය. එය කොතරම්දැයි අපේක්ෂකයා පවා දන්නවා දැයි සැකයකි. සීමා රහිතව මත්පැන්, බත්පැකට් බෙදන සම්ප්‍රදායට අමතරව විශාල ලෙස ප්‍රචාරණ කටයුතු සඳහා වියදම් කරනු පෙනේ. විද්්‍යුත් මුද්‍රිත සහ සමාජ මාධ්‍ය හරහා කරනු ලබන ප්‍රචාරක කටයුතු අතර මුද්‍රිත මාධ්‍ය තුලින් පෝස්ටර්, කටවුට් ආදී මගින් කරනු ලබන ප්‍රචාරක කටයුතු නිසා පරිසරයටද සිදුවන්නේ විශාල හානියකි. පෝස්ටර් සඳහා අපේක්ෂකයින් අතර තිබෙන්නේ විශාල තරඟයකි. රාත්‍රියේ කෙනෙකු අලවන පෝස්ටරය පසුදා උදෑසනවිට අනෙකා විසින් වසා දමා අවසානය.


මැතිවරණය අවසන් වනතුරු එය චක්‍රයක් ආකාරයෙන් සිදුවන්නේය. ගස්ගල්, තාප්ප, මාර්ග පුවරු මකාදමා සිදුකරන මෙම අමනෝඥ ක්‍රියාව අපටනම් විහිළුවකි. රටේ ලෝකේ මේතරම් දියුණු ප්‍රචාරක මාධ්‍ය ඇතත් මෙවැනි ප්‍රචාරක කටයුතු අත්‍යවශ්‍ය දැයි ගැටලුවකි.


මෙවර ප්‍රචාරක කටයුතු සඳහා පොලිතින් යොදා නොගැනීමට ගෙන ඇති තීරණය වැදගත්ය. නමුත් මේ වනවිටත් අති විශාල පෝස්ටර් තොගයකින් රටපුරාම තාප්ප, ගස්ගල් ආදී පෝස්ටරයක් ඇලවිය හැකි සෑම තැනක්ම වැසී අවසානය.


පුද්ගලික දේපළක් නම් එසේ අලවන පෝස්ටර් නිසා සිදුවන හානිය එය අයිතිකරුවා විසින්ද රජයේ පොදු දේපලක් නම් රජය විසින්ද දරා පිරිසිදු කරගත යුතුය. මීට පෙර මෙවැනි පෝස්ටර් විනාශකිරීම සඳහා පෝස්ටර් මරුවා හඳුන්වා දුන්නා මතකය.

 

 


කවුරු කෙසේ කීවද ප්‍රධාන නගරවල නීතිරීතිවලට අනුව යම් තරමකින් ප්‍රචාරක කටයුතු සඳහා පෝස්ටර් බැනර් යොදා ගත්තද නගරයෙන් පිට ඒ සඳහා ප්‍රතිපත්තියක් නොමැත්තේය.


ප්‍රචාරය යනු අනෙකා නොදන්නා දෙයක් තවකෙනෙකුට දැන්වීමය. එසේ නම් මැතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයාද සිදුකළ යුත්තේ එය නොවේද? අපේක්ෂකයින් එක් එක් කෙනා සඳහා නගරයේ ප්‍රසිද්ධ ස්ථානයක ඉදිකරන ලද පුවරුවක කොටසක් වෙන්කිරීම සිදුකරන්නේ නම් මේ මහා විනාශය වළකා ගත හැකිය. එසේ කරන්නේ නම් අදාළ ස්ථානයේ පමණක් තම ප්‍රචාරක පෝස්ටරය ප්‍රදර්ශනය කිරීමට අපේක්ෂකයා කටයුතු කළ යුතුය.


සැබෑවටම රටට හිතවත්ව රට කරවීම තම අරමුණ නම් ඔහුට හෝ ඇයට එය එසේ කිරීමට සිදුවනවා නියතය. රට දියුණු කිරීමට ඉදිරිපත්ව ඇති අපේක්ෂකයා මෙයද සිහිතබා ගත යුතුය. රටේ දියුණුව යනු ආර්ථිකයම පමණක් නොවන්නේය. ගුණගරුක ජනතාවක් වෙසෙන රටක් තුළ පරිසරයද රැකගත යුතුය.


ජපානයේ මැතිවරණයකදී එම අපේක්ෂකයින් එකම පුවරුවක තම පෝස්ටරය ප්‍රදර්ශනය කරන්නේය. මහා ප්‍රචාරක රැලි එරට නැත. ජනයා ගැවසෙන ස්ථානයක විවෘත රථයකට නැගි අපේක්ෂකයා තම ප්‍රතිපත්තිය කියවමින් ජනතාව අමතයි. මැතිවරණය අවසන්වූ සැණින් අදාළ පුවරු වහාම ඉවත් කිරීමට එරට බලධාරීහූ කටයුතු කරති.


හොඳින් ප්‍රදර්ශනය වන ස්ථානයක තාවකාලිකව ඉදිකරන ලද පුවරු තුළ අදාළ අපේක්ෂකයා සඳහා කොටසක් වෙන් කරනු ලැබේ. එවිට අදාළ අපේක්ෂකයා තමාට හිමි කොටස පමණක් ප්‍රයෝජනයට ගෙන තම ප්‍රචාරක පෝස්ටරය ප්‍රදර්ශනය කරන අයුරු මෙම ලියුම්කරු ජපානයේදී දැක ඇත.


මැතිවරණය ජයගන්නටත් පෙර සිටම පරිසරය රැකෙන අයුරින් නීතිගරුකව තම ප්‍රචාරක කටයුතු කරවා ගැනීම පිළිබඳව තම අවධානය යොමුකරවන ලෙස සියලු අපේක්ෂක මහත්ම මහත්මීන් ගෙන් අපි ඉල්ලා සිටිමු.

 

 

බණ්ඩාරවෙල - ජගත් කලන්සූරිය
ඡායාරූප - අන්තර්ජාලයෙන්