තවමත් අබිරහසක් වූ සාලියවැව දැරියගේ අතුරුදන්වීම


“බැණල පයින් ගැහුවම දැරිය වැටුණා. මැරුණා කියල හිතාගෙන කළාඔයට දැම්මා” අතුරුදන් දැරියගේ මවගෙන් පොලිසියට ප්‍රකාශයක්

නිවස දරුවකුට නිසි රැකවරණය සහිත එකම ස්ථානය බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. එහි ආරක්ෂාවත් රැකවරණයත් ආදරයත් තිබිය යුතුමය. නමුත් මෑත කාලයේ දරුවන්ට නිවස තුළම මේ සියල්ලම අහිමි වෙමින් තිබෙන බවට තොරතුරු හෙළි වෙන්නටද විය. එයට නිදසුනක් ලෙස සාලියවැව නීලබැම්ම ඕළුමඩු ගම්මානයේ සිව් හැවිරිදි දියණියගේ අවසානය සිදුව තිබුණේද නිවස තුළින්ම ය. ඒ ඇගේ මව ඇයට පහර දී මරා දැමු බව කියන අනුවේදනීය කතා පුවතිනි.


ඩබ්ලියු.ජී. තෙනුරි තිසාරා දැරිය නීලබැම්ම ඕළුමඩු ගම්මානයේ කා අතරත් ආදරයට ලක්වන්නේ ඇගේ ළමාකමට එහා ගිය කටකාරකම නිසාවෙනි. එසේම පුංචි වුවද තෙනුරි රැඟුමට මහත් දක්ෂතාවක් දක්වන්නේ වයස ඉක්මවා යමිනි.


මේ නිසාම තෙනුරිව ඕළුමඩු ගම්මානය තුළම බොහෝ දෙනෙකුගේ පුංචි නැට්ටුක්කාරිය ද වෙයි. ගම්මානයේ සෑම කෙනෙකුම තෙනුරිට ඇලුම් කළ ද ඇගේ මවට ඇයව නුරුස්සන කමක් මතුව තිබුණේ කුමන සිද්ධියක් මුල් කරගෙන දැයි ප්‍රශ්නයක්ව තිබුණි.


ඒ නිසාම පුංචි තෙනුරි තම මිත්තනිය සමග වාසයට ද ප්‍රියතාවක් දැක්වූ බව ද කියයි. දැරිය තම මවගෙන් බොහෝ දුරක් ඈත්වී සිටීම නිසාම ඇය ඇගේ මවට දැක්වූ ප්‍රියතාව බොහෝ අඩු වී තිබු බව සනාථ වී තිබේ.


තමන්ට තම ළමා කාලයේ නොලැබු ආදරය රැකවරණය සහ ආරක්ෂාව නිවස තුළින් නොලැබීම නිසාම තෙනුරිගේ මව වූ නයනා කුමාරි ඇගේ කුසින් බිහිකළ දැරියට ද එය ලබා දීමට කිසිම විටක උත්සාහ කර නොතිබූ අතර ඒ නිසාම ඇය දැරියට බොහෝ අවස්ථාවලදී වෛර කරන්නට වූ බව ද කියයි.


දැරියගේ මව වන හිටිහාමි මුදියන්සේලාගේ නයනා කුමාරිගේ ළදරු විය බොහෝ දුක්ඛිතය. ඇය ජීවත් වූ පරිසරය තුළ කිසිම විටක පිය සෙනෙහස ලැබී නැත. පියා කිසිවිටකත් තම මවට ආදරයෙන් අමතනු ඇය අසා නොමැති තරම්ය. ඉතාම දරුණු වටපිටාවක තම ළමා විය නයනාගේ නිවස තුළින්ම උදුරාගෙන තිබුණි.


එසේම නයනාට ඇය පුංචි සමයේ ඇයගේ පියා කළ පහර දීමකින් දරුණු ලෙස අසනීප වූ බවද ඒ හේතුවෙන් ඇය අවස්ථා ගණනාවක මානසික රෝග වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර පවා ලබාගෙන තිබූ බව ද කියති.


තමාගේ පියා මවට සිදුකළ දරුණු පහර දීම් පවා නයනාට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් වූ බව කියයි. මේ නිසාම නයනාගේ මව පියාගේ සේවකයකු ලෙස සේවය කළ අයකු සමඟ අනියම් පෙමක් ගොඩ නඟා ගත්තාය. ඒ අතරතුර නයනාගේ පියා මරා දමා තිබුණේ නයනාට යාන්තම් වයස අවුරුදු 12ක් පමණ කාලයේ බව කියති. ඉන් පසුව නයනාට එතෙක් තිබූ මවගේ රැකවරණය ද අහිමි වී තිබුණි.


පියාගේ රැකවරණය නොලැබූ නයනාට පියාගේ මරණයෙන් පසුව මවගෙන් එතෙක් ලැබුණු ආදරය ද අහිමි වී තිබුණේ මව අනියම් සැමියා සමග කල් ගෙවමින් කාලය ගත කිරීමත් සමගය. ඒ සමගම නයනා පිළිබඳව සොයා බැලීම ද බොහෝ අඩුවී තිබූ බව ද සඳහන් වෙයි.


යාන්තම් වයස අවුරුදු 13ක් වනවිට නයනාගේ නිවසට නිතර ආගිය කාමාතුරයකු විසින් නයනා විනාශ කර දමන්නේ මේ කාලය අතර තුරය. ඉන් පසුව නයනාගේ මව ඇය මාතර ප්‍රදේශයේ රඳවා තබා ඇත.


එසේ නමුත් මාතර රඳවා සිටි නයනා නැවත සාලියවැව නීලබැම්ම ප්‍රදේශයට පැමිණ ඇත්තේ මාතර ප්‍රදේශයේ දී හාද කමක් පවත්වාගත් තරුණයකු සමගය. ඒවන විට නයනාට යාන්තම් වයස අවුරුදු 16 ක් විය.


ඔහු සමඟ නැවත සාලියවැව නීලබැම්ම ඕළුමඩු ප්‍රදේශයේ මවගේ නිවස තුළම පදිංචිව සිටමින් කසිප්පු පෙරමින් සැමියා සමඟ ජීවත්ව ඇත්තේ නයනාගේ සුළු පියා (මවගේ දෙවැනි සැමියා) රැකියාව ලෙස සිදු කළ මෙම කසිප්පු ජාවාරමත් සේම තවත් නීති විරෝධී ජාවාරම් කීපයකට හවුල් වෙමිනි.


මෙම කථාවේ අනුවේදනීයම කථා පුවතට අදාළ වන පුංචි තෙනුරි තිසාර මෙලොව එළිය දකින්නේ මේ අතර තුරය. නමුත් තෙනුරි මෙලොව එළිය දැක සුළු කාලයකින් දැරියගේ පියා නයනා සහ ඇය අතහැර ගියේය.


ඉන්පසු දැරිය සමඟ තම මවගේ නිවසේ ජීවිතය රැගෙන යාමට නයනාට සිදු විය. එහිදී නයනාගේ නිවසේ සිට මීටර් 300 කට අඩු දුරකින් වූ කළාඔයත් අවට මහ වනයත් කසිප්පු ජාවාරමට යොදා ගන්නේ ජීවත්වීම සඳහා වෙනත් ආදායම් මාර්ගයන් නොවූ තැන බව ද කියැවෙයි.


දැරිය සමඟ තනි වූ නයනාට රැකවරණය ලබා දීමට විටින් විට පැමිණෙන පුද්ගලයින් ඔවුන්ගේ කාම ආශාව සන්සිඳුවාගෙන නික්ම යන විට තවත් අයෙක් නයනාට ඇල්ම බැල්ම හෙළීම සිදුව තිබේ. මෙම සිදුවීම වෙනවිට නයනාට වයස අවුරුදු විසි එකක් (21) වු නමුත් ඇය සමග පෙම්කළ ගණන 18ක් බව කියති.


මේ සියල්ල හමුවේ පියා නොමැති දැරියට මවගේද ආදරය අහිමි වන්නේ දැරියගේ මවට සිදු වූ අයුරිනි. මේ සියල්ල නොතේරෙන පුංචි තෙනුරි කිසිම විටක මවට ළං වීමටත් අකමැති වී තිබුණි.


බොහෝ අවස්ථාවල මේ පුංචි දැරියට ඉවසා ගත නොහැකි ලෙස දරුණු පහර කෑම්වලට ලක්ව තිබූ බවට බොහෝ සාක්ෂි සනාතව තිබුණි. එතරම් දැඩි වෛරයක් දැරියට දක්වා තිබූ බවද කියයි.


සැබැවින්ම දැරිය මේ නිසාම නයනාට ඇලුම් නොකළ අතර විවිධ අවස්ථාවල මේ පුංචි දැරියගේ මුවින් පිටවූ එක වදනක්ව තිබුණේ “ඔයා මගේ අම්මා නෙවේ ඇයි මට ගහනවානේ” යැයි පවසමින් හඬමින් කෑගැසූ අවස්ථා එමට බව අසල් වැසියන් පවසන දෑ හමුවේ සනාථ වෙයි.


තෙනුරිගේ අනුවේදනීය කථාව ආරම්භ වන්නේ ජනවාරි 30 දිනය. එදින මිත්තනිය සහ මිත්තනියගේ දෙවන සැමියා අසල කැලෑවට ගොස් තිබූ බව කියයි.


ඒ වෙනවිට නිවසේ රැඳී ඇත්තේ පුංචි තෙනුරි සහ ඇගේ මව නයනා පමණක් බවද කියැවෙයි.


කිසිදු සාක්ෂියක් ඉතිරි නොකර නිවසේ සිටි තෙනුරි අතුරුදන්වීම සිදුවන්නේ මේ කාලයේය.


තෙනුරිගේ මව 30 වැනි දින සාලියවැව පොලිසියට පැමිණ පැමිණිලි කරන්නේ තමන්ට දින කීපයක සිට ආරුඪයක් (දිෂ්ටියක්) ලැබෙන බවත් ඒ අවස්ථාවල දියණියට පහර දී ඇති බවත් 30 දින ද එසේ ආරුඪයක් ලැබුණ අවස්ථාවේ සිට තමන් සමග සිටි දියණිය අතුරුදන් වූ බවය.


නමුත් එම අවස්ථවේදී පවා තෙනුරිගේ මවගේ දෑස්වල කදුළු බිඳක් හෝ එළියට පැමිණ නොතිබූ බව පොලිස් ස්ථානයේ ඒ වෙනවිට රැඳී සිටි නිලධාරීන් පවසා තිබුණි.
ඒ සමගම තෙනුරිගේ මිත්තනිය පවසා තිබුණේ තමන්ට දැරිය කෑගසන හඬ ඇසී නිවසට පැමිණෙන විට නයනා සහ දැරිය නිවසේ නොසිටි බවය.


පසුව නයනා අසල තිබූ සුසාන භුමියේ බෝක්කුවක් අසල වැටී සිටියදී හමුවු නමුත් දියණිය පිළිබඳව කිසිදු හෝඩුවාවක් නොමැති බවත්ය. පරස්පර කතා වුවද අතුරුදන් වූ දැරිය කඩිනමින් සොයා ගැනීමට ඕළුමඩු ගම්මානය සේම අවට ගම්මානවල ජනතාව සහ සාලියවැව පොලිසියත් සිවිල් ආරක්ෂක ඒකකයත් 30 දින මධ්‍යම රාත්‍රි වන විටත් දැවැන්ත කැපවීමක් සිදුකර තිබූ නමුත් ඇය ගැන කිසිදු තොරතුරක් හෙළිදරව් නොවීය.


මේ අතරතුර නයනාගේ මවත් මිත්තනියත් දැරිය සොයා ගැනීමට දේවාලවල කපුවන්ගේ පිහිට පැතීමට කටයුතු කර තිබූ බව ද කියති.


දැරිය සොයන අතරතුර දැරියගේ මව දුරකථනයෙන් දේවාලයක කපුවකු යැයි කියනා අයකුට අමතමින් දැරිය සිටිනා ඉසව් විමසමින් ගමන් කරන්නට වූවාය. දැරියගේ මව පිටු පසින් පැමිණි ගම්මානයේ පිරිසට නයනා යම් කිසි සිදුවීමක් වසන් කරන බවට තේරුම් යන්නට වූයේ මේ අතරතුරය.


ඒ නිසාම දැරිය සොයන පිරිස් නයනාටත් ඇගේ මවටත් දැඩි ස්වරූපයෙන් බැණ වැදීම දැක ගත හැකි විය.

 

පරීක්ෂණ සිදුවන ආකාරය

නාවික කිමිදුම්කරුවන් දැරිය සොයා

 

 


එයට හේතුව වී තිබුණේ නයනාගේ පියාගේ මරණය අදටත් අබිරහසක් වීමත් දැරියටත් යම් කිසි කරදරයක් කර ඇති බවටත් එම පිරිස් නගන චෝදනාවලින් දැක ගත හැකි විණි.
එසේම ජනතාව පවසා සිටියේ “උඹලා එකක් කරලා අද වෙනකම් කිසිම දෙයක් නැහැ. හැබැයි දරුවාට මොනවා හරි වෙලා තිබුණොත් ගමේ ඉන්න එපා. දැනගනියව් අපි ඉවසුවා දැන් ඇති” කියා ගම්වාසීන් කළ තර්ජනයෙන් නයනාගේ මව සේම නයනාගේද මුහුණ යම් ඉරියව් වෙනස් වීමකට ලක්වුවද එය නොපෙන්වා “අපි දරුවා හොයා ගමු, යනුවෙන් පවසා පිරිසට ඉදිරියෙන් ගමන් කරන්නට වී ඇත. නමුත් කිසිම තොරතුරක් හෝ දැරියගේ පා සටහනක්වත් සොයා ගැනීමට කිසිවකුට නොහැකිවී තිබුණි.


ඒ නිසාම දැරිය අතුරුදන්වීම පිළිබඳව තොරතුරු නොමැතිවීම නිසාම පොලිස් නිල සුනඛයින් යෙදවීමටත් කටයුතු කිරීමට ඉහළ පොලිස් නිලධාරීන් කටයුතු කර තිබුණි. ඒ 31 වැනි දිනය. එදිනද කිසිදු තොරතුරක් සෙයාගත නොහැකි විණි.


නමුත් පොලිස් නිල සුනඛයා කලාඔයට උඩින් පිහිටි විල්පත්තුව ජාතික වනෝද්‍යානය දෙසට ඉව අල්ලමින් දිව යාම නිසා නැවත 1 දින ද පොලිස් විශේෂ කාර්ය බළකාය හා පොලිස් නිලධාරීන් කණ්ඩායම් කීපයකට බෙදා 100 කට ආසන්න ප්‍රමාණයක් යොදා ගනිමින් විල්පත්තුව පීරමින් සෝදිසි කිරීම්වල නිරත වුවද ඒ පිළිබදව කිසිදු තොරතුරක් හමුවී නොතිබුණි.


මේ අතරතුර දැරියගේ අතුරුදන්වීමට කෝප වූ ගම්වැසියන්ගෙන් එල්ල වූ තර්ජන හමුවේ නයනා සහ ඇගේ මවත් මවගේ දෙවැනි සැමියාත් වයස අවුරුදු හතක් පමණ වු අතුරුදන් වු තෙනුරි මාමා ලෙස ඥාතිකම් ඇති දරුවකුද සාලියවැව පොලිසියට පැමිණ ආරක්ෂාව ඉල්ලා තිබුණේ ගම්මානයේ පවතින තත්ත්වය එන්න එන්නම වැඩිවීම හේතුවෙනි.


කෙසේ නමුත් දැරිය අතුරුදන්වීම පිළිබඳව සාලියවැව පොලිසිය පරීක්ෂණ පවත්වන අතර තුරදී දැරියගේ මවගෙන් ප්‍රශ්න කිරීමට කරුවලගස්වැව පොලිස්ථානයට භාර දී තිබුණි.


එහිදි කරුවලගස්වැව පොලිස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව ජයලත් මහතාට අදාළ ප්‍රශ්න කිරීම් භාර දී තිබුණේ ප්‍රදේශයේ ඉහළ පොලිස් නිලධාරියකුගේ උපදෙස් මතය. එහිදී ඉතා වැදගත් තොරතුරක් හෙළි කර ගැනීමට හැකි වූයේ එම ප්‍රශ්න කිරීම් අතරතුරය. නමුත් එය කොතරම් දුරට සත්‍යදැයි තවමත් සිතා ගත නොහැකි නමුත් දැරියගේ මව පාපොච්චාරණයක යෙදෙමින් පවසා තිබුණේ 30 දින තමන් නිවසේ සිටියදී දැරියට පහරක් ගැසූ බවත් එහිදී දැරිය තමන්ට බැණ වැදීම ඉවසා ගත නොහැකිව එකවරම පාදයෙන් පහරක් ගසද්දී දැරිය විසිවී ගොස් අසළ තිබූ මේසයේ හිස වැදී ඇද වැටී සිහිසුන්ව සිටියදී තමන් ජලය ඉසිමින් දැරියට සිහි ලබා ගන්නට උත්සාහ කළ ද එය පලක් නොවීම නිසා දැරිය මරණයට පත් වී ඇති බව සිතා නිවසේ සිට මීටර් 300 කට ආසන්න දුරකින් පිහිටි කලාඔයට දැරිය ඔසවාගෙන ගොස් විසිකර දමා මුහුණ සහ දැත් සෝදා කිසිවක් නොවූ ලෙස නිවසට පැමිණ ඒ සමඟම කොණ්ඩය කඩා එය විසිරී යාමට ඉඩ හැරි ආරූඪයක් ආ ලෙස දිවගොස් සුසාන භුමිය අසල වැටී සිටි බවයි.


මෙම පාපොච්චාරණය පරීක්ෂණ පවත්වන ආරක්ෂක අංශ සේම දරුවන් සිටිනා නොසිටිනා සෑම අයකුම මහත් කම්පාවට පත් කරන්නට විය.


පාපොච්චාරණයේ තොරතුරු අනුව නයනා එදිනම රාත්‍රියේම දැරිය කළාඔයට දැමුවා යැයි පැවසෙන ස්ථානයට රැගෙනවිත් ප්‍රශ්න කිරීමට කටයුතු කර තිබුණි. එහිදීද ඇය පවසා තිබුණේ පොලිසියට කළ පාපොච්චාරණයමය.


වහාම පුත්තලම පොලිස් අධිකාරි ජේ.ඒ. චන්ද්‍රසේන මහතා සාලියවැව සහ තවත් පොලිස් ස්ථාන කීපයක නිලධාරින් යොදවා රාත්‍රිය පුරා එම ස්ථානයට ආරක්ෂාව සපයා තිබුණි.
පසුව 2 දින එම ස්ථානයට කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ කිමිදුම් නාවිකයින් යොදවා සෝදිසි කිරීම්වල නිරත වෙන්නට වුවද දැරිය සොයා ගැනීමට නොහැකි විණි. නාවික කිමිදුම්කරුවන් යොදා ගනිමින් කලාඔයේ තවත් ස්ථාන ගණනාවක් සෝදිසි කිරීමටද කටයුතු කර තිබුණද දැරිය පිළිබඳව කිසිදු තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී තිබුණි.

 

දැරිය​ෙග් මව අත්අංගුවට ගත් සාලියවැව පොලිස් නිලධාරීන්

 

 


එතැනට පැමිණ සිටි තෙනුරිගේ පෙර පාසල් ගුරුතුමිය වන ජේ.ඒ. සුධීරා ප්‍රියදර්ශනි මහත්මිය හඬමින් පවසා සිටයේ


“මේ දරුවා හරිම හුරතල්. කටකාරයි. ඕනෑම කෙනෙක් එක්ක කතා කරන්න බය නැහැ. දරුවාට අම්මා නිතරම පහර දී තිබුණා. එක් දවසක් පිටේ පුපුරු ගහන්න ගහලා තිබුණා. පෙර පාසලට ඇවිත් ගවුම උස්සලා අඬමින් මට පෙන්නුවා” මේ බලන්න ටීචර් අම්මා මට ගැහුවා කියලා. මට දරා ගන්න බැරිව ගියා. මම ඉක්මනට කරුවලගස්වැව ළමා හිමිකම් මිස්ට කෝල් කරලා කථාව කියුවා මේ සිද්ධිය. මිස් පහුවදාම ප්‍රාදේශීය ලේකම්තුමාත් එක්ක ඇවිත් මේ ගැන පරිවාසයට දන්වා අදාළ නීතිමය කටයුතු කරන්න සූදානම් කරමින් ඉද්දී තමා මේ සිද්ධිය වුණේ. මේ අම්මා හරි අමුතුයි. මටත් හිතා ගන්න බැහැ” යැයි ඇය පැවැසීය.


මෙම සිදුවීම සියල්ල හමුවේ නයනා තම කුසින් වැදූ දැරියට කිසිදු ආදරයක්, කරුණාවක් දක්වා නොමැති බවට සියල්ල සනාථ වී තිබේ. නමුත් පුංචි තෙනුරි ට සිදුවුයේ කුමක්දැයි තවමත් ප්‍රශ්නාර්ථයක් මතුකර තිබේ.


මේ සියල්ල හමුවේ සාලියවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගත් නයනා පුත්තලම අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ.එස්.ආර්. වික්‍රමආරච්චි මහතා හමුවට ඉදිරිපත් කර ඉන් පසුව පුත්තලම අතිරේක දිසා විනිසුරු ළහිරු එන්. සිල්වා වෙත ඉදිරිපත් කර තිබූ අතර එහිදී නයනා බන්ධනාගාර ගත කිරීමට අතිරේක මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණි.
තවත් දින කිපයකින් පොලිසියට මෙම සිදුවීම, තවත් එක් සිදුවීමක් පමණක් වනු ඇති. එසේම ගම්වාසීන්ට එය අනුවේදනීය කථා පුවතක් වනු ද ඇති. නමුත් පුංචි මල් කැකුළකට සිදු වූයේ කුමක් දැයි තවමත් සිතා ගත නොහැකි වී තිබේ.

 

 

 

සටහන ඡායාරූප
පුත්තලම හිරාන් ප්‍රියංකර ජයසිංහ