තන්තිරිමලේ පුදබිම සමීපයේ පුරාවිද්‍යා කැණීමක්


 

පොළොව මතුපිට පෙනෙන්නට තිබෙන අපේ ඉතිහාසය කියා පාන තොරතුරු වලට වැඩි තොරතුරු ප්‍රමාණයක් පවතින්නේ පොළොව යටය. ඒ කාලයාගේ අැවෑමෙන් සිදුවූ පාරිසරික වෙනස්කම් හා මිනිස් ක්‍රියාකරකම් හේතුවෙනි. අප රටේ විසූ අතීත මානවයා පිළිබඳවත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳවත් ක්‍රමයෙන් විකාශනය වූ මානව ශිෂ්ඨාචාරයේ වර්ධනයත් සමඟ ඇතිවූ ආගමික හා සංස්කෘතික දියුණුව පිළිබඳවත් වැදගත් තොරතුරු බොහොමයක් මේ වන විට පවතින්නේ අද අප ජීවත්වෙන මහ පොළොව යටයි.  

 

ඒ තොරතුරු සාධක මතුකර ගැනීම සඳහා පුරාවිද්‍යාඥයෝ මහත් වෙහෙසක් දරති. තෝරාගත් ප්‍රදේශ හා ස්ථානවල ඔවුහු කැණීම් කරමින් ගවේෂණය කරති. සිදුකර තිබෙන කැණීම් තුළින් මේ වන විට බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට මෙන්ම සාධක මතුකර ගැනීමටත් පුරාවිද්‍යාඥයෝ සමත්ව සිටිති.  


අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඓතිහාසික තන්තිරිමලේ පුදබිමේ සිට කිලෝමීටර් හයක් පමණ දුරින් වවුනියාව දිස්ත්‍රික්කය මායිමේ විල්පත්තුව ජාතික වනෝද්‍යානය තුළ කොන්ගරායන්කුලම (ඇහැළවැව) ප්‍රදේශයේ මල්වතු ඔයේ දකුණු ඉවුරේ ගිල්මට හසු නොවන දුරින් උස් බිමක පිහිටි පුරාණ නටබුන් සහිත ස්ථානයක පසුගිය දිනවල සිදුකළ එවැනි කැණීමකදී පොළොවට යටවී තිබෙන ප්‍රාග් ඓතිහාසික යුගයේ විසූ මානවයා භාවිතා කරන ලද පබළු වර්ග කහඳ හා තිරුවාණා පාෂාණයන්ගෙන් කළ ශිලා මෙවලම් මෙන්ම අනුරාධපුර යුගයේ මුල් අවධියේ පුරාවස්තු බො​ෙහ​ාමයක් මතුකර ගැනීමට හැකිවී තිබේ. ඊට අමතරව ආදී මානවයා විසින් අඳින ලදැයි විශ්වාස කෙරෙන ලෙන් චිත්‍ර ආදියද මෙහි ලෙන්වල තවමත් දක්නට තිබීම විශේෂත්වයකි.  


අලි, කොටි, වලසුන් ගැවසෙන මහ කැලෑව මැද මහත් දුෂ්කරතාවයන් විඳ දරා ගනිමින් ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ආචාර්ය භික්ෂුන් වහන්සේලා හා ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා විසින් මෙම කැණීම් කටයුතු සිදුකිරීම මෙහි ඇති විශේෂත්වයයි.


එමෙන්ම භික්ෂුන්වහන්සේ කණ්ඩායමක් අතින් ශ්‍රී ලංකාවේ සිදුවූ පළමු පුරාවිද්‍යා කැණීම ලෙසද මෙය වාර්තාගතවනු ඇත.  


පසුගිය ජූලි මස 31 වැනිදා මෙම ස්ථානයේ කැණීමේ කටයුතු ආරම්භ කෙරුනත් ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කෙරුනේ භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ ආචාර්ය භික්ෂුන් වහන්සේලා සහ ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලා පසුගිය වසරේ එම ස්ථානයට පැමිණ සිදුකළ ගවේෂණයකින් අනතුරුවය. ඒ ගවේෂණය සඳහා තන්තිරිමලේ රජමහා විහාරාධිපති උතුරු-නැගෙනහිර දෙපළාතේ උප ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්දරතන හිමියන්ගෙන්ද නොමඳ සහායක් ලැබී තිබුණි.  


 අපේ ඉතිහාසය සොයන මෙම ගවේෂණය සිදුකිරීමට භික්ෂු විශ්වවිද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය කනත්තේගොඩ සද්ධාරතන නායක හිමිපාණන්ගෙන්, භාෂා සහ සංස්කෘතික අධ්‍යයන පීඨයේ පීඨාධිපති මහාචාර්ය කනංගමුවේ රාහුල හිමියන්ගෙන් සහ සමාජ විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශයේ අංශාධිපති ආචාර්ය හෝමාගම ධම්මානන්ද හිමියන්ගෙන් අවශ්‍ය මග පෙන්වීම ලැබී තිබිණ.  


 මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිය ලගමුව මහතා මෙම කැණීම් කටයුතු භාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කරනු ලැබූ අතර කැණීම් සඳහා උපදෙස් ලබාදී තිබුණේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් පිළිබඳ හිටපු සහකාර අධ්‍යක්ෂ ආචාර්ය නිමල් පෙරේරා මහතා විසිනි.

 
මෙම කැණීම් කටයුතු සිදුකිරීම භික්ෂු විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විශේෂවේදී උපාධිය හදාරණ තුන්වැනි හා සිවුවැනි වසරේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා අතින් සිදුකෙරුනි. උන්වහන්සේලා සමඟ මසක කාලයක් එම කටයුත්තේ නිරත වූ එම විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා විෂය භාර කථිකාචාර්ය ගල්වැවේ විමලඛන්ති හිමියන් මේ ගැන විස්තර කළේ මෙසේය.  
 ‘මල්වතු ඔය ආශ්‍රිතව ආදී කාලයේ පටන් ජනාවාස තිබූ බවට තොරතුරු තිබෙනවා. අපි මේ ස්ථානය කැණීම් කටයුතු සඳහා තෝරාගනු ලැබුවේ මෙය මෙතෙක් අවධානයට යොමු නොවූ පෞරාණික අතින් වැදගත් ස්ථානයක් නිසයි. ඒ වගේම අපේ විශ්වවිද්‍යාලයේ පර්යේෂණ ක්ෂේත්‍රය දියුණු කිරීමන් අරමුණු කර ගෙනයි මේ කැණීම් සිදුකළේ.  


මෙම කැණීම්වලදී ඉතා වැදගත් සාධක රාශියක් ලැබුණා. මෙතැන අනුරාධපුර යුගයේ විහාරාරාම සංකීර්ණයක් පැවැති බව තහවුරු වුණා. ශිලාලේඛන ආදිය මෙහි දක්නට ලැබෙනවා. භාතිකාභය මහරජතුමාත් මෙම ස්ථානයට පරිත්‍යාගයක් සිදුකළ බවට වැදගත් ශිලාලේඛණයක් මෙහි තිබෙනවා. ඊට අමතරව තවත් ශිලාලේඛන හතක් පමණ අපට සොයාගැනීමට හැකි වුණා මේ ස්ථානයෙන්.  


මේ කැණීමේදී ප්‍රාග් ඓතිහාසික සාධක බොහෝ ප්‍රමාණයක් ලැබුණා. මල්වතුඔය දකුණු ඉවුරෙහි මේ වගේ පර්යේෂණයක් මීට පෙර සිදුකළ බවක් වාර්තා වෙන්නේ නැහැ. එබැවින් අනුරාධපුරයේ භික්ෂු විශ්වවිද්‍යාලය මගින් සිදුකරන ලද මේ ඓතිහාසික කැණීම් තුළින් ලැබුණු සාධක කාලනිර්ණය කොට ආදී මානවයා කවර කාලයක මෙතැන වාසය කළාද කියන එකත්, ඒ වගේම ඓතිහාසික යුගය පිළිබඳව තොරතුරුත් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවද විමලඛන්ති හිමියෝ පැවැසූහ.  


මේ ස්ථානයට ගිය අපට දක්නට ලැබුණේ එතැන ඒ ප්‍රදේශයේ තිබෙන උසම තැන බවයි. එවැනි තැනක එදා භික්ෂුන් වෙනුවෙන් ආරාම සංකීර්ණයක් ඉදිකිරීමට තෝරාගෙන ඇත්තේ වන සතුන්ගෙන් සිදුවිය හැකි උපද්‍රව වලින් ආරක්ෂා වීමත්, මල්වතුඔය පිටාර ගැලීමේදී ඉන් බලපෑමක් ඇති නොවන නිසාත් විය හැකිය.  


එදා මෙතැන ඉදිකර තිබූ දාගැබ්, පිළිම ගෙවල්, මල් ආසන, ශෛලමය බුදු පිළිම, බෝධිඝර ආදී සියල්ලම පසු කාලයේදී නිධන් හොරුන් විසින් විනාශකර දමා තිබෙන ආකාරයද දක්නට ලැබිණි.  


ඓතිහාසික අතින් වැදගත් මෙම ස්ථානයේ කැණීම් කටයුතු භාර අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළ රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආරිය ලගමුව මහතා භික්ෂුන් වහන්සේලා සිදු කළ මේ කටයුත්ත ගැන මෙසේ විස්තර කළේය.  

 


 කැණීම් කටයුතු සිදුකළ මේ ස්ථානය ඓතිහාසික අතින් ඉතා වැදගත් තැනක්. සංඝාරාම බොහෝ ප්‍රමාණයක් මේ ස්ථානය කේන්ද්‍ර කරගෙන පිහිටා තිබූ බව පැහැදිලියි. මුසල්කුට්ටි, උප්පනේ, කප්පච්චි, සෙට්ටිකුලම්, කටුපොත, මැදවච්චිය, එළිය, ඌත්තුවෙල්ලිය ආදී වශයෙන් මේ අවට සංඝාරාම ගණනාවක් මේ ස්ථානය කේන්ද්‍ර කරගෙන පිහිටා තිබූ බවට සාධක තිබෙනවා.   


විජයගේ පැමිණීමත් සමග මේ ප්‍රදේශය ගැන පුරාවෘත්තවල සඳහන් වෙනවා. විජයගේ උපතිස්ස අමාත්‍යවරයා විසින් පිහිටුවන ලද උපතිස්ස ග්‍රාමයට මෙම ප්‍රදේශයද ඇතුළත් බව පුරාවෘන්තවල සඳහන් වෙනවා. ඒ වගේම තිවක්ක බමුණුගම, සංඝමිත්තාවන් නැවෙන් බැස අනුරාධපුරය බලා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩමවා ගෙන ගිය ගමනේදී රැයක් පහන් කළ ස්ථානයත් මේ ආසන්නයේ තියෙනවා.  


මෙතැන තියෙන ලෙන්වල පැහැදිලිව කටාරම් කොටා තිබෙනවා. ඒ කටාරම් අසලම සෙල් (ලෙන්) ලිපි කොටා තිබෙනවා. ඒවා පූර්ව බ්‍රාහ්මණ ලෙන් ලිපි ලෙසයි හඳුනාගෙන තිබෙන්නෙ. ඒ කියන්නෙ පැරැණිම ලෙන් ලිපි. ඒවා ක්‍රි. පූ. 3 වැනි ශත වර්ෂයට අයත් ලෙන් ලිපි ලෙසයි හැඳින්වෙන්නේ.  


 ඒ වගේම පැරැණි දාගැබ්, ගොඩනැගිලි, බෝධිඝර, ආසනඝර ආදී වාස්තු විද්‍යාත්මක දේවල් බොහොමයක් නටබුන් මෙතැන තිබෙනවා.  


 ඊටත් අමතරව මේ ලෙන්වල ආදිවාසීන් විසින් අඳින ලද රූප සටහන් ආදියත් අපට දක්නට ලැබුණා. ඒ නිසා අපි මෙතැන උනන්දුවෙන් පරීක්ෂා කළා. එහිදී අපට හමුවුණා කහඳ වර්ගයේ පොඩි ගල් කැබැල්ලක්. මේ නිසා අපි හිතනවා මෙතැන ආදිවාසී මානවයින්ටත් කලින් ප්‍රාග් ආදිවාසී මානවයින් ජීවත් වෙන්නට ඇති කියලා. ඒ නිසා භික්ෂු විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භික්ෂුන්වහන්සේලාට ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව පිළිබඳ පුහුණුවක් ලබාදීම සඳහා මෙතැන කැණීමක් ආරම්භ කළා.  


 ඒ වගේම මේ උපදේශය අද කොන්ගරායන්කුලම් ලෙස හැඳින්වුවත් එදා මෙම ප්‍රදේශය හඳුන්වා ​ඇත්තේ ‘ඇහැළ වැව’ යන නමින් බව කී මහාචාර්ය ආරිය ලගමුව මහතා මේ ඓතිහාසික ස්ථානයේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන තොරතුරු සොයා ඉදිරියේදී තවදුරටත් පර්​ෙය්ෂණ සිදුකෙරෙන බවටත් භික්ෂු විශ්වවිද්‍යාලය ඒ සඳහා සම්බන්ධ වනු ඇති බවටත් විශ්වාසය පළ කළේය.  


මේ සම්බන්ධයෙන් තන්තිරිමලේ රජමහා විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන් අදහස් දක්වමින් මේ ප්‍රදේශය තන්තිරිමලය ලෙසටත්, තිවක්ක බමුණුගම ලෙසටත්, උපතිස්සගම ලෙසටත් හැඳින්වීම සඳහා සාහිත්‍යමය වශයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක අතිනුත් තහවුරු වන මූලාශ්‍ර තිබෙන බව පැවැසූහ. එච්.සී.පී. බෙල් මහතා, මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා වැනි පුරාවිද්‍යාඥයින් අනාවරණය කළ පරිදි මේ ප්‍රදේශයේ ගල් ආයුධ පරිහරණය කළ මානවයින් ජීවත් වී තිබෙන බව භික්ෂු විශ්වවිද්‍යාලයේ භික්ෂුන්වහන්සේ කරන ලද මෙම කැණීමෙන් තහවුරු වෙන බවද උන්වහන්සේ සඳහන් කළහ.

සටහන හා ඡායාරූප : අතුල බණ්ඩාර