ජෝති-විජේ හෝටලයේ රසබර කතාව


කලා රසිකයකුගේ අප්‍රමාණ සෙනෙහසින් බිහි වූ හෝටලයක්

 

 

දශක ගණනාවක් තිස්සේ සුවහසක් රසික රසිකාවියන්ගේ ආදරයට පාත්‍ර වී සිටි ජෝතිමත් ගායක එච්.ආර්. ජෝතිපාල හා සිය නිසඟ රංගන ප්‍රතිභාවෙන් රිදී තිරය දික්විජය කළ යෞවනයේ සිහින කුමාරයා ලෙස එදා සැලකූ ජනප්‍රිය නළු විජය කුමාරතුංග යන මහත්වරුන් සැමරීමට ඔවුන්ගේ නමින් නම් කර අපේ රටේ තිබෙන එකම හෝටලය මෙය වෙන්න පුළුවනි.  


 මේ හෝටලයේ තවත් විශේෂත්වයක් ඇත.  


හිමිදිරියේ හෝටලය විවෘත කළ මොහොතේ පටන් රෑ බෝවී දොර පියන්පත් වසා දමන තෙක්ම ජෝති - විජය හෝටලයේ තිබෙන කැසට් රෙකෝඩරයෙන් වාදනය වන්නේ ඒ සහෘද කලාකරුවන් දෙදෙනාගේ හරබර රසබර ගීතය.  


මේ විදිහට ගීත වාදනය කිරීම ආරම්භ කරලා අවුරුදු 16 ක් විතර වෙනවා යැයි කීවොත් සමහර විට ඔබ පුදුමයට පත්වීමට වුණත් බැරි නැත.  


ඒ විතරක්ද, හෝටලයේ බිත්ති පුරා ​ජෝතිගෙ හා විජයගෙ ඡායාරූප අලංකාර විදිහට රාමු කර සවිකර ඇති ආකාරය බලන්නත් හරිම ලස්සනය.  


 එක්වරක් ජෝති - විජය හෝටලයට ගොඩවැදිලා බනිස් ගෙඩියක් කාලා කහට කෝප්පයක් බොන්න ආවොත් එහෙම මා මේ කියන කතාවල සත්‍යතාවය ඔබට අත්විඳීමට ලැබෙයි.  


 හැබැයි මේ හෝටලය සුපිරි හෝටලයක් නම් නෙමේ කියන එකත් කියන්නම ඕනෑ.  


ජෝති - විජය හෝටලය තියෙන්නේ උඩුබද්දාව - නාත්තණ්ඩිය පාරේ උඩුබද්දාව හන්දියෙමයි.  


හෝටලය හොයා ගන්න හරිම ලේසියි. ජෝති - විජය හෝටලය කිව්වොත් ඒ පැත්තේ කොයිකවුරුත් දන්නවා. ඒ තරමට මේ හෝටලය ප්‍රසිද්ධයි.  


හෝටලයේ හිමිකරු ජේ.එච්. බන්දුල ජයසිංහ මහත්මයාය. ඔහුගේ වයස අවුරුදු 52 ක් විතර වෙනවා.  


 ජයසිංහ මුදලාලි මහත්තයාව අපිට හඳුන්වලා දුන්නේ ඉරිදා ලංකාදීපයේ පාඨකයෙක් වන නාත්තණ්ඩිය වැලිපැන්නේ පදිංචිවෙලා ඉන්න සාමවිනිසුරු ප්‍රසන්න මදුරාවල කියන මහත්තයා.  


උඩුබද්දාවේ ජෝති - විජය හෝටලය හොයාගෙන පසුගිය අඟහරුවාදා රෑ ගිය ගමනට ප්‍රසන්න මදුරාවල මහත්තයත් අපිත් එක්ක ආවා.  


 සමනලයෙක් වගේ හිටිය විජය රුදුරු වෙඩි ප්‍රහාරයකට ගොදුරුවෙලා මිය ගියේ පෙබරවාරි මාසේ 16 වැනිදා දවසක. ඒ වගේම ​ජෝති ඉපදිලා තියෙන්​ෙනත් පෙබරවාරි මාසේ දවසක. ඒ හින්දා මේ කලාකරුවන් දෙන්නා සිහිපත් කරලා ජයසිංහ මුදලාලි මහත්තයා අවුරුදු 16 ක විතර කාලයක ඉඳලා කිරිබත්, කැවුම්, කොකිස් දන්සැලක් පවත්වනවා. භික්ෂූන්වහන්සේලා හෝටලයට වඩම්මවා ඒ දෙන්නාට පිං පැමිණවීමකුත් කරන්න ජයසිංහ මුදලාලි මහත්තයා අමතක කරන්නේ නැහැ. මුදලාලි මහත්තයා මේ දෙන්නව කවදාකවත් හමුවෙලා කතාබහ කරලා එහෙම නැති බවත් කියන්නට ඕනෑ. මේ සැමරුමට රටේ නමගිය කලාකාරයෝ දෙතුන් දෙනෙක් එනවාමයි.  


මේ පාර සැමරුමට අපේ ජීවන් කුමාරතුංග හා ක්ලීටස් මෙන්ඩිස් කියන ජනප්‍රිය නළුවෝ දෙන්නා ජෝතිපාල මහත්තයාගේ නෝනයි, දුවයි මේ පාර මේ සැමරුමට ආවා.  


ජීවන් කුමාරතුංග, ක්ලිටස් මෙන්ඩිස්, රෙජිනා ජෝතිපාල සහ බ්ලොසම් ජෝතිපාල මහත්ම මහත්මීන් පොල්තෙල් පහන දල්වලා ඊට පස්සේ ජෝතිගේ හා විජයගේ ඡායාරූපවලට මල් දම් පළඳවා සැමරුම් උත්සවය ආරම්භ කර තිබුණා.  


 මේ අවස්ථාවට වැඩම කළ උඩුබද්දාව ශ්‍රී ඉන්ද්‍රාරාම විහාරාධිපති පූජ්‍ය කළුගල්පිටියේ සුජාත හිමියන් ආගමික වතාවත් කිරීමෙන් පස්සේ රැස්ව සිටි විශාල පිරිසට කැවුම්, කිරිබත් හා රසකැවිලිවලින් සංග්‍රහ කරලත් තිබෙනවා. අවුරුදු 16 ක් තිස්සේ ඉඳලා මේ විදිහට සිද්ධ වෙනවා.  


 විජයට වෙඩි තියලා මරා දාපු දවසේ තමා මේ සැමරුම් උත්සවය පවත්වන්නේ.  


 අපි දැන් බන්දුල ජයසිංහ මුදලාලි මහත්තයා කියන කතාවට සවන් දෙමු.  


‘මම පොඩි කාලේ ඉඳලම ජෝතිපාල මහත්තයාගේ සින්දු අහන්න හරිම ආසයි. ඒ වගේම විජය මහත්තයා රඟපාන චිත්‍රපටි බලන්නත් ආසයි. විජය මහත්තයා රඟ පෑ චිත්‍රපටි සේරම වගේ නරඹා තිබෙනවා. සමහර චිත්‍රපටි දෙතුන් පාරක් නරඹලා තියෙනවා. විජය මහත්තයා සින්දු කියන්න පටන් ගත්තට පස්සේ ඒ සින්දුත් අහන්න පටන් ගත්තා. ජෝති - විජය කියන්නේ ශ්‍රේෂ්ඨ කලාකාරයෝ දෙන්නෙක්. ඒ වගේම මානව හිතවාදී කලාකරුවන්. මිල මුදල් පසුපස හඹා ගියේ නැහැ. මම මේ දෙන්නා එක්ක කිසිම දවසක හම්බ වෙලා කතාබහ කරලා නැහැ. ජෝතිපාල මහත්තයා සින්දු කියන සංගීත සංදර්ශනවලට ගිහින් තියෙනවා. විජය මහත්තයාගේ දේශපාලන රැස්වීම්වලට ගිහින් තියෙනවා.  


 මාදම්පේ ඉඳලා බස් එකේ එද්දී දුම්මලසූරියේ සාරංගා සිනමාශාලාවේ සුදු කොඩියක් දාලා තිබෙනවා දැක්කා. මේ ගැන විපරම් කරලා බලද්දී තමා දැනගත්තේ විජය මහත්තයාට වෙඩි තියලා මරල දාලා කියා. මට කියන්න බැරි තරම් වේදනාවක් ඇති වුණා. පපුව පැලී ගියා වාගේ තේරුණා.’  


 ජෝතිපාල​ හා විජයගේ සැමරුම් උත්සවයක් පවත්වන්න ඕනෑ කියන සිතිවිල්ල ආවේ කොහොමද? ජයසිංහ මුදලාලි මහත්තයාගේ කතාවට බාධා කරමින් මම විමසුවෙමි.  


‘මේ හෝටලය මුලින්ම කරගෙන ගියෙ මගේ අම්මා. එතකොට හෝටලයට නමක් දාලා තිබුණේ නැහැ. අම්මා වයසට ගියාට පස්සේ හෝටලය කරගෙන යන්න මට බාර දුන්නා මීට අවුරුදු 16 කට විතර කලින්. මම පුංචි කාලේ ඉඳලම ජෝතිගෙ හා විජයගේ රසිකයෙක්. පොඩි කාලේ ඉඳලා ජෝතිගෙ සින්දු කියනවා. අදටත් ගමේ සංගීත ප්‍රසංගවලදී විජයගේ හා ජෝතිගේ සින්දු කියනවා. අම්මා මට හෝටලය බාර දුන්නාට පස්සේ මුලින් කළේ ජෝති - විජය හෝටලය කියා බෝඩ් එකක් ගහපු එකයි. ඒ වෙනකොටත් මගේ ළඟ මේ දෙන්නාගේ ෆොටෝ එකතුවක් තිබුණා. මම ඒවා ලස්සනට රාමු කරලා හෝටලයේ එල්ලුවා. කැසට් රෙකෝඩරයක් අරගෙන ඒ දෙන්නගෙ සින්දු වාදනය කරන්න පටන් ගත්තා.  

 

 


 

උදේ පාන්දර හතරට විතර හෝටලය විවෘත කරනවා. වහන්නේ රෑ අටට විතර. හෝටලය අැරලා බුදුන්ට දෙවියන්ට මල් පහන් පූජා කරලා ඉවර වෙච්ච ගමන්ම කරන්නේ ජෝතිගේ හා විජයගේ සින්දු දාන එකයි. හෝටලය වහලා ගෙදර යන්න සූදානම්වෙලා තමයි කැසට් රෙකෝඩර් එක වහන්නේ. මිල්ටන් පෙරේරා, මිල්ටන් මල්ලවආරච්චිගේ, ඇන්ජලින් ගුණතිලක, සුජාතා අත්තනායක වගේ ගායක ගායිකාවන්ගේ සින්දුත් දානවා.  
 මම හෝටලය බාරගත්ත මුල් අවුරුද්දේම ජෝති - විජය සමරු උත්සවය කරන්න පටන් ගත්තා. මුලින්ම සැමරුම් උත්සවය පොඩියට පටන් ගත්තේ. දැන් අවුරුදු ගාණක ඉඳලා ලොකුවට කරනවා. සෑම සැමරුම් උත්සවයකටම ජනප්‍රිය නළුවන් දෙතුන් දෙනෙක් එනවාමයි. සැමරුම් උත්සවයට සල්ලි හොයා ගත්තේ සීට්ටුවක් දාලා. ජෝතිට හා විජයට තියෙන ආදරයට, ලෙන්ගතුකමට තමා මේ සේරම දේවල් කරන්නේ. මේක මගේ හිතට ආව දෙයක්. වෙන කාගේවත් අදහසක් නොවේ’ යැයි බන්දුල ජයසිංහ මහතා පැවසීය.  


 ජෝති විජය ගුණ සැමරුම සාර්ථක කරගැනීමට ප්‍රසන්න මදුරාවල, ජයකාන්ත සෝමවීර, සිසිර තල්ගහකුඹුර, සරත් ජයවික්‍රම, සමීර දිනුක හා නාලක සරත් යන මහත්වරුන්ගෙන් ද ජයසිංහ මුදලාල මහත්තයාට ලොකු සහයෝගයක් ලබාදෙන බව ඔහු පවසයි.  


මම මේ වැඩේ මියයනකම්ම කරගෙන යනවා. මම මැරුණට පස්සේ මගේ දරු දෙන්නා මේ වැඩේ කරගෙන යයි ද කියන්න දන්නේ නැහැ. පුතා ගාමන්ට් එකක වැඩට යනවා. දුව තවම ඉස්කෝලේ යනවා. පවුලේ අයගෙන් මේ සැමරුම් උත්සවය පවත්වන්න ලොකු සහයෝගයක් ලැබෙනවා. හෝටලයෙන් මට එච්චර ආදායමක් නැහැ’ යැයි ජයසිංහ මුදලාලි මහත්තයා කීය. 

 
 ජයසිංහ මුදලාලි මහත්තයා තවත් අපූරු කතාවක් අපිත් එක්ක කියා සිටියේය.  


 මේ ඒ කතාවයි.  


මම මිය ගියාට පස්සේ එදා ඉඳලා හත් දවසේ දානය දෙන දවස වෙනකම් ජෝතිපාල හා විජය කුමාරතුංග මහත්තයාගේ සින්දු එක දිගටම දාන්න ඕනෑ. විජය මහත්තයාගේ ආදාහනය කරන්න හදපු චිතකය වාගේ චිතකයක් හදලා මාව පුච්චන්න ඕනෑ. මගේ ආදාහන කටයුතු කරන සොහොන් පිට්ටනියෙත් විජේගේ හා ජෝතිගේ සින්දු දාන්න ඕනෑ. මගේ මේ ඉල්ලීම ඉටුකරන්න කියා මගේ දරුවෝ දෙන්නටයි බිරිඳටයි කියා තිබෙනවා. ඔවුන් මගේ මේ ඉල්ලීම ඉටු කරයි කියා බලාපොරොත්තු වෙනවා. ඒක තමා මගේ තියෙන එකම ආශාව. මගේ ළඟම හිතවතුන්ටත් මේ කතාව කියා තිබෙනවා. ඔවුන් ද මාව ආදාහනය කරන චිතකය ඉදිකරන්න උදව් කරයි කියා සිතනවා’ යැයි ජයසිංහ මහතා කිව්වේ සිනාසෙමිනි.  


 ජයසිංහ මහතාට සමුදීමට කලින් ඔහු ජෝතිපාල මහතාගේ සින්දුවක් ද ගායනා කිරීමට අමතක කළේ නැත.

 

 

 

සටහන -  
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය  
ඡායාරූප  
මාදම්පේ එස්. හේරත්