ජීවත්වීමේ අපේක්ෂාව රැගෙන අපේක්ෂා රෝහලට ආ ‘පෙට් ස්කෑනරය ’


මහරගම අපේක්ෂා රෝහලේ බහුතරයක් රෝගීන්ට ජීවත් වීමේ අපේක්ෂාව සැබැවින්ම සිහිනයක් පමණයක්ය. මරණයේ සිහිනයට නිබඳ පෙම්බඳින ඔවුන් සැබවින්ම අසරණය. මරු හා සටන් වදින ඔවුනට තාක්ෂණය සමගද සටන් වදින්නට සිදුව ඇත්තේ මීට බොහෝ කලකට පෙරාතුව සිටය.   


මාරාන්තික පිළිකා රෝගය පරාජය කිරීමට අවශ්‍ය සමහර තාක්ෂණික මෙවලම් වලින් ලෝකයේ බොහෝ රටවල් සන්නද්ධ වුවද නිදහස ලැබූ දා පටන් අපේ රට තුන් වැනි ලෝකයේ දියුණු වෙමින් පවතින රටක් ලෙස තවමත් මන්දගාමී ගමනකට අවතීර්ණව ඇති බැවින් එවැනි තාක්ෂණික මෙවලම් අපට විරලය. පැවැති බොහෝ රජයන් ඒ පිළිබඳව දැක්වු උනන්දුවේ ප්‍රමාණයට අනුව පිළිකාව නිසා මරු තුරුලට යන රෝගීන් ප්‍රමාණය ද වාර්ෂිකව අවසනාවකට බෙහෙවින් ඉහළ අගයක් ගෙන තිබේ.  


මිනිස් සිරුර තුළ ඉතා භයානක අන්දමින් ඔඩු දුවන මාරාන්තික රෝග අතර ප්‍රධානතම රෝගය ලෙස පිළිකාව හැඳින්වීමේ කිසිදු වරදක් නැත. මුලික අවධියේ සිට මරණාසන්න තත්ත්වය දක්වාම රෝගයේ පැතිරීම නිර්ණය කරනු ලබන පෙට් ස්කැනරය ලෝකයට හඳුන්වා දෙන්නේ මීට වසර 35 කට පමණ පෙරාතුව සිට වුවද අපි ඒ ගැන 2018 අප්‍රේල් 01 වැනිදා තෙක්ම සිහින දුටුවෙමු. ඒ සිහිනය සැබෑවක් වුයේ මෝඩයාගේ දිනය ලෙස හඳුන්වන දවසේ වුවද එය සියලු ශ්‍රී ලාංකිකයන් මිනිසත්කමේ දිනය ලෙස නම් කරමු යැයි යොජනා කරනුයේ ෆයිට් කැන්සර් කණ්ඩායමේ නියමුවා සහ කදීජා පදනමේ සභාපතිවරයා වූ එම්.එස්.එච්. මොහොමඩ් මහතාය. ඒ පෙට් ස්කැනරයේ සිහිනය යථාර්ථයක් වූයේ එදින වීම නිසාය.   


ලාංකේය ජන සමාජයට අත්‍යවශ්‍ය පොදු කාරණාවක් වෙනුවෙන් රුපියල් කෝටි 20 ක් තෙමසක් තුළ සොයන්නට පෙරමුණ ගත් කිසිදු ශ්‍රී ලාංකිකයකු මීට පෙරාතුව අපට මුණ නොගැසෙන නිසාම පෙට් ස්කැනරයක් අපේක්ෂා රෝහලට දායාද කරන්නට ඔහු ගත් වෙහෙස අප කුහක කමින් තොරව අගය කළ යුතුය. ඒ පෙට් ස්කැනරය නිසා හෙට දවසේ ජිවිත දානය ලැබෙනුයේ මුස්ලිම් ද, සිංහලද, දෙමළද්‍, බර්ගර් ද හෝ විවිධ ආගම් අදහන ජන කොටස් ද යන වර්ගීකරණයක් මත නොවේ. පෙට් ස්කැනරයට විවිධ කතාන්දර පෙළ ගැසුණද පොදුවේ අපට පෙනෙන පැහැදිලි කතන්දරය ඉතා සංවේදී එකක්ය. පෙට් ස්කැනරයේ කතාව යථාර්ථයක් කළ එකම පුතු පිළිකාවකින් අහිමි වූ ඔහු කඳුළු හංගාගෙන කියන කතාව අතිශය දුක්බරය.   


මේ රටේ පිළිකා රෝගියෙක් සිටින සැම ගෙයක්ම මළ ගෙයක්. මගේ ගෙදරත් අවුරුදු 4 ක් තිස්සේ මළ ගෙයක් වු​ෙණ් මගේ එකම පුතු පිළිකාවට ගොදුරු වුණු දවසෙ ඉඳන්. ඉඩ කඩම් විකුණලා කෝටි ගණන් මුදල් යට කරලා ඉන්දියාවේ අරන් ගියේ එයාව ජිවත් කරන්න. එහෙත් ප්‍රතිකාර අසාර්ථක වුණායින් පස්සේ පුතාව නතරකළේ මහරගම අපේක්ෂා රෝහලේ. මමත් මගේ පුතාත් ජීවිතය ගැන ඇත්තම පාඩම ඉගෙන ගත්තේ එදායින් පස්සේ.   


පිළිකාව ශරීරයපුරා ඔඩු දිවීම සොයා ගන්නා පෙට් ස්කෑන් එකක් ගන්න බැරිව ළතැවෙන බොහෝ රෝගීන්ගේ දුක්බර කතන්දර ඇහුවම මට ඇති වුණේ පුදුම කම්පනයක්. රුපියල් ලක්ෂ එක හමාරක පෙට් ස්කෑන් සේයාරූ දහයකට වඩා මගේ පුතාට ඉන්දියාවේදී ගත්තා. ඒත් වැඩක් වුණේ නැහැ. ලාංකේය අසරණ රෝගීන් වෙනුවෙන් කොහොම හරි පෙට් ස්කැනරයක් අරන් දෙන්න ඕනැ කියන සිහිනය එදාම මගේත් පුතාගෙත් හිත්වල පැලපැදියම් වුණා. ඒක ලේසි පහසු අභියෝගයක් නොවෙයි.  


ඒත් ඒ හීනය යථාර්ථයක් කරන්න 150 කගෙන් යුත් ෆයිට් කැන්සර් කණ්ඩායමක් කදීජා පදනමත් පෙරමුණ ගත්තා .මෙසේ පුතා මිය යන්න කලින් මේ පෙට් ස්කැනරය මහරගමට ලබා දෙන්න අපි මේ ව්‍යාපෘතියට අත ගැසුවා.   


මේ ව්‍යාපෘතිය අපේ දෙස් විදෙස් ශ්‍රී ලාංකිකයන් නොවන්නට අපට හීනයක් විතරයි. මාධ්‍ය ආයතන 49 ක මාධ්‍ය සගයන් 100 වැඩි පිරිසක් මේ අතිශය මානුෂීය කටයුත්තට උරදුන්නා. මගේ ජීවිතේ හීන අතරින් මට තිබුණු අභියෝගාත්මක හීනය මේක කිව්වොත් නිවැරැදියි. ඒක මගේ සහ රටේ සියලු මිනිසුන්ගේ ජීවිත සමග බැඳුණු සිහිනයක්. මගේ පුතු හුමයිඩිගේ ඉල්ලීම ඔස්සේ ඒ හීනය යථාර්ථයක් කරන්න ගොඩක් වෙහෙසුණා. පොළේ මුකුණුවැන්න විකුණන අම්මාගේ රුපියල් 50 ඉඳන් අපේ රටට ඇපල් ගේන සුනිල් මුතුමාල මහත්තයගේ රුපියල් කෝට් තුන හමාරෙන් මේ අරමුදල ශක්තිමත් වුණා. හැම තත්පර දහයකමට සැරයක් ලංකා බැංකුවේ ශාඛා 165ටම මුදල් වැටෙන්න තරම් ලැංකේය සියලු හදවත් හැඟීම්බර වුණා. ඒ හැමෝටම පිං. මගේ පුතා ජිවිතෙන් සමුගන්න පෙර මේ යන්ත්‍රය මහරගම අපේක්ෂා රෝහලට බාරදෙනවා බලන්න තරම් ඔහු වාසනාවන්ත වුණේ නැහැ. ඒත් හෙට දවසේ පිළිකාවෙන් දුක් විඳින සියලු දෙනාටම පෙට් ස්කැනරය නිසා යහපතක් වේවි කියලා හිතෙන කොට හිතටම පුදුම සතුටක් දැනෙනවා.   


අප්‍රේල් 1 වැනිදා වැල්ලවත්ත රෙක්ස් සිනමාහල අසලින් පෙරවරු 7.30 ට යුද නාවික ගුවන් හමුදා සහ පොලිස් විරුවන් මොහොමඩ් මහතා කදීජා සහ ෆයිට් කැන්සර් කණ්ඩායමේ සාමාජිකයන් සිවිල් පුරවැසියන් ඇතුළු 3000 ක පමණ පිරිසකගෙන් සැදුම්ලත් පා ගමනකින් ඔවුන් අපේක්ෂා රෝහලට පැමිණෙද්දී වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන් රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය හා මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ගේ එකමුතුවෙන් පැවැති චාම් උත්සවයකින් අනතුරුව පිළිකාව හා සටන් වදින පුංචි දැරියක විසින් පෙට්ස්කැනරය විවෘත කරනු ලැබුවාය. එය අතිශය හැඟුම්බර මොහොතක් විය.   

 

 

මාස 3 ක් වැනි කෙටි කාලයක් තුළ මිලියන 24 ක පමණ මුදලක් පෙට්ස් කැනරය සඳහා එකතු වුවද ජර්මනියේ සීමන්ඩ්ස් සමාගමට එය මහරගම සවි කිරීම සඳහා වසර 3 කට අධික කාලයක් ගත වුයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියේ පවතින අඩුලුහුඬුකම් නිසාය. එනිසාම භාණ්ඩාගාර ලේකම්වරයා දැනුම්වත් කර සෞඛ්‍ය අමාත්‍යාංශයට පමණක් විශේෂිත වු නව ටෙන්ඩර් පටිපාටියක් අනුමත කරගන්නට රාජිත අමාත්‍යවරයා ගත් උත්සහය මේ වන විට මල්ඵල ගැන් වී ඇති බව උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා සභාව දැනුම්වත් ක​ළේය. 2017 මාර්තු මාසය වන විට මෙය අනුමත වුවද මේ සඳහා තෝරා ගත් විශ්‍රාමික භාණ්ඩාගාර නිලධාරියා ඇතුළු අනෙකුත් නිලධාරීන් රාජකාරි කටයුතු සඳහා බියක් දක්වන්නේ ජනමාධ්‍ය තුළින් එල්ල ​ෙවන දැඩි බැලපෑම් නිසා බැවින් මාධ්‍යවේදීන් වගකීමකින් යුතුව වැඩ කටයුතු කරන්නැයි රාජිත අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.   
පෙට් ස්කැනරය අපේක්ෂා රෝහලේ ස්ථාපිත වුවද එහි ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය විකිරණශීලී FDG මූලද්‍රව්‍ය සඳහා ඉතා අධික මුදලක් වැය කළ යුතු වීම ඊළඟ අභියෝගයයි. එමෙන්ම එක් රෝගියකු සඳහා පෙට් ස්කෑන් සේයාරුවක් ලබා ගැනීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය වැය කළ යුතු මුදල රුපියල් 30000 කි. එනයින් බලන කල යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් ඉටු කළ යුතු ඉදිරි ක්‍රියාදාමයන් රජයේ පාර්ශවයෙන් සුළු පටු නොවේ.   


එසේම අපේක්ෂා රෝහලේ ශල්‍ය වෛද්‍ය දමයන්ති මහත්මියගේ පැහැදිලි කිරීමට අනුව යම් රෝගියකු පෙට් ස්කෑනරයෙන් ස්කෑන් එකක් ලබා ගැනීමේදී අවට සිටින වෛද්‍ය කාර්ය මණ්ඩලයට ස්කෑන් කිරීමෙන් අනතුරුව රෝගියා වාට්ටුවට රැගෙන යන්නේ නම් ඔහු සමීපයේ සිටින්නන්ට හා රෝගියා නිවෙසක තබන්නේ නම් නිවෙසේ වෙසෙන අයට පවා එල්ල වෙන විකිරණ බලපෑම සුළු පටු නොවේ. එනිසා මේ සම්බන්ධ ක්‍රියාවලිය ඉතා වගකීමකින් ඉටු කළ යුතු අතරම ඒ සඳහා සුදුසු වෛද්‍ය කණ්ඩායම් ඇමෙරිකාවේ විශේෂ පුහුණුවක් සඳහා යැවිය යුතුය. එබැවින් පෙට් ස්කෑනරය අපේක්ෂා රෝහලේ ස්ථාපිත කළා මෙන්ම ඉදිරියේ සිදු විය යුතු අනෙකුත් ක්‍රියාවලිය කඩිනමින් ඉටු කිරීම ගැන රාජ්‍ය බලධාරින් සොයා බැලිය යුතුය. ක්‍රියාත්මක විය යුතුයි. අලියා මිලදී ගත්තේ නම් හෙණ්ඩුව මිලදී ගැනීමද ඊට සමගාමීව සිදු වීම වැදගත්ය.   


මිලියන 202 ක වටිනාකමකින් යුත් පෙට් ස්කෑනරය මිලදී ගන්නට මිනිස්කමින් පොහොසත් ලාංකේය සත් පුරුෂයන්ගේ ශක්තිය සැබවින්ම ප්‍රජාවක් ලෙස අපට ආඩම්බරයට කාරණයක්ය. රජයකින් ඉටුවෙන තුරු බලා නොයිඳ ජාතික යුතුකමක් සේ සලකා ජාතික අවශ්‍යතා වලදී පෙරට එන හැඟීම්බර මිනිසුන් රටකට විශාල ශක්තියක්ය. මෙවැනි සාමුහික සත්කාරයන් වලදී බොර දියේ මාලු බාන්නට උත්සාහ දරන්නන් ද අපේ රටේ නැත්තේම නොවේ. කෙසේ හෝ වේවා රුපියල් මිලියන 202 ක පෙට් ස්කෑනරයකින් මහරගම අ​පේක්ෂා රෝහලට දායාද කරන්නට වස්තු බීජය රෝපණය කරන්නට පෙරමුණ ගත් ජීවත්ව සිටින්නන් සේම දැනට මරු තුරුලේ සුවසේ නිදන මොහොමඩ් මහතාගේ පුත් හුමයිඩ්ද සදා අමරණීය චරිතයක් වග මෙහි සටහන් කළ යුතුමය. ඔහු නොවන්නට සමහර විට පෙට් සිහිනය අපේ රටේ මෙතරම් ඉක්මනින් යථාර්ථයක් බවට පත් නොවන්නට බොහෝ ඉඩ කඩ තිබිණි.

 

 

සටහන 
දුෂ්‍යන්ත කුමාර   
ඡායාරූප 
ඇලෙක්සැන්ඩර් බාලසුරිය.