ජාතික නාමල් උයනට වසර 26 ක් පිරෙයි


 

ශ්‍රී ලංකාවේ විශාලතම නා වනය සහිත වසර මිලියන් දස ලක්‍ෂ පන්සිය පනහකට වඩා වැඩි ඓතිහාසික යුගයට අයත් දකුණු ආසියාවේ විශාලතම රෝස තිරිවාන නිධිය ජාතියට හඳුන්වා දී එය ජාතිය වෙනුවෙන් සංරක්‍ෂණය කොට ආරක්‍ෂා කර තැබීමේ උදාර ජාතික මෙහෙවර ආරම්භ කොට මෙම මස 28 වැනි දිනට වසර 26ක් සම්පූර්ණ විය.


එය නිමිති කරගෙන ජාතික නාමල් උයන රැක ගැනීමට එදා මෙදා තුර සහය දැක්වූ දෙස් විදෙස් සැමටත් මේ උදාර කටයුත්ත සඳහා ලෝක ප්‍රජාව දැනුම්වත් කරමින් උරදුන් සහ උරදෙන මාධ්‍යවේදීන් සැමටත් අන් සියලු දෙනාටත් දීර්ඝායුෂ හා නිවන් පතා ජාතික නාමල් උයනේදී එදින සවස ඊට විශේෂ ආශිර්වාද පූජාවක් ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. 


වර්තමානය වන විට මේ ප්‍රදේශය අන්තර් ජාතික වශයෙන් ප්‍රසිද්ධියට පත් වී ඇත. විශේෂයෙන් ජාතික නාමල් උයන ආරම්භ වීමත් සමඟ මෙම ප්‍රදේශයේ යටිතල පහසුකම් සංවර්ධනයේදී ජාතික නාමල් උයන එක් සාධකයක් බව ද කිව යුතුය.


අද වන විට ලෝකයේ විවිධ රටවල්වලින් එන විදේශීය සංචාරකයින් හා දේශීය සංචාරකයින්ගේ ආකර්ෂණය දිනාගත් ස්ථානයක් බවට පත් වී ඇත. ඒ වගේම බෞද්ධ හින්දු කතෝලික මුස්ලිම් භක්තිකයන් ඇතුලු විවිධ ජනකොටස් මෙම ජාතික සම්පත දැක බලා ගැනීමට පැමිණීම ද විශේෂත්වයකි. 


මෙම ස්ථානය ජාතික පාරිසරික භූගෝලීය හා ඓතිහාසික වශයෙන් ශ්‍රී ලංකාවේ ඉතා වැදගත් සුවිශේෂි පරිසර පද්ධතියකි. මෙහි භූමි ප්‍රමාණය අක්කර දෙදහසකට වැඩි ප්‍රදේශයක් පුරා පැතිර ඇත. අලි ඇතුන්, විවිධ පක්‍ෂීන් ජීවත් වන පරිසරයකි. එමෙන්ම විශේෂ බෙහෙත් පැළෑටි, වටිනා දැව වර්ග මෙම වනාන්තරය පුරාවට පැතිර ගොස් ඇත. විශේෂයෙන් අපේ රටේ ජාතික වෘක්‍ෂය වන නා ගස් පිරි ලංකාවේ එකම වනාන්තරය වීම ද මෙහි ඇති වැදගත් කරුණවේ.


මෙම ස්ථානය නැරඹීමට යන ඔබ විශේෂයෙන් පොලිතින් මත්පැන් දුම්වැටි රැගෙන යාම නොකරන්න. අද අපේ රටේ සංචාරකයන් නරඹන ස්ථාන කොතෙකුත් තිබේ. බොහෝ තැන්වල පරිසර විනාශය, විවිධ අපචාර ක්‍රියාවන්වලින් බහුලව පවතී. අද නාමල් උයනට දරුවන් සහ දෙමාපියන්ට ගුරුවරු සමඟ ශිෂ්‍යයන්ට නිදහසේ ගොස් නරඹා සොබා දහම විඳගෙන එන්න අවශ්‍ය පරිසරයක් තිබීමම මේ රටේ අනිකුත් සංචාරකයින් නරඹන්න යන තැන්වලට මහඟු ආදර්ශයක් නාමල් උයන නිහඬව කියාපායි.


මනා විනයක් ඇතිව ඉතා ඉහළ කළමනාකාරිත්වයකින් මේ ස්ථානය පවත්වාගෙන යෑම ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල හිමියන්ට කෘතවේදිත්වය පළකරමින් මේ උදාර ජාතික සම්පත මතුපරපුරට රැකදීමට උන්වහන්සේට දීර්ඝායුෂ හා නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමු.

ප්‍රියන්ත රාජකරුණා