ජර්මනියේ සිට ඇවිත් සැබෑ-මව-පියා සොයන යස්මින්


යස්මින් රෝස්චි වත්මනෙහි ජර්මානු පුරවැසි තරුණියකි. එහෙත් ඇයට ඇත්තේ කළුපැහැ පෙනුමින් යුතු සිරුරකි. යස්මින් ශ්‍රී ලාංකීය මවකට පියකුට දාව මෙලොවට බිහි වීම ඊට හේතුවය. නමුදු යස්මින් ඇයගේ මව පියා කවුදැයි යන්න නොදනී. තමා ශ්‍රී ලංකාවේදී උපත ලබා ඇති බවත්, කුඩා කාලයේදීම, එනම් බිලිඳියකව සිටියදී ඇය ජර්මානු ජාතික යුවළකගේ මා පිය භාරකාරත්වයට පත් වූ වගත් ඇය දැන සිටින්‍නීය. අසූව දශකයේ මැද භාගයේ දී ජර්මානු ජාතික මා පිය යුවළගේ උණුහුමට සෙනෙහසට නතු වූ ඇය ඒ කැඳැල්ලේ හැදී වැඩී උස් මහත් වූවාය.   


“දුව මෙහෙ එන්න. ඔයා දන්නවද අපි ඔයාව ළඳරු වියේදීම අපේ කැඳැල්ලට ගත්තේ හදා වඩාගන්න. ඔයාට අපේ සෙනෙහස දෙන්න. අපි ඔයාට ආදරෙයි. දැන් ඔයා ලොකු දැරිවියක්. අපි ඔයාට ඇත්ත කියන්න ඕනෑ. ඔයා දරුකමට හදා ගන්න තමයි අපි ඔයාව බාර ගත්​ෙත්. හැබැයි ඔයාගේ සැබෑ අම්මා තාත්තා ඉන්නේ ශ්‍රී ලංකාවේ. ඒක තමයි ඇත්තම කතාව.”   
අතීතයේ දිනෙක ජර්මානු ජාතික මා පිය යුවළ මේ හැඩකාර සීදේවි පෙනුමින් යුතු කළු කෙල්ල හට පැවසූහ. එලෙසින් සත්‍ය දැනගත් පසු යස්මින් හඬා වැළපුණේ නැත. ජර්මානු ජාතික මව සහ පියාගේ සෙනෙහස ඇයගේ ආත්මයට බද්ධ වී තිබීම ඊට හේතුවය.   


“මම දන්නවා ඔයාලා මට කොච්චර ආදරේද කියලා. අම්මේ තාත්තෙ මගේ ලෝකය ඔයාලා.” යස්මින් ආදරයෙන් පිරි ජර්මානු ජාතික මා පිය යුවළ හට කීවාය.   


වැදූ මව යස්මින් ලොවට බිහි කළා පමණකි. එතැන් සිට භාරකාරත්වය තමන් වෙත නතු කරගෙන ඇය කවා පොවා ඇති දැඩි කර සෙනෙහස නොඅඩුව ලබා දී ඉතා හොඳ අධ්‍යාපනයක් ලබා දීමට ද මේ ජර්මානු ජාතික මා පිය යුවළ කටයුතු කළෝය. ආදරය තරම් වටිනා අගනා දෙයක් මේ මිහිපිට නොවන්නේය. ඒ දහම පමණක් නොව ඥාණයේ තරමද යස්මින් හට උරුම කර දුන් ඒ මා පිය යුවළ නිසා ඇය ඉතා යහපත් දිවියක් ගත කරන්නීය. ජර්මනියේ බැවේරියා පළාතේ ජීවත් වෙන යස්මින්ගේ බාරකාර මා පිය යුවළ වෘත්තියෙන් ගුරුවරු වෙති. ඒ දෙපළට තවත් දියණියන් දෙදෙනකු සහ පුතෙකු සතුය. එහෙත් යස්මින් හට කිසිදා ඒ කැඳැල්ලේ අරියාදුවක් නම් සිදු වී නොමැත. 

 
“මම මගේ මේ අම්මා තාත්තාට වගේම මගේ සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනාට පණ වගේ​ ආදරෙයි. අපි හොඳ පවුලක්. ආදරණීය පවුලක්. අපි හරි සතුටින් ජීවත් වෙන්නේ.”   
එලෙසින් පවසන යස්මින් අද කටයුතු කරන්නේ ළමා රෝහලක ළමා මානසික අංශයේ ළමයින් උදෙසා සංගීත චිකිත්සාව ලබා දෙන තෙරපිවරියක ලෙසය. ජර්මනියේ මියුනිච් නගරයේ එලෙසින් ඇය කටයුතු කරන්නීය.   


එ් අතරවාරයේදී ශීත ඍතුවේ නිවාඩු ලබාගෙන පසුගියදා ඇය ශ්‍රී ලංකාවට පැමිණියාය.   


“මම ජර්මනියේ මාව හදා වඩා ගත්ත අම්මා තාත්තා සහ මගේ පවුලේ සහෝදරයා සහ සහෝදරියන් දෙදෙනා එක්ක ඉතා හොඳ ජීවිතයක් ගත කරන්නේ. ඒක තමයි සැබෑව. ඒත් මට මගේ නියම අම්මා තාත්තා කවුද කියලා දැන ගන්න ඕනෑ. මම කොහොමද මේ ලෝකයට ආවේ. මම කවුද කියලා ජීව විද්‍යාත්මක සාක්ෂි එක්ක මට දැන ගන්න ඕනෑ.”   
යස්මින් ලංකාවට පැමිණියේ ඒ අරමුණ මුල්කරගෙනය. මීට පෙර සිව් වසරකට උඩ දී ඇය ශ්‍රී ලංකාවට පැමිණි අතර එවර ඇයගේ සැබෑ මව පියා ගැන දැන ගැනීමට තරම් අවකාශයක් නොලැබිණි. මෙවර ඇය පැමිණියේ තනිවම නොවේය. ඇයට පණ මෙන් ආදරය කරන පෙම්වතා සමගය. එමෙන්ම ජර්මනියේ දශක කීපයක සිට රැකියාව කරමින් එරට පුරවැසිභාවය ලබා සිටින නන්දතී බොතේජු නමැති හිතවතියගේ සහාය ද යස්මින් හට නොඅඩුව ලැබෙන්නේය.   


“මම සේවය කළේ ජර්මානු ගුවන් සේවයේ. දැන් මම විශ්‍රාමිකයි. මගේ දියණියගෙ පෙම්වතාගේ බාප්පා සේවය කරන්නේ යස්මින් සේවය කරන රෝහලේ. යස්මින් ගැන අපට දැන ගන්න ලැබුණේ ඒ විදියටයි. ඉතින් ඇයට උදව් කිරීම මගේ යුතුකමක් කියලා හිතනවා.”  


නන්දතී එලෙසින් පවසන්නීය. යස්මින් මෙලෙසින් තමාගේ සැබෑ මව පියා සොයා ආ ගමනේදී ඇයට යෝධ සෙවණැල්ලක් වී සිටින්නේ යොහානස් ක්නීබල් ය. භෞතික විද්‍යා අංශයේ උපාධිධරයකු වන ඔහු ව්‍යාපාර අංශයේ උපදේශකවරයකු ලෙස රැකියාව කරයි. යස්මින් හට දැඩි සේ පෙම් බැඳ අැති යොහානස් ඇය සමග මෙරටට ආ හේතුව ගැන කීවේ මෙලෙසිනි.   


“අපි කවුරුත් කැමතියි අපේ සැබෑ අම්මා තාත්තා සහ සහෝදර සහෝදරියන් ගැන දැනගන්න. මේ විදියට මා ඇය සමග මෙහි පැමිණියේ ඇයට උදව් කිරීමටයි.” යස්මින්ගේ පෙම්වතා යොහානස් එලෙසින් පැවසුවේ ලියකියවිලි ද අතැතිවය.   


“හැබැයි මේවා අසත්‍ය ලියකියවිලි වග අපට දැනගන්න පුළුවන් වුණා. අපි කොළඹ රෙජිස්ට්‍රාර් කාර්යාල එකක් නෑර පීරා සියලු විස්තර සොයා බැලුවා. එදා යස්මින් ජර්මානු මා පිය යුවළට හදා ගන්න දීලා තියනේනේ 1986 වසරේදීයි. නමුත් ඒ වෙනුවෙන් සකසා ඇති උප්පැන්න සහතිකයට ඇතුළත් කර තිබෙන්නේ අසත්‍ය තොරතුරු.”  
යස්මින්ගේ පෙම්වතා එකී ලියකියවිලි අප හමුවේ ගෙනහැර පෑවේය. එම උප්පැන්න සහතිකයට ඇතුළත් කරුණුවලට අදාළව ඇය උපත ලබා ඇත්තේ 1986 අප්‍රේල් 6 වැනිදාය. ඒත් එවැනි දරු උපතක් සිදු වී ඇති බව කිසිදු තැනක ලේඛනගත වී නැත.   


“මේ නමින් මේ දින උපන්න දරුවකු නැත” යන්න රෙජිස්ට්‍රාර් කාර්යාල සියල්ල වෙතින් මෙන්ම උපත් ලියාපදිංචි සිදු කරන සියලු තැන් වෙතින් යස්මින් හට ලැබුණු පිළිතුර විය.   
“2017 දී අපි වාර්තාමය වැඩසටහනක් නැරඹුවා. එයින් ප්‍රකාශ වූ කරුණු අනුව 1985-1986 කාල පරාසයේදී නෙදර්ලන්තය, ස්විට්සර්ලන්තය යන රටවලටත් යුරෝපයේ තවත් බොහෝ රටවලටත් ශ්‍රී ලංකාව වෙතින් මේ ළමා ජාවාරාම මහා පරිමාණව සිදු වී ඇති බව ප්‍රකාශ වුණා. 80 දශකයේ සිට 90 දශකයේ මුල් භාගය දක්වා එලෙසින් දරුවන් 10,000ක් පමණ විදේශීය භාරකාරත්වයට පත් කර තිබෙන බව එම වැඩසටහනින් අනාවරණය කෙරුණා. දරුකමට හදා වඩා ගැනීමට ලබා දුන් දරුවන් ගැන කරුණු සොයා බලා විස්තර ලබා ගත හැකි නෙදර්ලන්තයේ ෆ්ලෑෂ් ආයතනය ඊට සාක්ෂි දරාවි.”   


ශ්‍රී ලාංකීය දරුවන් උස් මහත් වී හැදී වැඩුණු පසුව ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ ඔහු හෝ ඇය කාගේ කවුද කියා දැන ගැනීම වෙනුවෙනි. මෙලෙසින් බොහෝ දෙනා නිරන්තරයෙන් ශ්‍රී ලංකාවට පැමිණ අදාළ ස්ථානවලට ගොස් කරුණු සොයා බැලුවද, බොහෝ දෙනාගේ නාමයන් ලේඛනගත වී නොමැත. ඊට හේතුව එය මහා පරිමාණ ජාවාරමක් ලෙස මෙරට දී සිදු වී ඇති වග යැයි දැන් කරුණු සනාථ වී තිබේ.   


“අපි බොහෝ කරුණු සොයා බැලුවා. මේක ඇත්තටම මහා පරිමාණ ජාවාරමක් බව දැන් අපි කරුණු සනාථ කරගෙන තිබෙනවා. මෙය එක් පුද්ගලයකු වටා නොව කණ්ඩායමක සහභාගීත්වයෙන් කෙරෙන ජාවාරමක් බව අපට කියන්න පුළුවනි. මේ නිසා බලවත් අසාධාරණයක් වී තිබෙන්නේ එදා දරුකමට හදාගැනීමට විදේශීය මා පියවරුනට ලබා දුන් මේ දරුවන්ටය. 


එදා ඒ දරුවන් හට ලබා දී තිබෙන්නේ බොරු උප්පැන්න සහතික බව සමහර දරුවන් දන්නේ නැහැ. අපි වුණත් දැන ගත්තේ මෙවරයි. අපි සියලුම රෝහල්වලට වගේම අදාළ ස්ථානවලට ගියා. ඒත් මගේ නමින් මෙවැනි උපතක් සිදු වී නැහැ.”   


සොයා ගත් කරුණුවලට අදාළව යස්මින් එලෙස පවසන්නීය.   


එදා ඇය මෙලොවට බිහි කළ මවට හොරෙන් මේ ජාවාරම සිදු වී ඇත්නම් ඒ මවට සිදු වී ඇත්තේ බලවත් අසාධාරණයකි. ඒ නිසා යස්මින් පවසන්නේ මොන විදියට එය එදා සිදු වුවද තමාට මෙන්ම තමා මෙලොවට බිහි කළ මවට අනන්‍යතාවය දැන ගත යුතු බවය. ඒ අනුව ඇයගේ මව සහ තවත් සහෝදර සහෝදරියන් සිටී නම් අඩු තරමින් පෙනුමෙන් හෝ සසදා බලා ඇයට සියල්ල සනාථ කර ගත හැකි බව යස්මින් සපථ කරන්නීය.   


“1986 අප්‍රේල් 1 වැනිදා සහ මැයි 15 අතර කාලයේදී කාගේ හෝ දරුවකු අතුරුදන් වී ඇත්නම් හෝ පැහැර ගැනීමකට ලක්ව ඇත්නම් ඒ අයට පුළුවනි මගේ හැඩරුව අනුව අනන්‍යතාවය ඔප්පු කරන්න. ඉන්පසුව අපට ජාන පරීක්ෂාවකට යා හැකියි. මට දැන් අවශ්‍ය වෙන්නේ මගේ සැබෑ මව පියා කවුද, මට තවත් සහෝදර සහෝදරියන් සිටිනවාද යන්න දැන ගන්නයි. දෙසැම්බර් 20 වැනිදා දක්වා මම ලංකාවේ රැඳී සිටිනවා. මෙකී කාලයේදී මට මගේ සැබෑ අම්මා තාත්තා කවුද කියලා දැන ගන්න ලැබුණොත් එය හරිම සංවේදී අවස්ථාවක් වේවි.” 

 
යස්මින් ප්‍රාර්ථනා දල්වාගෙන එලෙසින් පවසන්නීය. ඇයගේ හැඩරුව අනුව ඇය කවුද කියා කිව හැකි වෙන්නේ ඇයගේ සැබෑ මව සහ පියා හට පමණකි. ඇය කාගේ කවුද කියා යමෙක් දන්නේ නම් ඒ ගැන ඇය මෙරට රැඳී සිටින කාලයේදී 0725469787 අංකය අමතා පැවසිය හැකිය. යස්මින් හට ඒ අවස්ථාව සැබෑ වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

 

 

සටහන : සඳුන් ගමගේ
ඡායාරූප : ඇලෙක්සැන්ඩර් බාලසූරිය