ජපනුන් මඩකළපුවේ ගිල්වූ 4 වැනි නැව සොයා කළ ගවේෂණය


 

ගුවන් යානා විස්සක් ගෙන යෑමට හැකි වූ ලෝකයේ පළමු යුද නැව වූ එව්.එම්.එස්.හර්මීස් නැව විනාශ වූයේ නැගෙනහිර මුහුදේදීය. ජපන් ගුවන් හමුදාව විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් නැවියන් 307 දෙනකු සමඟ එව්.එම්.එස්.හර්මීස්  නැව මුහුදු බත් වූයේ බ්‍රිතාන්‍ය රාජකීය හමුදාවට අති විශාල හානියක් සිදු කරමින්ය.

 

ලංකාවේ සිටින දක්ෂ කිමිදුම්කරුවකු වන ෆිලිෂියන් ප්‍රනාන්දු මහතාට එව්.එම්.එස්.හර්මීස් නෞකාව පිළිබඳ තොරතුරු ලැබුණ පසු ඔහුගේ එකම අධිෂ්ඨානය වූයේ මුහුදු පතුලේ ගිලී ඇති එම නෞකාව පිළිබඳව සොයා බැලීමය. ඔහු ඒ වෙනුවෙන් විවිධ උත්සාහයන්වල නිරත විය.


නැගෙනහිර මුහුදේ කල්මුණේ සිට ඈතින් හර්මීස් නෞකාව ඇති බවට ෆිලිෂියන් ප්‍රනාන්දු මහතාට තොරතුරක් ලැබී ඇති අතර ඒ අනුව ඔහු හර්මීස් නෞකාව සෙවීම සඳහා කල්මුණේට පැමිණියේය. ඔහුට මේ නැව පිළිබඳව තොරතුරු ලබා දී ඇත්තේ ඩේවිට් ගෝල් නමැති කිමිදුම්කරුගේ සහෝදරයකු වන බබා නමැති අයගෙන්ය.


ඒ අනුව 2002 වසරේ අගෝස්තු මාසයේ දී ෆිලිෂියන් ප්‍රනාන්දු මහතා කල්මුණේට පැමිණ හර්මීස් නෞකාව සෙවීමට ධීවරයන් පිරිසක් සමඟ මුහුදේ කිලෝ මීටර් 15ක් පමණ ගමන් කර තිබේ. බබා නමැති අයගෙන් මෙම නෞකාව පිළිබඳව ලබාගත් සලකුණු අනුව මුහුදේ කිමිදී තිබේ. හර්මීස් නෞකාව හමුවේ යැයි සිතමින් මුහුදේ කිමිදෙමින් සිටි ෆිලිෂියන් ප්‍රනාන්දු මහතාට නැවක සුන්බුන් හමුවී තිබේ. තමා හොයමින් සිටි හර්මීස් නෞකාව හමුවුණා යැයි  ඔහු සිතුවත් තව දුරටත් නැව පිළිබඳව විපරම් කිරීමේ දී මෙම නැව හර්මීස් නෞකාව නොවන බව ඔහු තහවුරු කරගෙන තිබේ.


මෙම නෞකාව ජපන් හමුදාවේ ප්‍රහාරයෙන් විනාශ වුණ හොලිහෝක් නමැති නෞකාව බව පසුව ෆිලිෂියන් ප්‍රනාන්දු මහතා සොයාගෙන තිබේ.


හොලිහොක් නෞකාව කොවෙට් වර්ගයට අයත් නෞකාවකි. මෙම නැව 1939.11.27 වන දින එංගලන්තයේ දී මුහුදට දියත් කර තිබේ. මෙම නැවේ අණදෙන නිලධාරියා ලෙස ලූතිනන් කමාන්ඩර් තෝමස් එඩ්වඩ් මහතා කටයුතු කර ඇත. 


හොලිහොක් නෞකාවේ බර ටොන් 940 කි. දිග මීටර් 62.5 කි. අශ්වබල 2750ක් වන අතර, පැයකට නාවික සැතපුම් 16 ක වේගයෙන් ගමන් කරයි. 1942 අප්‍රේල් 09 වන දින මෙම නැවට ද මාලදිවයිනේ ගැන් දුපත් බලා පිටත්වීමට එවකට රාජකීය නාවික හමුදාවේ රියාද් අද්මිරාල් සර් ජේම්ස් සෝමවිල් මහතා විසින් අණ දී තිබේ. ඒ අනුව අප්‍රේල් 09 වන දින මෙම නැව ද ත්‍රිකුණාමලයෙන් ගැන් දුපත් බලා පිටත්ව තිබේ. හොලිහොක් නැවේ රාජකාරිය වී ඇත්තේ ඇතල්ස්ටේන් නෞකාවට ආරක්ෂාව සැපයීමයි. 


මෙම නෞකාව ගැන් දුපත බලා යාත්‍රා කරද්දී ශ්‍රී ලංකාවේ නැගෙනහිර මුහුදෙන් ගමන් කරමින් සිටිය දී පෙ.ව. 10.37ට සතුරු ගුවන් යානා කීපයක් නැගෙනහිර දෙසට පියාසර කර තිබේ. 11.45 ට නැව යන දිශාව අංශක 175 කට වෙනස් කිරීමට නැවේ අණදෙන නිලධාරිවරයා කටයුතු කර ඇත. 


පෙ.ව. 10.00 පමණ වන විට ජපන් ගුවන් යානා හර්මීස් නෞකාවට පහර දී ගිල්වා දමා තිබේ. දහවල් 12.03 පමණ වන විට නැවේ සිටි පිරිස සතුරු ගුවන් යානා උතුරු දෙස සිට පියාසර කරමින් හොලිහෝක් නැව දෙසට ගමන් කරනු දැක තිබේ. 12.04ට හොලිහෝක් නෞකාවෙන් අඟල් 04 කාල තුවක්කුවක් සහ එම්. ටී. 08 වර්ගයේ ගිනි අවියකින් සතුරු ගුවන් යානා වෙත ප්‍රහාරයෙක් එල්ල කර ඇත. 12.05 ට ඇතල්ස්ටේන් නෞකාවට ගුවන් යානා 05 ක් ප්‍රහාර එල්ල කරන හැටි හොලිහෝක් නැවේ පිරිසට දැක ගැනීමට හැකිව තිබේ. 12.08 වන විට ජපන් ගුවන් යානා හොලිහෝක් නෞකාවට ද පහර දීම ආරම්භ කර ඇත. 


පළමු වන බෝම්බය හොලිහෝක් නැවේ ඉදිරි පස වම් පස ඉන්ධන ටැංකියට වැටී තිබේ. ඒ පිපිරීමෙන් පසුව නැවේ දෙවෙනි බොයිලේරුව ක්‍රියා විරහිත වී ඇත. 12.09 ට දෙවැනි බෝම්බය මීටර් 30-40ක් ඉදිරියෙන් වැටී ඇත. ඉන් පසුව තුන්වෙනි බෝම්බය 12.17 ට යන්ත්‍රාගාරය උඩට වැටී සුක්කානම ක්‍රියා විරහිත වී ඇත. 12.18 ට හතර වන බෝම්බය නැවේ මැදට වැටී විශාල හානියක් සිදුව ඇත. තත්පර 30-40ක් ඇතුළත නැව මුහුදට ගිලා බැසීමට පටන් ගෙන ඇත. 


ජපන් ගුවන් යානා අඩි 3000ක් ඉහළ අහසේ සිට අඩි 300-400ක් පහතට පැමිණ බෝම්බය අත්හැර නැවත ගුවන් ගත වී තිබේ. මෙහිදී අඩි 3000 ක සිට පහතට එන විට වේගය පාලනය කිරීම සඳහා ගුවන් යානයේ රෝදය දිග හැර තිබේ. එයින් සීමා කරගෙන නැවත ගුවන් ගත වන විට රෝද හකුළා ගුවන් ගත වී තිබේ. මෙම සෑම ගුවන් යානයක්ම තනි එන්ජිමේ ගුවන් යානා වන අතර, එහි රාත්තල් 250ක පමණ බෝම්බයක් ප්‍රහාර එල්ල කිරීමට රැගෙන ගොස් තිබේ.


හොලිහෝක් නැවට ප්‍රහාර එල්ල කරන අවස්ථාවේ දී නැවේ සිටි අණදෙන නිලධාරියා ගත් ක්‍රියා මාර්ගය පළවෙනි සහ දෙවැනි ප්‍රහාරයේ දී නැව වේගයෙන් වම් පසට හරවා තිබේ. එම උත්සාහය සාර්ථක වී ඇති අතර, තුන් වන ප්‍රහාරයේ දී උපරිම වේගයෙන් ගුවන් යානා පැමිණි දිශාව හරහා ගමන් කර තිබේ. මෙම නෞකාවට ගුවන් ප්‍රහාර එල්ල කරන විට ඒවා වැළැක්වීමට ගුවන් යානා නාශක අවි ආයුධ මෙම නැවේ තිබී නැත. තිබුණු එකම අවිය වන්නේ හොච්කීස් 303 අවියයි. එම අවියෙන් ප්‍රහාරය එල්ල කිරීමට සිදු වන්නේ උරහිසේ තබාගෙනය. මීට පෙර සතියේ දී කොළඹ දී බොයිලේරු අලූත්වැඩියා කරන අවස්ථාවේදී ප්‍රහාරක ගිනි අවි සවි කිරීමට තිබුණත්, එම අවි සවි කර නැත.


මෙම ප්‍රහාරයෙන් අනතුරුව නැවේ සිටි නැවියන්  පිහිනමින් සිටි අතර පසුව විනාශ වූ ඇතල්ස්ටේන් නෞකාවේ සිටි නැවියන් ජීවිතාරක්ෂක බෝට්ටුවලට නංවා ගෙන ගොඩබිමට ගොස් තිබේ. මෙම ප්‍රහාරක ගුවන් යානාවලට අණ දී තිබුණේ ජපන් නාවික හමුදාවේ අද්මිරාල් තුචී නගුමෝ විසිනි.

එදා ප්‍රහාර එල්ල කළ ජපන් ප්‍රහාරක ගුවන් යානයක්

 


මේ නැව දැනට ඔලූවිල්  ප්‍රදේශයට කිලෝ මීටර්  15 ක් පමණ දුරින් මීටර්  42ක් පමණ ගැඹුරු මුහුදේ තිබේ. මෙම නැව බැලීමට ද විදේශිකයන් කැමැත්තක් දක්වන බව ද ෆිලිෂියන් ප්‍රනාන්දු මහතා පවසයි. දැනට මෙම නැවට කිමිදුම් වාර 55ක් පමණ ෆිලිෂියන් ප්‍රනාන්දු මහතා ගොස් තිබේ. මෙම නැවේ ද තිබු නැවියන් භාවිත කරන උපකරණ විසිතුරු මසුන් ඇල්ලීමට කිමිදෙන අය විසින් රැගෙන ගොස් තිබේ.


මීටර් 42ක් පමණ මුහුද යට තිබෙන හොලිහෝක් නැව අද වෙන විට දර්ශනීය කොරල්පරවලින් වැසී ගොස් ඇති අතර විශාල වශයෙන් මත්ස්‍යයන් බිහිවෙන ස්ථානයක් බවට පත්ව තිබේ. මෙම නැව තුළ විවිධ වර්ගයේ විසිතුරු මසුන් විශාල වශයෙන් දැක ගැනීමටද හැකි බව ෆිලිෂියන් ප්‍රනාන්දු මහතා පවසයි.

අම්පාර වසන්ත චන්ද්‍රපාල