ජනාධිපති දියණිය දුටු ජනාධිපති තාත්තා තාත්තා


 

ජනාධිපති දියණියක ​ෙවන්නට වාසනාව ලැබෙන්නේ කලාතුරකින් කෙනෙකුටය. ජනාධිපති තාත්තා ගැන පොතක් ලියන්නට ජනාධිපති දියණියකට වාසනාව ලැබෙන්නේ කලාතුරකිනුත් කලාතුරකිනි. ශ්‍රී ලංකා ඉතිහාසයේ ජනාධිපති තාත්තා ගැන පොතක් ලියූ ජනපති දියණියක ගැන මෙතෙක් ​කලක් අසන්නටවත් නොලැබිණි. එහෙත් ඒ යුගය අවසන් කරමින් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ජනපති දියණියක තම ජනාධිපති තාත්තා ගැන පොතක් ලියා ඇති බැවිණි.   


ඒ ජනපති දියණිය චතුරිකා සිරිසේනය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වැඩිමල් දියණිය වන ඇය, තමා ලියූ පොතේ මුල් පිටපත පෙරේදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ආරම්භ වුණ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ ආරම්භක උත්සවයේදී, ජනාධිපති තාත්තා වෙත පිළිගැන්වූවාය. මෙවර ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වෙනුවෙන් නිකුත් වූ පොත් අතරේ වඩාත්ම කැපී පෙනෙන ග්‍රන්ථය ද විය හැකි ජනාධිපති තාත්තා කෘතිය ලියන්නට හේතු වූ කරුණු ගැන චතුරිකා ඉරිදා ලංකාදීපයට කතා කළාය.   


“තාත්තා ගැන පොතක් ලියන්න ඕනැ කියලා මට මුලින්ම හිතුණෙ තාත්තා සෞඛ්‍ය ඇමැති වෙලා හිටිය කාලෙදී. හාවර්ඩ් විශ්වවිද්‍යාලෙන් ලෝකයේ හොඳම සෞඛ්‍ය ඇමැතිට හිමිවන ගෞරව සම්මානය තාත්තාට පිරිනැමුණුදා එදා මට මගේ තාත්තා ගැන දැණුන ආඩම්බරය නිසාමයි මං හිතුවේ, තාත්තා ගැන කවදාක හරි පොතක් ලියන්න ඕනැ කියලා. මට ඕනැ වුණේ මගේ තාත්තා ගැන මගේ හිතේ උපන්න අභිමානය ආඩම්බරය මගේ දරුවන්ට කියලා දෙන්නයි.   


ඒ වෙද්දිත් මං තාත්තා ගැන පත්තරවල ගිය විස්තර ඔක්කොම එකතු කරගෙන තිබුණෙ.   


හැබැයි මේ පොත ඉක්මන් කරන්න මට හිතුණෙ තාත්තා පොදු අපේක්ෂකයා විදියට එළියට බැස්සට පස්සෙයි. ඒ වෙනකන් අපි ළඟ හිටපු හුඟක් අය අපෙන් අෑත් වුණා. අපිට උදව් කළ අය මඟ හැරියා. ඒ වෙනුවට වෙනත් අය අපිට උදව් කරන්න ඉදිරිපත් වුණා. ඒ මාස එක හමාර කියන්නේ මට මගේ ජීවිතේට වෙනස්ම අත්දැකීමක් වුණ කාලයක්. මේ දවස් කිහිපයෙදී මට හිතුණු දේවල් ඉක්මණටම පොතකින් ලියන්න ඕනැ කියලා හිතුණු නිසයි ජනාධිපති තාත්තා කියන පොත නිර්මාණය වුණේ.”   


හිතට හිතුණු පමණින් පොතක් ලියන්නට පුළුවන් කමක් නැත. එයට ලිවීමේ හුරුවක් තිබිය යුතුය. එසේ නොවේනම් තම අදහස් ලේඛකයකුට කියා ඔහු හෝ ඇය ලවා ඒ පොත ලියවා ගත යුතුය. එසේ නම් චතුරිකා මේ හපන්කම කළේ කෙසේද?   


‘‘මම පුංචි කාලෙ ඉගෙන ගත්තෙ ගම්පහ ගෝතමී විද්‍යාලයෙන්. එතැනින් ගම්පහ රත්නාවලියට ගියා. ඒත් සාමාන්‍ය පෙළ විභාගය කරන්න මට පොළොන්නරුවට යන්න වුණා. මම ඇතුළත් වුණේ රාජකීය විදුහලට. නමුත් ඒ වෙද්දී භීෂණය ආරම්භ වෙලා තිබුණෙ. 89 අවුරුද්දෙනෙ. මේ නිසා මං පාසල් යනවට වැඩිය පාසල් නොගිය දවස් තිබුණේ. අනිත් ළමයි සුදු නිල ඇඳුම ඇඳ​ගෙන පාසල් යද්දී මං ගියේ පාට ඇඳුම් ඇඳගෙන. සමහරදාට පාසලට ගිහින් පැයක් යන​කොට මාව ආපහු එක්ක​​ගෙන යන්න එනවා. නමුත් ඔය අස්සෙත් මම පොත් පත්තර කියවන්න හරිම ආසයි. පුංචි පුංචි කවි ලියලා පත්තරවලටත් දැම්මා.

  
තාත්තගේ කාමරේට ගිහිල්ලා තාත්තා ගාව තියෙන පොත් අරගෙන කියවන්න පුරුදු වුණා. අපේ තාත්තා හැම සිකුරාදා දවසකම අලුත් පොතක් ගේන පුරුද්දක් තිබුණා. චරිතපදාන, ඉතිහාස කතා, නවකතා, පරිවර්තන වගේ විවිධ පොත්. ඒ සමහර පොත් තාත්තාට කලින් කියෙව්වෙ මම.   


එක දවසක් තාත්තා​ගෙ කාමරේට ගිහින් කියවන්න පොතක් හොයද්දී මට හම්බ වුණේ තාත්තා​​ගේ පරණ දින පොත්. මම ඒ දින පොත් අරන් කියවන්න ගත්තා.   


මං ඉපදුණු දවසෙ මගෙ තාත්තා ලියලා තිබුණේ හරිම සංවේදී සටහනක්.... ඒ වගේම හුඟක් නිර්මාණශීලි සටහනක්... ඒක කියෙව්වාම මටත් හිතුණා මාත් මේ වගේ ලියන්න ඕනැ කියලා...   


ඔය කාලෙදීම මට මතකයි ස්කෝලේ ටීචර්ලා රචනා එහෙම ලියන්න දෙනවා. මම රචනය ලියාගෙන ගියාම ටීචර්ලා අහන්නේ කාට කියලද ලියව ගත්තේ කියලා. ඒ ටීචර්ලා කවදාවත් හිතුවෙ නෑ මට නිර්මාණශීලිව ලියන්න පුළුවන් කියලා. මම ඒකෙන් තේරුම් ගත්තා මටත් හොඳට ලියන්න පුළුවන් කියලා...’’   


‘‘ඊට පස්සෙ මම විවිධ තරග හොය හොයා ඒවට රචනා පද්‍ය රචනා ආදිය යැව්වා. ඒවයෙන් හුඟක් වෙලාවට මට ලැබුණෙ පළමු ස්ථානය. සම්මාන සහතික තෑගි.   


ඒවගේම අපේ තාත්තා හැමදාම ගෙදරට පත්තරේ ගත්තා. තාත්තා හවස ඇවිත් පත්තරේ බැලුවද කියලා අපි එක එක්කෙනාගෙන් අහන පුරුද්දක් තිබුණේ. පත්තරේ පෙරළලවත් නැත්තන් තාත්තා කියනවා පත්තරේ පෙරළලවත් නෑ, පත්තරේ ගන්නේ හැමෝටම කියවන්න කියලා. මේ හින්දා මම පත්තර කියවන්නත් හුරුවුණා.’’   


කියවීමට ඇලුම් කළ දැරියකට ලියන්නට බැරි​ෙවන්නට බැරිය. ඇරත් මෛත්‍රීපාල සිරිසේන යනු ලිවීමට හපන්කම් ඇති කලාකරුවෙකි. විරිඳු නම් විරිඳු, කවි නම් කවි, සිංදු නම් සිංදු කියන්නටද හැකියාවක් තිබෙන උතුම් කලාකරුවෙකි. එවැනි පියෙකු​ගේ දියණියකට එම හැකියාවන් සහජයෙන්ම පිහිටන්​ෙන්ය.   


‘‘ගමේ පදිංචියට ගිය එකයි මගේ ලොකුම වාසනාව. ගමේදී මම ඇළේ දොළේ වැවේ පැනලා නෑවා. පීනුවා. ජල සෙල්ලම් කළා. ගස් ​ෙකාළං එක්ක ජීවත් වුණා. කුඹුරුවලට ගියා. ආච්චි එක්ක කුඹුරුවල වැඩ කරන අයට ඇඹුල අරන් ගියා. අපි ඇත්තටම සැප සම්පත් මැද හැදුණු අය නෙමෙයි.’’   


ලේඛකයන්ට ලියන්නට පන්නරය ලබාදෙන්නේ එවැනි ජීවන අත්දැකීම්ය. සාමාන්‍ය ජනතාව සමඟ ගැවසෙමින් ඔවුන්ගෙන් ලබන අත්දැකීම්ය. කැලෑ කොළේ සතා සීපාවා සමඟ ගැවසී ඔවුන්ගෙන් ලබන අත්දැකීම්ය. චතුරිකා ලද එවැනි දුර්ලභ අත්දැකීම් ඇයව ලේඛිකාවක නොකළානම් පුදුමය එයයි.   


ජනාධිපති තාත්තා පොත විවිධ පරිච්ඡේද රැසකින් යුක්තය. ළමාවිය, ගැටවරවිය, තරුණවිය ආදී වශයෙනි. අවුරුදු 16 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට බැඳුණු මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය, චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය මෙන්ම මහින්ද රාජපක්ෂ මහතා යට​​ෙත්ද දේශපාලන කටයුතු කළේය. ඒ හැම යුගයකම මතක ජනාධිපති තාත්තා ​ෙපාතට ඇතුළත්ය.   

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ලක්ෂ්මන් කිරිඇල්ල සමග

 


ඒ විතරක්මද?   


‘‘තාත්තා මහන්සි​ වෙලා ගෙදර එනකොට අපේ ගෙදර රේඩියෝ එක දාලා තියෙනවා. තාත්තා ආසයි අමරදේවගේ, සුනිල් එදිරිසිංහගේ, ටී.එම්. ජයරත්නගේ වගේ අයගේ සිංදු අහන්න. තාත්තා හිතේ විවේකෙන් ඉන්න වෙලාවට ඔය කාගෙ හරි සිංදුවකුත් හීන් හඬින් මුමුණනවා. අපේ තාත්තා සාහිත්‍යකාමියෙක්. ඒත් එ් බව රටේ අය දැනගන්නේ මගේ මේ පොතෙන්...’’   


ලොව ශ්‍රේ‍ෂ්ඨ නායකයන්​ගේ චරිතාපදාන යනු අනාගත ​ෙලා්කයට ආදර්ශයකි. වැටීම් නැගිටීම් ආදී වූ දහසකුත් එකක් ගැහැට මැද්දේ අභීතව ඉදිරියට නොයා ​ෙශ්‍ර්‍ෂ්ඨයකු විය නොහැකි නිසාය. ජනාධිපති තාත්තා එබඳු චරිතාපදානයක්ද?   
“ඇත්තමට මේ පොත ධනාත්මක චින්තනය ගැබ් වුණු එකක්. තාත්තා බොහොම සාමාන්‍ය ගොවි පවුලක ඉපදිලා ටිකෙන් ටික ඉහළට ගිය කෙනෙක්. අපේ තාත්තා කවදාක හරි ජනාධිපති වෙයි කියලා අපි හිතුවේ නැහැ. හිතන්න පුළුවක්කමක් තිබුණෙත් නැහැ. නමුත් තාත්තා බාධක බිඳගෙන ඉදිරියට ගියා.   

 

නමුත් මේ පොත එහෙම චරිතාපදානයක්ම නෙමෙයි. මට හිතෙන්නෙ මේ පොත නවකතාවක් කියලා. මං මේ පොත ලිව්වේ නවකතාවක් ලියන විදියට. ඒ නිසා ජනාධිපති තාත්තා හුදෙක් චරිතාපදානයක් විදිහට හඳුන්වන්න මං කැමති නෑ...”   


චතුරිකා සිරිසේන එසේ කීවත් ජනාධිපති තාත්තා කුමන වර්ගයේ පොතක් දැයි තීරණය කිරීමේ වගකීම ඔබ සතුය. එය චරිතාපදානයක් වේවා, නවකතාවක් වේවා ඔබේ ජීවිතයට ආලෝක පුංජයක් හෝ එක් කරන්නේනම් පොතකින් විය යුතු සේවය ඉටු වූවා වෙයි.   


එයින්ම කතුවරියගේ බලාපොරොත්තු සඵල වූවාද වෙයි.

ශාන්ත කුමාර විතාන