ජනපතිවරණ සමයේ රජයේ සේවය


  • විශේෂයෙන්ම රජයේ නිලධාරීන් දේශපාලනීකරණය වෙලා. රජයේ මුදල්, රජයේ වාහන, රජයේ ගොඩනැගිලි අවභාවිත කරන බවට පසුගිය රජයට චෝදනා එල්ල කළා. නමුත් මේ රජය පත්වුණා කියලා එම තත්ත්වය නැතිවෙලා නැහැ. මේ රජය වුණත් කරන්නෙම ඒ දේවල්ම තමයි. ඒ නිසා මෙවැනි තත්ත්වයක් නැතිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශාල කාර්ය භාරයක් පැවරී තිබෙනවා. 

 

ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 16 සෙනසුරාදා පැවැත්වීමට නියමිතය. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම ඔක්තෝබර් 7 වනදා සිදුකෙරේ. මෙයට අමතරව පළාත් සභා මැතිවරණය මහ මැතිවරණය ඇතුළු මැතිවරණ කිහිපයක්ම ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.   
සාධාරණ හා නිදහස් මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයාටද විශාල වගකීමක් පැවරී තිබේ.   
මැතිවරණ පැවැත්වෙන කාලසීමාවේදී රාජ්‍ය සේවකයාගේ හැසිරීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ හිටපු ලේකම් ජේ. දඩල්ලගේ මහතා පළ කළේ මෙවන් අදහසකි.   
 “මැතිවරණ නීතිය ඇතුව හෝ නැතුව අයුතු දේවල් නොකර සිටීමට රජයේ නිලධාරියාට අයිතියක් තියෙනවා. දැන් දේශපාලනඥයන්ගේ අතකොළුවක් බවට රජයේ නිලධාරියා පත්කර තිබෙනවා. පසුගිය රජය සමයේ මෙවැනි දේ සිදුවූ බව පවසමින් වත්මන් රජය බලයට පත්වුණා. ඔවුන් මේ ගැන දත්ත රැස්කිරීමට කළු පොත නමින් පොතකුත් හඳුන්වා දුන්නා.   
විශේෂයෙන්ම රජයේ නිලධාරීන් දේශපාලනීකරණය වෙලා. රජයේ මුදල්, රජයේ වාහන, රජයේ ගොඩනැගිලි අවභාවිත කරන බවට පසුගිය රජයට චෝදනා එල්ල කළා. නමුත් මේ රජය පත්වුණා කියලා එම තත්ත්වය නැතිවෙලා නැහැ. මේ රජය වුණත් කරන්නෙම ඒ දේවල්ම තමයි. ඒ නිසා මෙවැනි තත්ත්වයක් නැතිකිරීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට විශාල කාර්ය භාරයක් පැවරී තිබෙනවා.   


නීත්‍යානුකූල කටයුත්තක් කිරීමට නොහැකි තත්ත්වයකට අද වනවිට රජයේ නිලධාරීන් අපහසුතාවයට පත්වෙලා තියෙනවා. අද වනවිට පරිපාලන සේවය ආදී සේවාවාන් දේශපාලන බලපෑම්වලට එරෙහිව විරෝධතා ආරම්භ කරලා තියෙනවා.   
දේශපාලන බලපෑම් කියලා කියන්නේ දේශපාලනඥයාට ඕන විදියට රජයේ නිලධාරියා, රජයේ සම්පත්, මුදල් දේශපාලන අරමුණු සඳහා යොදා ගැනීමයි. එහෙම නැත්නම් දූෂණය සඳහා යොදා ගැනීමයි.   
මැතිවරණ නීතියට අනුව තියෙනවා, “මැතිවරණය ප්‍රකාශයට පත්කළාට පස්සේ ස්ථාන මාරුවීම් කරන්න බැහැ, පත්වීම් දෙන්න බැහැ, භාණ්ඩ බෙදා දෙන්න බැහැ, දේශපාලන වාසි ලබා ගන්න වැඩ කරන්න එපා කියලා.   
නමුත් සමාජ විද්‍යාවට අනුව ඕකට අපි කියන්නේ ‘සරදම් නිල වාදය’ කියලයි. සරදම් නිල වාදය කියන්නේ ඒක බොරු නීතියක්. මොකද හේතුව ඒ වනවිට සියලු දේ කරලා ඉවරයි. දැන් උදාහරණයක් විදියට 2019 අග ජනාධිපතිවරණය එනවා කියලා දන්නවා. ඒ දන්න නිසා ජනාධිපතිවරණය ඉලක්ක කරලා රටේ සම්පත් බෙදනවා, පත්වීම් දෙනවා, බඩු බෙදනවා. මේවා රටේ සංවර්ධනයට අදාළ දේවල් නෙමෙයි. මේ දේවල් ඡන්දයට අදාළ දේවල් වනවා.   
දේශපාලන අධිකාරිය මේ දේවල් කරන්න රාජ්‍ය නිලධාරීන්ට නියෝග කරද්දි මේවා නොකර සිටීමේ හැකියාව නිලධාරීන්ට තියෙනවා. මේ රටේ දේශපාලනඥයන් ගත්තම පිරිස අඩුයි. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225යි. පළාත් සභා, ප්‍රාදේශීය සභා ගත්තත් තියෙන්නේ යම්කිසි ප්‍රමාණයක් පමණයි. මින් බහුතරයක් වන පිරිස දැනුමෙන්, වගකීම් අතින් අත්දැකීම් අතින් අඩු අයයි.   


රජයේ නිලධාරින් ගත්තොත් ලක්ෂ 15ක් පමණ ඉන්නවා. රජයේ නිලධාරීන්ට වෘත්තීය සමිති තියෙනවා. පරිපාලන සේවා නිලධාරීන්ගේ, ඉංජිනේරුවන්ගේ, වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති තියෙනවා. මේවත් ශක්තිමත්ව ක්‍රියාත්මක වුණොත් මේ දේශපාලන බලපෑම් රජයේ නිලධාරීන්ට ඒකාබද්ධව නවත්වන්න පුළුවන්. හැබැයි, වෙලා තියෙන්නේ රජයේ නිලධාරියා අද විකාශය වෙලා තියෙනවා දේශපාලනඥයන් කියන කියන දේ කරන්න.   
නිලධාරීන් අත්දැකීම් වගකීම් අතින් දේශපාලන අධිකාරියට වඩා ඉදිරියෙන් ඉන්නවා. එහෙමනම් නිලධාරියාට කේවල් කිරීමේ හැකියාව වැඩිවිය යුතුයි. නමුත් 78 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙනවා අමාත්‍යවරයා ලබා දෙන නියෝග ලේකම්වරයා සිදුකළ යුතුයි කියලා.   
දැන් මේක මේ විදියට විකාශනය වෙලා අමාත්‍යවරයාට ඕන නිලධාරීන් තමයි පත්කරගන්නේ. එතනදී අමාත්‍යවරයාට හිතැති, පක්ෂපාතී දුර්වල නිලධාරීන් පත්කර ගැනීමක් සිදුවෙනවා. මේ නිලධාරීන් මගින් අමාත්‍යවරයා තමන්ට ඕන දේවල් කරගන්නවා.   
දේශපාලන අධිකාරියේ වැරදි තීරණ නිලධාරීන් ප්‍රතික්ෂේප කළොත් අමාත්‍යවරුන් ඔවුන්ට තියෙන බලය පාවිච්චි කරලා, එම නිලධාරියා ඉවත් කරලා අර තමන්ට හිතැති සුවච කීකරු නිලධාරියෙක් පත්කිරීමේ පදනමක් අද රටේ ඇති වෙලා තියෙනවා. මේ සියලු දේවල් වැළැක්වීමේ හැකියාව තියෙන්නෙත් රජයේ නිලධාරින්ටමයි.   
රජයේ නිලධාරීන් ඒකාබද්ධ වෙලා කියනවනම් මේ වැරදි දේවල් කරන්න බැහැ’ කියලා. වැරදි වැඩක් කිරීම ප්‍රතික්ෂේප කරලා නිලධාරියෙකු ඉවත් කළොත් ඒකට විරුද්ධවත් රජයේ නිලධාරින්ට ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව තිබෙනවා.   


උදාහරණයක් විදියට ගත්තොත් එක්තරා අවස්ථාවක රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉවත් කළා. එතනදි රේගු නිලධාරින් එකතු වෙලා ඒක වැළැක්කුවා. එවැනි තත්ත්වයක් රට තුළ ගොඩනගා ගත යුතුයි.   
මැතිවරණ ප්‍රකාශ කළත් නැතත් සදාකාලිකව රජයේ නිලධාරීන් ස්වාධීනව කටයුතු කළ යුතුයි කියන එක මගේ අදහසයි. දැන් පරිපාලන නිලධාරීන්ගේ සටන් පාඨයක් තියෙනවා, ‘දේශපාලන බලපෑම් නතර කරමු’ කියලා. ඒත් කවුද ඉදිරිපත් වෙලා ඒවා නතර කරන්නේ? වෙන කවුරුත් නෙමෙයි පරිපාලන නිලධාරින්ම ඉදිරිපත් වී එය වැළැක්විය යුතුයි.   
ස්වාධීනව, නීති ගරුකව කටයුතු කරන රාජ්‍ය නිලධාරින්ට යම්කිසි හානියක් දේශපාලනඥයන් කරනවනම් අන්න එතනදී වෘත්තීය සමිති නැගීසිටිය යුතුයි. වෘත්තීය සමිති ශක්තිමත්ව ක්‍රියාත්මක වීමත් ස්වාධීන රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාමට වැදගත් වෙනවා.   
මැතිවරණ ආසන්න වීමත් එක්ක පත්වීම් දෙනවා, සහන දෙනවා, සමෘද්ධිය දෙනවා. මේවා දීර්ඝ කාලයක් තිස්සේ සිදුවූ දේවල්. මැතිවරණ ප්‍රකාශයට පත්වුණාට පස්සේ මේ දේවල් තවදුරටත් කරගෙන යන්න බැහැ කියන එක කියන්න රාජ්‍ය නිලධාරියාට ශක්තියක් තියෙන්න ඕන. මැතිවරණ කොමිසමෙන් සහ මැතිවරණ නීතියත් එක්ක මේ ශක්තිය ලැබෙනවා.   
ස්වාධීන රාජ්‍ය සේවයක් පවත්වාගෙන යාමටත් ස්වාධීන මැතිවරණයක් පවත්වාගෙන යාමටත් රාජ්‍ය සේවකයාගේ ක්‍රියාකලාපය බෙහෙවින් බලපානවා. දැන් වෙලා තියෙන්නේ දේශපාලනඥයන්ගේ වැරදි තීරණවලට විරුද්ධව රාජ්‍ය නිලධාරියෙකු විරුද්ධ වුණහම එතෙන්ට එන්න තව බොහෝ පිරිසක් පොරකනවා.   
එහෙම නැතුව එකමුතුව ඒ දේවල් පරාජය වීමක් වෙන්නේ නැහැ. ඒ නිසා සියලු දෙනා එකමුතුව මේ දේවල් පරාජය කළ යුතුයි. පුද්ගලිකව මිනිස්සුන්ට වෙන අසාධාරණකම්, දේශපාලන බලපෑම්, මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සඳහා සාමූහිකව කටයුතු කළ යුතුයි.   
රාජ්‍ය සේවය ස්වාධීන කරනවා. ස්වාධීන රාජ්‍ය සේවා කොමිසමක් පත්කළා කියලා හැමෝම කියනවා. ඒ වුණාට තවමත් රාජ්‍ය සේවය දේශපාලනය යටතේ තමයි ක්‍රියාත්මක වෙන්නේ. උදාහරණයක් විදියට දේශපාලනඥයාට ඕන පුද්ගලයා තමයි ඒ තනතුරු සඳහා පත්කර ගන්නේ. ඒ තෝරාගන්න පුද්ගලයන් තමයි කැබිනට් පත්‍රිකාව දාන්නේ. ඕන කෙනාව තමයි රාජ්‍ය සේවා කොමිෂන් සභාවට නම් කරගන්නේ. ඒ අනුව ඇමැතිවරයාගේ නිර්දේශම තමයි මේ අය අනුමත කරන්නේ. ඒ අනුව මෙතන ස්වාධීන රාජ්‍ය සේවයක් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.   


සැබෑ ස්වාධීන රාජ්‍ය සේවයක් වෙනුවට දේශපාලන අධිකාරියට අවශ්‍ය දේම තමයි මේ සෑම තැනම වෙන්නේ. දැන් උදාහරණයක් විදියට අමාත්‍යවරයාට එපා කියලා නිලධාරියා මාරු කළොත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඒක අනුමත කරලා එවනවා. එහෙම නැතුව මේ නිලධාරියා මාරු කිරීමට එරෙහිව කවුරුවත් ශක්තිමත්ව පෙනීසිටින්නේ නැහැ.   
වැරදි ඉල්ලීමක් කළොත් නිලධාරීන්ට ඒක නොකර ඉන්න පුළුවන්. එතනදි තමන්ට අසාධාරණයක් සිදුවුවහොත් නිලධාරියාට රාජ්‍ය සේවා කොමිෂන් සභාවට, මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්. නමුත් නිලධාරින් හුඟක් වෙලාවට එහෙම කරන්නේ නැහැ.   
මේ රටේ තිබෙන අර්බුද බොහෝ වෙලාවට ඇති කරන්නේ දේශපාලනඥයන් විසින්. ඒ අර්බුද කරත්තෙක හරි ලොරියක හරි පැටවුවහම ඇදගෙන යන්නේ රජයේ නිලධාරීන්. ඇමැතිතුමාත් එක්ක සමීප නම් රාජ්‍ය නිලධාරියත් මේ දේවල් කරලා දීලා ඔහුත් වැජඹෙනවා. මේ තත්ත්වයට විරුද්ධව රාජ්‍ය සේවාවේ බලපෑම් යාන්ත්‍රණයක් ගොඩනැගිය යුතුයි. ඒ බලපෑම් යාන්ත්‍රණය තුළ තමයි, මේ රාජ්‍ය සේවයට මේ රට සම්පූර්ණයෙන්ම පරිවර්තනය කරන්න පුළුවන් වෙන්නේ.   
රාජ්‍ය සේවකයා කෙළින් ඉන්නවනම්, රාජ්‍ය සේවකයා දූෂණයට විරුද්ධ නම් දේශපාලන බලපෑම්, දූෂණ නතර කරන්න පුළුවන්, වැරදි දේවල්වලට රාජ්‍ය නිලධාරීන් කේවල් කරනවනම් ඇමැතිවරුන්ට මේ රටේ පිස්සු කෙළින්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.   
බටහිර රටවල නිලධාරීන් කටයුතු කරන්නේ නීතියට අනුවයි. ඒ නිසා ඇමැතිවරුන් වැරදි දේවල් කියන්න, බලපෑම් කරන්න කොමිස් ගන්න යන්නේ නැහැ. එහෙම තැනට රාජ්‍ය නිලධාරින් පත් කළ යුතුයි. එකයි මම මුලිනුත් කිව්වේ මේ හැම දේකදීම රාජ්‍ය සේවකයන් සාමුහිකව කටයුතු කළ යුතුයි කියලා.   
වෘත්තීය සමිති අද යොමුවෙලා තියෙන්නේ තමන්ගේ සේවාවේ තනි තනි ප්‍රශ්න විසඳගන්නයි. ඔවුන් රටේ ප්‍රශ්න පිළිබඳ අවධානය යොමු කරනවා මදි. සියලුම රාජ්‍ය සේවකයන් ස්වාධීන රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවිය යුතුයි කියන ස්ථාවරයේ මම ඉන්නවා” යැයිද ඔහු එහිදී පැවැසීය.   

 

 

 සටහන - නිමල කොඩිතුවක්කු