ජන ජීවිතය අඩාළ කළ දිල්ලියේ විෂ මීදුම


 

ලෝකයේ දෙවැනියට වැඩිම ජනගහනය සිටින ඉන්දියාවේ දිල්ලි නගරයේ පවතින විෂ මීදුමක් හේතුවෙන් නගරයට පුද්ගලික රථවාහන ඇතුළුකිරීම හා ගුවන් ගමනාගමනය පවා අත්හිටුවා ඇතැයි වාර්තා වේ. මෙම ඝන මීදුමෙහි ප්‍රබලත්වය කොතෙක්ද කියන්නේ නම්, ලෝකයේ වැඩිම ජනගහනය සිටින, කාර්මික නිෂ්පාදන අංශයෙන් ලෝකයේ ඉදිරියෙන්ම සිටින රටක් වන චීනයේ බීජිං නගරයේ වායුව දූෂණය වී තිබෙන ප්‍රමාණයට ද වඩා විසි ගුණයක් පමණ නව දිල්ලියේ වායු දූෂණය ඉහළ ගොස් ඇතැයි කියැවේ. සමහර ස්ථානවල මාර්ගයේ ඉදිරියෙන් එන වාහනය පවා නොපෙනෙන තරම් මීදුම ප්‍රබලය.


මෙම උග්‍ර ගැටලුව නිසා ටාජ් මහලට ආසන්නව කෘත්‍රීම වායු පිරිසුදුකරණයක් සවිකළ වාහනයක් පවා නවතා ඇතැයි වාර්තා වේ. නගරයක වායුවේ තිබිය හැකි දූවිලි අංශු නිශ්චිත ප්‍රමාණයක් තිබේ. වාහනවලින් නිකුත්වන දුම්, මංමාවත්වල තිබෙන දුහුවිලි, වාහන ටයර් ගෙවී යාමෙන් ඇතිවෙන සියුම් කුඩක් වැනි දුහුවිල්ල ආදී සියල්ල එකතු වීමෙන් නාගරික කලාපවල මෙම භයානක දුහුවිලි වලාවන් ඇති වේ.


වායුවේ ගුණාත්මය පිළිබඳ දර්ශකය හෙවත් එයාර් කොලිටි ඉන්ඩෙක්ස් ලැයිස්තුවට අනුව දිල්ලි නගරයේ තිබිය යුතු දූවිලි අංශු ප්‍රමාණය, වායු කියුබික් මීටරයකට මයික්‍රෝන අංශු 2.5කට ද අඩු විය යුතු වුවත්, පසුගිය සඳුදා වන විට වායුවේ තිබූ දූවිලි අංශු ප්‍රමාණය මයික්‍රෝන 700ද ඉක්මවයි. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් දක්වන පරිදි දෛනිකව නගරාශ්‍රිත වායුවේ තිබිය හැකි උපරිමය පවා මයික්‍රෝන 25කි.


දිල්ලියේ උසස් නිලධාරීන් එහි වෙසෙන මිලියන 29ක ජනගහනයට දැනුම් දී තිබෙන්නේ මෙම අන්තරායකාරී තත්ත්වය හේතුවෙන් පෙණහලු රෝග හා හදවත් රෝග අවදානමක් පවතින බැවින් එළිමහනට නොපැමිණ නිවෙස්වලට වී සිටින ලෙසයි.


ශ්වසන ආබාධ හේතුවෙන් රෝහල්ගත වෙන පිරිස සෙනසුරාදා සිට සියයට 300කින් වැඩි වී ඇතැයි බී.එල්.කේ. රෝහල වාර්තා කරයි. දූෂිත වායුවෙන් වැඩිම හානියක් සිදුවෙන්නේ දරුවන්ට බැවින් නගරයේ පාසල් ලබන සතිය තෙක් වසා දමන්නට නියෝග කර තිබේ. පාසල් දරුවන්ට අසාමාන්‍ය ඇස් දැවිල්ල, හිසරදය හා හුස්ම ගැනීමේ අපහසුතා ඇතිවී තිබෙන බව දේශගුණ විපර්යාසය පිළිබඳව හඬ නගන රාජ්‍ය නොවන සංවිධානයක සභාපතිවරයෙකු වන ජර්නායිල් සිං පෙන්වා දෙයි. පාසල් වසාදැමීමට පෙර පාසල් සිසුන්ට මුඛ ආවරණ මිලියන 5ක් පමණ ලබාදී ඇත.


දිල්ලියේ මහ ඇමැතිවරයා වන අර්වින්ද් කෙජ්රිවාල් කියා සිටියේ දිල්ලිය ගෑස් උදුනක් වී තිබෙන බවයි. එම දුමාරය ඇතිවීමට හේතුව ලෙස ඔහු දක්වන්නේ අසල්වැසි ප්‍රාන්තවල වගා කටයුතුවලදී කරන පිලිස්සීම්ය. නොවැම්බර් 15 වෙනි දා දක්වා පුද්ගලික ලියාපදිංචිය සහිත වාහන නගරයට ඇතුළු වීම තහනම් කෙරෙන බව ඔහු පසුගිය සඳුදා දින දැනුම් දුන්නේය. එමගින් නගරයෙන් ඉවත් වන රථවාහන සංඛ්‍යාව මිලියන 1.2කි. එම නීතිය ක්‍රියාත්මක කරන්නේ 2016 වසරෙන් පසුවයි. නීතිය කඩන අයෙකුට ඉන්දියානු රුපියල් 4000ක දඩයක් ද ගෙවන්නට සිදු වේ.


2018දී දිල්ලිය ලෝකයේ තිබෙන වායු දූෂණය ඉහළම නගරය ලෙස ද හැඳින්විණි. දිල්ලි වැසියන් හුස්ම ගන්නා විෂ වායු නිසා ඔවුන්ගේ මරණය දශකයකින් පමණ වේලාසන පැමිණෙනු ඇතැයි ද අනාවැකි පළ කර තිබේ. භූමි ප්‍රමාණය අනුව ගත් කල ඉන්දියාවේ විශාලම නගරය වන දිල්ලිය ලෝකයේ පස් වැනි ජනාධික නගරය ලෙස ද හැඳින්වේ. දිල්ලි නගරයේ ජනගහණ වර්ධන වේගය සියයට තුන ද ඉක්මවන අතර එහි ජනගහණ ඝනත්වය වර්ග සැතපුමකට මිනිසුන් 29,259කි.


අසල්වැසි උත්තර් ප්‍රදේශ්, හර්යානා සහ පන්ජාබ් යන ප්‍රාන්තවල කෘෂිකර්මාන්තයෙන් ඉතිරි වෙන පිදුරු හා දහයියා ආදිය ගොවීන් විසින් පුලුස්සා දැමීම නිසා අවුරුද්දේ මේ කාලයට දිල්ලි නගරයේ මෙවැනි මීදුම් ඇතිවෙන බව කියැවේ. වගාවෙන් ඉතිරි වෙන ද්‍රව්‍ය පුලුස්සා දැමීම පසට පොහොර වෙන බව ගොවීන් විශ්වාස කරතත්, එමගින් සල්ෆර් ඩයොක්සයිඩ් හා නයිට්‍රජන් ඩයොක්සයිඩ් මිශ්‍ර වායුවක් නිකුත් වෙන බව වාර්තා වේ.


රථවාහනවල ඉන්ධන දහනයෙන් නිකුත් වෙන විෂ දුම්වලට අමතරව කර්මාන්තශාලාවලින් නිකුත් වෙන දුම මෙන්ම දීපවාලි සැමරුම් වෙනුවෙන් නොවැම්බර් මස දෙවැනි සතියේ කළ මහා පරිමාණ ගිනිකෙළි නිසා වායු දූෂණය ක්ෂණිකව ඉහළ ගොස් ඇත. ඔක්තෝබර් මාසයේ මෝසම් වැසි අවසාන වීම නිසා දූෂණය වූ වායුව නැවත පිරිසිදු නොවෙන බවත් කියැවේ.


යතුරු පැදි හා ත්‍රීවීල් අන්තර්ගත නොවන මෙම පුද්ගලික වාහන තහනම් කිරීමේ ක්‍රියාවලිය පලක් නැති උප්පරවැට්ටියක් ලෙස කියමින් නවදිල්ලි ශ්‍රේෂ්ඨාධිකරණය කෙජ්රිවාල් මහතාට එම උපක්‍රමය වැඩිදුරටත් පැහැදිලි කරන ලෙස නියෝග කරන ලදී. උත්තර් ප්‍රදේශ්, හර්යානා සහ පන්ජාබ් යන ප්‍රාන්තවල කෘෂි අවශේෂ පිලිස්සීමෙන් වළකින ලෙසද නියෝග කෙරිණි. ආරක්ෂිතව ගුවන් යානා ගොඩබෑමට ඇති බාධා සලකා ගුවන් යානා 30කට අධික ප්‍රමාණයක් ඉන්දිරා ගාන්ධි අන්තර්ජාතික ගුවන් තොටුපළට ගොඩබැසීම වළක්වා හරවා යවන ලදී.


දිගු කලක් දූෂිත වායුවට නිරාවරණය වීම, දිනකට සිගරට් පැකට්ටුවක් ඉරීමට වඩා භයානක බව පර්‌‌යේෂණයකින් සොයාගෙන ඇත. ඉදිරියේදී සීත කාලගුණය වැඩි වෙන බැවින් මේ තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බවට අනාවැකි පළ වේ.

 

 

නිසංසලා දිසානායක