ඡන්ද කල්දාන එකට මගේ කිසිදු වගකීමක් නෑ


පළාත් සභා හා පළාත් පාලන ඇමැති   ෆයිසර් මුස්තාපා

අතිවිශාල බලයක් පාවිච්චි කළ මහින්ද රාජපක්ෂට හා ඔහුගේ රජයට එරෙහිව එළියට බැස්ස අපි මේ පුංචි ඡන්දවලට බයයි කියල කියනවා නම් ඒ තරම් විහිළුවක් තවත් නැතුව ඇති යැයි පළාත් සභා හා පළාත් පාලන ඇමැති ෆයිසර් මුස්තාපා මහතා කීය.  


ඡන්ද කල්දැමීම සම්බන්ධයෙන් කරන ලද විමසීම්වලට වැඩිදුරටත් කරුණු දක්වමින් ඒ මහතා මෙසේද කීය.  

 


ප්‍රශ්නය:- මේ රජය දිගින් දිගටම ඡන්ද කල් දාන්නේ ඇයි? 

පිළිතුර:- ඡන්ද කල් දාන එකට මගේ කිසිදු වගකීමක් නැහැ. ඒ වගකීම පැවරෙන්නේ බැසිල් රාජපක්ෂ හිටපු ඇමැතිවරයාට. එතුමන්ලගෙ අභිමතයට සීමා නිර්ණය කටයුතු කරල තිබුණා. එයට රටේ විශාල ජන විරෝධයක් ඇතිවුණා. සීමා නිර්ණය කිසිදු විධිමත් ක්‍රමයකට කරල තිබුණේ නැහැ. ජනකොටස්වලට අසාධාරණකම් වී තිබුණා. දේශපාලන පක්ෂ ගණනාවක්ම විරෝධතා දැක්වූවා. මෙවැනි විරෝධතා ඇතිවූ විට යළි ඒ ගැන සලකා බැලීමක් කිරීමට පළාත් පාලන පනතින් ප්‍රතිපාදන සැලසී තිබෙනවා. එම ප්‍රතිපාදනවලට අනුව විෂය බාර ඇමැතිවරයා වශයෙන් අභියාචනා කැඳවීමට සිදුවුණා. අභියාචනා ඉතා විශාල ප්‍රමාණයක් ඉදිරිපත් වී තිබුණා. ඒ සෑම අභියාචනයක්ම සලකා බැලීමට සිදුවුණා.  


ප්‍රශ්නය:- තීන්දුවකට එන්න සෑහෙන කාලයක් ගතවී තිබුණා. 

පිළිතුර:- සීමා නිර්ණය නිවැරැදිව කරන්න අවශ්‍යයි. පසුව වෙනස් කරන්න බැහැනේ. මේ වාර්තාව දෙන්නට වසර 3 ක් ගත්තා. මම අවුරුදු එකහමාරක් ඇතුළත රට වටේ ගිහිල්ල අභියාචනා ක්‍රියාදාමය අවසන් කළා. දිස්ත්‍රික් 23 ටම ගිහිල්ල, පුළුවන් තරම් සාධාරණය ඉටු කළා. මම වගකීමෙන් කියන්නෙ, සීමානිර්ණය වාර්තාව පිළියෙල වී තිබුණේ සුළු ජාතීන්ට අසාධාරණයක් වෙන විදියටයි. ඒ නිසා සියලුම ජාතීන්ට සාධාරණයක් වෙන ලෙසින් මම ඒ කාර්ය ඉටු කළා.  

 

ප්‍රශ්නය:- පළාත් පාලන ආයතන සඳහා සීමා නිර්ණය කරන විට පළාත් සභාවටත් ඒ ප්‍රශ්නයම එනව කියල හිතල කටයුතු කළා නම් ඡන්ද කල් දාන්න මේ තරම් වංගු ගහන්න අවශ්‍යතාවක් තිබුණෙ නැනැ නේද?  

පිළිතුර:- පළාත් සභා ඡන්දය සම්බන්ධයෙන් රජයට කරුණු දෙකක් අවශ්‍ය වී තිබුණා. පළාත් සභා සියල්ලකම ඡන්දය එක දිනයක පැවැත්වීමත්, අලුත් ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමත් ඒ කරුණු දෙකයි. දූෂිත මනාප ඡන්ද ක්‍රමය නැවැත්විය යුතුය යන්න ප්‍රබල ජනමතයක්. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ජනතාවගේ හඬට හිස නමන නායකයෙක්. ඒ කර්තව්‍ය කිරීමට අපි මුලින්ම විසිවැනි සංශෝධනය ගෙනාවා. ඡන්ද සියල්ල එක දිනක පැවැත්විය නොහැකි බවට, ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දුන්නා. දූෂිත මනාප ක්‍රමය අහෝසි කිරීම රජයේ මූලික අරමුණක්. ඒ නිසා​ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසු රජය තීරණයක් ගත්තා. වහාම මේ ඡන්ද ක්‍රමය වෙනස් කිරීම එම තීරණයයි. පළාත් සභා 3 කට එක් ඡන්ද ක්‍රමයකුත් අනෙක් පළාත් සභාවලට තවත් ඡන්ද ක්‍රමයකුත් තියන්න බැහැ.   


ප්‍රශ්නය:- මැතිවරණ කල් තැබීම ගැන මැතිවරණ කොමිසම බොහොම කනස්සල්ලට පත්වෙලා සිටිනවා.  

පිළිතුර:- මැතිවරණ කොමිසමේ සභාපති එයාගෙ කර්තව්‍ය කළ යුතු වෙනවා. අවශ්‍ය කරන ඡන්ද ක්‍රමය පිළිබඳව ප්‍රතිපත්ති තීන්දු ගැනීම රජයේ වගකීම. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කැමැති වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. හැබැයි රටට අවශ්‍ය හා ජනතාව කැමැති අලුත් ඡන්ද ක්‍රමය ඉදිරිපත් කිරීමේ වගකීම තියෙන්නෙ රජයට. මැතිවරණ කොමිසමේ සභාපතිට නෙවෙයි. ඔහුට තියෙන්නෙ ඡන්දය පවත්වන එක විතරයි. ඡන්දය පැවැත්වීම ගැන ඔහුට තියෙන ප්‍රශ්නය රජයේ ප්‍රශ්නයක් නෙවෙයි. රජයට තියෙන ප්‍රශ්නය ඡන්දය පවත්වන ක්‍රමයයි. මොන ක්‍රමය යටතේ ඡන්දය පවත්වනවද යන්න පිළිබඳව පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කර බහුතරය සම්මත කළ පසු ඒ ක්‍රමය ක්‍රියාත්මක කළයුතු වෙනවා.  


ප්‍රශ්නය:- ඒකෙන් තරුණ නියෝජනය ඉවත් කරලා.  

පිළිතුර:- තරුණ පිරිස ඡන්දයට ඉදිරිපත් කිරීමේ වගකීම දේශපාලන පක්ෂවලටත් තියෙනව නේ. අපි හැම දේම නීතිගත කළ යුතුද? රටේ තරුණයන්ට තැනක් දීමට දේශපාලන පක්ෂවල නායකයන්ට හා ලේකම්වරුන්ට වගකීමක් තියෙනවා. ඒ වගකීම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තියෙනවා. ප්‍රාදේශීය මැතිවරණවලට තරුණයන් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කරල තියෙන්නෙ. ඒක නීතිගත කරන්නම අවශ්‍යද? 

 
ප්‍රශ්නය:- කාන්තාවන් දේශපාලනයට ගෙන ඒමේ වගකීමක් දේශපාලන පක්ෂවලට තියෙනව නේද?

පිළිතුර:- සියයට 62 ක කාන්තා පිරිසක් රටේ ඉන්නවා. ඒත් පළාත් පාලන ආයතන නියෝජනය කරන්නේ සියයට 2 ක පමණ ප්‍රමාණයක්. පාර්ලිමේන්තුවෙ කාන්තා නියෝජනය සියයට 5 ටත් අඩුයි. ඒ තත්ත්වයට විසඳුමක් අවශ්‍යයි. තරුණ පිරිස්වල නියෝජනයත්, කාන්තා නියෝජනයත් ප්‍රශ්න දෙකක්. 

 

ප්‍රශ්නය:- කොට්ඨාස ක්‍රමයක් එක්ක ජාතිවාදය බලපාන්නේ නැති වෙයිද?

පිළිතුර:- ජාතිය පදනම් කරගෙන කී දෙනෙක් ඡන්දය පාවිච්චි කරනවද කියල හෘද සාක්ෂියට එකඟව විමසල බලන්න. ලංකාවෙ තමන්ගෙ ජාතියට පිටින් ඡන්දය දෙන පිරිස සීමිතයි. මම ආඩම්බර වෙනවා. මට බහුතරයක් ලැබුණෙ සිංහල ඡන්ද. මගේ දේශපාලනයේදී මම ජාතිය, ආගම, මූලික කරගෙන දේශපාලනය කරල නැහැ. කොට්ඨාස ක්‍රමයෙදි මොන ජාතියෙන් දැම්මත් එක්කෙනෙක් දිනනවා. හැබැයි දිස්ත්‍රික්කයක කීප දෙනෙක් ඡන්දය ඉල්ලුවොත් තමන්ගෙ ජාතියෙ පුද්ගලයට ඡන්දය දෙනවා. මිනිස්සුත් තමන්ගේ ජාතියට ඡන්දය දීමේ ජාතිවාදී විකෘති මානසිකත්වයෙන් ඈත්වීමට මේක හොඳ අවස්ථාවක්.  

 

ප්‍රශ්නය:- බහු ආසන තිබෙන විට.  

පිළිතුර:- බහු ආසන ක්‍රමයෙදි එක ඡන්දයයි දෙන්නෙ. පත් වෙනව නම් දෙන්නම පත් වෙනවා. නැතිනම් දෙන්නම පරදිනවා.  


ප්‍රශ්නය:- ප්‍රථමයෙන් තියෙන්නෙ පළාත් සභාද? පළාත් පාලනද?  

පිළිතුර:- රජයක් හැටියට පළාත් පාලන ඡන්දය මුළු රටටම බලපාන එකක්. කොහොමවත් එක ඡන්දයක් පළමුව තියල අනිත් එක පසුව හෝ තියන්න වෙනවා. දෙකම එකපාරට තියන්න බැහැ. ඒ නිසා පළාත් පාලන ඡන්දය පළමුව තියන්න රජය තීරණය කළා. මාර්තු මාසයෙ පළාත් සභා තුනේ ඡන්දය තියනවා.  


ප්‍රශ්නය:- රජය දිගින් දිගටම ඡන්ද කල් දැමීමට කුමක් හෝ හේතුවක් හොයා ගත්තා. මෙවර එහෙම නොවෙයි කියල විශ්වාසයක් තියන්න පුළුවන්ද?  

පිළිතුර:- මාස හයකින් සීමා නිර්ණය කටයුතු අවසන් කළ යුතු බව පනතේම සඳහන් වෙනවා.

 

ප්‍රශ්නය:- නමුත් සීමා නිර්ණය අවසන් වෙන විට තවත් ප්‍රශ්න මතුවේවි.  

පිළිතුරු:- ප්‍රශ්න නැත්තෙ කොහේද? ජනතාවට දූෂිත මනාප ක්‍රමය යටතේ ඡන්දය පාවිච්චි කිරීමට අවශ්‍යද? නැහැනේ. ටිකක් ප්‍රමාද වුවත් ගමට වගකියන නියෝජිතයෙක් පත්කර ගැනීම ජනතාවගෙ අභිප්‍රායයි. මේ දෙකෙන් වඩා සුදුසු, වඩා ගැලපෙන ක්‍රමය ගැන තීන්දුවක් ගත යුතු වෙනවා. දිගින් දිගටම දූෂිත මනාප ක්‍රමය ක්‍රියාත්මක වුණා. කළු සල්ලි තියෙන අය සල්ලි වීසි කරලා, සතියකින් දෙකකින් අලුත් දිස්ත්‍රික්කයකට ගිහිල්ල ඡන්දය දිනපු අය කී දෙනෙක් ඉන්නවද? ඡන්ද පැවැත්වීමට සති දෙකකට කලින් අලුත් දිස්ත්‍රික්කයකට අඩිය තියපු අය කී දෙනෙක් ජයග්‍රහණය කර තිබෙනවද? ඒ ප්‍රසිද්ධ පුද්ගලයෙක් නම් යම් වත්කමක් තියෙනවා නම් ඒ අය බොහෝ විට මැතිවරණය ජයගත්තා. දිස්ත්‍රික්ක ක්‍රමයෙන් ප්‍රජා නායකයො, බුද්ධිමතුන්, දේශපාලනයට පැමිණ සිටින්නේ බොහෝ සුළු වශයෙන්. මුදල් තියෙන, දේශපාලනය වෘත්තියක් කරගත් අය දේශපාලනයෙන් ඉදිරියට ඇවිත් තිබෙනවා. සමානුපාතික ක්‍රමය යටතේ උගත්කමට ඡන්දය ලැබිලා තියෙන්නේ කී දෙනාටද? මේ ප්‍රශ්න ඉස්මතු වී තිබෙන්නේ ඡන්ද ක්‍රමය නිසා. ගමේ කොට්ඨාසයේ ප්‍රජා නායකයට අලුත් ක්‍රමයෙන් තැනක් ලැබෙනවා. කොට්ඨාසයක් දිනන්නෙ හෝ පරදින්නෙ ඡන්ද 800 කින් 1000 කින්. ගමේ ප්‍රසිද්ධියක් තියෙන ප්‍රජා නායකයකුට ගමට වැඩක් කර ගැනීමට අවස්ථාව සැලසිය යුතුයි. නැතිනම් සල්ලි තියෙන හතර පස් දෙනෙක් දාගෙන ඡන්දය දිනා ගන්නවා.  


ප්‍රශ්නය:- රජය ඡන්දයට බයයි කියල චෝදනාවක් තියෙනවා.?  

පිළිතුර:- ඒකාබද්ධ විපක්ෂයෙ බහුතරය මහින්ද රාජපක්ෂ දිනවීමට කටයුතු කළ අයයි. එදා රාජ්‍ය යාන්ත්‍රණය බොහොම තදින් පාවිච්චි කළා. මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ මා ඇතුළුව ටික දෙනෙක් ඒ අභියෝගය බාර අරගෙන එළියට බැස්සා. මහින්ද රාජපක්ෂ හා එතුමාගේ රාජ්‍ය යන්ත්‍රණය පැරැද්දුවා. එහෙම පරද්දපු නායකයෙක්. මේ පුංචි ඡන්දයකට බය වෙනවද? අපි එදා ගත් අභියෝගයෙන් පස්සේ. කිසිම ඡන්දයකට අපි බය නැහැ. එදා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්ක එළියට බැහැපු කණ්ඩායමට ඊට එහා ගන්න බරපතළ තීන්දුවක් තවත් තිබුණේ නැහැ. එදා අභියෝගය බාරගත්ත අපිට මේ පුංචි ඡන්දය කුමක්ද? එදත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ 40 ඒ එනවා. 50 ක් එනවා කිව්වට මුලින්ම ආවෙ අතළොස්සක්. අපි අභියෝගය බාර අරගෙන අතෑරියේ නැහැ. එදා තිබුණ බලය, බලපුළුවන්කාරකම දැන දැනම මහින්ද රාජපක්ෂට එරෙහිව මැතිවරණ සටනට ආපු අපි මේ පුංචි ඡන්දයකට බයයි කියල කියනව නම් ඒක විහිළුවක්. ඒ තරම් ලොකු සටනක් සමකාමීව කරනු අපිට මේක මොකක්ද? අපි ගැවසු​ෙ ලේසි පහසු අය එක්ක නෙමෙයි.  


ප්‍රශ්නය:- සැලසුම්සහගතව කටයුතු කළා නම් මේ තරම් කාලයක් ගතවෙන්නෙ නැහැ නේද?  

පිළිතුර:- පළාත් සභා 3 ම මනාප ක්‍රමයට තියෙන එකද, කොට්ඨාස ක්‍රමයට තියෙන එකද වඩා හොඳ? කියන්න බලන්න. ජනතාවට අවශ්‍ය දේ අපි කරනවා. දේශපාලන වාසි ගන්න රජය ඡන්ද කල් දානව කියල චෝදනා කළාට රජය කරන්නෙ නිවැරැදි දේ. විපක්ෂය කරන්නෙ විපක්ෂයෙ කාර්යභාරය. මම විපක්ෂයේ හිටියත්, එපමණයි. ඔබ විපක්ෂයෙ හිටිය නම් ඒත් එපමණයි. විපක්ෂයක් කවදාවත් රජයක හොඳක් කියනවද? රජයට හොඳ කියනවා නම් විපක්ෂයක් නෙවෙයි නේ. විපක්ෂය ඒ අයගෙ කාර්යභාරය ඉටු කරනවා. රජයේ වැඩපිළිවෙළ යහපත් කියල හොඳටම දන්නවා. මේ ඡන්දය ක්‍රමය කාලයක් තිස්සේ ජනතාව බලාපොරොත්තු වූ එකක් ඉටුවූ බව දන්නවා. ඒත් ප්‍රසිද්ධියෙ කතා කරන්නෙ නැහැ.  


ප්‍රශ්නය:- ඡන්ද පැවැත්වීමට නියම කළ දින යළි සංශෝධනය කරාවිද?  

පිළිතුර:- මම වගකීමෙන් කියන්නෙ, ජනවාරි මාසයෙ පළාත් පාලන ඡන්දය තියෙනවා. මාර්තු මාසෙ පළාත් සභා ඡන්දය තියෙනවා. මට මොනතරම් දෝෂාරෝපණය කළත් සැලෙන්නෙ නැහැ. හේතුව පළාත් සභා හා පළාත් පාලන ඇමැතිවරයා වශයෙන් දූෂිත මනාප ක්‍රමය ඉවත් කිරීමට හැකිවුණා. ඒ ප්‍රසාදය මට ලැබෙනවා. මගේ ධුර කාලයෙ මේ වැදගත් තීන්දුවකට එළඹීමට හැකිවීම මට විශාල ආඩම්බරයක්. කවුරු මොනවා කිව්වත් සත්‍ය ඒකයි.  


ප්‍රශ්නය:- පළාත් පාලන ඡන්දය ප්‍රමාද වුණොත් සීමා නිර්ණය ප්‍රමාද වීම, පළාත් සභාවේ සීමා නිර්ණ කටයුතු කොහොමද?  

පිළිතුර:- ලබන සතියෙ සීමා නිර්ණය කොමිසම පත් කරනවා. ජාතික සීමා නිර්ණ කොමිසමේ සාමාජිකයන්ව පත් කරනවද? නැතිනම් වෙන විකල්පයකට යනවද? කියල ලබන සතියේ තීරණය කරනවා. ජනාධිපති හා අගමැති එක්ක කතා කරලා ඒ ගැන තීන්දුවකට එනවා.   

 

 

 

දයාසීලි ලියනගේ