චීන ජෝඩු පනහකට කොළඹදී රිදී සීනු හැඬවූ මහා මංගල්‍යය


 

සසර පුරුද්දට හමුවී පෙමින් බැඳෙන්නා වූ දෙදෙනෙකුගේ බලාපොරොත්තුව වන්නේ විවාහ උත්සවයක් පවත්වා එකට බැඳී එක් වහළක් යට සමඟියෙන් සතුටින් ජීවත්වීමයි. ඒ අනුව විවාහ උත්සවය යනු ජීවිතයේ සොඳුරුතම මතකයකි.


 මේ සටහන ද විවාහ මංගල්‍යයක් පිළිබඳවය. නමුත් එක් යුවලක අති’නත ගන්නා විවාහ මංගල්‍යයක් නොව මනාල මනාලියන් යුවල 50ක් අති’නත ගත් ඓතිහාසික විවාහ මංගල උත්සවයක් පිළිබඳවය. එම මනාලයන් හෝ මනාලියන්ගෙන් එක් අයෙකුවත් ශ්‍රී ලාංකිකයින් නොව චීන ජාතිකයින් වීම ද විශේෂත්වයකි.   


 දිනය ඉකුත් 17 වැනි ඉරිදා දිනයයි. ස්ථානය කොළඹ මහ නගර සභා චතුරශ්‍රයයි. එය මංගල උත්සව ශාලාවක සිරිගෙන තිබුණේ චීන ජාතික මනාල මනාලියන් 100ක් (මනාල යුවල 50ක්) ශ්‍රී ලාංකික සිරිත් විරිත් අනුව ඔවුන් විවාහ දිවියට පත්කරවීමේ මෙම ‘රාජකීය විවාහ මංගල උත්සවය’ වෙනුවෙනි.   


 චීන - ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත‍්‍රික සබඳතා ආරම්භ කර වසර 60ක් සම්පූර්ණවීම නිමිති කර ගනිමින් මෙන්ම සංචාරක ව්‍යාපාරයේ ඉදිරි පියවරක් තැබීමේ අරමුණින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය, සංචාරක ප‍්‍රවර්ධන හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය, වෝටර්ස් එජ් හා ග‍්‍රීන් ලිව්ස් එන්ටර්ටේන්මන් යන ආයතන එක්ව මෙම රාජකීය විවාහ මංගල උත්සවය සංවිධානය කර තිබිණි.   
 කොළඹ නගර සභා චතුරශ්‍රයට මංගල උත්සව ශාලාවක සිරියක් ගෙන දෙමින් මනාල යුවල වෙනුවෙන් මංගල පෝරු සංකේතවත් කරන විශේෂ පීඨිකා 5ක් ඉදිකර තිබිණි. එමෙන්ම ආරාධිත අමුත්තන්, මනාල මනාලියන්ගේ ඥාතීන් වෙනුවෙන් ද මෙහි විශේෂ පීඨිකා ඉදිකර තිබූ අතර මනාල යුවල මංගල පෝරු වෙත කැඳවාගෙන ආවේ දර්ශනීය අයුරින් සරසන ලද මෝටර් රථ 50කිනිි.   
 ඔවුන් නගර සභා චතුරශ්‍රය වෙත පිවිසෙන දොරටුව අසල අලංකාර කැටයම් සහිත මඟුල් තොරණක් ඉදිකර තිබූ අතර ඒ දෙපස අශ්වයන් පිට නැගි අශ්වාරෝහකයින් රැඳී සිටියේ මංගල උළෙලට අභිමානවත් බවක් ගෙන දෙමිනි. ප‍්‍රධාන පිවිසුම අසලින් මෝටර් රථයෙන් බැසගත් ඔවුහු චතුරශ්‍රය වෙත කැඳවාගෙන ආවේ රතු පලසක් මතිනි. ආරාධිත අමුත්තන් වෙනුවෙන් ඉදිකර තිබූ පීඨිකාව ඉදිරිපිට මනාල මනාලියන් පෙළ ගැසුණේ අපූරු දසුනක් මවාපාමිනි.   


 මෙම මනාල මනාලියන්ගෙන් ඇතැමෙක් උඩරට මනාල මනාලියන් ලෙස සැරසී සිටියහ. තවත් සමහරුන් චීන සාම්ප‍්‍රදායික ඇඳුමින් සැරසී සිටි අතර බටහිර ඇඳුමින් සැරසුණු මනාල මනාලියෝද වූහ.   

 

 

 මනාල මනාලියන්ගේ මල් කුමරියන් ලෙස කුඩා ශ්‍රී ලාංකික දැරියන් පිරිසක් එක්ව සිටියහ. ඔවුන් රෝස පැහැ අලංකාර ගවුම්වලින් සැරසී සිටියහ.   


 සියලු මනාල මනාලියන් චතුරශ්‍රය තුළ පෙළ ගැසීමෙන් අනතුරුව ඔවුන් මංගල භේරී වාදන හා වෙස් නැටුම් මධ්‍යයේ විශේෂ පීඨිකා අසලට කැඳවාගෙන යනු ලැබිණි.   

 

ඉන් අනතුරුව අණබෙරකරුවකු විසින් මෙම රාජකීය මංගල්‍යය පිළිබඳ පුවත සභාව හමුවේ ප‍්‍රකාශයට පත්කරනු ලැබීය. අනතුරුව ශ්‍රී ලංකා ජාතික ගීය සහ චීන ජාතික ගීය වාදනය කෙරුනු අතර උඩරට නර්තනයකින් ද උළෙල වර්ණවත් කෙරිනි.   


 විශේෂ පීඨිකා වෙත මනාල මනාලියන් කැඳවාගෙන යනු ලැබුණේ ඉන් අනතුරුවය. එහිදී මංගල මුදු හුවමාරුව, අතපැන් වත්කිරීම, අෂ්ටක හා ජයමංගල ගී ගායනය සිදු කෙරුණු අතර මංගල කේක් කැපීම හා පහන් දැල්වීම ද සිදු කෙරිණි.   

 යුවලක චාරිත‍්‍රානුකූලව මෙන්ම නිත්‍යානුකූලව ද විවාහවීම වැදගත් වන අතර ආරාධිත අමුත්තන් අතින් මනාල යුවල වෙත විවාහ සහතික පිරිනැමීම ද සිදු කෙරිණි.   


 මෙම මනාල මනාලියන් අතර ශ්‍රී ලංකාවට නෑකම් කියන මනාලියක ද වූවාය. ඇය රයිගම රජකළ අලකේෂ්වර රජුගෙන් හා ඔහු හා විවාපත් වූ චීනයේ කාන්තාවකගෙන් පැවත එන පවුලක සාමාජිකාවකි.   


 චීනය වාණිජ වශයෙන් බලවත් වූ 15, 17 වැනි සියවස්වල මෙරට පැවතියේ රයිගම රාජධානියයි. එවක රයිගම රාජධානියේ රජ කළ අලකේෂ්වර රජ දවස චීනයේ අද්මිරාල්වරයෙක් ලංකාවට පැමිණ ඇති අතර ඔහුගේ නැව් සේනාංකය පෘතුගාලයේ කොලොම්බස්ගේ නැව් සේනාංකය මෙන් හය ගුණයක් විශාල වූ එකක් බව ඉතිහාසයේ සඳහන් වේ. නමුත් අලකේෂ්වර රජතුමා ඔහුට හොඳින් නොසැලකීම හේතුවෙන් අද්මිරාල්වරයා එතුමාව චීනයට රැගෙන ගිය බව සඳහන් වේ.   

 

 

 එම රජු එහිදී චීන කාන්තාවක විවාහ කරගෙන ඇති අතර ඒ පවුලෙන් පැවත එන කුමාරිකාවක් පසුගිය දිනෙක ලංකාවට පැමිණියාය. මේ විවාහ මංගල්‍යයේ දී විවාහ වූයේ ඇගේ දියණියයි. ඒ අනුව ද මෙම විවාහ මංගල්‍ය උත්සවය ඓතිහාසික එකකි. එහිදී වසර 600ක් පැරණි චීන ශ්‍රී ලංකා රාජකීය ලේ නෑකම ශක්තිමත්වීම එයට හේතුවයි.   


 උත්සවය අවසන් කෙරුණේ ද චීන සම්ප‍්‍රදායික නර්තනාංගයකිනි. මෙහි නර්තනාංග ඉදිරිපත් කරනු ලැබුවේ රැජිණි සෙල්වනායගම් රංගායතනයෙනි.   


 මංගල උත්සවයට පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් හා චීන ජාතිකයින් ශ්‍රී ලංකා හා චීන ධජ ලෙළවමින් මෙම උත්සවයට සහභාගීවී සිටියේ දෙරට අතර දීර්ඝකාලීම මිත‍්‍රත්වයේ බැඳීම තවත් තහවුරු කරන්නට මෙනි.   


 උත්සව සභාවේ මෙහෙයවීමේ කටයුතු සිංහල, චීන හා ඉංග‍්‍රීසි යන භාෂා ත‍්‍රිත්වයෙන්ම සිදු කෙරිණි.   


 මෙය දෙරට අතර සබඳතා ශක්තිමත් කරගැනීමට මෙන්ම සංචාරක කර්මාන්තයේ සංවර්ධනයට ද මහත් රුකුලක්වනු ඇතැයි මෙහිදී කෙටි අදහස් දැක්වීමක් කරමින් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.   

 

 

 සංචාරක ප‍්‍රවර්ධන හා ක‍්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, ඛනිජ තෙල් හා පෙට්‍රෝලියම් වායු අමාත්‍ය අර්ජුන රණතුංග, ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.   


 මෙම විවාහ මංගල උත්සවයෙන් පසු එදින සවස වෝටර්ස් එජ්හිදී ප‍්‍රිය සම්භාෂණයක් ද පැවැත්විණි. අලුත විවාපත් වූ මනාල මනාලියන්ට සංචාරක ප‍්‍රවර්ධන අමාත්‍යාංශයේ මගපෙන්වීම පරිදි අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර, දකුණු පළාතේ වෙරළ තීරය හා යාල ජාතික වනෝද්‍යානය නැරඹීමේ අවස්ථාව ද හිමිවිය.   


 ඔවුන් නැවත ඉකුත් 22 වැනිදා කොළඹට පැමිණීමටත්, ඉන්පසු පැවැත්වෙන විශේෂ උත්සවයකින් පසු නැවත චීනය බලා පිටත්ව යාමටත් නියමිතව තිබිණි.   


 ඈත අතීතයේ මධ්‍යම රාජධානිය ලෙස හැඳින්වූ චීනය ලොව බලවත් රාජ්‍යයක් වන අතර එරට සමඟ ශ්‍රී ලංකාව සබඳතා පවත්වා ඇත්තේ දුර ඈත ඉතිහාසයේ සිටමය. ක‍්‍රි.ව 429 දී චීනයෙන් ලංකාවට දූත පිරිසක් පැමිණ චීනයේ භික්‍ෂුණී උපසම්පදාව ඇති කිරීම සඳහා මෙරට භික්‍ෂුණීන් වහන්සේලා පිරිසක් රැගෙන ගිය බවත් ඒ සඳහා නැව් 7කින් භික්‍ෂුණීන් වහන්සේලා එරටට වැඩම කළ බවත් කියැවේ. ඒ අනුව චීන භික්‍ෂුණී ශාසනය ආරම්භ කර ඇත්තේ ද මෙරට භික්‍ෂුණීන් වහන්සේලා විසිනි. චීනයේ බෞද්ධ ත‍්‍රිපිටකයේ අතුරු ගාථා සජ්ජායනයක් වන ලංකාවතුර සූත‍්‍රයේ ද සඳහන් වන්නේ ශ්‍රී ලංකාව පිළිබඳවය. එවැනි ආර්ථික හා සංස්කෘතික සබඳතාවක් චීනය හා ශ්‍රී ලංකාව අතර පවතින අතර මෙම විවාහ මංගල්‍යය ද චීන ශ්‍රී ලංකා ඉතිහාස පොතෙහි අභිමානවත්ව ලියැවෙනු නොඅනුමානය.

 

 

 

 

 

 

 

 

 

 


සටහන : ඩයනා උදයංගනී
ඡායාරූප : රොමේෂ් ධනුෂ්ක සිල්වා