චිකාගෝ ක්‍රමයට පැන ගිය කුඩු සැකකරු මීමුරේදී හසුවෙයි


සැකකරු සැඟව සිටි නිවස පිහිටි මීමුරේ කැලෑබද ප්‍රදේශය​

 

 

බන්ධනාගාරවලින් සිරකරුවන් පළායාම අපේ අරුමයක් නොවේ. අපේ බන්ධානාගාරවල ආරක්ෂක ක්‍රියාමාර්ගවල තත්ත්වය පිළිබඳව කාටත් වඩා හොඳින් අපරාධකරුවන් දැන සිටි බව නම් පසුගිය 17වෙනිදා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරය අසළදී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී සිරකරුවෙකු පළායාමේ සිදුවීමෙන් පැහැදිලි විය. සැබැවින්ම මෙය නිකම්ම පළායාමක් නොවේ චිකාගෝ ක්‍රමයට සිරකරුවෙකු පැහැරගෙන යාමක් වැනිය. වෙනස තිබෙන්නේ තමන් පැහැරගෙන යන බව සිරකරු වේලාසන දැන සිටීම පමණි.


මෙසේ පළායනු ලැබුවේ මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන වීරක්කොඩිගේ සුනිල් ශාන්ත නොහොත් අජිත් වීරසිංහ නමැති කලුතර බන්ධනාගාරගතව සිටි සැකකරුවෙකි. මෙම වසරේ අප්‍රේල් මස දිනක හොරණ ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මත්කුඩු කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමඟ මෙම සැකකරු අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහු කලුතර රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරුණේ එම පැමිණිල්ල අනුවය.


සැකකාර සුනිල් ශාන්තට නඩු වැටී තිබුණේ එක් අධිකරණයක නොවේ. මත්ද්‍රව්‍ය ඇතුළු අපරාධ කීපයක් සම්බන්ධයෙන් නඩු 10ක් පමණ අධිකරණ රැසක විභාග වෙමින් පවතී. එවැනි නඩුවකට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටිය යුතුව තිබූ බැවින් කෑගල්ල බන්ධනාගාරයෙන් සැකකරු රැගෙන ගොස් තිබූ අතර පසුගිය 17වැනිදා ඔහු නැවත කලුතර බන්ධනාගාරයට බාරදිය යුතුව තිබිණ. ඔහුට එරෙහි නඩුවක් 19වැනිදා කලුතර මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වීමට නියමිතව ද තිබිණ.


සැකකරු ඇතුළු වෙනත් බන්ධනාගාරවලින් කලුතරට විවිධ නඩු හා වෙනත් හේතු මත කලුතරට යොමු කරන සැකකරුවන් රැගෙන එන්නට කලුතරින් බන්ධනාගාර බස් රථයක් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත යවනු ලැබ තිබිණ. එහෙත් එදින සුනිල් ශාන්ත එම රථයට සම්බන්ධ කෙරුණේ නැත. ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කලුතර බන්ධනාගාර අධිකාරි නිමල් ශාන්ත මහතා කියා සිටියේ සමහර සැකකරුවන් ඉරිදා දිනයේ හෝ ඇතැම්විට නඩුව පැවැත්වෙන දිනයේ අධිකරණ භූමිය වෙත හෝ ගෙනවිත් භාරදීමේ ක්‍රමයක්ද පැවති නිසා ඔහු 17 නොපැමිණීම ගැන සොයා නොබැලූ බවය.


ඒ කෙසේ වුවද ඔහු නැවත පැමිණිය යුතු සැකකරුවෙක් ලෙසවත් අවධානය යොමුවී තිබුණාද යන සැකයක් බොහෝදෙනා තුළ මතුවූයේ අවම වශයෙන් ඔහුට 19වැනිදා නඩුවක් පවතින නිසා එදිනට පෙර ගෙනවිත් භාරදෙන්නේ දැයි කෑගල්ල බන්ධනාගාරයෙන් විමසා බැලීමටවත් කලුතර බන්ධානාගාරයේ නිලධාරීන් කටයුතු නොකිරීම නිසාය. නඩුවට ඔන්න මෙන්න තියා බලනවිටත් ඔහු නොවූ පසුවයි ඔවුන් කලබල වූයේ මෙය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුණේ එයින්ද දින දෙකකට පමණ පසුවය. සැකකරු සොයා පරීක්ෂණ කණ්ඩායම් යෙදවූයේද ඉන්පසුවය. මෙය මාධ්‍ය මගින් හෙළිදරව් නොවුනේ නම් මෙම සිදුවීමට සති තුනකට පෙර පළාගිය ෆාරිස් පරිදිම සුනිල් ශාන්තද පාඩුවේ මේ රටින්ද පිටවී පළා යන්නට ඉඩ තිබිණ.


මෙම සිදුවීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන හා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාර සහ, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ්, සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසය බාර නියෝජ්‍ය පොලිස්පති කමල් සිල්වා යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ, සංවිධානාත්මත අපරාධ නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ජයන්ත ලියනගේ මහතාගේ මෙහෙයවීමෙන් ගිය විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂණ පවත්වනු ලැබිණ.


විවිධ උපාය උපක්‍රම තාක්ෂණික ක්‍රමවේද භාවිතා කරමින් සිදුකළ විමර්ශනවලදී සැකකරු උඩුදුම්බර පොලිස් වසමේ මීමුරේ ගම්මානයේ නිවසක සැඟව සිටින බවට තොරතුරු ලැබිණ. එම තොරතුරු තහවුරු කර ගැනීම සඳහා කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් තිදෙනෙක් සංචාරකයින් ලෙස වෙස් වලාගෙන මීමුරේ ප්‍රදේශයේ නිවසක් කුලියටගෙන ලැගුම් ගත්හ. ඒ සැකකරු පදිංචිව සිටින බවට තොරතුරු හෙළිවූ නිවස ආසන්නයේම පිහිටි නිවසකය.


දින අටක් පුරා රැඳී සිටිමින් සැකකරු ගැන විමසිල්ලේ සිටි නිලධාරීන්ට ඔහු ලාබාල තරුණියක සමඟ එහි ජීවත්වන බව තහවුරු විය. එම තරුණිය ඔහුගේ දියණිය බව පසුව තහවුරුවී ඇත. රැවුල හා කොණ්ඩය කපා වෙනස්ම මුහුණවරකින් පෙනී සිටි සැකකරු එකවර හඳුනාගත නොහැකි වූ බව පොලිසිය පවසයි. කෙසේ වුවද සැකකරු දවසපුරා රූපවාහිනිය නරඹමින් පසුවූ අතර නිවසින් බැහැරට යනු ලැබුවේ දුරකතන ඇමතුමක් ලබාගැනීම සඳහා පමණි. ඔහු ලබාගත් දුරකතන අැමතුම් සම්බන්ධයෙන් දින කීපයක් තිස්සේ කරන ලද සොයා බැලීමේදී ඒ සැකකරුම බව තහවුරු කරගත් බව ද ඒ අනුව පසුගිය 11 වෙනිදා රාත්‍රි 10ට පමණ තවත් නිලධාරීන් තිදෙනෙක්ද මීමුරේට ගොස් සැකකරු පදිංචිව සිටි නිවස වටලා ඔහු අත්අඩංගුවට ගනු ලැබිණ. සැකකරු කොළඹට රැගෙන එද්දී පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් කණ්ඩායමක් ආරක්ෂාව සළසනු ලැබිණ.


සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ලද තොරතුරු අනුව සැකකරු ලැගුම්ගෙන සිටි මීමුරේ කුඹුක්ගොල්ල ප්‍රදේශයේ නිවස ඔහුට ලබාදී තිබුණේ මීගමුව පමුණුවේ පදිංචි ඇන්ටන් ප්‍රසාද් සුමේධ නැමැත්තකු විසිනි. ඒ අනුව සැකකරුත් ඔහුගේ 16 හැවිරිදි දියණියත් සැකකරුට සැඟව සිටීමට සහය දුන් ඇන්ටන් ප්‍රසාද් සුමේධ නැමැත්තා හා ඔහුගේ බිරිඳ ද අත්අඩංගුවට ගනු ලැබිණ. ඔහු මීමුරෙට පලා ආ කැබ් රථය ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුගෙන් ප්‍රශ්න කිරීමෙන් ලද තොරතුරු හා පොලිසිය කරන ලද විමර්ශනවලදී තහවුරු වූ කරුණු අනුව සැකකරු පළායාම දැනට රටින් පලාගොස් සිටින පාතාල සමාජිකයකු වන මාකඳුරේ මධුෂ්ගේ උපදෙස් සහ සැලසුම් මත සිදුවූවකි. මෙම සැකකරු ඉකුත් 17 වැනි දින බන්ධනාගාරයෙන් මුදා ගැනීමට සඳහා බන්ධනාගාර නියාමක නිළ ඇඳුමට සමාන නිළ ඇඳුමෙන් සැරසී කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර රෝහල අසලට ඉන්දික නැමැති පුද්ගලයෙක් පැමිණ තිබේ. ඔහු එම ස්ථානයට පැමිණ තමන්ව භාරගනු ඇති බවත් ඔහු සමඟ පිටවීගොස් සුදුසු ස්ථානයක ටික කලකට සැඟව සිටින ලෙසත් සැකකරුට උපදෙස් ලැබී තිබිණ. බන්ධනාගාර බස්රථය කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය අසළට පැමිණෙන විටත් ඔහු රැගෙන යන්නට එන බව කලින් දන්වන ලද සුදු පැහැති මෝටර් රථය පැමිණ තිබූ බවද සැකකරු පොලිසියට පවසා තිබේ.


කෑගල්ල බන්ධනාගාර රථය අසළට පැමිණි බන්ධනාගාර ජේලර්වරයෙකු ලෙස සැරසී සිටි ඉන්දික නමැත්තා කලුතර යන්න ඉන්න සැකකරුවෝ භාරදෙන්නැයි පවසා ඇත. ඒ අනුව කෑගල්ල බන්ධනාගාර නිලධාරීන් අදාළ ලියකියවිලිද සමඟ සැකකරු වෙස්වලාගත් ඉන්දිකට බාර දී තිබෙන්නේ ඔහුට සැකකරු භාරදුන් බවට තමන්ගේ ලේඛනවලට අත්සන්ද ලබාගැනීමෙන් පසුව බවද පැවසේ. සැකකරුව මෝටර් රථයට නංවාගත් ඉන්දික ඔහුව පිටකොටුවෙන් බස්සා පිටව ගොස් ඇත. එම මෝටර් රථයේ බන්ධනාගාර නිල ඇඳුමට සමාන ඇඳුමෙන් සැරසී තවත් කිහිප දෙනෙක් සිට ඇති බව ද සැකකරු ප්‍රකාශ කර ඇත.


ඉන්දික මඳ වේලාවකට පසුව වෙනත් වාහනයක් රැගෙනවිත් සැකකරු රැගෙන අලුත්ගම ප්‍රදේශයේ හෝටලයකට ගමන් කර ඇත. එහිදී ඉන්දික අධික ලෙස මත්පැන් පානය කර වෙරිවූ බැවින් ඔහුට වාහනය පදවාගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ. ඒ අනුව ඉන්දිකව හෝටලයේ තබා සැකකරු ගාල්ල ප්‍රදේශයට පලාගොස් දින කීපයක් සැඟවී සිට සිය දියණිය ද ගෙන්වාගෙන ඇය සමඟ නුවරට ගොස් තිබේ.


අත්අඩංගුවට ගත් මීගමුවේ සුමේධ නැමැත්තා මහනුවර බස් නැවතුම වෙත පැමිණ මීමුරේ පිහිටි තම්නට අයත් නිවසකට සැකකරු හා ඔහුගේ දියණිය රැගෙනගොස් තිබේ. ඔහු මීමුරේ සැඟවී සිට තිබෙන්නේ රටින් පලා යාමට අවශ්‍ය කටයුතු සූදානම්වන තෙක් බව ද දියණිය මෙහි කැඳවාගෙන ආවේ පිටස්තරයෙකුට සැකයක් ඇති නොවන පරිදි සිටීමට යැයිද සැකකරු ප්‍රකාශ කර තිබේ.


අත්අඩංගුවට ගෙන කොළඹට රැගෙන ආ සැකකරු එදිනම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදී තිබූ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ප්‍රකාශවල සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් තොරතුරු හෙළිකර ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගෙන් දීර්ඝලෙස ප්‍රශ්න කරමින් සිටින බව ද පොලිස් ආරංචි මාර්ගවලින් දැනගන්නට තිබේ.


මෙම සැකකරුට පළායාමට අවශ්‍ය කටයුතු සුදානම් කිරීමේ මහමොළකරුවා මාකඳුරේ මධුෂ් බවට ලැබී තිබෙන තොරතුරු සත්‍ය විය හැකිය. එහෙත් ඔහුගේ සැලැස්ම බන්ධනාගාරයේ කිසිවෙකුගේ සහයක් නැතිව නිකම්ම ක්‍රියාවේ යෙදවිය නොහැකිය. සාමාන්‍යයෙන් මේ ආකාරයට වෙනත් අධිකරණවල නඩු කටයුතු සඳහා රැගෙන යන සැකකරුවන් එකම වෙලාවේ බන්ධනාගාර දෙකේම නිලධාරීන් පැමිණ හුවමාරු කරගත හැකිය.


සාමාන්‍යයෙන් සැකකරුවෙක් බන්ධනාගාර රථයකින් රැගෙන යන විට ජේලර්වරයෙක්, මාංචු නිලධාරියෙක්, සැරයන් වරයෙක්, බන්ධනාගාර අවි නිලධාරීන් දෙදෙනෙක්ද සිටිය යුතුය. විශේෂ සැකකරුවෙන් රැගෙන යන විට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පොලිසියෙන් ලිඛිත ඉල්ලීමක් කර අවශ්‍යතාවය අනුව පොලිස් නිලධාරීන් කීප දෙනෙක් ආරක්ෂාවට කැඳවා ගත යුතුව ඇත. මෙම සැකකරුද අවස්ථා කීපයකදී පැන යාමට උත්සාහ කළ මුදල් අල්ලස් දී පවා පළායාමට උත්සාහ කළ විශේෂ ගනයේ සැකකරුවෙකි. ඒ නිසා එවැනි සැකකරුවෙක් තනිවම පැමිණ බාරගන්නා ජේලර්වරයෙකුට භාරදුන්නේ කෙසේද? එය දෙපාර්ශ්වයම දැනගෙන මතුපිට පෙනුමට සාධාරණයක් ඉටුවීම සඳහා පමණක් සිදුවු ගනුදෙනුවක් වීමට ද ඉඩ ඇත.


එසේම කලුතර නිලධාරීන් මේ සැකකරු ගැන කෑගල්ලෙන් විමසා සිටියේ නැද්ද? මේ සැකකරු නැතත් වෙනත් සැකකරුවන් හෝ සිටීදැයි කෑගල්ල බන්ධනාගාර රථයෙන් නොවිමසුවේද? එසේ නොවූයේනම් ඒ ඇයි? එසේ නම් කලුතර බන්ධනාගාර නිලධාරීන් ද මේ ගැන දැන සිටියේද ? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ප්‍රශ්නවලට උත්තර සොයාගැනීමට සිදුවනු ඇත.

 

 

මුදිතා දයානන්ද සමඟ ඉන්දිකා රාමනායක