ඝානාවේ සෆාරි


 

‘‘ඝානාව’’ බටහිර අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. ඝානාවේ අගනුවර අක්රාය. 2015 වසරේ ලෝක බැංකු වාර්තාව අනුව රටේ ජනගහනය මිලියන 27කි. නිල භාෂාව වන්නේ ඉංග්‍රීසිය. ඝානාවේ ජනපතිවරයා නානා අකුෆෝ අබේය.

 

‘‘ඝානා’’ රාජ්‍යය ලොව ප්‍රකට එහි වන ජීවීන් නිසාය. ඝානාව වනාන්තර සහ වනෝද්‍යාන රැසකින් පමණක් නොව සුන්දර වෙරළ තීරයකින් ද සුපෝෂිත රාජ්‍යයකි. ඝානාවේ සංචාරක ආකර්ෂණය වන්නේ එහි වනෝද්‍යාන සහ වන සතුන්ය.   


‘‘අගුමත්සා’’ ජාතික වනෝද්‍යානය පිහිටා තිබෙන්නේ ඝානාවේ වොල්ටා පළාතේය. මේ වන රක්ෂිතය ‘‘ව්ලයි’’ ඇල්ල කේන්ද්‍ර කර ගනිමින් පිහිටා ඇති අතර, බටහිර අප්‍රිකා කලාපයේ උසම දිය ඇල්ල ලෙස මේ ඇල්ල සැලකෙයි. එය වඩාත් ප්‍රකට සංචාරක ආකර්ෂනයකි. වනෝද්‍යානයට සුවිශේෂී වන්නේ පලතුරු වවුලන්ය.  

 

 
‘‘දිග්යා’’ නමැති වනෝද්‍යානය පිහිටා ඇත්තේ බටහිර දෙසින් වොල්ටා විල කේන්ද්‍ර කර ගනිමිනි. මේ විල වර්ග කිලෝමීටර් 3,478ක ප්‍රමාණයකින් යුක්ත වෙයි. වැඩි වශයෙන් සංචාරකයන්ගේ ඇසට හසු නොවුණු වනෝද්‍යානයක් ලෙස ද මෙය සැලකිය හැකිය.   
කොළොම්ස් වඳුරන්, ඇන්ටිලොප් මුවන්, දිය බල්ලන්, කිඹුලන් පමණක් නොව, වනෝද්‍යානයටම පමණක් ආවේණික වූ ඒකදේශීය වන්දන් විශේෂයක් ද මෙහිදී දැක ගැනීමට පුළුවන. ‘‘දිග්යා’’ වනාන්තරයේ කළු රයිනෝසිරස් සතුන් අතීතයේ බහුලව වාසය කළ නමුත් අද උන් වඳවී ගොස් අවසානය.   


උතුරු දෙසින් පිහිටා ඇති ‘‘බූයි’’ වනෝද්‍යානය හිපපොටේමස් සතුන් නරඹන්නන්ගේ පාරාදීසයකි. ඝානා රාජ්‍යය තම බල ශක්ති අවශ්‍යතා සපුරා ගැනීම සඳහා ජල විදුලි බලාගාර නිර්මාණය කිරීමට සූදානම් වන්නේ ‘‘බූයි’’ වනෝද්‍යානයට ඔබ්බෙන් පිහිටි ජලාශ වට කරමිනි. මේ ව්‍යාපෘතිය ඉදිරි වසරවලදී ක්‍රියාවට නැංවෙනු ඇතැයි පැවැසෙයි.   

 

 


ඇන්ටිලොප් මුවන්, සීබ්‍රාවන්, සුදු සහ කළු කොලම්ස් වඳුරන් පමණක් නොව රයිනෝසිරස් සත්වයෝ ද මේ වනෝද්‍යානයේ නිදහසේ සැරිසරති.   


‘‘කකුම්’’ වනෝද්‍යානය පිහිටා ඇත්තේ මධ්‍යම පළාතේය. එය ඝන යටි රෝපණයක් සහිත වනෝද්‍යානයකි. උකුසු බකමූණන්, සමනලුන් විශේෂ 400කට වැඩි ප්‍රමාණයක්, අඳුන් දිවියන්, කුරු අලි හෙවත් පිගිමි අලි, කුළු මීමන් ආදී සතුන් මේ වනාන්තරයේ දකින්න ලැබේ. වන සතුන් නැරැඹීම වාසනාව මත සිදුවන්නක් වන අතර මගපෙන්වන්නන්ගේ සහාය ඒ සඳහා අත්‍යවශ්‍ය වෙයි.   


‘‘බියා’’ වනෝද්‍යානය ඇත්තේ ඝානා රාජ්‍යයේ බටහිර දෙසිනි. එකිනෙකට වෙනස් සත්ව විශේෂ 62ක් මේ වනෝද්‍යානයේ වාසය කරන බව පැවැසෙයි. මෙය ද සදාහරිත වනෝද්‍යානයකි. චිම්පන්සි, බොන්ගෝ, කොලොම්ස් වඳුරන් වනයේ සැරිසරන්නෝ අතරින් කැපී පෙනෙති.   

 


‘‘නිනී සුහෙයි’’ ඝානාවේ ඇති ජෛව විවිධත්වයෙන් ඉහළම තැනක් ගන්නා වනෝද්‍යානය ය. ඝානා බලධාරීන් පෙන්වා දෙන අන්දමට මේ වනාන්තරයේ එක් හෙක්ටයාරයක ශාක විශේෂ 300කට වැඩි ප්‍රමාණයක් දැකිය හැකිය. අලි ඇතුන්, දීනා වඳුරන්, දිවියන්, කිඹුලන්, චිම්පන්සින් වනයේ බහුලව දකින්නට ලැබේ.   


කලක් ලොව අඳුරු මහාද්වීපය ලෙස හැඳින් වූ අප්‍රිකාවේ සංචාරයක නිරතවීම ආසියාතිකයන්ට නම් නවමු අත්දැකීමක් වන්නේය. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ සිට අප්‍රිකාවේ - ඝානාව වැනි රටකට ගුවනින් පියාසර කිරීම පවා එක්තරා ආකාරයක අභියෝගයකි.   
අප්‍රිකාවේ - ඈත ඝානාව තෙක් වන ගුවන් ගමන නැවතුම්පොළ තුන හතරක් පවා ඉක්ම වන්නේය. ගුවන් කාලය පැයවලින් 15ක් හෝ 20ක් පසුවිය හැකිය.   

 


ඝානාව කරා පැමිණිය ද නිදහසේ කැලෑවේ සැරිසරන සතුන් දැකීමට වැයවන වියදම ඩොලර්වලින් ඉහළම අගයක් ගනී. ගාණ කීය වුණත් වන සංචාර තුළින් ජිවිතයට එකතු කර ගැනෙන අත්දැකීම්නම් අමිලය. මිල කළ නොහැකිය. දිගු ගුවන් ගමන් පීඩාවකින් පෙළුන ද ඝානාවේ වන සංචාරයට එක්වීමට මම දෙවරක් නොසිතුවෙමි. මගේ සහෘද මිතුරන් තිදෙනා ද මටම තකට තක ගැළපීම මහත් වූ අස්වැසිල්ලක්ම විය.   


වහලය විවෘත කළ ජීප් රථය මුලදී ගියේ මෘදු, සුව පහසු ගමනකය. ක්‍රම ක්‍රමයෙන් වනගත වන විට ගමනේ දුෂ්කර, කටුක බව අපූරුවට දැනුණේය. කුසෙහි තිබූ අර්ධ ජීර්ණ ආහාර මුඛයතෙක් පැමිණෙන කඳු බෑවුම් ඒ ගමනේදී නම් අඩුවක් නැතිව හමුවිය.  අප්‍රිකා මහද්වීපයේ හැඩය සිහි ගන්වන ‘‘අලි කන්’’ සහිත ‘‘අප්‍රිකානු අලි රංචුව’ ගමන් මග අහුරා පළමුවෙන්ම පෙන් වූ ඝානාවේ සුන්දරත්වය තව තවත් තීව්‍ර වූයේ නිදහසේ මස් බුදින දිවියන් දක්වා අපගේ දෘෂ්ටිපථ විසිර ගිය නිසාය.   


ඇතැම් තැන්හි දිගු ගෙල සහිත ජිරාෆයන්ගේ බෙල්ලට පැනීමට මාන බැලූ සිංහ ධේනුවන්ගේ නොරුස්සන සුලු දර්ශන පථයට ද අපි ලක්වීමු. එහෙත් පැය ගණනක වන සැරිය විනාඩියක්වත් අඩුකර ගැනීමට අපි කිසිසේත් ඉඩ නොදුන්නෙමු.   

 


අදින් වසර ගණනාවකට පෙර අප්‍රිකාවේ කෙන්යා රටෙහි කළ සංචාරයක මතකය ද මා සතුය. එදා මෙදා තුර ‘‘සෆාරි’’ ක්ෂේත්‍රය ලැබූ ප්‍රගතිය ඝානාවේ වන සැරිය තුළින් මෙවර සංචාරයේදී මනාව අවබෝධ කර ගත හැකි විය.   


සතුන් බලන්න බොහෝ අය යන්නේ සත්වෝද්‍යානවලටය. ඒවායේ සතුන් ගෙවන්නේ කෘත්‍රිම ජිවිතය. සිටින්නේ මිනිසුන් තැනූ පරිසරය තුළය. එහෙයින් ස්වභාවික පරිසරයේ, නිදහසේ, නිදැල්ලේ රස්තියාදු ගහන සතුන්ගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමට ලැබීමත් එක්තරා ආකාරයක භාග්‍යයකි.   


වෙසෙසින්ම අප්‍රිකාවේ ඝානාවේ කළ වන සංචාරය නම් ජිවිතයේ කෙදිනකවත් අමතක නොවනු ඇතැයි හැඟෙන්නේ ඒ අනුව මතකය අවදි කරන විටදීය.

දිනිත් චින්තක කරුණාරත්න
ඝානාවේ කළ සංචාරයෙන් පසු.