ගෙම්බන්ගේ සෛල යොදා තැනූ ‘ලෙඩ සුව කරන රොබෝ’


පර්යේෂණය සිදුකළ ඇමෙරිකාවේ වර්මොන්ට් විශ්වවිද්‍යාලය

 

 

 

රොබෝවකු කියූ පමණින් අප සිහියට නැගෙන්නේ යන්ත්‍රයකි. යකඩ හා ප්ලාස්ටික් වැනි ද්‍රව්‍යයන්ගෙන් නිපදවන රොබෝවරු ඇතැම් විට මිනිස් සිරුරට ඇතුළු කළ හැකි තරම් කුඩා වෙයි. නමුත් මේ සියල්ල කෘතිමව නිපදවන ලද යන්ත්‍රයන්ය.   


ඇමෙරිකාවේ විද්‍යාඥයන් කණ්ඩායමක් පසුගිය දා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ගෙම්බන්ගේ ප්‍රාථමික සෛල භාවිත කරමින් ලොව ප්‍රථම ජීවමාන ස්වයං සුවකිරීමේ රොබෝවරයකු නිෂ්පාදනය කළ බවයි.
   


සෙනොපස් ලෙවිස් Xenopus laevis ලෙස හඳුන්වන අප්‍රිකානු නියපොතු ගෙම්බාගේ ප්‍රාථමික සෛල මෙම රොබෝවරු නිෂ්පාදනයට යොදාගත් බැවින් එම රොබෝවා නම්කර ඇත්තේ සෙනොපස් යන නමිනි.   


මිලිමීටරයකට වඩා අඩු අඟල් 0.04ක ප්‍රමාණයෙන් යුතු මෙම රොබෝවාට මිනිස් සිරුරේ ඕනෑම ස්ථානයකට ළඟාවීමේ හැකියාව ඇත. සොයාගැනීම සිදුකළ විද්‍යාඥයන් පවසන්නේ ඔවුන්ට ඇවිදීමට සහ පිහිනීමට හැකියාව ඇති බවයි. එමෙන් ම ආහාර නොමැතිව සති ගණනක් ජීවත්වීමේ හැකියාව ඇති මෙම සජීවී රොබෝවරුන්ට එකට එක්ව සාමූහිකව වැඩ කිරීමේ හැකියාව තිබීම ද තවත් විශේෂත්වයකි.   


“මේ රොබෝවා නව ජීවී ස්වරූපයක්” රොබෝවා නිෂ්පාදනය කළ ඇමෙරිකාවේ වර්මොන්ට් විශ්වවිද්‍යාලයේ පර් යේෂකයෝ කියති. මෙම පර් යේෂණය සඳහා විශ්වවිද්‍යාලය හා එක්ව කටයුතු කර ඇත්තේ ඇලන් ඩිස්කවරි සෙන්ටර් නමැති ආයතනයයි.

 

   

ප්‍රාථමික සෛල ලබාගත් අප්‍රිකානු නියපොතු ගෙම්බා

 

ක්සෙනොබොට්ස් රොබෝවා

 


සජීවී සත්ත්වයකුගේ ප්‍රාථමික සෛලයක් ලෙස හඳුන්වන්නේ විවිධ ආකාරයේ සෛල බවට වර්ධනය වීමේ හැකියාවක් ඇති විශේෂිත නොවන සෛලයන්ය. පර් යේෂකයන් මෙම ගෙම්බාගේ කළලවලින් ජීවී ප්‍රාථමික සෛල ඉවත්කර වර්මොන්ට් විශ්වවිද්‍යාලයේ දී සුපිරි පරිගණකයක් විසින් නිර්මාණය කරන ලද විශේෂිත ශරීර ආකෘතිවලට එම සෛල සම්බන්ධ කර වැඩෙන්නට ඉඩහැර තිබේ. එහි ප්‍රතිඵලය වූයේ සොබා දහමේ කිසිදා දක්නට නොලැබෙන සජීවී රොබෝ ජීවියකු බිහිවීමයි.   


මෙහි දී සිදුවූයේ මෙම ප්‍රාථමික සෛල තනිව වර්ධනය වීමයි. සෛල වටා සමක් සැකසුණු අතර හෘද සෛල ස්ඵන්දනය කිරීමෙන් රොබෝවරයාට තනිවම ගමන් කිරීමට හැකියාව ලැබී ඇත. විද්‍යාඥයන් සෛල වර්ධනය පාලනය කරන අතර ඔවුන්ගේ ගමන ද පාලනය කිරීමට සමත්ව සිටියි. මෙහි විශේෂත්වය වන්නේ මේ නව රොබෝවාට ස්වයං සුව කිරීමේ හැකියාව ලැබීමයි.   


“මේවා නව ජීවමාන යන්ත්‍ර“ යැයි වර්මොන්ට් විශ්වවිද්‍යාලයේ මෙම පර් යේෂණය මෙහෙයවූ මහාචාර්ය ජොෂුවා බොන්ගාඩ් පර් යේෂණය පිළිබඳ මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් පවසා ඇත.   


ඔහු තවදුරටත් මෙසේ පවසයි.   


“මොවුන් සම්ප්‍රදායික රොබෝවෙක් හෝ දන්නා සත්ත්ව විශේෂයක් හෝ නොවේ. මේ ඉතිහාසගත නිෂ්පාදනයක්. ජීවියෙක් නමුත් වැඩසටහන් ගතකළ මිනිසාට අවශ්‍ය විදියට නිර්මාණය කළ ජීව කාණ්ඩයක්.”   


සෙනෝබොට්ස් සම්ප්‍රදායික රොබෝවරුන් මෙන් පෙනෙන්නේ නැත. ඒවාට දිලිසෙන ලෝහමය ගියර පද්ධති හෝ රොබෝ අත් නැත. ඒ වෙනුවට ඔවුන් රෝස පැහැයෙන් දිස්වන මාංශයක් සහිත චලනය වන ඉතා කුඩා මලක් වැනිය. පර් යේෂකයන් පවසන්නේ මෙම ජීව විද්‍යාත්මක යන්ත්‍රයට ප්ලාස්ටික් හා ලෝහවලින් සැකසුණු සාමාන්‍ය රොබෝවරුන්ට වඩා අවශ්‍ය ඉලක්කය පහසුවෙන් සාර්ථක කරගත හැකි බවයි. 

 
ජාතික විද්‍යා ඇකඩමියේ දී මේ පිළිබඳ හඳුන්වාදෙමින් පර් යේෂකයන් කියා සිටියේ සම්ප්‍රදායික රොබෝවරු කාලයාගේ ඇවෑමෙන් පිරිහී යන බවයි. එමෙන් ම සම්ප්‍රදායික රොබෝවරුන්ගෙන් හානිකර පාරිසරික හා සෞඛ්‍යමය අතුරු ආබාධ ඇතිවිය හැකි බව ද ඔවුන් ප්‍රකාශ කරන ලදී. ජෛව විද්‍යාත්මක යන්ත්‍රයක් වන සෙනොබොට්ස් රොබෝවා පරිසරයට වඩාත් හිතකාමී සහ මිනිස් සිරුර තුළට යැවීමට වඩාත් ආරක්ෂිත බව ද ඔවුහු කියති.

   
සෙනොබොට්ස් රොබෝවා විවිධ කාර්යයන් හා ඉලක්කයන් වෙනුවෙන් භාවිත කළ හැකි බව අධ්‍යයනය සඳහා මූල්‍යමය අවශ්‍යතාවයෙන් අර්ධයක් සැපයූ ආරක්ෂිත උසස් පර් යේෂණ ව්‍යාපෘති ආයතනය පවසයි. එම ආයතනය හමුදාමය තාක්ෂණය වර්ධනය කිරීම සඳහා කටයුතු කරන්නකි.   


විකිරණශීලී අපද්‍රව්‍ය පිරිසිදු කිරීමට, සාරවල ක්ෂුද්‍ර ප්ලාස්ටික් එකතුකිරීමට, මිනිස් සිරුර තුළට ඖෂධ රැගෙන යාමට, රුධිරවාහිනී තුළට ගමන්කර ඒවායේ ඇතුළත බිත්ති සූරා දැමීමට මේ රොබෝවන් භාවිත කිරීමේ හැකියාව පවතී. දින කිහියක් හෝ සති කිහිපයක් අතිරේක පෝෂ්‍ය පදාර්ථ නොමැතිව ජලජ පරිසරවල සජීවී තත්ත්වයෙන් සිටිය හැකි ක්සීනොබොට් රොබෝවා අභ්‍යන්තර ඖෂධ බෙදාහැරීමට වඩාත් සුදුසු බව තහවුරු කර ඇත.   


පර් යේෂණ කණ්ඩායම පවසන්නේ මෙවැනි ප්‍රායෝගීක කර්තව්‍යයන් සාක්ෂාත් කරගැනීමට අමතරව සෛල විද්‍යාව පිළිබඳ වැඩිපුර අධ්‍යයනය සඳහා මෙම සොයාගැනීම වඩාත් මහෝපකාරීවන බවයි. එමෙන්ම මිනිස් සෞඛ්‍යය වඩාත් යහපත්ව පවත්වාගෙන යාමටත් ආයුෂ වැඩිකිරීම සඳහාත් මෙය අනාගතයේ වඩාත් දියුණු කළ හැකි බව ඔවුන්ගේ මතයයි.   


“අපිට අවශ්‍යතාව මත ත්‍රිමාණ ජීව විද්‍යාත්මක ස්වරූපයක් නිපදවිය හැකිනම්, උපත් ආබාධ අලුත්වැඩියා කිරීමට, පිළිකා සෛල යළි සාමාන්‍ය සෛල බවට පත්කිරීමට, විශාල තුවාල හෝ හානිකර රෝගවලින් පසු සෛල යළි පුනර්ජනනය කිරීමට සහ වයස්ගතවීම පාලනය කිරීමට මෙමගින් හැකියාව ලැබේවි. මෙය ඇතැම් අයට විද්‍යා ප්‍රබන්ධයක එන කතාවක් ලෙස පෙනෙන්ට පුළුවන් වුවත් සැබැවින්ම මෙය දැන් අප ඇස් ඉදිරියේම සනාථ වූවක්.”   


මෙම රොබෝ ජීවියාට ඔවුන්ගේ ආහාර ප්‍රභවය වන ලිපිඩ හා ප්‍රෝටීන සංචිතයක් පවත්වාගෙන යා හැකි බැවින් සතියකට වැඩි කාලයක් ආහාර නොමැතිව ජීවත් වීමට පහසුවෙන්ම හැකියාව ලැබෙයි. නමුත් ඔවුන්ට ප්‍රජනනය කිරීමට, ජනනයවීමට හෝ පරිණාමය වීමට හැකියාවක් නැත. කෙසේ වෙතත් පෝෂ්‍ය පදාර්ථ සහිත පරිසරවල දී ඔවුන්ගේ ආයු කාලය සති කිහිපයක් දක්වා වැඩිවිය හැකියි.   


”මෙම රොබෝවරුන් තැනීමේ දී සුපිරි පරිගණකය කෘත්‍රිම බුද්ධියේ කොටසක් යොදමින් විශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. එහි දී කිසිදු නරක හෝ භයානක චේතනාවක් තිබේයැයි සිතිය නොහැකියි. එසේ වුව ද නරක චේතනාවෙන් යුතු දක්ෂ ජීවවිද්‍යාඥයකුට මේ ආකාරයෙන් හානිකර ජීවීන් නිර්මාණය කිරීමට ද හැකියාව ලැබෙනු ඇති. ” යැයි පර් යේෂකයෝ පවසති.

 


සටහන - සජීව විජේවීර