ගුරුහිමියන් රැක බලා ගන්නා හිමිනමක්


 

 

තම ගුරුදේවෝත්තමයාණන් වහන්සේට පියකුට මෙන් ආදරයෙන් සලකමින් රැකබලා ගන්නා ගමන් ග්‍රන්ථකරණයේ යෙදෙන තරුණ භික්ෂුන්වහන්සේ නමක් ලංකාවේ සුප්‍රසිද්ධ බලගල්ල සරස්වතී පිරිවෙන් විහාරස්ථානයේ වෙසෙති.


උන්වහන්සේ පසුගිය වසරේ ජනාධිපති රාජ්‍ය සාහිත්‍ය සම්මාන උත්සවයේදී හොඳම ශාස්ත්‍රීය කෘතියට හිමි ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබූ හිඳගල ඤාණධාර හිමියෝය.
උන්වහන්සේ විසින් රචිත ශාස්ත්‍රීය ග්‍රන්ථ 5ක් මෙම සැප්තැම්බර් මස අටවැනි දින දී බලගල්ල සරස්වතී පිරිවෙන් විහාරස්ථානයේදී දෙ‌ාරට වැඩීමට නියමිතය.
එම ග්‍රන්ථ පහ නම් 1. විශ්වයේ අනන්තය දුටු විද්‍යාත්මක සංකල්ප විද්‍යාමාන සූත්‍ර පිටකය, 2. නූතන විද්‍යාවෙන් සනාථ වූ භාවනාව, පිරිත හා බෝධි පූජාව. 3. ලොව හදවත් සැනසූ සම්බුද්ධ දේශනා,


4 The Spread of Theravada Buddhism in South India, සහ 5. The Rise and Decline of Theravada Buddhism in Tamil Country යන. ග්‍රන්ථයෝය.
ඤාණධාර හිමි මෙම ග්‍රන්ථ රචනා කොට දැනට මුද්‍රණය කරවා අවසන්ව ඇත. උන්වහන්සේ මෙම ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනා කොට ඇත්තේ දැනට රෝගීව වෙසෙන සිය ගුරු දේවෝත්තම බලගල්ල සරස්වතී පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යය හපුවලානේ සරණංකර නාහිමයන්ගේ සුවදුක් බලමින් උන්වහන්සේට පියකුට මෙන් උපස්ථාන කරන අතරතුරේදීය.


සරණංකර නාහිමියන් දැනට වයස අවුරුදු 90 ඉක්ම වූ මහතෙර නමකි. උන්වහන්සේ දිවුලපිටිය හා රත්නපුර ප්‍රදේශවල විශේෂයෙනුත් මුළු දිවයින පුරාත් ශාසනික සේවයේ යෙදුන මහතෙර නමකි. උන්වහන්සේ උකුළු ඇටය බිඳී ගිලන්ව වසර දෙකක් පමණ දැනට රෝගාතුරව බලගල්ල සරස්වතී පිරිවෙනේ වෙසෙති.


සරණංකර නාහිමියන්ට සියලු උවටැන් කරන්නේ උන්වහන්සේගේ ශිෂ්‍ය රත්නය වූ හිඳගල ඤාණාධාර හිමියෝය. උන්වහන්සේ ග්‍රන්ථකරණයේ යෙදෙන්නේ ගිලන්ව වෙසෙන ගුරු දේවෝත්තමයාණන්ට සියලු උවටැන් කරන අතරවාරයේය.

 

 


ඤ‌ාණධාර හිමියෝ අලුයම අවදිව නායක හිමියන්ට බෙහෙත් කැඳ පිසිති. නාහිමියන්ගේ මුව ​​ෙද‌ා්වනය කරවා අලුත් සිවුරු හඳවා සයනයේ වැඩ සිඳුවති.


අනතුරුව ගිලන්පස බෙහෙත් කැඳ පිළිගන්වා සිවුරු පිරිකර සෝද‌ා වනා යළි නාහිමියන්ට ඇවැසි දේ විමසා උන්වහන්සේ සුවයෙන් තබා පොත පතෙහි වැඩෙහි යෙදෙති.
දහවල ද ගුරු හිමියන් කැමැති නම් උන්වහන්සේ උණු පැනින් නහවා දන් පිළිගන්වා බෙහෙත් ආදිය ලබා දී සැතපෙන්නට හැර යළි ග්‍රන්ථකරණයේ යෙදෙති.


මේ ඤ‌ාණධාර හිමියන්ගේ සාමාන්‍ය දින චරියාවය. උන්වහන්සේ යම් කරුණකට බැහැරකට වඩින්නේ නම් ගුරු හිමියන්ද වාහනයේ ඉදිරිපස අසුනේ හිඳුවා ගෙන වැඩම කරති.
ඤ‌ාණධාර හිමියන්ට විවේක ඇති හිරු රැස් පතිත වන දහවලට ගුරු හිමියන් කැඳවාගෙන මුහුදු වෙරළට ගොස් රෝද පුටුවේ හිඳුවාගෙන විවේක සුව විඳින්නට සලසා දෙති.
මේ සියල්ල සිදුකරන අතරේ ග්‍රන්ථකරණයේ යෙදෙන ඤ‌ාණධාර හිමියෝ උන්වහන්සේ ලියූ ග්‍රන්ථ දෙ‌‌ාරට වැඩීමට සැපැත්ම්බර් 8 දිනය යොද‌ාගෙන ඇත්​තේ ගුරු හිමියන්ගේ ඉල්ලීමකට අනුවය.


ගුරු හිමියන්ගේ ඉල්ලීම වී ඇත්​තේ තමාට හොඳ සිහියෙන් සිටිද්දීම මෙම දෙ‌ාරට වැඩීමේ උළෙල සිදුකරන්න යන්නය. උන්වහන්සේ තම සිසුවාගේ දස්කම් දැක සතුටු වෙති. උන්වහන්සේට සියවසක් ඉක්මවා ආයු වැළඳීමට ශිෂ්‍යරත්නය කටයුතු සිදුකරන්නේය. විහාරස්ථ ද‌ායක පින්වතුන්ද මේ කරුණේදී ගුරු සිසු දෙපළට උපකාරී වෙති.
මේ කතාව අප රටේ මවුපිය දූ දරුවනට ද ආදර්ශයකි.

 

 

දූනගහ බටේපොළ විජයසිරි