ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ල කඩාවැටුණේ කොළඹ ගිලා බසින නිසාද ?


 

ස්පයිස් ඔෆ් ලයිෆ් ව්‍යාපාරයේ හිමිකරු වූයේ තාහිර් ය. ඔවුන්ගේ මුතුන් මිත්තන් පැවත ආවේ පකිස්තානයෙනි. බායි ජාතිකයින් ලෙස බොහෝ දෙනා ඔවුන් හඳුන්වන අතර තාහිර්ගේ ව්‍යාපාර කටයුතු සඳහා ඇඩම්ස් එක්ස්පෝ හිමි අයිඩීස් ගෙන් ලැබුණේ පුදුමාකාර සහායකි.  


තාහිරිගේ නිවස පිහිටියේ තුන්මුල්ලේ ය. පෙබරවාරි 14 වැනිදා පෙම්වතුන්ගේ දිනයේ තාහිර් තම නිවසේ සිට ග්‍රෑන්ඩ්පාස් පිහිටි තම බඩු අපනයනය කරන ගොඩනැගිල්ලට එන්නට ගොඩවූයේ KQ - 6708 දරන බීඑම්ඩබ්ලිව් මෝටර් රථයට ය. තාහිර්ගේ ව්‍යාපාරය වූයේ වසාවාසි, කරාබුනැටි ආදි කුළුබඩු අසුරා අපනයනය කිරීමයි.  


තාහිර් තම පුතුන් දෙදෙනා අධ්‍යාපනය සඳහා විදේශගත කොට තිබුණේ කැනඩාවට සහ ඇමෙරිකාවටය. තම දරුවන්ට සිංහල භාෂාව කතා කිරීමට නොහැකිවීම තාහිර්ට ප්‍රශ්නයක් වූයේ නැත. කැනඩාවේ සිට ආ පුතු සමග තම ග්‍රෑන්ඩ්පාස් ස්ටෝරුවට ආවේය. තාහිර් එතැනට ආ වේලාව හරියටම උදෑසන 11.45 ලෙසත් මෝටර් රථයේ අංකය KQ - 6708 ලෙසත් ආරක්ෂක අංශය භාරව සිටි ඒෂියන් සිකුයුරිටි ආයතනයේ විජය සිරිවර්ධනගේ දේවරාජ් ලොග් සටහනක් තබා තම ස්වාමියාගේ පැමිණීම සටහන් කළේය.  


ආයතනයට පැමිණි තාහිර් තමන්ගේ මෝටර් රථය නැවත්තු තැන තිබූ කුණු බහාලන ප්ලාස්ටික් භාජනය දැක දැඩි ලෙස කුපිත විය. එහි වූ අක්‍රමවත් ලෙස ඉවත් කරන ලද කල් ඉකුත් වූ ෆයිල් තොගය ඔහුගේ දැඩි දෝෂාරෝපණයට ලක්විය.  


‘‘අයිසේ, මෙහෙමද වැඩ කරන්නේ? බලනව, මෙතැන්ට එන ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් බයර්ස්ලට මේවා දැක්කම මේ තැනත් එපා වෙයි. මේක වහාම සුද්ධ කරනවා’’ යැයි තාහිර් දැඩි ලෙස පවසන්නට විය.  
ගෝරණාඩුව ඇසී කිහිප දෙනෙක්ම එතැනට රොක්වන්නට වූහ. තාහිර්ගේ හැසිරීම වෙනදාට වඩා වෙනස් විය. එතැනට ආ පිරිස අතර තාහිර්ගේ ලේකම්වරිය වූ නදීරා සහ වැඩ පරීක්ෂක වූ සුජිත්ට මෙය තම ආයතනයට ඉරණම් දිනයක් යැයි කෙසේවත් නොසිතෙන්නට ඇත.  


මේ ස්ථානයට ගිය අපට දැකගත හැකි වූයේ අක්කර 5ක පමණ භූමි භාගයකි. එහි විශාල ඉස්ටෝරු සියල්ල තනි මහලේ ඒවාය. ඉන් එක් කොටසක් පසුගියදා තෙක් මෙරට ප්‍රධාන පෙළේ බහුජාතික සමාගමක් සඳහා රෙදි සෝදන සබන් සහ මාජරින් නිෂ්පාදනය සඳහා යොදාගත් ගොඩනැගිලිය. එම කර්මාන්තශාලාව හොරණට ගෙනයාම නිසා තම ව්‍යාපාරික ගොඩනැගිල්ලට යාබදව වූ අතිවිශාල භූමි භාගයේ කොටසක් මේ බායි ජාතිකයන් විසින් මිලදීගෙන ඇත. ඒ ගොඩනැගිලි සියල්ලෙහි වහල සඳහා යොදා තිබුණේ 'H' IRION නමැති යකඩ විශේෂයයි.  


වහලයට යොදාගත් ටකරන් ඉතා ඝනකම තහඩුවලින් සමන්විතය. ගොඩනැගිලි සියල්ල ඉදිකොට තිබුණේ හොඳ ශක්තිමත් ගඩොලෙනි. එය සාමාන්‍ය නිවෙස් ගොඩ නගන්නට ගන්නා ගඩොල්වලට වඩා ටිකක් දිග පළලෙන් වැඩිය.  


වසර 100කට වඩා පැරණි මේ ගොඩනැගිලි සමූහය ගඩොල් බිත්ති බැඳීමට යොදා තිබුණේ සිමෙන්තිය. සියවසකට පසු මේ සිමෙන්ති බිත්ති අතගා බැලූ අපට පෙනී ගියේ සිමෙන්තිවල බන්ධන ශක්තිය මුළුමනින් නැතිවී ගොස් එය ඉතා සියුම් සුදු වැල්ලක් බවට පත් වී ඇති බවය. මෙම ස්ථානයට අප ගිය වේලාවේ එක් බිත්තියක් තවත් බිත්තියකට හේත්තු වූයේ ඒ අසල පාරේ ගිය ටිපර් රථයක ගැස්සීමකටය.  


තාහිර්ගේ කාර්යාලය පිහිටියේ ගොඩනැගිලි සමූහය ආරම්භ වන පාර අද්දරය. තාහිර් වහාම තම ලේකම්වරිය වූ නදීරා සහ වැඩ පරීක්ෂක සමග තම කාර්යාලයට වැදුණේ අනාගත වැඩ සැලසුම් කිරීමටය. තමන් සමග පැමිණි පුතා මෝටර් රථයේ සිට ජංගම දුරකතනයෙන් මුහුණු පොතේ සැරිසරමින් සිටි බැවින් තාහිර් එහි වීදුරුව පාත්කරන්නට අණකොට යම් උපදෙසක් තම පුතුට දෙන්නට විය.  


තාහිර්ගේ කෝකියා වූයේ ලාල් ය. උදෑසන පානයට තේ හදාගෙන ආ ලාල්ට ආහාරයට පිසිය යුතු දෑ ගැන තාහිර් උපදෙස් දුන්නේ මේ පිසින ආහාර වේල තමන්ට බුදින්නටත් ඉඩ නොදී අල්ලා දෙවියන් වහන්සේ තමන් කැඳවාගෙන යාමට එන බව නම් කිසිසේත් සිතා නම් නොවිය යුතුය.  

 

 

මේ ගැන එහි සිටි ආරක්ෂකයකු අප සමග පැවසුවේ මෙවැන්නකි.  


‘තාහිර් මහත්තයට උයන්න වෙනම කෝකියෙක් ඉන්නවා. ලාල් තමයි කුක්. මහත්තයා කොහෙන්වත් කෑම කන්නේ නෑ. පුදුම ආගමානුකූල ජීවිතයක් ගත කළේ’  


මේ සිද්ධියට සම්බන්ධ සහ මේ සිද්ධිය දුටු බොහෝ දෙනෙකු ගෙන් විස්තර විමසීමේදී බොහෝ දෙනෙකු උත්තර දුන්නේ දැඩි සුපරීක්ෂාකාරීවය. බොහෝ දෙනෙක් මීඩියාවලට තොරතුරු දෙන්න අපිට එපා කියලා තියෙනවා තමා’යැයි කියමින් අප මඟහරින්නට වූහ.  


උදේ 10.45ට තම ආයතනයට පැමිණි තාහිර් තම කාර්යාලයේ සිට බෑවුමේ වූ ස්ටෝරුවේ කරාබු නැටි අසුරන ස්ථානයට ඒමට කාර්යාලයෙන් එළියට ආවේ හරියටම පස්වරු 2.50ටය. කාර්යාලයේ සිට අපනයන කුළු බඩු ඇසුරුම් කරන ඉස්ටෝරුවට ඇති දුර මීටර් 50ක් පමණ ඇත. එම ඉස්ටෝරුව අඩි 30ක් පමණ පළලින් හා අඩි 100ක් පමණ දිගින් යුතුය. ඒ වටා වූ අක්කර පහක පමණ භූමියේ වූ සියලු ගොඩනැගිලි මේ වනවිටත් ගෑස් ලාම්පුවලින් කපා බිම හෙළමින් පැවැතුණි. ගොඩනැගිලි කොටස් ඉවත් කිරීමට බැකෝ යන්ත්‍රයකින් අබලි ද්‍රව්‍ය එක්තැනකට ගොඩගසමින් පැවතුණි.  


කරාබුනැටි ඇසුරුම් කරන දිග ශාලාව දෙසට ගිය තාහිර් සහ වැඩ පරීක්ෂක එහි වහලය දෙස සුපරික්ෂාකාරී ලෙස බලන්නට විය. මේ වනවිට යාබද ගොඩනැගිල්ල ද කඩා ඉවත් කරමින් තිබුණ අතර එහි කම්පනය ද මේ ගොඩනැගිල්ලට දැනෙමින් තිබුණි.  


අසල ​ගොඩනැගිල්ල කඩන කම්පනයට තාහිර්ගේ ස්ටෝරුවේ ටකරන් තුනක් ගැල වී ඉවතට විසි වී තිබුණි. තාහිර් අලුතින් ටකරන් ගෙනත් වහලය පිළිසකර කරන්නට සුජිත්ට උපදෙස් දී එම ගොඩනැගිල්ලට ඇතුළුවන්නට සූදානම් වුණේ සුජිත් සමගය. කාර්යාලයීය කටයුත්තක් පැවරූ බැවින් තාහිර්ගේ ලේකම්වරිය නදීරා කඳු බෑවුම නැග කාර්යාලයට ගියාය.  


තාහිර් සහ සුජිත් ගොඩනැගිල්ල අැතුළට ගොස් ගත වූයේ ටික වේලාවකි. අසල වූ ගොඩනැගිල්ලක කොටසක් වහලයට කඩා පාත්වීම නිසා මුළු පළාතම පිපිරුම් හඬක් සමග දුමාරයෙන් වැසි ගියේය. මේ ගැන ස්ථානභාර ආරක්ෂක නිලධාරී විජය සිරිවර්ධන පවසා සිටියේ මෙසේය.  


‘තාහිර් සර් ඇතුළට ගියා විතරයි මුළු පළාතම දුමෙන් වැහිලා ඉස්ටෝරුව කඩා වැටුණා. ඇතුළේ හිටපු කට්ටිය මර ළතෝනි දුන්නා. මම යුද්ධ හමුදාවේ අවුරුදු 22ක් හිටිය. මම පැනපු ගමන් ඇතුළෙ අයට මොකද වුණේ බැලුවා. කඩන් වැටුණු ගල් අස්සේ තාහිර් සර් හිරවෙලා හිටිය. පණ තිබුණා කතා කළේ නෑ.  


කකුලක් තිබුණේ නැහැ. ඔළුවේ පැත්තක කනක් තිබුණේ නැහැ. ඇහැක් එළියට පැනලා. මම යුනිෆෝම් එක පිටින්ම මගේ ඔඩොක්කුවේ එයා තියාගෙන ඇක්සිඩන්ට් වෝඩ් ගෙනිච්චා. මුකුත් කතා කළේ නැහැ.   
පුංචි බොරැල්ල හරියට යන කොට මගේ ඔඩොක්කුව උඩ තාහිර් සර්ගේ පණ ගියා.  


සර්ගේ භූමිදාන කටයුතු කරන්න බැරුව හිටියේ කකුල නැතුව. ඒත් බ්‍රහස්පතින්දා සර්ගේ කකුල හොයාගත්තා. බ්‍රහස්පතින්දා හවස සර්ගේ භූමිදාන කටයුතු සිද්ධ කළා.  


තාහිර් තම වැඩපරීක්ෂක සුජිත් සමග කඩාවැටුණ ගොඩනැගිල්ලට පැමිණ තිබුණේ තම කුක් ලාල් තමන් වෙනුවෙන් පිසූ ආහාරය ද බුක්ති විඳීමට එන බවට පොරොන්දුවක් දෙමිනි. එහෙත් එය බුක්ති විඳීමට වත් ඉඩ නොදී තාහිර් පරලොව ගොස් තිබුණි. මෙම අනතුර සිදුවනවිට කාන්තාවන් 13 දෙනෙකු සහ සුපර්වයිසර්වරු 4ක් සේවයේ නියැළී සිට ඇත්තාහ.  


මියගිය තාහිර්ගේ සම්පූර්ණ නම වූයේ තාහිර් අබ්බාස් ගුලට් හුසේන්ය. මියගිය අය අතර එස්.එම්. නූර් හලිමා, එස්. වෙල්ලෙඅම්මා, ලලිතා, ජේ. සූරි අනක්, රාජේස්වරී හා කසුන් ධනංජය යන අය වූහ. මෙම අනතුරින් බේරුණ අනෙක් අය දැඩි අසාධ්‍ය තත්ත්වයක පසුවන බව රෝහල් ආරංචි මාර්ග පවසයි.   


මේ අනතුර සිදු වූ ස්ථානය අවට රැස් වී සිටි පිරිස් කතා බහ කරන්නේ මොනවාදැයි අසන්නට අප අමතක කළේ නැත. ඔවුන් අප සමග ද කතා බහේ යෙදුණේ අප පත්තර කාරයන් බව නොසිතා තම බජාර් බාසාවෙනි.  


‘‘මොනද මෙයා හවස තුනට විතර භූමිකම්පාවක් වගේ පොළොව දෙදුරුම් කෑවා, මම ත්‍රීවිල් තමයි එලවන්නේ. මගේ ළඟ හිටපු නසීර්ට මං කිව්වා ඔය පැත්තේ වළ තියෙන්නේ පොළොව ගිලා බහිනවා කියලා. එහෙම වෙන්නැති කියල ටික වෙලාවකිනුයි තාහිර් බොසා බිල්ඩිමට යට වුණා කියලා දැන ගත්තේ. ‘මේක ප්ලැන් කරල දිපු ගේමක් වෙන්නත් පුළුවන්. මොකද ඔතන බූදල් නඩුවක් තිබුණා තවම තීන්දුවක් දීපු නැති’.  


මේ ආකාරයේ විවිධ මතවාද මේ මරණ ගැන අපට අසන්නට ලැබුණි. බොහෝ දෙනෙකු පවසා සිටියේ කොළඹ ගිලා බැහීම ද මේ අනතුරට හේතුවක් විය හැකි බවය. ඊටත් වඩා අඩි 30ක් පමණ දිග අඩි 4x3 ඝනකම බාල්ක සහ ගරාවැටෙන ගඩොල් බිත්ති, යකඩ බාර් වලින් ඇති අනතුර නොසලකා එහි සැරිසරන වාර්තාකරුවන් දුටු විට අප මතකයට ආවේ තවත් අනතුරක් අත ළඟ නොවේද යන පැනයයි.

 

 

 

 

 

 

වජිර ලියනගේ