ගමට තිබූ වතුර ටිකත් නැති කළ මහවැලියෙන් හැදූ “දිය අවුල”


වාරි ඇමැති සී.පී. ද සිල්වා, රාජ්‍ය නායක සිරිමාවෝ බණ්ඩාරනායක, රාජ්‍ය නායක ජේ.ආර්. ජයවර්ධන, මහවැලි ඇමැති ගාමිණී දිසානායක යනාදී ජාතියේ හා රටේ පෙර ගමන්කරුවන් එක්ව මහවැලි එච්. කලාපය මහවැලි දියවරෙන් පෝෂණය කෙරෙන ප්‍රදේශයක් හැටියට සංවර්ධනය කරන ලද්දේ අපේ මේ මව්බිම වියෙන්, බතින් බුලතින් ස්වයං පෝෂණය කිරීම සඳහාය.   


මහවැලි එච්. කලාපය ලෙස හඳුනාගත් ප්‍රදේශය තුළ වී වගාව සඳහා කෙත් බිම් අක්කර අසූ දහසක් පමණ සංවර්ධනය කරනු ලැබීය. මේවායේ උරුමකරුවන් ලෙස ගොවිපවුල් 35,000ක් පමණ පදිංචි කරවනු ලැබීය. මෙම ව්‍යාපෘතිය ගොඩනැංවිම පිණිස රජය ලෝක බැංකුවෙන් රුපියල් කෝටි දහසය දහසක් ණය පදනමක් යටතේ ලබා ගත්තේය.   


මහවැලි එච් කලාපය ලෙස මෙම ප්‍රදේශය නම් කිරීමට පෙර නුවර කලාවියේ ‘ධාතුසේන නිම්නය’ ලෙස මෙම ප්‍රදේශය ජන ව්‍යවහාරයෙන් හඳුන්වා තිබිණි. කලාවැවේ පියා ලෙස නමක් දිනාගත් ධාතුසේන රජතුමා විසින් කලාවැව ඉදිකිරීමෙන් පසුව සැතපුම් 54ක් දුරින් පිහිටි එකල අගනුවර වූ අනුරාධපුරයේ තිසා වැවට ජලය ගෙනයාම පිණිස අදටත් ලෝක වාරි විද්වතුන් පුදුමයට පත් කෙරෙන පහත් බිමේ සිට උස් බිමට ජලය ගෙන ගිය යෝධ ඇළත්, යෝධ ඇළ පසුතලයේ පිහිටි ගොඩබිම්වලට දියවර සැපයීම සඳහා වැව් 438කුත් ඉදිකරනු ලැබිණි.   


එච්. කලාපය ඉදිකරන ලද්දේ මේ පරිසරය තුළය. හරියටම ධාතුසේන රජුත් මරාගෙන මහවැලි එච්. කලාපය මැදින් ගලාගිය වසර දෙදහසක පමණ අතීතයක් ඇති යෝධ ඇළ මකා දමමින් විදේශීය වාරි විද්වතුන්ට ජාතකව නව ජයගඟ ඉදිකරනු ලැබීය. එමතු නොව ධාතුසේන රජු විසින් යෝධ ඇළ ආශ්‍රිතව ඉදිකළ යාය වැව් 438න් 238ක්ම කපා දමා පොළවට සමතලා කොට එහිද කෙත්බිම් ඉදිකළ අතර තවත් වැව් 200ක් පමණ නොසලකා හැර නටබුන් කර දමන දී. රටට ජාතියට සිදුකළ මෙම සියලු පාඩු වෙනුවට ඇළවල් දිගේ වතුර ගලායන මහවැලි ක්‍රමය හඳුන්වා දෙමින් මෙම ප්‍රදේශය මහවැලි එච්. කලාපය ලෙස නම් කරනු ලැබීය. මහවැලි දිය කඳක් ගලා එද්දී වැව්වලට බිම් යට කරන්නේ කුමටදැයි යන මතවාදය තුළ පිහිටා යටකී පරිදි වැව් 238ක් ඝාතනය කරනු ලැබීය.   


එපමණක් ද නැත. එච්. කලාපය තුළ පිහිටි කුඹුරු අක්කර අසූ දහසක තරම් ප්‍රමාණයක වී වගාව එක් කන්නයකදී පැස්සවීමට ජලය අක්කර අඩි තුන් ලක්ෂයක් පමණ අවශ්‍ය වන බව වාරි හා කෘෂි විද්වත්හු සඳහන් කරති. එසේ වුවද මේ මහා කුඹුරු යාය කන්නක වී වගාව පැස්සවීමට සූදානම් කළේ ජලය අක්කර අඩි ලක්ෂයක ධාරිතාවක් ඇති කලාවැව පමණි. අක්කර අඩි තුන් ලක්ෂයක ජලය අවශ්‍ය තැනට අක්කර අඩි ලක්ෂයක් පමණක් දීමෙන් මහවැලි එච්. කලාපයට මහවැලිය මගින්ම ආරම්භයේදීම ජල ගැටලුවක් ඇති කරන ලදී. පැවැති වැව් බිමට සමතලා කොට අක්කර අඩි තුන් ලක්ෂයක ජලයක් වුවමනා තැනට ලක්ෂයක් පමණක් දීමෙන් මහවැලිය මගින්ම මහවැලි එච්. කලාපයයේ වී ගොවිතැන අඩාල කර දමා ඇත. රටේ හැම පුරවැසියකුම රුපියල් හාර ලක්ෂය දක්වා ලෝකයට ණය කරමින් රජය ණය ලබාගෙන ඇතත් ගොවි පවුල් තිස්පන් දහසකගේ මෙම ජල ගැටලුව විසඳා දීමට අද වනතුරුත් බලයට පත්වූ මෙම කිසිම ආණ්ඩුවක් පියවර ගෙන නැත. ජේ. ආර්. ගේ පටන් මෙතෙක් රට කරවු සෑම රාජ්‍ය නායකයෙක්ම සෑම ආණ්ඩුවක්ම මහවැලි එච්. කලාපයේ ජල හිඟයට පිළියම් යොදන්නට කිසිදු පියවරක් ගෙන නැත. මහවැලි දිය මගේ පවතින කෝන්වැව ජලාශය ජල ගබඩාවක් ලෙස ප්‍රතිසංවර්ධනය කොට පුළුල් කරන ලෙස ගොවි සංවිධාන නිතර නිතර මහවැලි අැමැතිවරුන්ට කන් කෙඳිරි ගෑ නමුත් ඔවුන් කිසිවෙක් එම ගොවි ඉල්ලීම් කනකට ගත්තේ නැත.   


මහවැලි එච්. කලාපයට මූලික වශයෙන්ම පැවැති ජල හිඟය වඩාත් උග්‍රවූයේ පසුගිය නියං සමයේදීය. 2016 යල් කන්න එළඹෙන විට කලාවැවේ ජලය අක්කර අඩි 90,000ක් පැවතිණි. වී ගොවිතැන පටන් ගැනීමට ඒ ජලය ප්‍රමාණවත් වුවත් මහවැලි බලධාරීන් කලා වැවෙන් වී ගොවිතැනට ජලය නිකුත් කළේ නැත. මෙසේ කිරීමට බලපෑ හේතුව පිළිබඳව ​ෙගාවින් දැනුම්වත් නොකරන ලද නමුත් වටින් පිටින් එළියට ආවේ රටේ වී නිෂ්පාදනයේ අතිරික්කයක් ඇති හෙයින් මහා වාරි මාර්ග යටතේ වී නිෂ්පාදනය නොකිරීමට රජය තීරණයක් ගැනීමේ කතා පුවතයි. කෙසේ වුවද කලාවැවේ ජලය තිබියදී මහවැලි බලධාරීන් වී වගාවට ජලය නොදීම නිසා 2016 යල් කන්න මහවැලි එච්. කලාපයේ ගොවි ජනතාවට හුන් බතින් සිටින්නට සිදුවිය.   


ඊළඟට 2016-2017 මහකන්න පැමිණි නමුත් වැසි ජලයද, වැව් ජලයද, මහවැලි ජලයද නොලැබීම නිසා එම කන්නයේදී මහවැලි එච් කලාපය තුළ සාර්ථක වී වගාවක් කිරීමට නොහැකිවිය. ඊළඟට පැමිණි 2017 යල් කන්නයේදී ජල හිඟය නිසා මහවැලි එච් කලාපයේ වී ගොවිතැන පාළු විය. මහවැලි එච් කලාපයෙන් කන්නයකට වී මෙට්රික් ටොන් එක්ලක්ෂ හැටදහසක් පමණ නිපදවන අතර මෙම වී ගොවිතැන අහිමි වී ගිය කන්න තුනේ රටට නොලැබී ගිය වී ප්‍රමාණය මෙට්රික් ටොන් හාරලක්ෂ අසුදහක් පමණ වේ. මේ වී ප්‍රමාණය තිබුණේ නම් සහල් මෙට්රික් ටොන් ලක්ෂ ගණනින් මෙරටට ආනයනය කරන්නට සිදු නොවනු ඇත.   


කන්න තුනක් වී වගාව කරගත නොහැකිව හුන් බතින් සිටින මහවැලි එච්. කලාපීය ගොවි ජනතාව දැනට එළඹී ඇති මහකන්නවත් වී ටිකක් වපුරා ගැනීමට මහත් ඕනෑකමින් බලා සිටියහ. පුරුදු පරිදි රජරටට මහ කන්නයට ලැබෙන අනෝරා වැස්ස මේ කන්නයේද ලැබුණේ නැත. ඉඳහිට තැනින් තැනට සුළු වැහි පොද වැටුණ නමුත් ඒ පුංචි වැහි ඇලි කුඹුරුවලට බහින්නට ප්‍රමාණවත් නොවූ නිසා මහවැලි ජලය ලැබෙනතුරු එච්. කලාපීය ගොවි ජනතාව බලා සිටියහ. මේ වනවිට මහවැලි එච් කලාපයට දියවර සපයන කලා වැවේ ජලය අක්කර අඩි අසුදහසක් පමණ පැවැති නමුත් නොවැම්බර් 22 වැනිදා වනතුරු කලාවැවේ ජලය වී ගොවිතැනට මුදා හරින්නට ප්‍රාදේශීය මහවැලි බලධාරීන්ට ඉහළින් අණක් නොලැබී තිබිණ. එක් පැත්තකින් දැන් දැන් මහවැලි දියවරටත් දේශපාලනයේ ඉඳුල් ගෑවෙමින් පවතී. ‘නිදහසේ ගොවිතැන.... නිදහස් ගොවියා’ යන අතීත කථා දැන් දේශපාලන තීන්දු වලින් මැකී ගොස් ඇත. මහා වාරිමාර්ග යටතේ පවතින කුඹුරුවලට දියවර නිකුත් කිරීමේ ‘යතුර’ දැන් රාජ්‍ය නිලධාරින් සතුකර ගෙන ඇත.   


කලාවැවේ පවත්නා ජලය ගැන නිවැරදි තින්දු තීරණ ගත හැක්කේ කලාවැව ආශ්‍රිතව කටයුතු කරන මහවැලි නිලධාරින්ට වුවත් දැන් ඒ තත්ත්වය සපුරා වෙනස්වී ඇත. කලාවැවේ ජල දොරටු විවෘත කළ හැක්කේ ජල කළමනාකරණයේ ඉහළ නිලධාරීන්ගේ අණසකට යටත්වය.   


‘දුන්න දුනු ගමුවේ - ඊතල කිතල ගමුවේ   
රාල මීගමුවේ - මුවෙකු වැටුණයි සබරගමුවේ’  
යන කවියෙන් කියවෙන කථාවට සමානය.   
ගොවියන් සිටින්නේ නුවර කලාවියේ   
කුඹුරු යාය තියෙන්නේ නුවර කලාවියේ   
වතුර තියෙන්නේ කලාවැවේ   
තීරණ තීන්දු ගන්නේ පේරාදෙණියේ   


මහවැලි ජලය ගොවීන්ට බෙදාදීමේ ක්‍රමවේදය හදා ඇත්තේ කුඹුරකට අඩියක් නොතැබු ඇත්තන් විසින් බව ජලය මුදා හරින රටාවෙන් පෙනේ. කෙත් බිම් සකස් කර ගැනීම සඳහා ප්‍රථම වරට ජලය නිකුත් කළේ නොවැම්බර් 22 වැනිදාය. 24 වැනිදාට එළිවන විට එනම් කුඹුරට දියවර දී දින දෙකක් ගතවූ තැන කුඹුරුවලට දියවර දීම අත්හිටුවා ඇත. එක් කෙත් ඇළක කුඹුරු පංගු 15ක් 20ක් පමණ පවතී. ඒ කුඹුරුවලට මෙම දිනදෙකේ ජලය බෙදි ගියවිට එක් කුඹුරකට ජලය ලැබෙන්නේ තුන් පැයක කාලයක් පමණි. දැඩි ඉඩෝරයෙන් ඉරිතැලී ඇති පොළවක අක්කර දෙක හමාරක බිම් ප්‍රමාණයට පැය තුනක් දියවර ලබාදීමෙන් ඒ කුඹුර සීසා වී ගොවිතැනට සූදානම් කළ හැකිද? කුඹුරට වතුර ලැබෙන්නේ අඟල් හතරේ නළයකිනි.   


මෙම අවිධිමත් සහ නොපිරිමහින ජල පාලනය නිසා සමහර ගොවීන්ට කුඹුරු සීසා ගැනීමටවත් නොහැකිවිය. මෙම තත්ත්වයට ගොවීන්ද යම් පමණකට වගකිව යුතුය. 


මෙසේ ‘දිය අවුල’ ඇතිවීමේ ප්‍රධාන හේතුව වන්නේ මහකන්නයට නියමිත අනෝරා වැස්ස නොලැබීමය. නමුත් මහවැලිය හැදුවේ වැහිදිය හා වැව්දිය ගොවිතැනට මදවීම නිසාය. රුපියල් කෝටිදහසක් ලෝකයට ණය වී මහවැලි එච් කලාපය ඉදිකළේ ගොවීන්ට ඇති තරමට වතුර දී සරුසාර වී අස්වැන්නක් ලබාගැනීමටය. නමුත් අද එ් සියලු බලාපොරොත්තු අලියා ගිල්ල දිවුලක් සේ බොල්වී ඇත.   


මෙම තත්ත්වය කන්නෙන් කන්න මෝරා යාමට හේතුවී ඇත්තේද මහවැලියේ වරද නිසාය. මහවැලිය ඉදිකරද්දී කුඹුරු අක්කර අසූ දහසකට යල මහ දෙකන්නටම ජලය සැපයිය හැකි පරිදි අක්කර අඩි තුන් ලක්ෂයක ජලයක් මහවැලි එච්. කලාපය වෙනුවෙන් ගබඩා කරගත හැකි වූයේ නම් අද මෙවන් තත්ත්වයක් ඇතිවන්නේ නැත.   


ජලය අක්කර අඩි තුන් ලක්ෂයක් වුවමනා තැනට ලක්ෂයක් සපයා දුන්විට සදාකාලිකවම මහවැලි එච් කලාපය තුළ මෙම ජල අර්බුදය පවතී. රජරට රකින්නට මැති ඇමැතිවරු කිප දෙනකු සිටිය දී රජයේ සංවර්ධන හ​ඬ අතෝරයක් නැතිව ගලා යද්දි මහවැලි එච් කලාපයේ නිදන්ගතවී ඇති මෙම ජල අර්බුදයට ස්ථිර විසඳුමක් දීමට රජයට නොහැකිද?   


තුන් කන්නක් පුරාවට බඩසා දු​ෙකන් පෙළෙන මහවැලි එච් කලාපයේ තිස්දහසක් පමණ වු ගොවි පවුල් මෙදා මහේදිවත් බත් කටක් කන්නට පෙරුම් පුරා සිටියත් මහවැලියේ ජල හිඟය නිසාත් වැස්ස නැතිකම නිසාත් වැසිදිය ගාල්කර ගන්නට තිබූ වැව් සම්භාරය කපා දමා ඇති නිසාත් අද අසරණ වී සිටිති. වසරකට මෙට්රික් ටොන් ලක්ෂ විසිදහසක් රටට උපයා දුන් මේ ගොවි ජනතාව කන්න තුනක් පාළුවීම නිසාත් මේ කන්නත් පාළු වී යාමට ඉඩ ඇති නිසාත් අල්ලපු අත්තත් පය ගහපු අත්තත් දෙකම නැතිව හාමතින් දැවෙමින් සිටිති.   


ඡන්දයට පොර බදන්නට පෙර මහවැලි එච්. කලාපයේ ගොවි පවුල් තිස් පන්දහසක් දිය ගැටලුව විසඳා දීමට මැදිහත් වන්නේ නම් එය ජනතාවක් සුවපත් කිරීමට ගන්නා මහඟු පියවරක් වෙයි.   

 

 

 

 

 

එප්පාවල රත්න බී. ඒකනායක