කෝටි ගණනක බූදලයක් හේතුවෙන් දිවි අහිමි වූ ව්‍යාපාරිකයා


 

  • ව්‍යාපාරිකයා පැහැරගන්න “ඇම”ට යොදා ගත්තේ තරුණියක්

 

ඒ, ඉකුත් පෙබරවාරි මස 09 වැනිදාය. ශ්‍යාමෙන්ගේ ජංගම දුරකතනයට ඇමතුමක් එන්නේ කිසි දිනෙක දැක නොමැති “ඇය” ගෙනි. 
“නංගි, මම අද එන්නම්. ඔයාට මොනව ද ගේන්න ඕනෑ?” 
“මුකුත් ඕනෑ නැහැ අයියා. ඔයා ඇවිල්ලා යන්නකෝ. මට ඒ ඇති.” ඇය කීවාය. 
වහා ක්‍රියාත්මක වෙන ශ්‍යාමෙන්, තම කල්‍යාණ මිත්‍රයාට දුරකතන ඇමතුමක් දී වහාම තමා සමඟ ගමනක් යෑමට සූදානමින් පැමිණෙන ලෙසට දැනුම් දුන්නේය. 


“සීදුවට යන්න තියෙන්නේ. උඹ වරෙන් ඉක්මනට. මම රෙඩි වෙලා ඉන්නම්.” ශ්‍යාමෙන් තම මිත්‍රයාට කීවේ දුරකතනයෙනි. 


තමන් මේ යන්නේ අවසන් ගමන යැයි ඔහු හීනෙකින්වත් හිතන්නට නැත. දියලගොඩ, මග්ගෝන, පයාගල සිටි ශ්‍යාමෙන්, සිය මිත්‍රයා ද කැටුව වෑන් රථයට ගොඩ වන්නේ රුපියල් විසි දහසක පමණ වියළි ආහාර මල්ලක් ද අතැතිවය. පයාගල සිට සීදූව මුතුවාඩිය ප්‍රදේශයට යන තෙක් ශ්‍යාමන් සිටියේ සිය මිතුරිය සමග අල්ලාප සල්ලාපයේ යෙදෙමිනි. 
මේ කියන ඇයත්, ඔහුත් හමුවන්නේ මුහුණු පොතෙනි. ඇය ඔහුගේ මුහුණු පොතට පළමු මිතුරු ඇරයුමක් එවන්නේ ඉකුත් 02 වැනිදාය. ශ්‍යාමෙන් ඒ ඇරයුම පිළිගන්නේ 04 වැනිදාය. 
“අයියේ, මගේ තාත්තට අංශ බාගේ හැදිලා. අම්මා අසනීපයෙන්. මම තමයි ඒ දෙන්නා බලා ගන්නේ. ඉන්ෂුවරන්ස් එකක් දෙකක් විකුණලා තමයි මම ආදායමක් හොයා ගන්නේ. ඒක ජීවත් වෙන්න මදි. මොනවා කරන්නද?” ඇය ඔහුට කීවේ ජංගම දුරකතනයෙනි. 
“හරි මටත් ඔයා ඉන්ෂුරන්ස් එකක් දාලා දෙන්නකෝ. මම ඔයාට ගෙදරට කන්න බඩු ටිකක් අරන් දෙන්නම්. ඒක ටිකක් හරි ඔයාට ප්‍රයෝජනයක් වේවි නේ.” 
දින පහක් හයක් පමණ තිස්සේ මේ මුහුණු පොතේ සංවාද කෙළවර වූයේ ශ්‍යාමෙන් ඇය සොයා සීදූවට යන දිනයේදීය. 


“කෝ නංගි ඔයා කොතනද ඉන්නේ?” සිය මිතුරා ද සමග වෑන් රියෙන් සීදූව මුතුවාඩිය පාරේ ඉදිරියට යමින් සිටි ශ්‍යාමෙන් ඇයගෙන් ඇසුවාය. 
“අයියා ඔය ඉස්සරහා තියෙන රබර් කෑල්ල පටන් ගන්න තැන වගේ මම ඉන්නවා. පාරේ අයිනේ මම ඉන්නේ. ඔයා තව ඉස්සරහට එන්න එතකොට මාව පේනවා” ඇය කීවාය. 
මිනිස් පුළුටක් පේන මානයක නැති පාළු පාරේ අයිනක ඈ සිටිනු ඔහු දුටුවාය. වාහනය ඈ අසල නතර කළ ශ්‍යාමෙන් එයින් බැස ඇය අසලට ගියේය. 
“නංගි මේ ළඟද ඔයාගේ ගෙවල් තියෙන්නේ. මම ගෙදර එන්න ද? මම ඔයාට බඩු ටිකක් අරගෙන ආවා. ඔයාත් වාහනේට නගින්න. ගේ ළගින් බහිමු.” ශ්‍යාමෙන්ට තවත් බොහෝ දේ කියන්නට තිබුණත් සියල්ල නතර වී ගියේ ඔවුන් අසලට පැමිණ මග හරස් කර නැවතූ කාර් රථයක් හේතුවෙනි. ඉන් බැස්සේ හැඩි දැඩි පිරිමි සිව් දෙනෙකි. 


“සද්දේ දාන්න එපා නැගපං” 
මේ පිරිස ඇයත් ඔහුත් කාර් රථයට බලෙන් නංවාගෙන ඈතට ඇදී යද්දී ඒ වන විටත් වෑන් රථයේ ඉදිරිපස අසුනේ සිටි ශ්‍යාමෙන්ගේ මිත්‍රයා තුෂ්ණිම්භූතව බලා සිටියේ කර කියා ගත දෙයක් නොමැතිවය. තම මිතුරාව පැහැරගත් බව කියමින් ඔහු සීදූව පොලීසියට එන්නේ ඉන් අනතුරුවය. 
කෝටිපති ව්‍යාපාරිකයකු මෙන්ම උපකාරක පන්ති ගුරුවරයකු වූ ශ්‍යාමෙන් හිරන්ත ප්‍රනාන්දු නමැති 25 හැවිරිදි තරුණයාගේ ඉරණම් කතාවේ අවසන් හෝරා කිහිපය ගතවූයේ එසේය. 
මුහුණු පොතෙන් හඳුනාගත් රූමතියක් යොදාගනිමින් මාතර ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයකු රවටා සූක්ෂම ලෙස පැහැර ගෙන ගෙල මිරිකා ඝාතනය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු හෙළි වෙන්නේ ඒ අනුවය. 


ශ්‍යාමෙන්ට මරණ වරෙන්තුව ලැබෙන්නේ මාතර ධර්මපාල මාවතේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා ගොඩනැගිල්ලක් නිසාය. සිය බිරියගෙන් ඔහුට හිමිවූ මේ කෝටි ගානක් වටිනා දේපළ බද්දට ගෙන එහි ව්‍යාපාර කරගෙන ගියේ මාතර ප්‍රදේශයේ තවත් කෝටිපති ව්‍යාපාරිකයෙකි. මුළු මාතර ප්‍රදේශයටම පාවහන් මෙන්ම ඇඟලුම් ලබා දීමේ මහා පරිමාණ ව්‍යාපාරයක් හිමිව තිබූ මෙම තැනැත්තාට එක්වරම මාතර දිසා අධිකරණයෙන් නියෝගයක් එන්නේ මහල් දෙකකින් යුතු ව්‍යාපාරික ස්ථානය විවෘත නොකරන ලෙසට නියෝග කරමිනි. මසකට රුපියල් ලක්ෂ හයක් පමණ ශ්‍යාමෙන්ට ගෙවමින් සිය ව්‍යපාරය කරගෙන ගිය මෙම තැනැත්තායට එකවරම සිය ව්‍යාපාරය වසා දමන්නට සිදුවීම තුළ සිතට ඇතුළු වී ඇත්තේ යහපත් සිතුවිල්ලක් නම් නොවේ. සිය වෙළෙද ව්‍යාපාරය වසා දමා ගොඩනැගිල්ල ශ්‍යාමෙන්ට ලබාදීමට සිදුවීම තුළ තමන් බංකොලොත් වූ බව සිතන ඔහුට අවස්ථා දෙකක් ම ශ්‍යාමන් ජීවත් වූ පයාගල නිවසට ගොස් තිබුණේ ඔහු මරා දැමීමේ චේතනාවෙන් බවත් කෙසේ හෝ එම අවස්ථා දෙකම මග හැරී ගොස් තිබූ බවත් විමර්ශනවල දී අනාරවණය වූ බව සීදුව පොලීසිය සඳහන් කරයි. 


දෙවතාවක් ව්‍යර්ථ වූ අවස්ථාව තෙවැනි වරට උත්සාහ ගනිමින් ව්‍යාපාරිකයා ඇතුළු පිරිස සීදූව ප්‍රදේශයේ නිවසක් කුලියට ගන්නේ ශ්‍යාමෙන් දැළට පටලවා ගන්නා අයුරු ගැන පිඹුරුපත් හදමිනි. ව්‍යාපාරිකයා සමග මේ ගමනට එක්වන්නේ ඔහුගේ ආයතනයේ සේවය කළ සේවකයන් දෙදෙනකු සහ පානදුරේ පදිංචි ඔහුගේ තවත් මිත්‍රයෙකි. සිම්පත් අලෙවි කරන්නන් ලෙසින් එම නිවසට කුලියට ගන්නා මොවුන් කිරින්ද ප්‍රදේශයේ ඇඟලුම් කම්හල් සේවිකාවක යොදා ගන්නේ ‘ඇමක්” ලෙසිනි. 
“නංගි, අපිට වැඩක් කර ගන්න තියෙනවා. ඇමති කෙනෙක්ගේ කේස් එකක්. එයා තමයි මේක අපිට භාර දුන්නේ. ඔයාගේ ලස්සනින් ප්‍රයෝජනයක් ගන්න තියෙන්නේ මේ චාන්ස් එක. ෆේස් බුක් එකෙන් පොඩි චැට් පාරක් දාලා අපි කියන එකාව අපිට ගෙනල්ලා දෙන්න. පොඩි ප්‍රශ්න කිරීම් දෙක තුනක් කරලා ඌව යවනවා. ඔයා ඌව අපි කියන තැනකට ගෙනල්ලා දුන්නොත් කෙළින්ම රුපියල් ලක්ෂ පහක් දෙනවා. මොකද කියන්නේ වැඩේ කරමු ද?” 


මේ කියන නංගී ද මේ අයියලාගේ බහට අවනත වන්නේ ලක්ෂ ගණනක මුදල් සිහිනය නිසාය. ඇය ද මේ පිරිසට එකතුවී සීදූවට එන්නේ මහා මෙහෙයුමක් සඳහාය. කෙසේ හෝ ඇය භාරගත් කොටස අවසන් වූ පසු ඇය ද එම කාර් රථයට දමා ගන්නා පිරිස ඇයව මිනුවන්ගොඩින් බස්සවා තිබිණි. කාර් රථයේ දී මේ පිරිස ශ්‍යාමෙන්ට හොඳ හැටි ගුටි පූජාවකින් සංග්‍රහ කරමින් ප්‍රශ්න අසා තිබුණේ “ඇයි උඹ කඬේ ඉල්ලුවේ? ඇයි උඹ නඩුවක් දැම්මේ? මම උඹට වෙලාවට කුලිය දුන්නා නේද? ඇයි උඹ මෙහෙම කළේ?” යනුවෙනි. එහිදී වැඳ වැටෙමින් ශ්‍යාමෙන් ඔවුන්ගෙන් ඉල්ලා ඇත්තේ “මම ඔක්කෝම උඹට ලියලා දෙන්නම්. මට යන්න දීපන්.” යනුවෙනි. 


එහෙත් ඝාතකයෝ සිය ඉලක්කයම පමණක් හඹා ගොස් තිබිණි. ඔවුන් අතර මග දී කිරි පැකට් බිස්කට් පැකට් වැනි කෑම ජාති මෙන්ම සිගරට් පැකට් සහ ලණුවක් මිලදී ගෙන ඇත. මිලදී ගත් එම ලණුවෙන් ශ්‍යාමෙන්ගේ අතපය ගැට ගසා කාර් රථයේ හරහට සීට් යටින් දමාගෙන ඇති ඔවුන් ලණුවෙන් ඔහුගේ ගෙළ සිර කර ඇත. එහෙත් ශ්‍යාමෙන්ගේ දිවි තොර නොවු තැන කොට්ටයකින් මුව තද කිරීමට මොවුන් ක්‍රියා කර තිබිණි. පසුව කුරුණෑගල, නිකවැරටිය, කොටවෙහෙර, ඉඟිරිකැටිය කැලෑබද ප්‍රදේශයකට යන මොවුන් ශ්‍යාමෙන්ගේ ඇඳුම් ඉරා දමා ඔහුව කැලෑවට ඇදගෙන ගොස් අමානුෂීය ලෙසින් ඝාතනය කර ඇත. 
මේ සියල්ල ටෙලි නාට්‍යක් ලෙසින් දිග හැරෙන්නේ සැකකරුවන් විසින් පොලීසිය ඉදිරියේ වමාරනු ලැබූ කරුණු හේතුවෙනි. සීදූව පොලීසිය සඳහන් කරන අන්දමට සැකකරුවන් මරණකරු ඝාතනයට යොදා ගත් පිහිය ඒ අසලදීම සෝදා රැගෙනවිත් ඔහුගේ ඇඳුම් සමග මග දෙපස ලදු කැලෑවට විසි කරමින් පැමිණ තිබිණි. 
ලද පැමිණිල්ලට අනුව සීසීටීවී දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත් වූ සීදුව පොලීසියේ නිලදරුවන්ට මේ ඝාතකයන් සමම්බන්ධයෙන් එකින් එක තොරතරු අනාවරණය කර ගැනීමට වැඩි දවසක් ගත වූයේ නැත. ඒ අනුව සීදූව පොලීසිය මගින් සැකකාර තරුණිය ඇතුලු සැකකැවන් සිව්දෙනා අත්අඩංගුවට ගත්හ. සීසීටීවී දර්ශනවලට අනුව මොවුන් ගමන් ගත් කාර් රථයේ අංක තහඩු දෙක මොවුන් සොරාගෙන විත් තිබූණේ පානදුර ප්‍රදේශයේ තිබූ වාහනයකින් බව පොලීසිය කියයි. මොවුන් එම වාහනයෙන් අංක තහඩු සොරාගෙන එන අවස්ථාවේ දී හෙරොයින් මත්ද්‍රව්‍ය සහ අයිස් මත්ද්‍රව්‍ය පානය කර හොඳ හැටි සූර්වී පැමිණ මේ අපරාධය කළ බවට සැකකරුවන්ගේ ප්‍රකාශ මත අනාවරණය කර ගත හැකි වූ බව ද පොලීසිය පවසයි. 
ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 294, 296 සහ 372 යන වගන්ති ප්‍රකාරව මෙම සැකකරුවන් වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් සිදුව පොලීසිය මොවුන් මීගමුව අතිරේක මහේස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා හමුවට ඉදිරිපත් කළේ ඉකුත් 16 වැනිදාය. 


සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බැවින් සැකකරුවන් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දෙන ලෙසට එහිදී සීදුව පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇතැයි ද මෙහිදී පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණි. කෙසේ වෙතත් ඝාතනයකට ආධාර අනුබල දුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් තරුණිය රක්ෂිත භාරයට පත් කිරීමට අධිකරණය තීරණය කර තිබිණි. ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ඉන්නන්ගල ආර, කිරින්ද, පුහුල්වැල්ල පදිංචි බෝධිහැන්දිගේ සචිත්‍රා ලක්ෂානි (22) නැමැත්තියයි. 


රැඳවුම් නියෝග මත පොලීසියේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ, බිංගිරිය පාර, වීරකැටිය පදිංචි වීරකෝන් රත්නායක චින්තක මධුෂාන් (29), පැල්ගොඩවත්ත, උඩුපිල්ලගම පදිංචි අබේසිංහ මද්දුම පටබැදිගේ ගෙවිඳු චතුරංග නොහොත් කුමාර (36), මාලිම්බඩ පදිංචි ගොම්බද්දරගේ අයේෂ් විකුම් තුෂාර (19), පිංගෙදර ජුලම්පිටිය පදිංචි පරණලියගේ ප්‍රදීප් ලක්මාල් නොහොත් ‘මීගස්ආර’ (25) යන අයවලුන් ය. 
මේ වෛරය කෙළවර වී ඇත්තේ කොතැනින්ද? පයාගල ප්‍රදේශයේ උපකාරක පංති ගුරුවරයකු මෙන්ම කෝටිපති ව්‍යාපාරිකයකු වූ ශ්‍යාමෙන් අද මොලොවින් නික්ම ගොස් ඇත. ව්‍යාපාර බංකොලොත් වීමට හේතු කාරණා වූ පුද්ගලයා මරා දමමින් තවත් කෝටිපති ව්‍යාපාරිකයකු සමග ඔහුගේ සහචරයෝ මේ සොයා ගොස් ඇත්තේ සැනසුම ද? නැතහොත් සුගතිය ද? කුමක් කෙසේ වුවද තවත් අයකුගේ ජීවිතයක් උදුරා ගන්නට කිසිවකුට හෝ කිසිදු අයිතියක් නැත. මේ මිනිසුන් සදාකාලිකව ලොව තුළ ජීවත්වෙන්නට පැමිණ ඇති ලෙසින් බිම්කඩකට ඉතා අමානූෂීය ලෙසින් තවත් අයකු මරා දැම්මේ නම්? මේ සමාජයේ අධර්මිෂ්ඨකම එයින් පිළිබිඹු නොවන්නේ ද? 


මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන් සිගේරා මහතාගේ උපදෙස් මත මීගමුව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කෝසල ලියනාරච්චි මහතාගේ අධීක්ෂණයෙන්, එහි අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුභාෂ් ප්‍රියදර්ශන, උප පොලිස් පරීක්ෂක රණතුංග, පොලිස් සැරයන් (33256) කුමාරදාස, පොලිස් කොස්තාපල්වරුන් වන (60302) මංජුල, (72566) හේරත්, (79889) තිලකරත්න, කාන්තා පොලිස් කොස්තාපල් (10865) ධනංජි යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක මෙහෙයවති. 

 

නිමන්ති රණසිංහ