කොළඹට එකතු​ෙවන ​අලුත් මාර්ග


 

කොළඹ අපේ රටේ ප්‍රධාන වෙළෙඳ නගරයයි. පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි පාලන සමයේදි කොළඹ වරාය කේන්ද්‍ර කරගෙන කොළඹ ප්‍රධාන වෙළෙඳ නගරය බවට පත්ව ගියේ කාලයාගේ ඇවෑමෙනි. එදා සිට අද දක්වාම හෙට දවසෙත් කොළඹට ලැබුණු ඒ වටිනාකම අබමල් රේණුවකින්වත් අඩු නොවනු ඇත.


කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය නිම වූ පසු ගාලු මුවදොර ප්‍රදේශය පමණක් නොව කොළඹ නගරයම සංචාරක පරාදීසයක් වන බවට පළ කරන ප්‍රකාශ ද සමඟ කොළඹට හිමි තැන දෙගුණ තෙගුණ වන එක කිසිවකුටත් නතර කළ නොහැකි වන බව නිසැකය.


නමුත් කොළඹ මාර්ග තදබදය සිහිවන විට කොළඹට එන එක එපා වේ. මේ දිනවල නම් කොළඹ පෑලියගොඩ, අලුත් කැලණි පාලම පසුකර කොළඹින් එළියට ඒමට විනාඩි 90ක් පමණ ගත කිරීමට සිදුව ඇත. මේ ඇතිවන මාර්ග තදබදයත් සමඟ කොළඹට යන එන විකල්ප මාර්ග ද අවහිර වී මුළු කොළඹම ට්‍රැෆික් ජෑම් එක්ක බවට පත්වන බව ඇත්තකි.


අලුත් කැලණි පාලම මත මෙතරම් මාර්ග තදබදයක් ඇති වී ඇත්තේ මන්ද?


හේතුව වෙන කිසිවක්ම නොව කොළඹ මාර්ග තදබදයට විසඳුම් පිණිස කණු මත දිවෙන එල්ලෙන පාලම් පද්ධතිය හා කණු මත දිවෙන ගුවන් පාලම් පද්ධතිය ඉදිරිවෙමින් තිබෙන නිසාය.


ඇත්තටම මේ ඉදිකිරීම නිම වූ පසු කොළඹ සිරි අසිරිය දෙගුණ තෙගුණ වනු ඇතැයි මේ ඉදිකිරීම් දකින කල අපට සිතිණි.


කොළඹ කටුනායක අධිවේගී මාර්ගය, දක්ෂිණ අධිවේගී මාර්ගය, ඉදිකරමින් තිබෙන කොළඹ, මහනුවර අධිවේගී මාර්ගය ආදී මාර්ගවල ගමන් බිමන් යන කල සිතට දැනෙන්නේ සතුටකි. ගතට දැනෙන පහසුව අපමණය. වටිනා කාලය ඉතිරි වී ගමන් වෙහෙස අවම කරන අධිවේගී මාර්ග පද්ධතිය කවුරු කෙලෙස අර්ථකථනය කළත් රටක් සංවර්ධනය කරා යනවිට මෙවැනි මාර්ග පද්ධතියක් ද රටට අවැසිය.


එදා අපේ මුතුන් මිත්තන් කොළඹ නගරයට පිවිසීමට කැලණි ගඟ හරහාත්, කළු ගඟ හරහාත් එගොඩ මෙගොඩ වූයේ පාලම් පාරුවලිනි. ගැල්වල නැඟී කොළඹ ආගිය අපේ මුතුන් මිත්තන් ගමනාගමනයේදී මොන තරම් පීඩා විඳින්නට ඇද්දැයි සිතේ. මේ තරම් දියුණු මාර්ග සුඛෝපභෝගී මෝටර් රථ, මගී බස් රථ, දුම්රිය, ත්‍රිරෝද හා යතුරුපැදි ඇති මෙකලත් කොළඹට එන එකත් ආපසු යන එකත් මොන තරම් වදයක්දැයි කොළඹ යන එන උදවියට අලුතින් මතක් කළ යුතු නොවේ.


මේ දිනවල කොළඹ, නුවර පාරේ මාර්ග තදබදය නිසා කොළඹ කොටුව, පිටකොටුව සිට පෑලියගොඩට යෑමට ඒමට අඩුම තරමින් විනාඩි පනහක් පමණ ගත වේ. නව කැලණි පාලම් මාර්ග ව්‍යාපෘතිය අදියර තුනකින් ක්‍රියාත්මක එකකි.


මීගමුව දෙස සිට කොළඹට පිවිසෙන වාහනත්, මහනුවර දෙස සිට කොළඹට පිවිසෙන වාහනත්, අලුතින් ඉදිකළ කටුනායක අධිවේගී මාර්ගය ඔස්සේ පිවිසෙන වාහනත් එක පොකුරට පැමිණ නතර වන්නේ කැලණිය අලුත් පාළම පාමුලය. උදෑසනත්, සවසත් ඇතැම් විට දහවලෙත් මේ පාරවල් තුනක වාහන හිර වී පැය ගණන් වාහන පේළි පේළි සෑදී ලතවෙන්නෙ රියැදුරන් පමණක් නොව කොයි කාගෙත් ඇඟේ ලේ රත් කරවමිනි.
මේ මාර්ග තදබදයට විසඳුම කිමෙක්ද?


මාර්ග සංවර්ධන අධිකාරිය විශ්වවිද්‍යාල කිහිපයක්ද එක් කරගෙන දීර්ඝ කාලයක් තිස්සේ සමීක්ෂණයක් සිදුකළේ මීට විසඳුම් සොයමිනි.


මීගමුව හා මහනුවර ඔස්සේ දිනකට නව කැලණි පාලම මතින් වාහන 86,000කට වඩා එහෙට මෙහෙට ධාවනය වේ. බේස්ලයින් මාර්ගය ඔස්සේ ද දිනකට වාහන 27,000කට වඩා ගමන් කරයි. කොළඹ කටුනායක මාර්ගය ද අලුතින් එක් වූ මාර්ගයය.


ජපන් සහයෝගීතා බැංකුව (ජයිකා) හා මෙම ව්‍යාපෘතිය සැලසුම් කළ ආයතනය මීට විසඳුමක් ලෙස සැලැස්මක් සැකසුවේ ඔය අතරය.


මෙම මාර්ග පද්ධතිය ශ්‍රී ලංකාවේ අපට අලුත්ය.


පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා කිලෝමීටර් 6.9ක් දුරට එක් මාර්ගයක් දිවේ. එය මංතීරු හතරකින් සමන්විතය. මෙහි විශේෂත්වය වන්නේ එල්ලෙන පාලමක් ලෙස එය ඉදි කිරීමය. ඒ අනුව කටුනායක සිට එන හෝ මහනුවර, මීගමුව දෙස සිට එන අයට මෙම මාර්ගය ඔස්සේ කෙළින්ම අතුරුගිරිය දක්වා වේගයෙන් යා හැකිවීමය.


දෙවන ව්‍යාපෘතිය වරාය පිවිසුම් ව්‍යාපෘතියය. එය කිලෝ මීටර් 5.3ක දුරකින් යුක්තය. අනෙක් ව්‍යාපෘතිය වන්නේ සතර දෙසින් යන එන වාහන සඳහා පිවිසුන සහ පිටවුම් සහිත නව කැලණි පාලම් ව්‍යාපෘතියය. එය හරියට වටරවුම් ව්‍යාපෘතියක් ලෙස හැඳින්වීම වැරැදි නැත.


නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කිලෝ මීටර් 6.9ක් දිගු මාර්ගයට මංතීරු හතරකි.


නව කැලණි පාලමට සමාන්තරව කැලණි ගඟ හරහා මංතීරු හතරක පාලමකි. මෙහි විශ්මය වන්නේ කැලණි ගඟ මත කිසිදු කණුවක් නොමැතිව පාලම් ඉදිකිරීමය.


පෑලියගොඩ සිට කොළඹ වරාය දක්වා කිලෝමීටර් පහක් දුරකට මංතීරු හතරක අධිවේගී මාර්ගයකි.


මේ දිනවල පෑලියගොඩ ප්‍රදේශයේ ඉදිකරමින් ඇත්තේ ඒ විශ්ව කර්ම කැලණි ගඟ මත එල්ලෙන ගුවන් පාලම් පද්ධතියය.


ඇත්තටම මේ ගුවන් පාලම් පද්ධතිය ඉදි වූ පසු කොළඹ මාර්ග තදබදයට කදිම විසඳුමක් එක් කරනු ඇතැයි විශ්වාසය. ඒත් සමගම කොළඹ අසිරියට ද එය ආභරණයක් වනු ඇත.


එදා ගැල්වල නැගී පාලම් පාරුවෙන් එගොඩ මෙගොඩ ගිය අපේ ආදි මුතුන් මිත්තන් මේ විශ්ව කර්ම මාර්ග පදධතිය දකින්නේ නම් ඔවුන් මොන තරම් සතුටු වනු ඇද්ද?


2017 වසරේ ඉදිකිරීම් ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය 2020 දෙසැම්බර් 31 වැනිදාට පෙර නිම කිරීම ඉලක්කය වී ඇත.


පෑලියගොඩ සිට කොළඹට දුර කිලෝමීටර් දෙකකි. මෙකී කිලෝමීටර් දෙක යෑමට සහ ඒමට ගතවන කාලය විනාඩි විස්සක් තිහක් පමණය. නමුත් මෙකී අධිවේගී මාර්ග පද්ධතිය නිම කළ පසු මෙකී දුර යෑමට ගත වන්නේ විනාඩි හතරකි. කාලය මොන තරම් ඉතිරිද? ඉන්ධන කොතරම් ඉතිරිද? කොළඹ වරාය පිවිසුම් මාර්ගය නිසා කන්ටේනර් රථවලට කිසිදු මාර්ග තදබදයකින් තොරව භාණ්ඩ එහා මෙහා ගෙන යාමට හැකියාව ලැබෙනු ඇත.
විනාඩි විස්සක් තිහක් ගත කර ගමන් ගත් කිලෝමීටර් දෙකක දුරක් විනාඩි හතරකින් ගමන් කිරීම යනු ආශ්චර්යයක් නොවේද?


ශ්‍රී ලංකාව වූ කලී වර්ග කිලෝ මීටර් 65,610කටත් වඩා කුඩා රටකි. එහෙව් රටකට අධිවේගී මාර්ග කුමකටදැයි විමසන අයද සිටිති. නමුත් ඉබි ගමනක ගිය අප දැන්වත් ඒ ගමන නවතා ඉදිරියට යා යුතුව ඇත. කවුරු කෙසේ කීවත් අධිවේගී මාර්ග, වාහන තදබදය නැති රටක් සංවර්ධනයට අත වනන බව ද නොරහසකි. ආයෝජකයින්ගේ ආකර්ෂණයට ද මේ මාර්ග පද්ධති බලපාන බව නොරහසකි.


එදා ගැල්වල නැගී පාලම් පාරුවෙන් කොළඹට සේන්දු වූ උදවිය ද ඊට පසුව පැරැණි කැලණි පාලමෙන් ආගිය අයද ඊටත් පසුව අලුත් පාලම හා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පැමිණි උදවිය ද 2020 න් පසු මේ කියන නව කැලණි පාලම මත ඉදිවන මාර්ග පද්ධතියෙන් සැනින් එහෙ මෙහෙ යනකොට මේ අප දැක්ක සිහිනය සැබෑවක්ව දකින කල අපට ද සතුටුය. මේ විශ්ව කර්ම නිර්මාණයට දෙස් විදෙස් විශේෂඥයින්ගේ සහාය ලැබී ඇත.


අාසියානු සංවර්ධන බැංකුව, ජපන් සහයෝගීතා බැංකුව (ජයිකා) හා ඍජු විදේශ ආයෝජන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.


එන්න කොළඹ අසිරිය විඳින්න. ‘‘කොළොම්පුරේ ශ්‍රියා කොළොම්පුරේ ශ්‍රියා බොහොම ලස්සනයි කොළොම්පුරේ ශ්‍රියා ශ්‍රියා’’ කියා කියන්නට තරම් මේ මාර්ග පද්ධතිය කොළඹට පිවිසෙන අයට ආඩම්බරයක් එක් කරනවා සිකුරුය.

 

 

ශිරාන් රණසිංහ