කොරෝනා වයිරසය චීනයට ආවේ පිටරටකින්


ලෝක සෞඛ්‍ය සංවිධානය පරීක්ෂණයෙන් පසු කියයි

  • චීනයට පෙර ලෝකයේ  රටවල් කිහිපයක වයිරසය පැතිරී තිබුණා 
  • විදෙස් රටක සිට ශීත කළ ආහාර මගින් වයිරසය  චීනයටත් එන්න ඇති

අද වනවිට ලොව පුරා ව්‍යාප්ත වී ඇති නව කොරෝනා හෙවත් COVID-19 වෛරසයේ ආරම්භය චීනයේ වූහාන් පළාතෙන් සිදු වූ බවට පළවන අදහසට කිසිදු සත්‍යතාවක් නොමැති බවත්, ඒ අනුව එම අදහස සම්බන්ධයෙන් තවදුරටත් අධ්‍යයනය කිරීම තේරුමක් නොමැති කරුණක් බවත් ඒ පිළිබඳව පරීක්ෂාව සඳහා චීනයේ වූහාන් නගරයට ගිය ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) විශේෂඥයෝ පවසති.   


ඔවුන් චීනයේ වූහාන් නගරය තුළ මෙම COVID-19 වෛරසයේ ආරම්භය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කරමින් පසුගිය අඟහරුවාදා සිදු කළ ප්‍රසිද්ධ මාධ්‍ය හමුවක දී මේ බව පවසා තිබේ.   
ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළුව බටහිර රටවල් විසින් අදහස් සහ චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරයට චීනයේ වූහාන් නගරයේ පිහිටි විද්‍යාගාරයකින් මෙම වෛරසය බාහිර පරිසරයට නිකුත් වූ බවට පළවන මතය කිසිලෙසකින්වත් සිදුවිය නොහැක්කක් බව මෙම විශේෂඥ කණ්ඩායමේ කරුණු දැක්වීම වී තිබේ.   


මේ සම්බන්ධයෙන් අදහස් දක්වන එම කණ්ඩායමේ නායක ආචාර්ය පීටර් එම්බාරෙක්, දැන් සිදු කළ යුතුව ඇත්තේ මෙම වෛරසය වෙනත් රටකින් චීනය වෙත ගෙන ආ එකක් ද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීම බව මෙහිදී පවසා තිබේ. ඒ අනුව පසුගිය වසරේ දී ලොව පළමු වරට COVID-19 පොකුරක් වාර්තා වූ වූහාන් නගරයේ පිහිටි හුනාන් මාංශ වෙළෙඳ සල තුළ තිබූ ශීතකරණය කරන ලද මාංශ තුළ බොහෝ විට මෙම වෛරසය තිබෙන්නට ඇතැයි ඔහු අදහස් දක්වා සිටියි. 

 
ලොව පුරා රටවල් 10ක විශේෂඥයන්ගෙන් සමන්විත මෙම කණ්ඩායම පසුගිය ජනවාරි 14 වැනිදා සිංගප්පූරුවේ සිට මෙලෙස චීනයේ වූහාන් නගරය වෙත පැමිණීම සිදු විය. එහිදී ඔවුන් චීනය තුළ සති දෙකක කාලයක් නිරෝධායනයට ලක් වූ අතර, එම කාලයේ දී තමන් රැඳී සිටි හෝටලයේ සිට වීඩියෝ තාක්ෂණය හරහා චීනයේ සෞඛ්‍ය අංශ සමගින් සම්මන්ත්‍රණවලට සහභාගි විය.   
බටහිර මාධ්‍යයන්හි මතභේදයට තුඩු දී තිබූ වූහාන් නගරයේ මෙම මාංශ වෙළෙඳ සල සහ විද්‍යාගාරය වෙත ඔවුන් ක්ෂේත්‍ර චාරිකාවේ නිරත වූයේ ඉන් අනතුරුවයි. එම විමර්ශන කටයුතු සති දෙකක් පුරා පැවැත්වුණි. මෙහිදී එම විමර්ශනය වෙත අවශ්‍ය සහාය දැක්වීම සඳහා චීනයේ පර්​ෙ‌ය්ෂණ කණ්ඩායමක් ද යොදවා තිබුණි. ආචාර්ය ලිආන්ග් වාන්නිආන් එහි ප්‍රධානියා විය.   


සිය නිරීක්ෂණයේ අවසන් වාර්තාව පිළිබඳව සඳහන් කරමින් ආචාර්ය එම්බාරෙක් ඇතුළු කණ්ඩායම, 2019 වසරේ දෙසැම්බර් මාසයට පෙරාතුව චීනයේ වූහාන් නගරය තුළ හෝ වෙනත් කිසිදු ස්ථානයක දී හෝ වෛරසයේ සම්ප්‍රේෂණයක් සිදු නොවුණු බවටත්, ඊට මාස කිහිපයකට පෙරාතුව සිටම එම වෛරසය ලොව රටවල් කිහිපයක් තුළම ව්‍යාප්ත වෙමින් පැවැති බවටත් වන අදහස අනුමත කරමින් අදහස් දැක්වීම් සිදුකර තිබීමත් විශේෂත්වයකි.   


මෙම COVID-19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් දැනට සිදු කර ඇති අධ්‍යයනයන් සහ මාධ්‍ය වාර්තා කිරීම්වලට අනුව වෛරසය පිළිබඳව වන පළමු සඳහන් කිරීම සිදුව ඇත්තේ 2019 වසරේ සැප්තැම්බර් 03 වැනිදා ඉතාලියේ වෙනෙටෝ පළාතෙනි. එහිදී රැස් කරගත් රුධිර සාම්පල තුළ මෙම COVID-19 වෛරස ප්‍රතිදේහ තිබීම ඊට හොඳම සාක්ෂියයි.   


එසේම 2019 සැප්තැම්බර් 04 වැනිදා ඉතාලියේ ලොම්බාර්ඩි නුවර දී ලබාගත් රුධිර සාම්පලයක දී ද මෙම COVID-19 ප්‍රතිදේහ තිබී ඇත. එම මාසයේම 31 වැනිදා ලොම්බාර්ඩි හිදී ලබාගත් රුධිර සාම්පල 13ක් COVID-19 ප්‍රතිදේහ සඳහා ධනාත්මක ප්‍රතිචාර දක්වා ඇත. 2019 නොවැම්බර් 27 දා බ්‍රසීලයේ සැන්ටා කැටලිනා හිදී පරීක්ෂාවට ලක් කළ අපජල සාම්පලයක ද COVID-19 වෛරසය තිබී ඇත. 2019 දෙසැම්බර් 13 දා කැලිෆෝනියාව, ඔරිගොන් සහ වොෂිංටන් යන ප්‍රාන්තවල සිදු කළ රුධිර සාම්පල පරීක්ෂාවල දී COVID-19 ප්‍රතිදේහ පවතින බවට සොයාගෙන ඇත. 2019 දෙසැම්බර් 18 දා ඉතාලියේ මිලාන් සහ ටුරින් නුවරවල අපජල සාම්පලයක ද කොරෝනා වෛරස ජානමය සංඝටක තිබී ඇත. 2019 දෙසැම්බර් 27දා පැරිසියේ දී රෝහල්ගත කෙරුණු පුද්ගලයෙකුට COVID-19 ආසාදිත බවට පසුව හඳුනාගැනුණි.   

 


2020 වසරේ ජනවාරි 15 වැනිදා ස්පාඤ්ඤයේ බාර්සිලෝනා නුවර අපජල සාම්පලයක ද තිබී COVID-19 ජානමය සංඝටක හමුවිය. එසේම ජනවාරි 17 වැනිදා එක්සත් ජනපදයේ ඉඕවා, මැසචුසෙට්ස්, මිචිගන්, රෝඩ් අයිලන්ඩ් සහ විස්කොන්සින් යන ප්‍රාන්තවල දී ලබා ගත් රුධිර සාම්පල තුළ දී COVID-19 ප්‍රතිදේහ තිබෙන බවට හඳුනාගෙන තිබේ. මීට අමතරව ජනවාරි 31 වැනිදා එක්සත් රාජධානියේ දී මිය ගිය පුද්ගලයෙකු සතුව COVID-19 පැවැති බවට පසුව හඳුනාගැනුණි.   


කෙසේ වෙතත් චීනය තුළ පළමු වරට COVID-19 පිළිබඳව වාර්තා වන්නේ 2019 වසරේ දෙසැම්බර් 31 වැනිදාය. එම අවස්ථාවේ දී හඳුනා නොගත් නියුමෝනියා තත්ත්වයකින් පෙළෙන වූහාන් වැසියන් පිරිසක් පරීක්ෂාවට ලක් කරන බව චීනය නිවේදනයක් නිකුත් කර තිබුණි. චීන ජනපතිවරයා සිය දේශපාලන මණ්ඩල රැස්වීමේ දී මෙම වෛරසය පිළිබඳව සාකච්ඡා කරන්නේ 2020 ජනවාරි 07 වැනිදායි.   


එසේම චීනය මෙම වෛරසයේ ජීනෝමය පිළිබඳව ප්‍රසිද්ධ කරන්නේ ජනවාරි 09 වැනිදායි. මීට අමතරව චීනය තුළ පළමු COVID-19 මරණය ජනවාරි 11 වැනිදා වාර්තා වන අතර, වූහාන්හි සත්ව වෙළෙඳ සැලේ සේවය කළ පුද්ගලයෙකු එලෙස මියගොස් තිබුණි. තත්ත්වය දරුණුවීමත් සමගින්ම වූහාන් නගරයට ලොක්ඩුවන් සීමා පැනවෙන්නේ ජනවාරි 23 වැනිදාය.   
ඒ අනුව 2019 සැප්තැම්බර් මාසයේ සිටම මෙම COVID-19 වෛරසය ලොව පුරා සම්ප්‍රේෂණය වෙමින් තිබූ බවට සාක්ෂි පවතින බව චීනයේ මෙන්ම මෙම විශේෂඥ කණ්ඩායමේ ද අදහස වී තිබේ.   
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වා ඇති එම කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය එම්බාරෙක්, මෙම වෛරසය කොහේ සිට පැමිණියේ ද සහ එය පළමුවෙන්ම මිනිසුන් වෙත කෙසේ සම්ප්‍රේෂණය වූයේ ද යන්න පිළිබඳව ස්ථිර අදහසක් ඉදිරිපත් කිරීමට තම කණ්ඩායම අපොහොසත් වූ බව පවසා ඇත. ඒ අනුව තමන් ඇතුළු කණ්ඩායම මෙම වෛරසයේ බිහිවීම සම්බන්ධයෙන් සිද්ධාන්ත හතරක් වෙත පිවිසෙන බව ඔහු මෙහිදී සඳහන් කර තිබේ.   


මෙතැන දී පළමුවැනි සිද්ධාන්තය තමයි මේ වෛරසය එහි සැබෑම ධාරකයා වෙතින්, මිනිසා වෙත ඍජුවම එය සම්ප්‍රේෂණය වූ අතරමැදි සත්ත්වයා වෙත එය හුවමාරු වීම. එම අතරමැදි සත්ත්වයා හා මිනිසා අතර පැවැති සමීප සබඳතාව තමයි එය සම්ප්‍රේෂණයට හේතුව. දෙවැනි සිද්ධාන්තය තමයි මේ අතරමැදි සත්ත්වයා ඇතැම් විට වූහාන් වෙළෙඳ පොළේ අලෙවියට තැබුණු වෙනත් රටකින් ආනයනය කෙරුණු ශීත කළ සත්ත්ව නිෂ්පාදනයක් විය හැකි වීම. ඒ වගේම අපි ඉදිරිපත් කරන තෙවැනි සිද්ධාන්තය තමයි මේ වෛරසයේ සැබෑ ධාරකයාගෙන්ම එය මිනිසුන්ට ඍජුවම පැමිණීම. එතැනදී වවුලන් ඉදිරියෙන්ම ඉන්නවා. හැබැයි වූහාන්හි මෙම වෙළෙඳ සැලේ දී වවුලන් සහ මිනිසුන් අතර සමීපතම සම්බන්ධතාවක් සොයා ගන්න බැහැ.   
ඒ අනුව මෙම ඉහත සඳහන් කළ සිද්ධාන්ත තුන සම්බන්ධයෙන් තවදුරටත් පර්​ෙ‌ය්ෂණ සිදු කිරීම වැදගත් බව හෙතෙම මෙම මාධ්‍ය හමුවේ දී පවසා ඇත. එහිදී විශේෂයෙන්ම එම කණ්ඩායම් චීනයේ දේශසීමාවන්ට අභ්‍යන්තරයේ දී මෙන්ම දේශසීමාවන්ට පිටත දී ද ඒ පිළිබඳව සොයා බැලීම වැදගත් බවත් ඔහු අවධාරණය කර තිබේ.   


මේ අතර සිව්වැනි සිද්ධාන්තය වන්නේ මෙම COVID-19 වෛරසය වූහාන්හි විද්‍යාගාරයෙන් පිටතට ආවක් බවට වන අදහසයි. එහෙත් මෙම විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානියා එම අදහස දැඩි ලෙස ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව එවැනි අවස්ථාවක් ‘කිසිසේත්ම විය නොහැකි’ දෙයක් බව ද ඔහු පෙන්වා දී තිබේ.   
මෙම මාධ්‍ය හමුව වෙත එක්ව සිටි චීනයේ වූහාන් පර්​ෙ‌ය්ෂණ කණ්ඩායමේ ප්‍රධානී ආචාර්ය ලිආන්ග් වාන්නිආන්ද අදහස් දක්වමින් WHO විශේෂඥ කණ්ඩායමේ ප්‍රධානියා ඉදිරිපත් කළ මතය ස්ථිර කර තිබේ. ඒ අනුව චීනය තුළ මිනිසුන් අතර මෙම COVID-19 වෛරසය මතුවීමට පෙරාතුව එරට කිසිදු විද්‍යාගාර පරිශ්‍රයක මෙම වෛරසය නොතිබූ බව ඔහු එහිදී අවධාරණය කර ඇත.   


ඒ අනුව වෛරසය මේ වසංගතයට පෙරාතුව විද්‍යාගාරයක් තුළ නොතිබුණේ නම් එය එවැනි ස්ථානයකින් පිටතට පැමිණීමේ හැකියාවක් නොමැති බව ද ආචාර්ය ලිආන්ග් වැඩිදුරටත් පවසා ඇත.   
“මෙම විශේෂඥයන් පිරිස සඳහන් කරන ආකාරයට විදෙස් රටක සිට පැමිණි ශීත කළ ආහාර සමගින් මෙම COVID-19 වෛරසය චීනයට එන්නට පුළුවන්කම වැඩියි. මොකද මෙවැනි අඩු උෂ්ණත්ව තත්ත්වයන් යටතේ මෙම වෛරසය දිගුකාලයක් නොනැසී පවතින බවට විද්‍යාත්මකවත් ඔප්පු කර තිබෙනවා. ඒ කියන්නේ මේ වෛරසය වූහාන් වෙත පැමිණ තියෙන්නේ විශාල දුරක් පසු කරමිනුයි” ඔහු පවසා ඇත.   


එසේම වූහාන් නගරය තුළ දී මුලින්ම හඳුනාගත් COVID-19 වෛරස ආසාදනයවීම පසුගිය වසරේ දෙසැම්බර් 08 වැනිදා වාර්තා වී තිබේ. එහෙත් එම සිදුවීම මෙම වූහාන් නුවර පිහිටි හුනාන් මාංශ වෙළෙඳ පොළ හා සම්බන්ධතාවක් තිබී නොමැත.   


“වෛරසයේ සම්ප්‍රේෂණය සහ මේ හුනාන් වෙළෙඳ පොළ අතර සබඳතාවක් පිළිබඳ වැඩි අවධානයක් යොමු වුණා. ඒත් ඒ මොහොත වනවිටත් මේ වෛරසය තවත් තැන්වල තිබිලා. දැනට තිබෙන තොරතුරු අනුව අපිට තවමත් ස්ථිරවම කියන්න බැහැ මේ හුනාන් වෙළෙඳ පොළ වෙත වෛරසය ඇතුළු වුණේ කොහොමද කියලා” ආචාර්ය ලිආන්ග් පවසා තිබේ.   


මෙහිදී ඔහු මෙම වෛරසය මිනිසුන් වෙත සම්ප්‍රේෂණය වූ ආකාරය සම්බන්ධයෙන් ද නව අදහසක් ඉදිරිපත් කර ඇත. ඔහු පවසන ආකාරයට මෙම වෛරසය මිනිසුන් වෙත පැමිණීමේ අතරමැදි සත්ත්වයා බවට පත්ව ඇත්තේ බළලායි. ලොව පුරා වාර්තා වී ඇති එවැනි සිදු වීම් පිළිබඳව කරුණු දක්වමින් ආචාර්ය ලිආන්ග් මේ බව පවසා තිබේ. විශේෂයෙන්ම මින්ක් නම් සත්ත්ව විශේෂය, වවුලන් සහ පැන්ගොලින් යන සත්ත්ව විශේෂවලට වඩා COVID-19 වෛරසයේ ධාරක සත්ත්වයෙකු බවට සාක්ෂි ලැබී ඇති බවත් ඔහු පෙන්වා දෙයි. ඒ අතරින් වවුලන් සහ පැන්ගොලින් සතුන් චීනයේ සාම්ප්‍රදායික ඖෂධ සහ ඉවුම්පිහුම් සඳහා යොදා ගන්නා සතුන් දෙදෙනෙකි.   


‘‘මේ තත්ත්වයත් සමගින්ම අපි වසංගතයේ ආරම්භයේදීම චීනය පුරා සිටින සතුන් සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ දස දහස් ගණනක් සිදු කළා. එතැනදී කැලෑවේ ඉන්න සත්තු වගේම ගොවිපොළවල ඇති කරන සතුනුත්, සුරතල් සතුනුත් ඇතුළත් කෙරුණා. හැබැයි ඒ සියලු‍ම පරීක්ෂණවලින් ලැබුණේ ඍණාත්මක ප්‍රතිඵලයි’’ ඔහු වැඩිදුරටත් පවසා ඇත.   


මේ අතර මාසයක පමණ කාලයක් චීනයේ රැඳී සිටිමින් සිදු කළ මෙම විමර්ශනයේ දී චීන බලධාරීන් වඩාත් විවෘතව තමන්ට සහයෝගය ලබා දුන් බව මෙම ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයෝ මෙම මාධ්‍ය හමුවේ දී පවසා ඇත. ඒ අනුව තමන් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි විවෘතභාවයක් චීනය තුළ දී අත්විඳින්නට ලැබුණු බවත් මෙම පිරිස සඳහන් කර තිබේ.

 

 

බී. ඒ. එන්. අමරසිංහ