කොතරම් ඇල්ලුවත් මත් ද්‍රව්‍ය පාලනය නො​ෙවන්නේ ඇයි ?


 

ගෙවී ගියේ ග්ලයිපෝසේට් පිළිබඳ භීතිකාවෙන් පිරුණු සමයකි. දැන් එළැඹ ඇත්තේ විශ්වාසභංග හීතිකා සමයයි. පොලිතීන් තහනම ඇස්බැස්ටෝස් තහනම ආදී කලින් කලට කරළියට එන භීතිකා වෙතත් තවමත් සමනය නොවූ මුල් බැසගත් භීතිකාවන් වරින් වර දියෙහි දැමූ රබර් බෝල මෙන් මතු වේ.   


මත් ද්‍රව්‍ය උවදුරද එවැන්නකි. මෑත කාලීන සමාජ ආර්ථික දත්ත වලට අනුව අපේ රටට මත් ද්‍රව්‍ය ගෙනඒම පිළිබඳව පළමු වරට වාර්තා වන්නේ එක්දහස් නවසිය අසූ එක වර්ෂයේදීයි. අද වන විට මත්ද්‍රව්‍ය රට පුරාම ව්‍යාප්ත වූ එකකි.   


ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සපයන වාර්තාවන්ට අනුව ඉකුත් දෙදහස් දාහත වසරේදී මෙරටින් අත්අඩංගුවට ගන්නා ලද හෙරොයින් ප්‍රමාණය කි​ලෝ ග්‍රෑම් තුන්සිය දාහතරකුත් ග්‍රෑම් නවසිය පනස් පහකි. හෙරොයින් සම්බන්ධ වැරදිකරුවන් වශයෙන් ඉකුත් වසර තුළ පුද්ගලයන් විසි නව දහස් දෙසීය අසූ අටක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.   


​ෙහාරොයින් වලට අමතරව ඉකුත් වසරේදී කොකෙන් කිලෝ ග්‍රෑම් දෙසීය විස්සක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධ සැකකරුවන් ලෙස විසිනව දෙනෙක් පොලිස් වැටලීම් වලදී හමුව ඇත. ඊට අමතරව ගංජා කිලෝ ග්‍රෑම් හාරදහස් නවසියයක් අත්අඩංගුවට පත්ව ඇති අතර සැකකරුවන් පනස් එක් දහස් හත්සිය අසූ අටක් අත්අඩංගුවට පත්ව ඇත. ඉකුත් වසර තුළ දී හෂිශ් නමැති මත්ද්‍රව්‍ය විශේෂයේද කි​​​ෙලා් ග්‍රෑම් තිස් අටක් අත්අඩංගුවට පත්ව ඇත. මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ඉකුත් වසරේ දී අත්අඩංගුවට පත් වූවන් අතර පාකිස්ථානු ජාතිකයන් දාහතර දෙනෙක් සිට ඇති අතර අප්‍රිකානු කලාපයේ රටවල් ඇෆ්ගනිස්තානය ඉන්දියාව වැනි පෙරදිග රටවල් ඔස්සේ මෙරටට විෂ මත් ද්‍රව්‍ය පැමිණීම කලක් තිස්සේ දක්නට ලැබෙන තත්ත්වයකි.   


ඊට අමතරව පාසල් අාපන ශාලා ඔසු සල් ආශ්‍රිතව විකිණෙන විසිතුරු ඇසුරුම් වල බහාලු මත් ද්‍රව්‍ය වර්ග මත්පෙති වර්ග රැසක් පිළිබඳ ඉකුත් සමයේ බොහෝ සෙයින් කතා බහට ලක් විය.   


පොලිස් දෙපාර්තමේන්තුවට අයත් ආයතන ඇතුළුව මත් ද්‍රව්‍ය පාලනය සම්බන්ධ මැදිහත් වන රාජ්‍ය මට්ටමේ ආයතන සංඛ්‍යාව විස්සකට ආසන්න වේ. පොලිස් දෙපාර්තමේන්තුව සඳහන් කරන ආකාරයට බස්නාහිර පළාත තුළ පිහිටි සෑම පොලිස් ස්ථානයකම විෂ මත් ද්‍රව්‍ය පාලනය සම්බන්ධ විශේෂ එ්කක දිවා රාත්‍රී පුරා ක්‍රියාත්මක වේ. ඊට අමතරව වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය, පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැනි ආයතන වල නම් විශේෂයෙන්ම කියැවේ. ඊට අමතරව රාජ්‍ය නොවන ආයතන විවිධ සංවිධාන මගින් ද මත් ද්‍රව්‍යයට අැබ්බැහි වූවන් පුනරුත්ථාපනය ආදියට මැදිහත් වේ. බන්ධනාගාර දෙපාර්තමේන්තුවට මෙහිදී සුවිශේෂී වගකීමක් පැවරෙන බව අමතක නොකළ යුතුය.   


මත් ද්‍රව්‍ය පාලනය සම්බන්ධ ආයතන කොතෙක් තිබුණද මත් ද්‍රව්‍ය රට තුළ සංසරණය වීම අඩුවක් නැතිව සිදු වේ.   


මත් ද්‍රව්‍ය පාලනය කිරීමට නොහැකි හේතු මොනවාද ? මේ සම්බන්ධයෙන් කැලණිය විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ​ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්ය සුධීර ජයවීර දැක් වූ අදහස් මෙසේය.   

 

 

මත් ද්‍රව්‍ය පාලනය කිරීම නීතියට පැවරෙන කාර්ය භාරයක් පමණක් නොවෙයි. මත් ද්‍රව්‍ය සඳහා ඇති ඉල්ලුම් හා සැපයීම පාලනය කිරීමක් ඉල්ලුම කියන්නේ. මත් ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූ පුද්ගලයාගේ මානසික බලපෑම මත සිදු වන දෙයක්. සැපයීම අවම කිරීම පොදුව සිදු කළ හැකි දෙයක් වෙනවා. වැටලීම් වලින් පමණක් මත් ද්‍රව්‍ය පාලනය කිරීමට නොහැකි වීමට හේතු වන්නේ වැටලීම් යන්න සීමා සහිත එකක් වීමයි. අපරාධ විද්‍යාවට අනුව වැටලීම් වලදී අත්අඩංගුවට ගත හැකි වන්නේ දහයට එකක් වැනි අනුපාතංක ප්‍රමාණයක් බව විශ්වාස කෙරෙනවා.   


මත් උවදුර කියන්නේ මුහුදු වතුරට හසු වූ අයිස් කුට්ටියක් වැනි දෙයක්. මතු පිටට පෙනෙන්නේ ඉතා කුඩා ප්‍රමාණයේ වුවත් මුහුද යට ඇති කොටස ඉතා විශාලයි. මතුපිටට පෙනෙන සීමිත ප්‍රමාණය අනුව මත් ද්‍රව්‍ය සම්බන්ධ තීරණ ගැනීම වැරදි සහගත බව පවසනවා.   

 

මත් ද්‍රව්‍ය සම්බන්ධ ජාත්‍යන්තර යාන්ත්‍රණයක් පවතින නිසා රට තුළ සිදු කෙරෙන වැටලීම් වලට සීමා නොවී ජාත්‍යන්තර වශයෙන් අවධානයෙන් සිට මත් ද්‍රව්‍ය පාලනයට අවශ්‍ය කටයුතු සිදු කළ යුතුයි. ඒ සඳහා මත් ද්‍රව්‍ය ජාවාරම් කරුවන්ගේ උපක්‍රම ඉක්මවා ගිය බුද්ධිමය යාන්ත්‍රණයක් අප සතුවිය යුතුයි. ඒ සඳහා තාක්ෂණික මට්ටමේ ඥානමය තොරතුරු විමර්ශනයේ උපක්‍රම සම්බන්ධ පුළුල් ඥානයක් අවශ්‍ය වෙනවා. මත් ද්‍රව්‍ය පාලනය පිළිබඳ ඊට වෙන්වූ බුද්ධි තොරතුරු මධ්‍යස්ථානයක් පැවතිය යුතුයි.   


අපේ රටේ තිබෙන මත් ද්‍රව්‍ය බෙදා හැරීමේ යාන්ත්‍රණය ජාත්‍යන්තරය හා සම්බන්ධ වූවක් නිසා මේ පිළිබඳව හරි හැටි නොදැන තැනින් තැන හුදෙකලාව සිදු කරන වැටලීම් ආදියෙන් මත් උවදුර පාලනය කරන්න බැහැ.   
දේශපාලන බලය පාතාලය වැනි ප්‍රපංචයන් ද මේ සඳහා සෘජුව සම්බන්ධ වෙනවා.   


අපේ රටේ කුඩු විකුණන මුදලාලිලා කවුද? ඒවා බෙදා හරින්නේ කවුද? කියන කාරණාව සම්බන්ධයෙන් පොලිසිය තරම් දැනුම්වත්භාවය සහිත ආයතනයක් අපේ රට තුළ නැති තරම්.  


නමුත් පවතින තත්ත්වය මත තම අභිමතය මත කටයුතු කිරීමේ නොහැකියාවක් පොලිසියට තිබෙනවා.   


මත් ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධ විද්‍යාත්මක ක්‍රම වේදයක් නැති වීම තවත් ආකාරයක ගැටලුවක්. ඇබ්බැහිවූවන්ගේ කැමැත්ත පාලනය කිරීමට විද්‍යාත්මක වැඩ පිළිවෙළක් අවශ්‍ය වෙනවා. අපේ රටේ මත් ද්‍රව්‍ය නිවාරණයට පිහිට වූ ප්‍රධානතම ආයතන වන අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය දුර්වල ආයතනයක් බව පැහැදිලිවම ප්‍රකාශ කළ යුතු වෙනවා. අපේ රටේ මත් ද්‍රව්‍ය ව්‍යාප්තියට මෙම ආයතනය සෘජුවම වගකිව යුතු වෙනවා.   
පරමාර්ථය අතින් විශිෂ්ට වුවත් මෙම ආයතනය ක්‍රියාත්මක වීම අතින් දුර්වල ආයතනයක්. ඒ ආයතන සතුව දත්ත සංඛ්‍යාලේඛනයක් හරිආකාරව නැහැ. මත් ද්‍රව්‍ය වර්ග සම්බන්ධ ලෝකයේ නව ප්‍රවණතා තිබෙනවා. නමුත් අපේ රටේ තමවත් භාවිතා වෙන්නේ යල් පැන ගිය ක්‍රම වේද අතර පමණයි.   


ලංකාවේ හෙරොයින් භාවිතා කරන පුද්ගලයන්ගේ ප්‍රමාණය අද වන විට හතළිස් පන් දහසක් පමණ (45000) වන බව නවතම වාර්තා මගින් හෙළිදරව් වී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය ප්‍රකාශ කර තිබෙනවා. නමුත් මෙම සංඛ්‍යාව 2012 දී නිකුත් කළ වාර්තා වලත් එසේම සඳහන් කර තිබුණා. මෙවැනි ක්‍රියාමාර්ග වලින් වැළකී වගකිව යුතු අංශ නිවැරදි මැදිහත් වීමක්වත් ක්‍රමානුකූලව කටයුතු කරනවා නම් මත් ද්‍රව්‍ය පාලනය කළ හැකි බව පැවසිය යුතු යැයි ජ්‍යෙෂ්‍ඨ කථිකාචාර්ය සුධීර ජයවීර මහතා පැවසුවේය.   


වැටලීම් වලට සාපේක්ෂකව මත් ද්‍රව්‍ය පාලනය නොවන්නේ ඇයි දැයි අප නැඟූ පැනයට පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්‍ට නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා මහතා දැක් වූ අදහස් මෙසේය. පොලිසිය වශයෙන් මත් ද්‍රව්‍ය පාලනයට අප පැතිකඩ කිහිපයකින් දායකත්වය සපයනවා.   


මත් ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබාගෙන වැටලීම් සිදු කිරීම එහිදී ප්‍රමුඛ වෙනවා. ඊට අමතරව අප පුළුල් ලෙස සමාජය දැනුම්වත් කිරීම් සිදු කරනවා. වාර්ෂිකව රට පුරා දහස් ගණනින් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම් සිදු කරනවා. පාසල් සිසුන් රියැදුරන් තරුණ ප්‍රජාව වැනි අවදානම් කණ්ඩායම් දැනුම්වත් කිරීම නිරන්තරව සිදු කරනවා. විමර්ශන සිදු කිරීම පුළුල් ව්‍යුහයක් තුළ අප සිදු කරනවා. එය හුදෙක් රට අභ්‍යන්තරයට සීමා නොවූ ජාත්‍යන්තර ප්‍රවේශයකට සිදු වන ක්‍රියාවලියක් බව මෙහිදී පැහැදිලි කළ යුතුයි.   


පොලිසිය ලෙස අප හැම විටම අවශ්‍ය මැදිහත් වීම් සිදු කරනවා. වසරකට ලක්ෂයකට වැඩි පිරිසක් දැනුම්වත් කිරීම් සිදු කිරීම අප අතින් සිදු වෙනවා. ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනයට ද අදාළ විශේෂ දායකත්වයක් පොලිසිය උසුලනවා.  


මත් ද්‍රව්‍ය උවදුර නිවාරණයට සමාජයෙන්ද විශේෂ සහයෝගයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම අධිකරණය පාර්ශ්වයෙන් ද වැරදි කරුවන්ට දැඩි දඬුවම් හිමිය යුතු යැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අප සමඟ පැවසීය.   

 


​ෙතාරතුරු ලබා දීම පිළිබඳ විශේෂ ස්තූතිය සංජීව මැදවත්ත   


නියෝජ්‍ය පොලිස්පති පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්යාංශය   

 

 

සටහන - සමන්තිකා මාධවි