කොටින්ගෙන් බැට කෑ කෙවිලියාමඩුවට යළි පණ දුන් හාමුදුරුවෝ


අම්පටියේ හිමියන් පන්සල් ගොවිපලේ පැලේදි...

අම්පිටියේ සුමනරතන හිමියන් 
සිංහල - දෙමළ - මුස්ලිම් දරැවන් සමග

කෙවිලියාමඩුව දරු පවුලකට ආධාර දෙන අවස්ථාව.

කෙවිලියාමඩුව ගම්මානයේ පැරැනි නිවසක්

පරිත්‍යාගශීලින්ගේ මුදල් වලින් හැදුව නිවාස

 

 

වසර තිහක යුද්ධය අප රටට කළ විනාශය මෙතැකැයි කියා නිම කළ නොහැකිය ශාපලත් යුද්ධයෙන් බැටකෑ තවමත් දුක්විඳින ජනතාව අදත් ගම්මානවල තවමත් සිටී. වසර තිහක යුද්ධයට යටවූ මෙම අහිංසක වැසියන් ගේ දුක් ගැනවිලි අද අසන්නට කෙනෙක් නැති තරම්ය. අද යුද්ධයක් තිබුණා දැයි අමතක වූ මිනිසුන් ඉන්නා රටකට මෙම අහිංසකයින් අමතක වීම අරුමයක් නොවේ. අම්පාර මඩකළපුව සීමාවේ ඇති කෙවිලියාමඩුව ගම්මානය පිහිටා තිබෙන්නේ අම්පාර මහඔය මාර්ගයේ 20 වෙනි කණුවේය. නිරන්තරයෙන් පැමිණි ත්‍රස්තවාදී ප්‍රහාර නිසා මෙම ගම්මානයේ වැසියන් එයින් ඉවත් කිරීමට තීරණය කළේ වෙන කිසිවක් කර කියා ගත නොහැකි නිසාය. 
යුද්ධය අවසන් වීමත් සමගම මෙම ගම්මානයේ වැසියන් නැවත වතාවක් මෙහි පදිංචි ​ෙවන්නට තීරණය කළේය. එ්වන විට ඔවුන් ගේ නිවාස කිසිවක් නොවීය. කුඩා පැල්පත් ඉදිකරගත් මෙම පිරිස නැවත වතාවක් තම ජීවිතය ආරම්භ කළේය. එහෙත් මෙම පිරිස පදිංචි වූ දින සිටම විවිධ බාධාවන් එල්ල වන්න විය. එහෙත් ඔවුන්ගේ දුක අහන්නට කියන්නට කිසිවෙක් නොවීය. 


තමන්ට කිසිම පිළිසරණක් නැතිව ඉන්නා අවස්ථාවක මඩකළපුව සිට හිමි නමක් සින්නවත්ත ගම්මානයට වැඩම කර ඇති බව ගම්වැසියන් අතර හදිසි පණිවිඩයක් ලෙස පැතිර ගියේය. පසුව මෙම ගම්වැසියන් පැමිණ එම හිමියන් හමුවී තමන්ගේ දුක් අඳෝනාව පවසන්නට වූහ. ඒ හමුවීම සිදුවුණේ සින්නවත්ත විහාරස්ථානයේ දීය. 


අනේ හාමුදුරුවනේ අපි යුද්ධයෙන් පස්සේ නැවත මේ ඉඩම්වල පදිංචි වෙන්න ආවා. නමුත් අපිට ග්‍රාමසේවක මහත්තයා කියනවා යන්න කියලා. අපි කොහාටද යන්නේ අපේ හාමුදුරුවනේ යැයි ගම්වැසියන් පවසන්නට විය. ගම්වැසියන්ගේ මේ දුක් දොම්නස් සියල්ල අසා සිටි මේ හිමි නමගේ දෙනෙතින් කඳුළු ගලා වැටෙන්න විය. හරි උඹලා බය නැතුව ඉඳපල්ලා කව්රු කිව්වත් යන්න එපා. උඹලා ගැන මම බලා ගන්නම්. මේ ටික දවසේ තියෙන දෙයක් කාල ඉඳපල්ලා. මම ආයේ ඉක්මණින් එනවා උඹලා බලන්න. මම මේ කිසි කෙනෙක් තනි කරන්නේ නැහැ යනුවෙන් සිංහ සෙයියාවෙන් උන් වහන්සේ පැවසූහ. උන් වහන්සේගේ ඒ හඬත් සමගම ගම්වැසියන්ට මහත් ධෛර්යයක් පැමිණි අතර සියලුම දෙනාම හාමුදුරුවන්ගේ දෙපා නමදින්නට වූහ.

 
මේ අහිංසකයින්ගේ දුක සොයා ගෙන පැමිණියේ වෙන කවුරුත් නොව උතුරු - නැගෙනහිර උපප්‍රධාන සංඝනායක මඩකළපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්ය. 


යුද්ධය පැවැති සමයේ අනේක දුක් විඳිමින් උන් වහන්සේ මඩකළපුව මංගලාරාම විහාරස්ථානය රැකගෙන ආරක්ෂා කිරීමට කටයුතු කළේ හරියට දන් වේලක්වත් වළඳන්නට වත් නොහැකි යුගයකය. දානමාන දීමට කිසිවෙකු නොසිටි අතර ගම්වැසියන් කිහිප දෙනෙක් පමණක් උන් වහන්සේගේ දුක සැප සොයන්නට සිටි අතර ආරක්ෂ අංශ යුද්ධය කරන ගමන් දුන් දානය වළඳමින් මඩකළපුව විහාරය රැක ගනිමින් කටයුතු කරන්නට උන් වහන්සේට සිදුවිය. 


1990 වසරේ කොටි ත්‍රස්තවාදීන් විසින් මඩකළපුව මංගලාරාම විහාරය මුළුමනින්ම ගිනි තබා විනාශ කර තිබූ අතර එය නැවත ගොඩනැගීමේ වගකීම ද උන්වහන්සේ වෙත පැවරී තිබුණත් සිංහල පවුල් එකක්වත් නැති මඩකලපුව නගරයේ එම කාර්යය ඉටු කිරීම මහත් ගැටලුවක් විය. නමුත් උන් වහන්සේ යුද්ධය අවසන් වීමට ආසන්න වෙන විට විහාරස්ථානය යම් ප්‍රමාණයකට ගොඩනැගීමට සමත්විය. 

 

වැව ඉදිකරන අවස්ථාව

කෙවිලියාමඩුව ජනතාව සමග වගා කරන අම්පටියේ සුමනරතන හිමියන්

 


ඉන්පසුව යුද්ධය නිසා අසරණ වූ සින්නවත්ත, කෙවිලියාමඩුව, සිප්පිමඩුව, දිව්ලපතාන ගම්මානවල ජනතාවගේ ජීවිතය ගොඩනැගීමට උන්වහන්සේ පෙරමුණ ගනු ලැබීය. ඉන් ප්‍රධාන තැනක් ගනු ලැබුවේ කෙවිළියාමඩුව ගම්මානයයි. 


මෙම ගම්මනායේ පදිංචි වූ ජනතාව නැවත එම ස්ථානවල ස්ථාපිත කිරීමට අම්පිටියේ සුමනරතන හිමියන්ට මහත් වෙහෙසක් ගැනීමට සිදුවිය. මෙම ගම්මානයේ නැවත පදිංචිවීමට ඉඩ නොදිය හැකි බව පට්ටිපොළ ප්‍රාදේශීය ලේකම්වරිය පැවසීමත් සමගම විපතට පත් ජනතාව නැවත පදිංචි කිරීමට උන් වහන්සේට මහත් වෙහෙසක් ගැනීමට සිදුවිය. මෙම අහිංසක ජනතාව නැවත පදිංචි කිරීමට නිලධාරීන් සමග රණ්ඩු කරන්න ද උන් වහන්සේට සිදුවිය. 


අවසානයේ දී උන් වහන්සේ කෙවිලියාමඩුව ගම්මානයේ නිවාස 86ක් ඉදිකර මෙම අහිංසක‍ ජනතාව පදිංචි කිරීමට කටයුතු කළහ. ඒ සඳහා උන්වහන්සේ ගේ ඉල්ලීම පරිදි විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින් සහ ලංකාවේ සිටින බෝහෝ පිරිසක් උපකාර කළහ. 


යුද්ධය නිසා මෙම ගම්මානවලින් පිටව ගිය මෙම වැසියන් නැවත මෙම ගම්මානවල පදිංචියට පැමිණියේ ඇඳිවත පිටින්ය. ඔවුන්ගේ නිවාස සියල්ලම විනාශ වී ගොස් තිබිණ. මෙම ජනතාවට අවශ්‍ය වියළි සහනාධාර ද හැකි සෑම අවස්ථාවකදීම උන්වහන්සේ විසින් ලබාදීමට කටයුතු කළේය. එසේ නොකළා නම් මෙම ගම්මානයේ වැසියන් වැඩි පිරිසක් සිටින්නේ කුස ගින්නේය. 


එතැනින් නොනැවතුණු උන්වහන්සේ පන්සල් භූමියේ වැවක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරනු ලැබීය. ඒ අන් කිසිවක් නිසා නොව මෙම ගම්මානයේ ජනතාවගේ ජීවන රටාව ශක්තිමත් කිරීමට කුඹුරු ඉඩම් සකස් කිරීමටය. දහසක් බාධක මැදින් එම උත්සාහය ද මල්ඵල ගැන්වෙමින් පවතී. මෙම වැව යටතේ කුඹුරු අක්කර 100ක් පමණ අස්වැද්දීමට උන්වහන්සේ සැලසුම් කර තිබේ. 


මේ පිළිබඳව මෙම ගම්මානයේ පදිංචි ජනතාව අප සමග විවිධ අදහස් දැක්වීය. 


ධම්මිකා කුමාරි මහත්මිය කෙවිලියාමඩුව : මේ ගමේ ජීවත් වෙන්නේ යුද්ධයෙන් බැටකාපු ජනතාව. ඒ අයට යන එන මං නැතිව හිටියේ. අපිට කාත් කවුරුවත් නැතුව ඉන්න වෙලාවක තමයි මඩකළපුව පන්සලේ හැමුදුරුවෝ අපේ ගමට ඇවිල්ලා අපේ ගම හදන්න පටන් ගත්තේ. එදා ඉඳන් අපිට ශක්තියක් උනේ අම්පිටියේ නායක හිමියන් අපි හිටියේ පොඩි ඉලුක් පැලවල් වල අපිට ගෙයක් හදල දුන්නේ අපේ හාමුදුරුවෝ උන් වහන්සේ අපි හින්දා නිලධාරීන් එක්ක රණ්ඩු උනා. අපි හින්දා උසාවි යන්න සිද්ධ උනා. හරියට දානයත්වත් උන් වහන්සේට ලැබෙන්නේ නැහැ. නමුත් අපේ ජීවිත හදන්න ගොඩ නගන්න ගත්ත උත්සහය නිසා තමයි අපි අද මේ ගම්මානයේ රැඳිලා ඉන්නේ. උන් වහන්සේ අපිට පියෙක් වගේ කන්න බොන්න ටික පවා ගෙනත් දෙනවා. අපේ හාමුදුරුවන්ට මම දිඝාසිරි පතනවා.

 

එන්. එම්. සිරියාවතී මහත්මිය කෙවිලියාමඩුව : අපට ජීවත් වෙන්න ස්ථිර මාර්ගයක් නැහැ. මඩකළපුව හාමුදුරුවෝ තමයි අපේ කුසගිනි නිවන්නේ. අපේ දරුවන්ගේ කුසට බත් ඇටයක් වැටෙන්නේ අපේ හාමුදුරුවන්ට පිංසිද්ධ වෙන්න. දරුවන්ට ඉගෙන ගන්න පොතක් පතක් ලැබෙන්නේ අපේ හාමුදුරුවෝ නිසා. අපිට වගාවක් කියලා කරන්න පුළුවන් වෙන්නේ වැසි කාලේට පමණයි. ඒත් වැස්ස ලැබුණොත් විතරයි. අපිට ජීවත් වෙන්න විදියක් නැති නිසා හාමුදුරුවෝ පන්සල් වත්ත ගොවිපළක් කරා. ඒකේ වැඩ කරලා තමයි පහුගිය කාලේ ජීවත් උනේ. දැන් පන්සල් වත්තේ වැවක් හදනවා. ඒකේ වැඩ ගොඩක් අවසන්. උන් වහන්සේ හදන්නේ වැව යටතේ කුඹුරු හදල අපේ ගමේ අයට දෙන්න. එතකොට ගොවිතැන් බතක් කරල අපිට ජීවත් වෙන්න පුළුවන්. අපිට ආණ්ඩුවෙන් කියලා කිසිම දෙයක් හමුවුණේ නැහැ. මඩකළපුව හාමුදුරුවෝ නැත්නම් අපි කෙවිලියාමඩුවෙන් ගිහින් ඉවරයි.


එච්. සෝමාවතී කෙවිලියාමඩුව : පහුගිය කන්නයේ පොලියට අරන් අපේ ඉඩම් වගා කරා. හරක්, අලි ඇවිත් වගාව විනාශ කරා. දැන් පොලී සල්ලි ගෙවන්න විදියක් නැහැ. පොලීකාරයා ගෙදරට ඇවිත් බැණලා යනවා. එහෙම ඉන්න කොට තමයි අපේ හැමුදුරුවෝ පන්සලේ ගොවිපළ ආරම්භ කරේ. අපිට සල්ලි කෑම ටික දෙන්නේ හාමුදුරුවෝ උන් වහන්සේට දහස් වරක් පිංසිද්ධ වෙනවා අපේ කුසගිනි නිවනවට.
වයි. එස්. අමරඥාන කෙවිලියාමඩුව : අද කෙවිලියාමඩුව කියන ගම තියෙන්නේ මඩකළපුව හාමුදුරුවෝ නිසා. නැත්නම් නිලධාරින් අපිව පන්නල දානවා. අපේ හයියට ඉන්නේ හාමුදුරුවෝ විතරයි ආණ්ඩුවෙන් කියල අපිට යමක් හම්බ වෙන්නේ නැහැ. අඩුම වශයෙන් සමෘද්ධි පවා අපිට නැහැ. අපි ඒ තරම්ම අසරණයි. අඩුම වශයෙන් අපිට ජන්ද බලයවත් නැහැ. මේ පැත්තට ඉන්න නිලධාරීන් ගෙන් අපිට කුඩම්මාගේ සැලකිලි තමයි තියෙන්නේ. 


උතුරු - නැගෙනහිර උපප්‍රධාන සංඝනායක මඩකළපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි : වසර තිහක යුද්ධයෙන් පසුව මඩකළපුව දිස්ත්‍රික්කයේ හැම ජනතාවක්ම අසරණ තත්වයට පත්වෙලා හිටියේ. විශේෂයෙන්ම මඩකළපුව දිස්ත්‍රික්කයේ හිටපු සිංහල ජනතාව අන්ත අසරණ තත්වයට පත්වුණා. ඒ අය පිළිබඳව හොයන්න කව්රුවත් හිටියේ නැහැ. මම සිප්පිමඩුව, සින්නවත්ත, කෙවිලියාමඩුව, දිවිපොතාන යන ගම්මානවල ගෙවල් 178ක් පමණ හදල තියෙනවා. කෙවිලියාමඩුව ගම්මානයේ පමණක් ගෙවල් 83 ක් හදල තියෙනවා. මේ අහිංසකයින් පදිංචි කරන්න හදන විට විශාල සටනක් කරන්න සිද්ධ උනා. මට නඩු 17ක් විතර තියෙනවා. මට අවශ්‍ය උනේ යුද්ධයෙන් බැටකාපු මේ අහිංසකයින් වෙනුවෙන් යමක් කරන්න. අද ‍වෙනකොට මට යමක් කරන්න හැකි වෙලා තියෙනවා. මේ සඳහා මට විදේශ මිතුරන් විශාල ප්‍රමාණයක් උදව් කරලා තියෙනවා. 


මේ දිනවල මම උත්සහ කරන්නේ කෙවිලියාමඩුව ගම්මානයේ වැව සකස් කරන්න. මෙම වැව යටතේ කුඹුරු අක්කර 100ක් වගා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ කුඹුරු මේ ජනතාවට දෙන්න තමයි මගේ හීනය තියෙන්නේ. එදා කැඳ උගුරක් බොන්න හිටපු නැති කෙවිලියාමඩුව ජනතාව අද දෙපයින් නැගිටින්න උත්සහ කරනවා. මේ අය වගා කරන්න උත්සහ කළත් හරක් සහ වන අලින් මේ අයගේ වගාවන්වලට හානි කරනවා. දැනට අතුරුගිරිය පැත්තේ දායකයින් විසින් වැටවල් සකස් කර ගන්න කම්බි පවා අරගෙන දුන්නා. 


මට පුළුවන් හැම අවස්ථාවකම මම මේ අයට උදව් කරනවා. මේ ජනතාව දාල යන්න බැරි හින්දා මගේ ජීවිතේ වැඩිපුරම ගෙවෙන්නේ කෙවිලියාමඩුව පන්සලේ. පන්සලේ කිසිම පහසුකමක් නැහැ. ගමේ අයට දානය දෙන්න පුළුවන්කමක් නැහැ. අපිම දානය හදාගෙන වළඳලා සමහරදාට වළඳන්නේ පොල් සම්බෝලයි බතුයි. රෑට පැලක නිදා ගන්නවා. වැවේ කටයුතු සාර්ථකව අවසන්වෙමින් පවතිනවා. දැන් තියෙන්නේ කුඹුරු ඉඩම් හදන්න. ඒ සඳහා ඔබගේ සහයෝගය දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. 


කාගේ හරි වාසනාවකට මට මඩකළපුවට එන්න සිද්ධ උනා. මම මඩකළපුවට ආවේ නැත්නම් අද කිසිම සිංහල කෙනෙක් මඩකළපුවේ නැහැ. නිලධාරින් වැඩ කරන්නේ ජාතිවාදී දේශපලාඥයින් කියන විදියට ඒ වගේම නැගෙනහිර දැවන්ත පුරා වස්තු විනාශයක් සිද්ධ වෙනවා. මම මේවට කතා කරන නිසා මගේ ජීවිතයට තර්ජන එල්ල වෙමින් පවතිනවා. සිංහල අයට පමණක් නෙවෙයි දෙමළ මුස්ලිම් ජනතාවගේ ගැටලුවලටත් මම මැදිහත් වෙනවා. හැබැයි මඩකළපුව දිස්ත්‍රික්කයේ ඉන්න දෙමළ, මුස්ලිම් ජනතාව වෙනුවෙන් රජයේ දේශපාලඥයින් කථා කරන්න හිටියත් සිංහල අය ගැන කතා කරන්න ඉන්නේ මම විතරයි. අසාධාරණයට විරුද්ධව මම නිතරම නැගී සිටිනවා ඒක නවත්වන්න කාටවත් බැහැ. 

 

 


මඩකළපුව චෙංකල්අඩි ප්‍රදේශයේ පැරැණි විහාරයක් කෝවිලක් බවට පත්කරන්න ඒකේ කොටසක් කුඹුරක් බවට හදනකොට මම එයට විරුද්ධව විශාල සටනක් කරා. පොලීසිය මට විරුද්ධව උසාවි නියෝග අරගෙන ආවා. මම සටන නැවැත්වුවේ නැහැ. අන්තිමේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් එහි කැණීමක් කරා. දැන් බලන්න එතැන රජකාලේ විහාරස්ථානයක් තිබුණ බවට සාධක සොයා ගෙන තියෙනවා. ඉපැරැණි චෛත්‍යක් එතැන මතු උනා. ගමම එදා ඒ සටන කරේ නැත්නම් ඒ පුදබිම විනාශ කරනවා. ජාතිවාදී දේශපාලඥයින් මේවා පිටුපස්සේ ඉන්නවා. අන්තිම එක තමයි 23 වෙනිදා මඩකලපුව මයිලම්බාවා ප්‍රදේශයේ බෝ ගසක් කැපීම මම පොලීසියට දැනුම් දීලා ඒක නවත්වන්න කටයුතු කළා. චෙංකල්අඩි ප්‍රාදේශීය ලේකම් බෝ ගස කපන්න අවසර දීලා. වන සංරක්ෂණ නිලධාරි අවසර දීලා තියෙනවා. ආණ්ඩුව සංහිඳියාව ගැන කථා කරාට සංහිඳියාව තියෙන්නේ සිංහල අයට විතරයි. අනිත් පැත්තෙන් වෙන විනාශයන් නවත්වන්න කවුරුවත් නැහැ. මඩකළපුව දිස්ත්‍රික්කයේ වෙන දැවැන්ත ඉඩම් මංකොල්ලය කාටවත් නවත්වන්න බැහැ. 


මෙම නිවාස හදන්න වැව හදන්න එක්සත් රාජධානියේ හේමමාලි බණ්ඩාරනායක මහත්මිය, විශේෂඥ වෛද්‍ය නන්ද ද සිල්වා මහතා සහ එම මහත්මිය, යමුනා කෝණාර මහත්මිය, රීටා පීරිස් මහත්මිය, උපාලි මහත්තව මහතා, මොරිස් මහතා, මලින්ද විජේකෝන් මහතා ඇතුළු ලංකාවේ සහ විදේශ රටවල සිටින මට නිතරම උදව් කරන සියලුම පිංවතුන් සියලු දෙනාටම ස්තුතිවන්ත ‍වෙනවා. 


මඩකළපුව දිස්ත්‍රික්කයේ අසාධාරණයට ලක්වූ ජනතාවට ඉදිරියටත් දෙපයින් නැගී සිටවන්නට සහයෝගය ලබාදෙන්න කියන කාරුණික ඉල්ලීමත් සිදුකරනවා.

 

 

සටහන හා ඡායාරූප : 
අම්පාර වසන්ත චන්ද්‍රපාල