කිරිබත්ගොඩ රෝහල ඉදිකළ දෙමළ ජාතික ධනවතා


අද කිරිබත්ගොඩ රෝහල

 

කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රධානාචාර්ය කේ.ඩී. ද ලැනරෝල් මහතා කැලණිය ප්‍රදේශයේ ප්‍රභූන් හවුල් කරගෙන බෞද්ධ සමිතියක් පිහිටෙව්වේය. වරාගොඩ ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රධානාචාර්ය ඩී.බී. ධනපාල, කැලණිය ගම්කාර්ය සභාවේ පෙතියාගොඩ සභික ඩී.ඇන්. ජයතිලක සමිතියේ අනෙක් ප්‍රධානීන් අතරේ වූහ.   


විද්‍යාලංකාර පිරිවෙනේ ලුණුපොකුණේ ධර්මානන්ද, කිරිවත්තුඩුවේ ප්‍රඥාසාර, යක්කඩුවේ ප්‍රඥාසාර, බඹරැන්දේ සිරිසීවලී යන හිමිවරු ආනුශාසකවරුන් වූහ. මෙය බෞද්ධ සමිතියක් වුවත් කළේ ප්‍රජා සත්කාර සේවාවන්ය. මංමාවත් තැනුවේය. අම්බලම්, බෝක්කු පිළිසකර කළේය. ප්‍රථමයෙන්ම “කැලණිය බෞද්ධ සමිතිය” කළ ප්‍රජා සත්කාරය නම් කැලණියට ආරෝග්‍ය ශාලාවක් ඇතිකිරීමයි. ඒ වනවිට පළාතටම රෝහලක් තිබුණේ නැත. ඔවුන්ට රෝහල තැනීමට ඉඩමක් නොමිලේම ලැබුණේය. ගොඩනැගිලි නොමිලේ ලැබුණේය. අවශ්‍ය උපකරණ ලැබුණේය. ශ්‍රමය ලැබුණේය. මෙය අද අක්කර පහක් පුරාවට පැතිර ඇති කිරිබත්ගොඩ ආරෝග්‍ය ශාලාවයි. රෝහල විවෘත කිරීමේ උත්සවයත් නොමිලේය, සංග්‍රහය නොමිලේය. පෙරහරට අලි ඇතුන් පවා නොමිලේය. මේ කාලයේ කැලණියේ රාජ්‍ය මන්ත්‍රණ සභා මන්ත්‍රී ජේ.ආර්. ජයවර්ධන මහතාය. සෞඛ්‍ය ඇමති ජෝර්ජ් ඊ. ද සිල්වා මහතාය. කිරිබත්ගොඩ රෝහල විවෘත කිරීමට එවකට සභානායක ඩී.එස්. සේනානායක මහතාත්, අමාත්‍ය ඇස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතාත් සහභාගි වූහ. ඉංග්‍රීසි ආණ්ඩුවෙන් සතයක්වත් නොගෙන ලංකාවේ පළමු වතාවට ඉදිකළ එම රෝහලේ කතාවයි. 


රෝහල් පුරාණය 


කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රධානාචාර්ය. කේ.ඩී. ද ලැනරෝල් මහතා කොළඹ, බොරැල්ලේ බැල්කම් පෙදෙසේ සිට කැලණියේ වරාගොඩට පදිංචියට ආවේ 1943 දීය. මේ ​වෙනවිට ඩී.බී. ධනපාල මහතා වරාගොඩ ධර්මාලෝක විද්‍යාලයේ ප්‍රධානාචාර්යවරයායි. නීතිඥ වොල්ටර් ඩික්සන් පෙරේරා, කැලණි ගම් කාර්ය සභාවේ ඩී.එන්. ජයතිලක, ජී.පී අමරසේන, ජී.ඩබ්. රාජපක්ෂ ආදී පිරිස එක්කර ගෙන “කැලණියේ බෞද්ධ සමිතිය” නමින් සංවිධානයක් පිහිටුවා ගත්තේය. පාලි භාෂාව හා ත්‍රිපිටකය පිළිබඳ විශාරද බුද්ධිමතකු වූ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද, විද්‍යාලංකාර පිරිවෙනේ සිව්වන පරිවේනාධිපති වූ 1959 දී පිරිවෙන් විශ්වවිද්‍යාලයක් බවට පත්වූ විට ප්‍රථම උපකුලපතිවරයා වූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර, විද්‍යාලංකාර පිරිවෙනේ අධ්‍යක්‍ෂ යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම, ලංකා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය බඹරැන්දේ සිරිසීවලී යන මහාපඬිවරුන් කැලණියේ බෞද්ධ සංගමයේ උපදේශකවරුන් වූහ. 


 මෙය බෞද්ධ සංගමයක මුහුණුවර ගත් නමුදු ප්‍රධාන වශයෙන් සිදුවූයේ ප්‍රජා සත්කාරක කාර්යයන්ය. ප්‍රදේශයේ මංමාවත් සෑදීම වැනි අඩුපාඩු සොයාබලා වගකිව යුත්තන්ගේ අවධානයට යොමු කිරීම සංගමයේ ප්‍රධාන කාර්යය විය. 1943 වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දිනෙක ‘දිනමිණ’ පුවත්පතේ පහත සඳහන් ප්‍රවෘත්තිය පළවී තිබුණි. 


“ආණ්ඩුව ලවා කැලණි පළාතේ ආරෝග්‍ය ශාලාවක් සහ මාතෘ නිවාසයක් ඇතිකරවා ගැනීම් වස් සාකච්ඡා කිරීම පිණිස මෙම මස 25 වෙනි සෙනසුරාදා අපරභාග 5.00ට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේදී කැලණිය හා අවට පළාත් වාසීන්ගේ මහා සභා රැස්වීමක් පවත්වනු ලැබේ. 


මීට - කැලණියේ බෞද්ධ සමිතිය වෙනුවෙන් කේ.ඩී. ද ලැනරෝල්, ඩී.බී. ධනපාල, ඩී.ඇන්. ජයතිලක.” 


මෙම ප්‍රවෘත්තිය ‘ටයිම්ස් ඔෆ් සිලොන්’ පත්‍රයේ ද පළවිය. කැලණියේ බෞද්ධ සමිතිය වෙනුවෙන් ආරාධනා කළේ මේ තිදෙනාය. 


කැලණියේ බෞද්ධ සමිතියේ ඉල්ලීම පරිදි 1943 සැප්තැම්බර් 25 දා සවස 5.00ට රැස්වීම පැවැත්විණ. මාකොල සපුගස්කන්ද විහාරයේ අධිපති කැන්දලියද්දපාළුවේ ඤණමෝලී (1934-1968) හිමි, බඹරැන්දේ සිරිසීවලී හිමි, පෑලියගොඩවත්තේ ජයතිලකාරාමයේ බී. ඥානරතන හිමි. මාපිටිගම ධම්මරක්ඛිත හිමි ආදී මහා සංඝරත්නයත්, වරාගොඩ, ශාන්ත පෝල් විද්‍යාලයේ බී.ජේ.සී. ප්‍රනාන්දු පියතුමාත් පූජ්‍ය පක්ෂය වෙනුවෙන් මෙම රැස්වීමට පැමිණ සිටියහ. රෝහල පිහිටුවීම පිළිබඳ යෝජනාව කළේ කේ.ඩී. ද ලැනරෝල් මහතාය. බඹරැන්දේ සිරිසීවලි හිමියෝ ආණ්ඩුව මඟින් කැලණිය පළාතේ ආරෝග්‍ය ශාලාවක් සහ මාතෘ නිවාසයක් නොපමාව පිහිටුවිය යුතු යැයි යන යෝජනාව ස්ථිර කරමින් යෝජනාවේ අදහස විස්තර කළේය. පසුව ගම්පහ මන්ත්‍රී ඩී.පී. ජයසූරිය මහතා කැලණිය පළාතට ආරෝග්‍ය ශාලාවක් ඉතා අවශ්‍ය බව තවදුරටත් පැහැදිලි කරමින් ඒ පිණිස ආණ්ඩුවෙන් ආධාර ලබාගත හැකි පිළිවෙල ද විස්තර කළේය. ගුවන් අනතුරකදී ගමන් අවහිරතා නිසා කොළඹ හා සම්බන්ධත්වයට බාධාවක් වුවහොත් කැලණිය වාසීන්ට මුහුණපාන්නට සිදුවන භයානක තත්ත්වයද ඒ මහතා පැහැදිලි කළේය. තවද මහර තානායම හා ඉඩම හා ගොඩනැගිල්ල පහසුවෙන් මේ සඳහා යෙදිය හැකි බැව් ද සභාවේදී ප්‍රකාශ විය. 


 ආරෝග්‍ය ශාලාව පිහිටුවීම ගැන කටයුතු කිරීමට සැලකිය යුතු කාරක සභාවක් මෙහිදී පත්කර ගන්නා ලදී. මුහන්දිරම් කේ.ජේ. ඇලෙක් ද සිල්වා මහතා සභාවේ මුලසුන ඉසිලීය. 
 මේ කාලය වනවිට කැලණිය දළුගම පේරුව, පෑලියගොඩ පේරුව, කැලණිය පේරුව වශයෙන් පේරු තුනකට බෙදා තිබුණි. කර්මාන්තශාලා පිහිටා තිබුණේ හුණුපිටිය හා පෑලියගොඩ ප්‍රදේශවලයි. ඒ කාලයේ කැලණියේ ජනගහනය 50,000කට වඩා නොවීය. දෙවන මහා ලෝක යුද්ධය ආරම්භ වූවාට පසු සියයට තිහක තරම් ජනගහනය වැඩිවූයේ පිටපළාත්වලින් මේ ප්‍රදේශයට රැකියාවන් සඳහා පැමිණි කම්කරුවන් නිසාය. විශාලතම කර්මාන්ත ශාලාව වූ බවර් කොම්පැණියේ කර්මාන්ත ශාලා තිබුණේ පෑලියගොඩ සහ හුණුපිටියේය. 


සාකච්ඡාවට පැමිණි විශාල පිරිස අතුරෙන් 50 දෙනකුගෙන් සමන්විත කොමිටියක් පත්කර ගත්හ. මෙම කොමිටිය නම්කර තිබුණේ “කිරිබත්ගොඩ රෝහල් කොමිටිය” වශයෙනි. එම කොමිටිය සැප්තැම්බර් 30 දා ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ දී නැවත රැස්වූහ. කොමිටියේ සභාපති වූයේ මුදලිඳු ඩී.ඒ. ජයතිලක මහතාය. ඔහු මහර ගම්සභා උසාවියේ නඩු ආණ්ඩු සභාපතිවරයා විය. එමෙන්ම සියනෑ අධිකාර සමිතියේ ආරම්භක සභාපතිවරයාය. ලේකම් කේ.ඩී. ද ලැනරෝල් මහතාය. භාණ්ඩාගාරික වරාගොඩ දුම්රියපොළ පාරේ ඩබ්.එස්. ද සොයිසා මහතාය. උපසභාපති වෝල්ටර් ඩික්සන් පෙරේරා මහතාය. උපලේකම්වරු දෙදෙනෙකි. ඩී.ඇන්. ජයතිලක (දළුගමපේරුවේ රෙජිස්ට්‍රාර් සහ කැලණිය ගම්කාර්ය සභාවේ සභික) සහ ජී.ඩබ්. රාජපක්ෂ යන මහත්වරුන්ය. රාජපක්ෂ මහතා පසු කලෙක කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයා විය. 
මෙම කොමිටියේ ඇම්. ජයසේන ලෙස සඳහන් වන්නේ මුදලිඳු ජේ. මදනායක මහතාය. ඔහු එම්.ජේ. බස් කොම්පැණියේ අයිතිකරු මෙන්ම එම්.ජේ. රක්ෂණ සමාගමේ ද අයිතිකරුය. තවත් සුවිශේෂී ක්‍රියාකරුවන් දෙදෙනකු ලෙස ලොකුලියනගේ ජෝන් එඩ්මන් කබ්රාල්, එඩී නොහොත් අබේසේකර වෙද මහතා, වර්තමාන කිරිබත්ගොඩ පොළ අයිතිව තිබුණේ එඩ්මන් කබ්රාල් නොතාරිස් රාලහාමිටයි. බඹරැන්දේ සිරිසීවලී හිමියන් එකල ප්‍රකටව සිටියේ ලංකා ප්‍රගතිශීලී ලේඛක සංගමයේ ලේකම් හා ලංකා විශ්වවිද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයකු වශයෙනි. කේ. ඤාණමෝලි හිමියෝ සපුගස්කන්ද විහාරයේ අධිපතිව වැඩහුන්හ. මුදලිඳු ඩී.ඒ. ජයතිලක කැලණියේ ගම්කාර්ය සභාවේ හිටපු සභාපතිවරයා විය. මුහන්දිරම් කේ.ජේ. ඇලෙක්ස් සිල්වා කොළඹ නගරසභාවේ අධිකාරිවරයාය. ඩබ්.එස්. ද සොයිසා කැලණිය බවර් සමාගමේ අධිකාරිවරයාය. ඩී.එල්. ගුණසේකර වත්තල ගම්කාර්ය සභාවේ සභාපතිවරයායි. ඩී.ඊ.සී. ජයසිංහ මහත්මිය වනවාසල නොතාරිස්වරියකි. සී.පී. මලර් ශාන්ත ජෝසප් විද්‍යාලයේ ගුරුවරයෙකි. සිංහාරමුල්ලේ යූ.ඇම්. පෙරේරා ප්‍රසිද්ධ කොන්ත්‍රාත්කරුවෙකි. ඩී.ඩී. තොමිබියස් කැලණිය ගම්කාර්ය සභාවේ නියෝජිතයෙකි. එන්.වී.ජේ. අමරසේන කැලණියේ බෞද්ධ සමිතියේ භාණ්ඩාගාරික කොළඹ වේල්ල වීදියේ එම්පයර් මුද්‍රණාලයේ අධිපතිය. වරාගොඩ ඩබ්.ඩී. පෙරේරා නීතිඥවරයෙකි. දළුගම එම්.පී. එදිරිසිංහ, ආර්.ඇස්. ද සොයිසා, වරාගොඩ ඩී.ඒ. ජයතිලක මහත්මිය, නීතිඥ ඩී.එස්. ගනේගොඩ, ඊරියවැටියේ සී.පී. මළර්, ඩී.වී. අල්ගම, ගම්සභාවේ සභාපති, ජී.සී.එෆ්. රත්නසේකර, ආරච්චි මහතා, මුනිදාස ගලගෙදර, වරාගොඩ මාර්කස් වීරසිංහ, ආතර් වීරසිංහ, නෙල්සන් වීරසිංහ, වයි. රාජපක්‍ෂ ආදී වශයෙන් 50 දෙනකුගෙන් සමන්විත යෝජිත රෝහලක් ඉදිකිරීමේ කොමිටියක් පත්කළේ මෙම කාර්ය සඳහා කැලණිය ප්‍රදේශයේ වෙසෙන සියලු ජාතීන්, ආගමිකයන් සම්බන්ධ කරගැනීමේ අදහසිනි. ඒ අනුව සිංහල, බෞද්ධ, කතෝලික, හින්දු, මුස්ලිම් ආදී විවිධ ආගම්වලට අයත් මෙන්ම විවිධ ජාතීන්ටද අයත් පිරිස්ද මෙම කොමිටියට තේරී පත්වූහ. 


 රෝහල ගොඩනැංවීමේ කොමිටිය වරින්වර රැස්වී සාකච්ඡා කළ අතර ප්‍රදේශයේ මන්ත්‍රීවරයා මෙන්ම සෞඛ්‍ය ඇමැතිවරයා ද හමු වී සාකච්ඡා පැවැත්වූහ. ඇඳන් 20ක් තැබිය හැකි වාට්ටු දෙකක් ඉදිකිරීමට රුපියල් 40,000ක් පමණ වැයවන බව මේ වනවිට ගණන් බලා තිබුණි. ඉඩම් මිලදී ගෙන ගොඩනැගිලි ඉදිකර රෝහලට අවශ්‍ය සියලුම අංගෝපාංග සම්පූර්ණ කිරීමේ කාර්යයන් සඳහා සියලුම වියදම් රජයට දැරිය නොහැකි බවත්, ඉඩමක් ගෙන ගොඩනැගිලි ඉදිකර දුන්නොත් රෝහල පවත්වාගෙන යාමේ කටයුතු රජයෙන් කළ හැකි බව සංවිධායකවරුන්ට දන්වා තිබුණි. කිරිබත්ගොඩ ග්‍රාමීය ආරෝග්‍ය ශාලාව පිහිටුවීම සඳහා සුදුසු භූමියක් සෙවීමට කැලණිය මන්ත්‍රී ජේ.ආර්. ජයවර්ධන සෞඛ්‍ය ඇමැති ජොර්ජ් ඊ. ද සිල්වා යන මහත්වරු 1944 මාර්තු 4 දා උදෑසන ප්‍රදේශයේ සංචාරයක යෙදුණේය. මෙහිදී ඔවුන් අදහස් කළේ සුදුසු භූමි භාගයක් හමු වුවහොත් මිල දී ගැනීමට හෝ පවරා ගැනීමටය. 


 මේ අතර පෑලියගොඩ ලක්ෂ්මී තෙල් මෝල හිමි පුවලිංගම් චෙට්ටියාර් මහතා තමාගේ නැසීගිය බිරිඳ සීතා ලක්ෂ්මී මහත්මිය වෙනුවෙන් වත්තල ප්‍රදේශයේ මාතෘ නිවාසයක් තැනීමට යන බව කේ.ඩී. ද ලැනරෝල් මහතාට දැනගන්නට ලැබුණි. ලැනරෝල් මහතා, පුවලිංගම් මහතා සහ එම සංවිධායක පිරිස හමුවිය. ලැනරෝල් මහතා ඔවුන්ට කියා සිටියේ මේ අවස්ථාවේ ආරෝග්‍ය ශාලාවක වඩාත්ම අවශ්‍යතාව ඇත්තේ වත්තලට නොව කැලණිය ප්‍රදේශයට බවයි. එහෙත් වත්තලට මාතෘ නිවාසයක් අවශ්‍යනම් එය තැනීමට යන මුදල් සොයාදීමට ඔවුන්ට උදව් කරන බව දැන්වීය. මේ වනවිට පුවලිංගම් මහතා අත්තිකාරම් වශයෙන් වත්තල මාතෘ නිවාසය වෙනුවෙන් රුපියල් පන්දහසක මුදලක් දෙන බවට පොරොන්දු වී තිබුණි. ලැනරෝල් මහතා කීවේ එම මුදල ළඟදීම ඔවුන්ට ලබාදෙන බවයි. ලැනරෝල් මහතා එම මුදල පමණක් නොව වත්තල මාතෘ නිවාසය තැනීමටද උදව් උපකාර කළේය. 


කැලණියේ ආරෝග්‍ය ශාලාවේ 


“ශීතා ලක්ෂ්මි පුවලිංගම් චෙට්ටියාර්” ගිලන් ශාලා ගොඩනැගිල්ල විවෘත කිරීම 1946 ජූනි 16 දා සවස 3.30ට සිදුවිය. 


 මදනායක ජයසේන මහතා විසින් ප්‍රදානය කරන මාතෘ නිවාස ගොඩනැගිල්ලේ මුල්ගල තැබීම ද එදිනම සිදුවිය. මෙම උත්සවය සිදුවූයේ අග්‍රාමාත්‍ය ඩී.ඇස්. සේනානායක, සෞඛ්‍ය ඇමැති ජෝර්ජ් ඊ. ද සිල්වා, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක යන මැති ඇමැතිවරුන් සහ බස්නාහිර පළාතේ දිසාපති වී. කුමාරසාමි මහතාගේ සහභාගිත්වයෙනි. 
 අලි ඇතුන් සහිත විශාල පෙරහරක් ද සැරසිලි සහිත අලංකාර තොරණක් ද මහාසභා රැස්වීමක් ද මෙහි දී විය. පුවලිංගම් චෙට්ටියාර් මහතා ඉදිකළ එතුමාගේ (බිරිඳ සිහිවීම සඳහා) “ශීතා ලක්ෂ්මී පුවලිංගම් චෙට්ටියාර් ගිලන්ශාලා” ගොඩනැගිල්ල විවෘත කළදා ඔහු සිටියත් ඇම්. ජයසේන (මදනායක මහතා) ප්‍රදානය කළ මාතෘ නිවාස ගොඩනැගිල්ල විවෘත කරනවිට පුවලිංගම් මහතා ජීවතුන් අතර සිටියේ නැත. එහෙත් ඔහු විවෘත කළ සිහිවීමේ ඵලකය අදත් රෝහල් ගොඩනැගිල්ලේ දක්නට තිබේ. 


 අක්කර පහකින් පමණ සමන්විත කිරිබත්ගොඩ රෝහල මේ වෙනවිට ‘බී’ ශ්‍රේණියේ මූලික රෝහලකි. ප්‍රදේශවාසීන්ගේ පැසසුමට නිරන්තරයෙන්ම ලක් වී ඇති මෙහි විශේෂය වන්නේ පිරිසුදු බව සහ කාර්යක්‍ෂම කාරුණික සේවාවයි. මෙයට වසර 75කට පෙර ආරම්භ කළ කිරිබත්ගොඩ රෝහල අද ළමා, කාන්තා වශයෙන් ද හදිසි ප්‍රතිකාර, මානසික රෝග, පවුල් සෞඛ්‍ය, දන්ත, උගුර, කන, නාසය, (ENT) අක්ෂි රෝග, සෙම පටල ආදී අංශවලින් ද බාහිර රෝගී ප්‍රතිකාර හා ෆාමසි සේවා අංශයෙන්ද, රසායනාගාර සේවාවෙන්ද සම්පූර්ණය. විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලය 43 දෙනකුගෙන් සමන්විත වේ. හෙද කාර්ය මණ්ඩලය තිස්පහකි. කනිෂ්ට කාර්යමණ්ඩලය 51කි. කාර්යාල සේවා සඳහා නව දෙනකි. රසායනාගාර අතුරු වෛද්‍ය සේවයට දෙදෙනකු සිටිති. මේ හැර ​ඖෂධවේදීන්, ඖෂධ සංයෝජකයන්ද, රසායනාගාර ශිල්පීන්ද, රියදුරන්ද වෙති. මෙම සංඛ්‍යාලේඛන නිල වශයෙන් නැතත් දළ වශයෙන් දැන්වූයේ රෝහලේ දියුණුව හා ප්‍රගති දැක්වීමටයි. 

 

 

 

 

පී.ඇම්. සේනාරත්න