කෑලි කැපූ මළ සිරුරක අබිරහස


 

මනුෂ්‍යයකු ඝාතනය කිරීම අද සරල දෙයක් බවට පත්ව ඇතිවා පමණක් නොව පණ පිටින් කෑලි කෑලිවලට කැපීමත් සාමාන්‍ය දෙයක් බවට පත්වෙමින් තිබේ. සමහර විට දරුණු වධ හිංසා පමුණුවා ඝාතනය කර හිතේ තිබෙන වෛරය කෙළවර නොවන තැන සිරුර කෑලි කෑලිවලට වෙන් කරන්නට පෙළඹෙන අවස්ථාද අපට අසන්නට දකින්නට ලැබී තිබේ. බුදුන්ගේ රට, ධර්මද්වීපය යනුවෙන් කවුරු මොනවා කිව්වත් එය යථාර්ථයක් බවට පත් කරන්නට කිසිවෙකුට හැකි වී නැති බවට මේ සිදුවීම් සාක්ෂි දරනු ඇත. ඒ සියල්ල තම තමන්ගේ අවශ්‍යතා වෙනුවෙන් ඉදිරිපත් වන සටන් පාඨ පමණක් බවට පත්ව ඇත. එයට තවත් සාක්ෂියක් පසුගියදා බණ්ඩාරගමින් හා සෙවණගලින් අසන්නට ලැබිණ. 
බණ්ඩාරගම, බොල්ගොඩ ගඟ රක්ෂිතයේ තිබී කාන්තා හිසක් පසුගිය 04 වැනිදා උදේ හතට පමණ හමුවෙද්දී එදිනම සවස හතරට පමණ සෙවණගල, කිරිඉබ්බන්ආර වැව ආසන්නයෙන් හිස හා දෙපා රහිත, කාන්තා සිරුරක කොටසක් හමුවී විය. මේ සිරුරේ කකුල් දෙක තවමත් කිසිම තැනකින් හමුවී නැත. 


බණ්ඩාරගම, බොල්ගොඩ ගඟ රක්ෂිතය ආසන්නයේ පදිංචිව සිටින කාන්තාවක් උදෑසන මුහුණ සේදීමට ගිය අවස්ථාවේ කබරයෙකු මිනිස් හිසක් රැගෙන යන්නට උත්සාහ කරන අයුරු දැක තිබේ. එම කාන්තාව කබරයා එළවා දමා පොලිසියට මේ ගැන පැමිණිලි කර තිබේ. ඒ අනුව බණ්ඩාරගම පොලිසිය පැමිණ කාන්තා හිස පිළිබඳ පරීක්ෂණ ආරම්භ කර තිබේ. 


මෙය විදේශීය කාන්තාවකගේ දැයි පොලිසිය සැක පළ කරයි. එම මිනිස් හිස්කබලට කිසියම් රසායනිකයක් යොදා ගඳ වහනය වීම වළක්වා ඇතැයිද අවට නිවැසියන්ට ගඳක් නොදැනුණේ ඒ නිසායැයිද පොලිසියට සැකයක් තිබේ. හිස හමුවී එහි පරීක්ෂණ ආරම්භ කර තිබියදී එදිනම සවස හතරට පමණ සෙවණගල කිරිඉබ්බන් ආර වැව රක්ෂිතයේ තිබී තවත් මළ සිරුරක කොටසක් පොලිසිය සොයාගනු ලැබිණ. එම සිරුරේ හිස සහ දෙපා නැත. ටීෂර්ට් එකක්, හා යට ඇඳුමක් පමණක් සිරුරේ තිබුණ අතර ඇයට අතවරයක් කර ඇති බවට පෙනෙන ලකුණු කිසිවක් මතුපිටින් දක්නට ලැබුණේද නැත. 


මේ හිසත් කඳත් දෙකම එකම අයෙකුගේද යන සැකයක් පොලිසියට මතු විය. ඒ පිළිබඳව තහවුරු කරගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට මේ වනවිට සිරුරු කොටස් යොමුකර ඇත. තවම එහි වාර්තා නිකුත් වී නැත. එම වාර්තාවට අනුව මෙම සිරුරු කොටස් දෙකම එකම අයෙකුගේ බවට තහවුරු වන්නේ නම් බොහෝ දුරට මෙම ඝාතනය සිදුකර තිබෙන්නේ සෙවණගල ප්‍රදේශයේදී විය යුතු බව පොලිසියේ අදහසයි. එසේම අධිකරණ වෛද්‍ය පරීක්ෂණය අනුව මෙම ඝාතනය සිදුව ඇති කාල වකවානුව නිර්ණය කරගත හොත් ඒ අනුව සිරුරු කොටස් තිබූ ස්ථාන අවට ආරක්ෂක කැමරා දර්ශන භාවිත කර සැක කටයුතු ලෙස සැරිසැරූ වාහන හෝ පුද්ගලයන් පිළිබඳව තොරතුරු සොයා පරීක්ෂණ ආරම්භ කිරීමටද පොලිසියට මගක් පෑදෙනු ඇත. 


මෙම පරීක්ෂණ කටයුතුවලදී පොලිසිය මුහුණ දී ඇති බරපතළම ප්‍රශ්නය වන්නේ මෙතෙක් රටේ කිසිදු පොලිසියකින් අතුරුදන් වූ තරුණ හෝ මැදිවියේ කාන්තාවක පිළිබඳව පැමිණිල්ලක් වාර්තාවී නොමැති වීමයි. සමහර විට කාලයක් විදේශගතව සිට ලංකාවට පැමිණි, එහෙත් ලංකාවට පැමිණි බව පවුලේ ඥාතීන් කිසිවෙක් නොදන්නා කාන්තාවක වන්නට ද හැකිය. මීට පෙර පිළියන්ඳල ප්‍රදේශයෙන් එවැනි කාන්තා සිරුරක් ඝාතනයෙන් වසර කීපයකට පසු සොයාගනු ලැබිණ. සමහරවිට තනිව ලංකාවට පැමිණි විදේශීය කාන්තාවකගේ වන්නටද හැකිය. එවැනි අවස්ථාවක ඇය අතුරුදන් බවට පැමිණිලි කිරීමට කිසිවෙක් නොවනු ඇත. 


ඒ කවුරු වුණත් ටික කලකට හෝ ජීවත් වූ නවාතැන් ගත් තැනක් තිබිය යුතුය. එලෙස නවාතැන් ගත් තැනකට ආපසු නොපැමිණි කාන්තාවක ගැන හෝ පැමිණිල්ලක් තවම ලැබී නැතිවීම පරීක්ෂණ කණ්ඩායම දැඩි අසීරු තත්ත්වයකට පත් කර තිබේ. අධිකරණ නියෝගයකට අනුව සිරුර මේ වනවිට ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ. 


දැන් පොලිසියට ලෙහා ගැනීමට ප්‍රශ්න රැසක් ඉතිරි කර තිබේ. මේ සිරුරු කොටස් දෙකම එක්කෙනකුගේ නොවේ නම් ඒ කොටස් දෙකේ ඉතිරි අංග කෝ? දෙකම එක්කෙනෙකුගේ නම් දෙපාවලට මොකද වුණේ?. ඇයි මේ සිරුරු කොටස් විනාශ නොකර මේ ආකාරයට තැන් දෙකකට දැම්මේ? එහි හිස සෙවණගල වැනි ප්‍රදේශයක සිට දුරුකතර ගෙවාගෙන බණ්ඩාරගම තෙක් ගෙන ආවේ ඇයි? ගඟ රක්ෂිතයේ ආසන්නයේ මිනිසුන් වාසය කරද්දී ඔවුන්ට නොදැනෙන්නට හිස කොටස මෙහි දමා යන්නට ඝාතකයා මේ ප්‍රදේශය ගැන දැන සිටියේද? ඝාතනයට ලක් වූ කාන්තාව සෙවණගල ප්‍රදේශයේ අයෙක් නොවේ නම් ඇයි මේ ඝාතකයා ඇයව එහි ගෙන ආවේ?. ඝාතකයාට සෙවණගලට ඇති සම්බන්ධය කුමක්ද? 
මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සොයමින් මේ වන විට බණ්ඩාරගම පොලිසියත්, සෙවණගල පොලිසියත් පරීක්ෂණ ආරම්භ කර තිබේ. පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ලක්සිරි විජේසේන, සහකාර පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන, බණ්ඩාරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. ඩබ්. වික්‍රමරත්න, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කේ. ජේ. එන්. ද සිල්වා, සැරයන්වරුන් වන 27061 අනුර, 9642 පෙරේරා, පොලිස් කොස්තාපල් 56678 ගාමිණි මහතා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක්ද, සෙවණගල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක යූ. එම්. අමරසිරි මහතාගේ මෙහෙයවීමෙන් සෙවණගල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක්ද වැඩිදුර පරීක්ෂණ සිදු කරති. 

 

 

මුදිතා දයානන්ද, බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් 
සහ මොණරාගල නයනජීව බණ්ඩාර